- ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවෙන් ලැබුණු නිල කාලය අවසන් කරන්න ඉඩ දිය යුතුයි
- මගේ කටින් ඡන්දය දෙන්න කියලා මම කවදාවත්ම කියලා නැහැ
- කථානායකවරයා ලෙස පාර්ලිමේන්තුව තුළ විශාල වැඩ කොටසක් කළා
- මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් නෙමෙයි. නිර්පාක්ෂිකයි
- ගොඩනැඟිලි නොව, හැදිය යුත්තේ මිනිස්සුයි
- රට ගොඩ නඟන්න මාස 6 කට පක්ෂ දේශපාලනයෙන් තොරව එක්වන්න
ජාතික සමගිය හා එකඟතාව ඇති කිරීමේ ඔබේ මේ කර්තව්‍ය ගැන සඳහන් කළොත්?
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ ගැන රටේ විශාල ගෞරවයක් භක්තියක් තිබුණා. උන්වහන්සේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කළා. එදා තිරයේ පිටුපස සිට උන්වහන්සේගේ වැඩ කටයුතුවලට මම ශක්තියක් ගෙන දුන්නා. නමුත් ඊට සෘජුව සම්බන්ධ වුණේ කථානායක පුටුවෙන් ඉවත් වූ පසුයි.
අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි කියන දැඩි මතයේ සිටිනවා. සෝභිත හිමියන් එදා මැතිවරණයේදි පොදු අපේක්ෂකයාට ශක්තියක් ගෙන දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන පොරොන්දුව මතයි. එදා රටේ වටේ ගිහින් ඉල්ලුවේ එක ජනවරමයි. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම. නමුත් අවාසනාවකට ඒ දේ සිදු වූයේ නැහැ.
ජනතාවගේ පූර්ණ බලතල එක් පුද්ගලයකුට හිමි වීම ප්‍රශ්න සහගතයි. විධායක ජනාධිපති ක්‍රමය තමයි බොහෝ ප්‍රශ්නවලට මුල් වුණේ. අපි මේ වන විටත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා සේම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කටයුතුවලට විරුද්ධව හඬ නඟනවා.
ආර්ථිකය නඟා සිටුවීමේ කෙටිකාලීන වැඩපිළිවෙළ කුමක්ද?
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආර්ථිකය ගොඩනැඟීම සඳහාත් කෙටිකාලීන වැඩපිළිවෙළක් සකසා තියෙනවා. අපි මේ සඳහා ප්‍රවීණ ආර්ථික විශේෂඥයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ අදහස් ගත්තා. ඒවා රජයට ඉදිරිපත් කළා. අපි මේ වන විට කතිකා 127ක් රට පුරා පවත්වා තියෙනවා. රටට බලපාන ජාතික වැදගත්කමකින් යුතු කරුණු ගැන සූම් සාකච්ඡාවක් සෑම ඉරිදාම පවත්වනවා. ආර්ථිකය ගොඩනැංවීම සඳහා අපේ කෙටිකාලීන යෝජනාව වුණේ මාස 6කට පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ ඒකමතිකව කටයුතු කළ යුතු බව. සියලු දේශපාලන පක්ෂ පොදු ප්‍රතිපත්තියකට එකඟ වී ආර්ථිකය ඉහළට ඔසවා තැබූ පසු මැතිවරණයකට යා යුතුයි. මේ මාස 6 තුළ පක්ෂ දේශපාලනයක් හෝ විපක්ෂයක් අවශ්‍ය නැහැ. නමුත් එසේ සිදු නොවන්නේ රටේ අවාසනාවට.
සියලු දේශපාලන පක්ෂ එකමුතු වීමේ යෝජනාව ඉදිරිපත් වූයේ කොයි කාලයේද?
