මහා බ්‍රිතාන්‍ය සංචාරය නිමවා ජනපති රනිල් වික්‍රමසිංහ මෙරටට පැමිණියේ ඉකුත් සඳුදා පෙරවරුවේය. තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ගිය ජනපති රනිල්ට චාල්ස් රජුගෙන් හිමිවූයේ ගෞරවාන්විත පිළිගැනීමකි. පොදු රාජ්‍ය මණ්ඩල නායකයින් ජනපති රනිල් මුණ ගැසී සාකච්ඡා කරද්දී ජනපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ එක්වූයේ කාන්තා සමුළුවකටය. ඇය එහිදි පිළිකා රෝගීන් ගැන කළ කතාව සැමගේ ඇගැයුමට ලක්විණ.
ලන්ඩන් නුවරට ගිය රනිල් ඔවුන් නවාතැන්ගත් හෝටලයේ ආලින්දයේ කොටසක් වෙන් කර ගත්තේ චාල්ස් රජුගේ රාජාභිෂේකයට පැමිණෙන රාජ්‍ය නායකයින්, ව්‍යාපාරිකයන් මෙන්ම නිලධාරීන්ද මුණගැසී සාකච්ඡා කිරීමටය. රාජාභිෂේකයට පෙර පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව පැවැතියේ එම ස්ථානයේ බැවින් ජනපති රනිල්ට රාජ්‍ය නායකයන් හා ව්‍යාපාරිකයන් මුණගැසීම පහසු වූයේය.
චාල්ස් රජුට ජනපති රනිල්ගෙන් ආරාධනාවක්
එසැණින් ක්‍රියාත්මක වූ ජනපති රනිල් චාල්ස් රජු කලකට පෙර ශ්‍රී ලංකාවේ කළ සංචාරය ගැන සිහිපත් කර දුන්නේය. එසේම නැවත මෙරටට පැමිණීමට කැමති දැයි විමසා සිටි ජනපති ඔහුට මෙරට සංචාරයක් වෙනුවෙන් ආරාධනා කර සිටීමට ද අමතක නොකළේය.
පැරණි මතකයන් හා දෙරටේ ආර්ථික තත්ත්වයන් ගැන දෙදෙනා අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු චාල්ස් රජු පිටත්ව යද්දී ලංකාවට පැමිණීම ගැන සිතා බලන බව කීවේ ජනපතිට කිට්ටු වෙමිනි.
බ්‍රිතාන්‍ය සංචාරය නිමවා පැමිණි සඳුදා දින සිටම ජනපති යළි රාජකාරි ආරම්භ කළ අතර, එදින සවස අමාත්‍ය මණ්ඩල රැස්වීමට ද සහභාගි වූයේය.
ජනපතිගෙන් රංගෙට සුබ පැතුම්
අඟහරුවාදා සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමට ජනපති ද සහභාගී වූවේය. ජනපති මදක් පමා වී එහි පැමිණිය ද ඔහු අසුන් ගන්නටත් පෙරම පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර දෙස බලමින් මැයි දිනය සාර්ථකව පැවැත්වීම ගැන සුබ පැතීමට අමතක නොකළේය.
“මට ඔක්කොම කිව්වා හොඳටම සංවිධානය කරපු මැයි රැලිය එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය කියලා.” ජනපති කීවේ සහය දුන් සැමට තුති පුදමිනි.
“ඇත්තටම ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ මහලේකම්තුමාට. එයා මේක කරට අරගෙන හොදටම කළා.” නියෝජ්‍ය නායක රුවන් කීවේ එවැන්නකි.
“හරීන් ඇමතිතුමායි. මනූෂ ඇමතිතුමායි හොඳ සහයෝගයක් අපේ මහලේකම්තුමාට දුන්නා.” ජාතික සංවිධායක සාගල රත්නායක ද කීවේය.
ඒ සියල්ල අතර මහලේකම් රංගේ පක්ෂයේ බල මණ්ඩල පැවැත්වීම හා එහි ප්‍රගතිය ගැන දීර්ඝ විස්තරයක් කළේය. සති අන්තයේ මන්නාරම, වවුනියා හා මුලතිව් බල මණ්ඩල පිහිටුවීමට ගිය අවස්ථාවේ ජනතාව පළ කළ අදහස් කිහිපයක් ද රංගේ ජනපති කනේ තැබුවේය.
“සර් දැන් දමිළ මිනිස්සුන්ට උතුරේ දේශපාලන සංවිධාන එපා වෙලා ඉන්නේ. ඔවුන් ඒ හැම එකක්ම ප්‍රතික්ෂේප කරනවා. එකම බලාපොරොත්තුව ජනාධිපතිතුමා ගැන විතරයි.” රංගේ සිය අත්දැකිම කීවේ එලෙසිනි.
තනි අලියා දමනය කිරීම
“සර් මහලේකම්තුමා වවුනියාවේ ඉඳලා එද්දී තනි අලියෙක්වත් දමනය කරලයි ඇවිල්ලා තියෙන්නේ.” ශමල් සෙනරත් කියද්දී සැවොම රංගේ දෙස බැලුවේ කුතුහලයෙනි.
“ නෑ සර් මම චෙට්ටිකුලම් පහු කරලා තන්තිරිමලේ හාමුදුරුවෝ බැහැදකින්න එද්දී ලොකු වාහන තදබදයක් තිබුණා. ඒක මොකක්ද කියලා හොයලා බලද්දී තනි අලියෙක් මාර්ගය මැද නැවතිලා පාර දෙපැත්තෙම වාහන යන්න දෙන්නේ නැතුව අවහිර කරගෙන හිටියා. ඒ සතාව එතැනින් අයින් කරලා වාහන යන්න හදලා දුන්නා. ඒ ගැන තමයි මේ ශමල් මේ කියන්නේ.” රංගේ දුන්නේ එවැනි උත්තරයකි.
“නෑ නෑ ඊට වඩා දෙයක් වුණා කියලා තමයි අපිට ආරංචි.” රුවන් කීවේ සිනාසෙමිනි.
“එතන හිටපු අය මගෙන් ඉල්ලුවා අලියව එලවලා දෙන්න වෙඩි තියන්න කියලා. පස්සේ මම අහසට වෙඩි තිබ්බා. අලියා මගේ දිහා බලලා කැලේට දිව්වා.” මහලේකම් ඇඟට පතට නොදැනී කියද්දී සැවොම මුහුණට මුහුණ බලාගත්හ.
පසුව ජනපති රනිල් කීවේ පක්ෂ බල මණ්ඩල පැවැත්වීම දිගටම කරගෙන යන ලෙසටය. රට පුරා බලමණ්ඩල 80ක් 100ක් පමණ පවත්වන ලෙස ජනපති රනිල් රංගේ දෙස බලමින් කීවේය. රංගේ ප්‍රතිචාර දැක්වූවේ ජූලි මාසය වන විට රට පුරා බල මණ්ඩල 80ක් පමණ පැවැත්විය හැකි බවය.
නවීන් දිසානායක මෙන්ම රවී කරුණානායක ද එහි සිටි අතර, බල මණ්ඩල පවත්වන්නැයි කියමින් පක්ෂයේ වගකීම් පැවරීම තුළ මහලේකම් ධූරයේ වෙනසක් නොවන බවට ඉඟියක් ජනපති දුන් බව එහි සිටි සිරිකොත නිලධාරීන් එකි නෙකාට කියා ගත්හ.
රෑ කෑම රහුමානියා එකෙන්ද?
බඳාදා රාත්‍රියේ විදේශ අමාත්‍යා අලි සබ්රී ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිස ජනපති මුණගැසුණේ 2030 රටේ විදේශ ප්‍රතිපත්තිය ගැන සාකච්ඡා කිරීමටය. රාත්‍රී භෝජනය ද සහිතව පැවැති මෙම සාකච්ඡාවට ජනපති සමඟ ලේකම් සමන් ඒකනායක හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද එක්ව සිටියහ.