අපි මේ දේ පැහැදිලි කර දෙන්න ගොඩක් උත්සාහ කළා. නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. දේශපාලන පොර පිටියේ හැමෝටම අවශ්‍ය වුණේ බලයයි. ඒ අවශ්‍යතාව රට වෙනුවෙන් මාස 6ක් පස්සට දාන්න බැරි ඇයි? ඊට පසු වසර අග මැතිවරණයකට යා හැකියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගෙන් ඊට ප්‍රතිචාරය ලැබුණේ කොයි ආකාරයෙන්ද?
ජනාධිපතිතුමා කියන්නේ ජාතික ආණ්ඩුවක් ගැන. එය වඩාත් හොඳයි. නමුත් ජාතික ආණ්ඩුවක් බැරි නම් සීමිත කාලයකට හෝ එකතු විය යුුතුයි. කඩා වැටුණු රටවල් ඔළුව ඉස්සුවේ ඒ ආකාරයෙන්. පසුගිය කාලයේ ඉන්ධන ගන්න දවස් ගණනාවක් පෝලිමේ සිටියා. විදුලි කප්පාදු තිබුණා. ආහාර නැතුව තිබුණා. මේ තත්ත්ව විසඳා ගැනීමට සියලු දෙනාටම එකතු වීමට තිබුණා. ඊට ආරම්භය දිය යුත්තේ පාර්ලිමේන්තුව තුළිනුයි.
225 දෙනා එකතු වීම සදාකාලික සිහිනයක්. ඇයි කළ හැකි දෙයකට නොයන්නේ...?
මම කියන්නේ 225ම නෙමෙයි, බහුතරයක් හෝ එකතු විය යුතුයි කියලා. කවුරු හෝ සිටින රාජ්‍ය නායකයාට ඒ ශක්තිය දිය යුතුයි. අරගලය ඇති වුණේ ඇයි? ඊට සම්බන්ධ වූ කණ්ඩායම් 14ක් සමඟ මම කතාකර තියෙනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ යෝජනා මාලාවට ඔවුන්ගේ අදහසුත් එකතු වුණා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කිසිම දේශපාලන පක්ෂයකට හෝ බලවේගයකට අයත් එකක්ද?
අපි කිසිම දේශපාලන පක්ෂයකට අයිති නැහැ. මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නෙමෙයි. 2015 කථානායක පුටුවේ වාඩි වූ දා සිට අද දක්වාම මම සිරිකොතට අඩිය තබා නැහැ. මම වැඩ කටයුතු කළේ මගේ හෘදය සාක්ෂිය අනුවයි.
ඔබ දේශපාලනයට අවතීර්ණ වූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වූ පසු කරන ලද ආරාධනයට අනුව. ඔබ තවමත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්ද?
2015 සිට මම කිසිම පක්ෂයක සාමාජිකත්වයක් දැරුවේ නැහැ. අදටත් එහෙමමයි. මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් නෙමෙයි. නිර්පාක්ෂිකයි. මගේ යුතුකම කළා. වර්තමානයේ දේශපාලනය ගැන මට යම් කලකිරීමක් තියෙනවා.
ඔබ කථානායකව සිටියදී පාර්ලිමේන්තුව හරහා රටට සිදු කළ සේවය ගැන සඳහන් කළොත්?
මම කථානායකව සිටියදී පාර්ලිමේන්තු අතර සහජීවනය ඇති කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සේවාවක් ලංකාවේ ආරම්භ කළා. සාර්ක් කථානායකවරුන්ගේ සම්මේලනයේදී මෙය පිළිගත්තා. එදා පාර්ලිමේන්තුව ලෙස විශාල වැඩ කොටසක් කළා. අපි ඇති කළ ආංශික අධීක්ෂණ කාරක සභා ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වුණා. අපි ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කළා. යම් යම් අඩුපාඩු බලපෑම් තිබුණත් මේ ස්වාධීන කොමිෂන් සභාවලින් විශාල වැඩ කොටසක් කරන්නට හැකි වුණා. ව්‍යවස්ථාදායක සභාවට සුදුසු පුද්ගලයන් පත් කළා. මේ සියල්ල යම්තාක් දුරකට සාර්ථක වුණා. ගම්සභා සංකල්පය හඳුන්වා දුන්නේ අපියි. ජනාධිපතිතුමා පවා එය පිළිගත්තා.