2030 ප්‍රතිපත්තිය ගැන විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා පිළිබඳව ජනපති එතරම් පැහැදීමක් නොමැති බව ලේකම් සමන්ට හා සාගලට පෙනී ගියේය. සාගලගේ කනට කිට්ටු කළ ලේකම් සමන් “රහුමානියා එකෙන් කෑමක් කන්න වගෙයි යන්නේ.” යි කියද්දී කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල සිනහව වළකා ගත්තේ අසීරුවෙනි.
නිලධාරින්ගේ යෝජනා හා අදහස් සාවධානව අසා සිටි ජනපති රනිල් 1948 සිට මෙරට විදේශ ප්‍රතිපත්තිය ගැන විග්‍රහයක් කරන්නට වූවේය. අප්‍රිකා මහද්වීපයේ පවතින ආර්ථික ප්‍රවණතාවයත් ආසියානු ආර්ථික ප්‍රවණතාවයත් විග්රහ කරමින් කළ කතාව අසා විදේශ අමාත්‍යාංශ නිලධාරින්ගේ ඇස් උඩ ගියේය.
“ජනාධිපතිතුමාගේ මේ දැනුම ගැන අපි පුදුම වෙනවා. ඇත්තටම එතුමා ජනාධිපති වෙන්න තිබුණේ මීට කලින්. එහෙම නම් මේ රටේ තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා.” විදේශ අමාත්‍යාංශ නිලධාරියෙකු කීවේ ලේකම් සමන්ටය.
“මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.” යැයි විදේශ ඇමති අලි සබ්රී කිවේ රාත්‍රී භෝජනයේදී සාගල සමඟය. රහුමානියා හෝටලයෙන් කන්න සිදුවෙතැයි සිතුව ද එය වෙනස් කරමින් සුහඳව සාකච්ඡාව අවසන් වූ අතර, ජනපති පුන පුනා කීවේ ලෝකය ඉදිරියේ රට ඔසවා තැබීමට කැප වන ලෙසය.
අස්ගිරි මහ නාහිමියන් අගමැති දිනේෂ්ට කීවේ මොනවාද?
පසුගිය ඉරිදා (07) අගමැති දිනේෂ් විශේෂයෙන් හඟුරන්කෙතට ගියේ එස්. බී. දිසානායක මන්ත්‍රීවරයාගේ ඉල්ලීමක් පරිදිය. ඒ, හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමට සහ අම්පාර, ලාහුගල නීලගිරි සෑයේ කැණීම් කටයුතුවලදී හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා එහි තැන්පත් කිරීම සඳහාය. අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නාහිමියෝද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. සියලු කටයුතු නිමාවෙද්දී නායක හිමියෝ දිනේෂ්ව ළඟට කැඳවීය.
"ඔබතුමාගේ මූලිකත්වයෙන් රට පුරා ක්‍රියාත්මක කෙරුණ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ගැන යමක් කියන්නයි කතා කළේ" එස්. බී. දිසානායක, සී. බී. රත්නායක, යදාමිණී ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේද දිනේෂ් සමඟ වූහ.
" මේ වැඩසටහන මෙහෙයවූයේ අසීරුම කාලපරිච්ඡේදයක. හැබැයි අපේ අගමැතිතුමා අපේ රටේ ගොවි ජනතාව කෙරෙහි විශ්වාසය තබා, ආහාර අතිරික්ත නිෂ්පාදනය කරපු එක නම් හරිම විශිෂ්ට වැඩක්. එක සාර්ථක බව අද ඔප්පු වෙනවා."
හෙද දිනය දිනේෂ්ට විශේෂ වූ හැටි
පසුගිය සිකුරාදා (12) පෙරවරුවේ හෙද සේවයට වගේම අගමැති දිනේෂ්ටද වැදගත් දිනයක් විය. ඒ ලෝක හෙද දිනය යෙදෙන එදින, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දීර්ඝ කාලයක් තිස්සේ සියලු රජයන්වලින් කළ ඉල්ලීමක් ඉටුකර දීම, රජය වෙනුවෙන් ප්‍රකාශයට පත්කිරීමට හැකිවීමය. ඒ, හෙද විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ආණ්ඩුව ගත් තීරණයයි.
"අපේ දිනේෂ් අගමැතිතුමා, අගමැතිවීමට පෙරත්, මම ඇතුළු හෙද සංගමයේ මේ ඉල්ලීම ඉටුකර දීම සඳහා විශාල වෙහෙසක් දැරූවා. එතුමා අගමැති වුණ කැබිනෙට්ටුවෙන් මේක අනුමත කරගන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්" මුරුත්තෙට්ටුවේ හිමියන් ඉතා හැඟීම්බරව කිහ.
මහින්ද ගැන අජිත් රාජපක්ෂට පාකිස්ථානයෙන් ලැබුණු සහතිකය
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරන්න දේශපාලන නායකත්වය ලබාදුන් නායකයෙක්. එදා 2009 වර්ෂයේදී පාකිස්ථානයත් ඒ සඳහා ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදුන්නා”
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුල ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ප්‍රබල පවුලක්. මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා හීරෝ...
මහින්ද රාජපක්ෂ මහතාගේ රට එනම් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අපේ සමුළුවට පැමිණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා උණුසුම් ආකාරයෙන් පිළිගන්නවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ගැන මහත් ඉහළින් වර්ණනා කළේ පාකිස්ථානයේ ආරක්ෂක කමිටුවේ ප්‍රධානී මුෂාහිඩ් හුසේන් සෙයිඩ් විසිනි. ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන සමුළුවකට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහභාගී වූ අවස්ථාවේ ඔහුව පිළිගැනීමට සිදුකළ කතාවේදී හුසේන් සෙයිඩ් මේ බව ප්‍රකාශ කළේය.
2009 වර්ෂයේදී පාකිස්ථානයේ ආරක්ෂක ලේකම් වශයෙන් හුසේන් සෙයිඩ් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදුන්නේය.
එයද සිහිපත් කරමින් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා හීරෝ කියාය.
එක්ස්ප්‍රස් පර්ල් නැව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.
එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්වූයේ මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සම්බන්ධවය.
මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයම් රැස්වීමට නීතිපතිවරයාද කැඳවා තිබුණි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වන නඩුව සිංගප්පූරුවේදී පැවරීමේ වාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයා මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය.
අනතරුව කතා කළේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂය.
“නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙම වැඩ කරන කොට මීපා එක නැව් සමාගමේ දේශීය නියෝජිතයා සමඟ බේරුම්කරණය සම්බන්ධයෙන් සාකච්ඡාවලට යනවා” ඇමැතිවරයා කීය. එයට ජනාධිපතිවරයාට කේන්ති ගියේය.
“ඔයාල එහෙම කරන්නේ ඇයි. මේ චෝදනාව ගැන කියන්නේ මොකද්ද?” ජනාධිපතිවරයා සමුද්‍රීය පරිස ආරක්ෂණ අධිකාරියෙන් විමසීය.
“නෑ... සර් අපි බැලුවේ නඩුවට එතුමන්ලව කැඳවා ගෙන නඩුව ඉස්සරහට ගෙනියන්නයි. නමුත් අත්අඩංගුවට ගනීවි කියල බයට ඒ ආයතනයේ සභාපතිවරයා බයේ ලංකාවට එන්නේ නෑ” මීපා සභාපතිවරයා කීය.
“අපේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. කවුද ඔය වගේ බොරු කතා කියන්නේ. එහෙමනම් ඔබතුමා එයත් එක්ක කතා කරල එතුමාව ලංකාවට ගෙන්නවගෙන මේ වැඩේ ඉක්මන් කරගන්න. එතුමා ලංකාවට ආවම මටත් කියන්න. අපිට කෝපි එකක් බීල සාකච්ඡා කරන්න පුළුවන් ” ඒ ජනාධිපතිවරයායි.