විධායක ජනාධිපති ධූරය වෙනස් කිරීම ඔබලාගේ අවධානය යොමු වූ ප්‍රධාන කරුණක්...?
මිලියන 22 කගේ සම්පූර්ණ වගකීම එක් අයකුට පවරා දීම කිසිසේත් සුදුසු නැහැ. 1995 මම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිව සිටියදී යෝජනා කළා මෙය අහෝසි කිරීමට. විධායක ජනාධිපති පදවිය ගෙනා පක්ෂයම මෙය අහෝසි කළ යුතු බව එදා පිළිගත්තා.
පාර්ලිමේන්තු කථානායක ඉතිහාසයේ අසීරුතම අවධියයි, ඔබ ගත කළේ . පාර්ලිමේන්තුව තුළ විනය සම්බන්ධ බරපතළ ගැටලු මතුවුණේත් ඒ කාලයේ. පාර්ලිමේන්තුව තුළ නව දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුත්තේ කෙසේද?
පාර්ලිමේන්තුවේ විනය ඇති කිරීම කෙසේ වෙතත් ස්වාධීන කොමිෂන් සභා සාර්ථක වුණා. පැමිණි විවිධ බාධා නිසා ප්‍රසම්පාදන කමිටුව පිහිටුවීමට නොහැකි වුණා. මගේ කථානායක අවධිය විවිධ බාධා පැමිණි අවධියක් බව ඇත්ත. ඒත් ඒ සියලු දේම මම මුහුණ දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. එදා කථානායකවරයා වශයෙන් පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ වගකීම මම ඉටු කළා. එදා පාර්ලිමේන්තුව තුළ ඇතිවූ සිදුවීම්වල ඓතිහාසික ඡායාරුප අදටත් මම රාමු කර සිහිවටන බවට තියාගෙන ඉන්නවා. එදා මගේ හෘදය සාක්ෂිය කිව්වා ඒ අවස්ථාවේ මම නිවැරදිව කටයුතු නොකළේ නම් එය රටේ අනාගතයට කරන ද්‍රෝහිකමක් බව. මේ අවස්ථාවේ මම ගත් තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණය පවා පිළිගත්තා.
සෑම පැයකටම ලංකාවේ පුරවැසියන් 32ක් විදේශගත වන බව ඔබ සඳහන් කළා. ඇයි මෙසේ පිරිස් රට හැර යන්නේ? මීට විකල්පය ලෙස ඔබ දකින්නේ කුමක්ද?
එකක් ආදායම අහිමි වීම. අධ්‍යාපන ගැටලු, සුදුස්සාට සුදුසු තැන නොදීම ආදි සමාජ අසාධාරණය ඊට හේතුවක්. මේ සමාජ අසාධාරණතා ඉක්මනින් අවසන් කළ යුතුයි. ස්වාධීන කොමිෂන් සභා බලාත්මක විය යුුතුයි. අද උසස්වීම් දෙන්නේ දේශපාලන හිතවත්කම්වලට.
රටේ ආර්ථිකය බරපතළ බිඳ වැටීමකට ලක්වුණා. එසේ වීමට හේතු වූ කරුණු ඔබ දකින්නේ කෙසේද?
ලංකාවයි ජපානයයි අතර වෙනස තිබුණේ ඩොලර් දෙකයි. අපි හැමදේම නිකම් දෙන්න පටන් ගත්තා. දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල තවමත් තියෙන්නේ ලංකාවේ. එදා ලොව හොඳම දුම්රිය සේවාව සී. ජී ආර්. අද මොකද ඊට වී ඇත්තේ. රටක් ගොඩනැගෙන්න විනයක් අවශ්‍යයි. ඒ විනය කඩන්නේ දේශපාලනඥයෝ. අපි රටට ආදරෙයි. අපේ ඇටකටු මේ රටේ මිහිදන් විය යුතුයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය හරහා අපි ඉදිරි පරපුරට රටක් ඉතිරි කර දිය යුතුයි.
පාසල් සිසුන් ඇතුළු තරුණ පිරිස් අතර බරපතළ ලෙස සදාචාරය, විනය පිරිහෙමින් යනවා. මේ නිසා දිනෙන් දින අසන්නට ලැබෙන්නේ හද කම්පා කරවන සිදුවීම්. මේ තත්ත්වය වෙනුවෙන් යමක් කරන්නට නොහැකිද?
අපිට තියෙන්නේ ගොඩනැඟිලි හදන්න නෙමෙයි. මිනිස්සු හදන්නයි. ආගමික නායකත්වයට විශාල කාර්යභාරයක් තියෙනවා. අද පාර්ලිමේන්තුවෙන් රටට ආදර්ශයක් ලැබනෙවාද? එදා හොඳ කතා අහන්න පාර්ලිමේන්තුවට ගියා. අද සමහර දරුවෝ තමන් පාර්ලිමේන්තු මහජන නියෝජිතවරුන්ගේ දරුවෝ කියන්න ලැජ්ජයි. මේ ප්‍රශ්නයේදි වැඩි වගකීමක් ඇත්තේ පාර්ලිමේන්තුවට.
සමහරු චෝදනා කරනවා, තරුණ පරපුර මේ ආකාරයේ අවදානමකට ලක් වීමට අරගලය බලපෑ බව?
ආරම්භයේ උගත් බුද්ධිමත් පිරිසක් හිටියත්, අරගලය අවසානය ගියේ මැරයෝ අතට. නමුත් අරගලය මැරයන්ගේ එකක් කීම වැරදියි.
2020 දී ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණා. කිසිම ආකාරයක ජන සහභාගීත්වයක් හෝ ජනතා අදහස් ලබා ගැනීමක් සිදු වුණේ නෑ. රටේ විනාශය ඇතිවූයේ 20 වැනි සංශෝධනය නිසාද?
එය අහෝසි කිරීම ගැන අපි ස්තූතිවන්ත වෙනවා. ඉස්සර අපේ මතයට කන් දුන්නේ නැහැ. අද අපේ මතයට ජනාධිපතිතුමා මෙන්ම අධිකරණ ඇමැතිවරයා ඇහුම්කන් දෙනවා. 21 ගෙන්න මූලිකව කටයුතු කළේ මමයි. 20 අහෝසි කළ යුතුයි යන විරෝධතාව මුල සිටම අපි ගෙනාවා. 19 ගේන්න ඕන කියන ඉල්ලීම මුලින්ම කළේ අපි. ජනාධිපතිතුමා පොරොන්දු ඉටු කළා. එය ලෙහෙසියෙන් කළ හැකි දෙයක් නෙමෙයි.
ආගාධයකට වැටී තිබුණු රට ගොඩ ගැනීමේ කාර්යයට උර දුන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය. රට ගොඩනැඟීමේ ජනාධිපතිතුමාගේ ගමන් මඟ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
මේ වන විට ජන ජීවිතයේ වෙනසක් සිදුව තියෙනවා. එය හොඳ තත්ත්වයක්. ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් විදුලි කප්පාදු අද නැහැ. අද අවශ්‍ය දෙයක් කීයක් හෝ දී ලබා ගත හැකියි. ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවෙන් ලැබුණු සිය නිල කාලය අවසන් කරන්න අවස්ථාව දිය යුතුයි. ඊට පසු මහජනතාවට ඔහු හොඳද නරකද කියා තීරණයකට ආ හැකියි.
විපක්ෂය චෝදනා කරනවා, තවමත් රට බංකොලොත් වී ඇති බව ?