“මීපා එක වන්දි මුදල් ඉල්ලන්නෙ ඩොලර්වලින්. ඒක නිසා රුපියල්වලින් මේක භාර ගත්තනම් නඩුවට වාසියි.” අධිකරණ ඇමැතිවරයා යළි කීය.
“මේ වන්දි මුදල ඩොලර්වලින් අය කරගන්න කියල කැබිනට් තීන්දුවක් තියෙනවා.” ජනාධිපතිවරයා යළි කීය.
මේ ගැන මීපා ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයාද පැහැදිලි කළේය.
අමරකීර්කි අතුකෝරළගේ පළමු සැමරීම
පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ පසුව අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් සභාගර්භය විනාඩියක නිහඬතාවයක් පැවැත්වූ අතර, සවස පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ගුණානුස්මරණ පිංකමක්ද පැවැත්විණි.
තවමත් ප්‍රසන්න අරගලකරුවන්ට ගහන්නේ ඇයි?
“ඔබතුමා අරගලයට තවම ගහනව නේද?” එහිදී කිසිවකු ඇමැති ප්‍රසන්නට කීය.
“නෑ... මම සාමකාමී අරගලය එක්ක තරහ නෑ... මිනිස්සු සාමකාමීව ආරම්භ කරපු අරගලය කාලකණ්ණි ටිකක් හයිජැක් කළා. මම ගහන්නේ උන්ට” ඇමතිවරයා කීය.
“මගේ ගිනි තිබ්බාට කමක් නෑ කියමුකො. මිනුවන්ගොඩ සභාපතිගෙ ගේ ගිනි තිබ්ෙබ් මිනිහ ඔපරේෂන් එකක් කරල ඉස්පිරිතාලේ ඉන්නකොටයි. අමරකීර්ති මන්ත්‍රීතුමා මැරුවෙ මොන වරදක් කළාටද? ඒ මිනිහ මරණ බයේ හැංගෙන කොට පස්සෙන් එළවගෙන ඇවිල්ල ගහල මැරුවා. ඉතිං මුං කාලකණ්ණි නෙවෙයිද?” ඇමතිවරයා යළි කීය.
“අපේ ගෙවල් ගිනි තිබ්බේ අපිව දේශපාලනයෙන් අයින් කරල. අපේ ගමන නවත්වන්න. අපි ඒවට බය නෑ.” මන්ත්‍රීනි කෝකිලා කීය.
“මම නම් මේ කාලකණ්ණි අරගලකාරන්ට සාප කරනවා. උන්ට උදවු කරපු එවුන්ටත් හෙණ ගහනවා මේ කරපු අපරාධවලට” ඇමැතිවරයා යළි කීය.
සනත් නිශාන්ත වෙනුවෙන් පොහොට්ටුවේ බහුතරයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 70 දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණි උපන්දින උත්සවයක් පසුගිය 10 වැනිදා රාත්‍රී කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පැවැත්විණ.
මෙම උපන්දින සාදය පැවැත්වුණේ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙනුවෙනි.
රාත්‍රී 7.30 පමණ වන විට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම උපන්දින සාදය සඳහා පැමිණෙන්නට වූ අතර, පැමිණෙන සියලුම දෙනා කළු පැහැති ඇඳුමකින් සැරසී සිටීම විශේෂත්වයක් විය.
සනත් නිශාන්ත සියලුම දෙනාට ආරාධනා කර තිබුණේ කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණෙන ලෙසයි. අරගලයට විරෝධය පළ කිරීම සඳහා මෙසේ කළු ඇදුමින් සැරසී පැමිණෙන ලෙස දන්වා ඇත.
උපන්දින උත්සවය පැවැත්වුණු ශාලාවේ පසුබිමද කළු වර්ණයෙන් සරසා තිබිමද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සහ බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ යුවළ පැමිණියේ රාත්‍රී 8.10ට පමණය. ඔවුන්ද සැරසී පැමිණියේ කළු ඇඳුමින්ය.
රාත්‍රී 10.30 පමණ වනතුරු මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මෙහි රැඳි සිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් පැමිණ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා හමු වී දීර්ඝ වශයෙන් කතාබහ කළේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳවයි.
අලුයම 1.00 පමණ වනතුරු මෙම උපන්දින සාදය පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගැයුම් හා නැටුම්ද සමඟිනි.
වජිරට ලැබුණු නම්බු නාමය
එක්සත් ජාතික පක්ෂයේ සභාපති. පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව යාමට සුදානම් වන අවස්ථාවේදී ඔහුට මුණගැසුණේ සමගි ජනබලවේගයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස්ය.
“කොහොමද? මන්ත්‍රීතුමා වජිර සුහදශීලිව කතාව ආරම්භ කළේය.
“ඔබතුමා තමයි ශ්‍රී ලංකාවේ ශානක්‍යයන්" යනුවෙන් හාරිස් පැවසුවේය.
ඒ කතාවේ තේරුම කුමක් දැයි අසල සිටි කිහිපදෙනෙකු හාරිස් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේය.
“ඉන්දියාවේ ශානක්‍යයන් කියන්නේ දේශපාලන පරිණතභාවය අනුව උපක්‍රමශීලිව සාර්ථව කටයුතු කරන අයට, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කිරීම පිටුපස ඉන්න මහ මොළය වජිර අබේවර්ධන මහතායි.
ඒක නිසයි අපි ශ්‍රී ලංකා ශානක්‍යයන් කියලා කියන්නේ” යනුවෙන් එච්.එම්.එම්. හාරිස් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
සජිත් අගමැතිකම ගන්නවාද?
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පසුගිය 8 වෙනිදාය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.
"විපක්ෂනායකතුමා මේ තැන් තැන්වල සමහරු කියනවා ඔබතුමා ඔබතුමා සමගි ජන බලවේගය ආණ්ඩුව එක්ක එකතු වෙලා ඇමතිකම් අගමැතිකම් ගන්නවා කියලා, මේක ඇත්තද?" එහෙම ඇසුවේ චන්ද්‍රානි බණ්ඩාරය.
"නායකතුමනි ඇත්තද මේ කතාව. මේකට ඔබතුමා උත්තරයක් දෙන්න" එහෙම කීවේ රවී සමරවීරය.
"මේවා සම්පූර්ණ බොරු. මේ දුර්දාන්ත ආණ්ඩුව එක්ක එකතු වෙන්න අපි කිසි කෙනෙක් කැමති නෑ. එහෙම කිසි තීන්දුවක්වත්, සාකච්ඡාවක්වත් නැහැ.එහෙම සාකච්ඡාවක් කරන්න හිතන්නවත් ඉඩක් නැහැ" සජිත් සත්‍ය තත්ත්වය පැහැදිලි කළේය.
යම්හෙයකින් ආණ්ඩුව සමඟ එක්වීමක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන ඒම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හෙයින් එවැන්නක් නොකළයුතු බවටත් එවැන්නක් සිදුකිරීම සපුරාම තහනම් බවටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කරනු ලැබීය.
"හැබැයි එක දෙයක් විතරක් අපි කියනවා. රටට හිතැති ප්රගතිශීලී කටයුතු පිළිබඳව සහය ලබාදීමේදී පක්ෂයක් ලෙස සාකච්ඡා කරලා තීන්දු ගන්නවා"
සජිත් කීවේය.
විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය සජිත්ට
කෘත්‍යාධිකාරිය ඒ අතරතුර තවත් විශේෂ කරුණකට අවධානය යොමු කළේය.
"එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතුයි." මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර එහෙම කීවේය.
"ඔව් ඒකේ කතා දෙකක් නෑ.පොදු අපේක්ෂකයෝ, වෙන වෙන අපේක්ෂකයෝ ඒවා නැහැ.සමගි ජන බලවේගයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.ඒ වගේම ඒ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත සන්ධානයක් හදනවා"සජිත් කීවේය .