එසේ කතා කිරීම අසාධාරණයි. හරි දේ හරි විදියට දැකිය යුතුයි. පෙළපාළි පවා යාමට ඕන කෙනෙකුට අවසර තියෙනවා. නමුත් ඊට අවසරය කල් ඇතිව ලබාගත යුතුයි. ඊට යා යුතු ක්‍රමවේදයක් තියෙනවා.
ජනතාව ජිවත් වන්නේ දැඩි පීඩනයක. බදු මිල, ණය බරින් මිරිකිලා. IMF ණය මුදලින් යම් සහනයක් උදාකර ගත හැකි වෙයිද?
බදු බර ජනතාවට ඇත්තෙන්ම බරක්. නමුත් රජය පවසා තියෙනවා හතර වැනි කාර්තුවේදි යම් සහනයක් ලබා දෙන බව. මේ අවස්ථාවේ IMF නොගිහින් රට ගොඩ ගන්න වෙන ක්‍රමයක් නැහැ. IMF එකෙන් රටට ලැබුණේ ඩොලර් බිලියන 3ක් වුණත් ඒ රබර් මුද්‍රාව ඩොලර් බිලියන ගණනාවක් වටිනවා. එය ජාත්‍යන්තරය තුළ විශාල ශක්තියක් ගොඩනැඟීමට හැකි වුණා. සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රගතියක් ඇති වී තියෙනවා. විදේශ ශ්‍රමිකයින්ගේ මුදල් රටට දැන් ලැබෙනවා. හොඳ නරක දෙක දිහාම බලා අපි මධ්‍යස්ථ නිගමනවලට ආ යුතුයි. මධ්‍යස්ථව සිතීම ආණ්ඩුවට කඩේ යාමක් නෙමෙයි. රට ගොඩනැඟීමේදි මහජන නියෝජිතයන්ට විශාල වගකීමක් පැවැරෙනවා.
විපක්ෂය දැඩිව මැතිවරණයක් ඉල්ලනවා. මේ අවස්ථාවේ මැතිවරණයකට යා හැකිද?
පළාත් පාලන මැතිවරණයක් අවශ්‍යයි කියන මතයේ අපි ඉන්නවා. තමන්ගේ ප්‍රදේශයට වගකියන මන්ත්‍රීවරයෙක් අවශ්‍යයි. නමුත් අද ඒ තත්ත්වය දකින්න නැහැ. ඒ අතරම මන්ත්‍රීවරු 8000ක් ඉන්නවා. ඔවුන් නඩත්තුවට විශාල මුදලක් වැය වෙනවා. පළාත් පාලනයේදී යම් විනිවිද බවක් තිබිය යුතුයි. මැතිවරණයක් තියන්නට පෙර ඒවායේ ඇති අඩුපාඩු සැකසිය යුතුයි. ජනාධිපතිවරණයේ සිට පළාත් පාලන මැතිවරණය දක්වා වූ සියලු මැතිවරණ ක්‍රම වෙනස් විය යුතුයි. අඩුපාඩු ඉක්මනින් සකස් කර අවසන් කළ යුතුයි. එයත් අපේ එක් ඉල්ලීමක්.
නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ඔබ “ශ්‍රී ලංකාභිමාන්‍ය” ගෞරව සම්මානයට පාත්‍ර වෙනවා. මේ ගැන සඳහන් කළොත්?
මම මෙය ඉල්ලා ලබාගත් දෙයක් නෙමෙයි. මම අමුතුම දේශපාලන ගමනක් ගිය කෙනෙක්. කවුරුත් විවේචනය කළේ නැහැ. මට කියා රැස්වීම් තිබ්බේ නැහැ. බැනර් කටවුට් ගැහුවේ නැහැ. මට ඡන්දය දෙන්න කියලා මගේ කටින් කියා නැහැ. මම අමුතුම දේශපාලන ශෛලියක් ගෙනාවා. මම ආ ගමන් ගැන සිහි කරන විට ඇත්තේ සතුටක්.