"ඒක ගොඩක් හොඳයි.හැබැයි ඒ සන්ධානයේ නායකයා ඔබතුමා විය යුතුයි." රවී සමරවීර කීවේය.
"අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕන"
රවී සමරවීරගේ යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලය එක හඬින් අනුමත කළහ.
විජේපාලගේ දියණියගේ විවාහයට දේශපාලඥයන් විශාල පිරිසක්
සමගි ජන බලවේගයේ අක්මීමන ආසනයේ ප්‍රධාන සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගිය 11 වැනිදා රාත්‍රී කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පැවැත්වුණි.
විජේපාල හෙට්ටිආච්චිගේ දියණිය දේශාන්ජලී වන අතර ඇය වෛද්‍යවරියකි. ඇයගේ අතගත් මනාලයා වූයේ යෂිතයි. ඔහුද වෛද්‍යවරයෙකි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, වජිර අබේවර්ධන, රමේෂ් පතිරණ ඇතුළු ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ රැසක්ම මෙම මංගල උත්සවය සහභාගී වුහ.
වජිර බුද්ධ රශ්මි වෙසක් කලාපයේ
පසුගිය සතියේ සිකුරාදා දිනට යෙදී තිබුණු වෙසක් උත්සවයත් සමඟ එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන බොහෝ සේ කාර්ය බහුල විය.
මෙදින බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්ය.
කෙසේ වෙතත් දුෂ්කර කාලපරිච්ඡේදයක් නිමා කරමින් වසර හතරකට පසුව වෙසක් උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට මෙවර ජනතාවට අවස්ථාව ලැබී තිබු අතර, ජනතාව විශාල උනන්දුවකින් සහ උද්යෝගයකින් යුතුව ඒ සමඟ එක්ව සිටීම විශේෂත්වයකි.
ඉතා දුර බැහැර ප්‍රදේශවලින් පාවා බුද්ධ රශ්මි වෙසක් කලාපය නැරඹීමට ජනතාව පැමිණ සිටියා. මේ පැමිණ සිටි පිරිසෙන් ඇතැම් අයත් සමඟ කතාබහ කිරීමටද වජිර අමතක කළේ නැහැ.
“කොහේ ඉඳන්ද මේ කට්ටිය ආවේ?”වජිර ඇසුවේය.
“අපි ආවේ සර් නිට්ටඹුවේ ඉඳන්,
කැළණිය පන්සලටත් ගොඩ වෙලා දැන් ආවා මෙහෙට.”පිරිසෙන් කෙනෙක් පැවසුවේය.
“කොහොමද ඉතින් මෙදා පාර වෙසක්?” වජිර නැවතත් ඔවුන්ගෙන් විමසුවේය.
“ඇත්තටම සර් අපේ රට මේ තත්ත්වයෙන් දකින්න ලැබීමත් සතුටක්. මට හොඳට මතකයි පහුගිය අවුරුද්දේ වෙසක් තිබුණු දවස. ඒ ගැන නම් කතා කරලවත් වැඩක් නැහැ. ගෙදර ඉන්න පොඩි ළමයි අරන් පයින්ම ගමවටේ ගිහින් ආවා මිසක වාහනයක නැඟලා ගිහින් වෙසක් බලන්න නම් කිසිම චාන්ස් එකක් තිබුණේ නැහැ.” පිරිසෙන් කෙනෙක් එසේ කියද්දී වජිර සිය හඬ අවදි කළේය.
“යන්න ඉතින් පෙට්‍රල්, ඩීසල් තිබුණේ නැහැනේ,
දැන් ඉතින් ඔන්න ඔයාලට ඒ ප්‍රශ්න නෑ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ ප්‍රශ්න ඔක්කොම විසඳලා තියෙන්නේ. කලින් අවුරුද්දේ ඔයාලා හිටියේ පෙට්‍රල්, ඩීසල්, ගෑස් පෝලිම්වලනේ. දැන් ඉතින් එහෙම නැහැ.