දන්නා ප්‍රේමදාස ගැන නොදන්නා කතා | සිළුමිණ

දන්නා ප්‍රේමදාස ගැන නොදන්නා කතා

කෝට්ටේ නව පාර්ලිමේන්තුවේ සැලසුම ජෙජ්ෆ්රි බාවාගේය. මේ නව පාර්ලිමේන්තුව වැඩ නිමවූ පසු දිනක් එවකට ජනපති ජේ. ආර් ජයවර්ධන, එවකට අගමැති ආර්. ප්‍රේමදාස සහ ජේෆ්රි බාවාගේ අධීක්ෂණයට ලක් විය. නව පාර්ලිමේන්තුවේ වැඩ නිම වුවත් එය විවෘත කිරීම දිනෙන් දින කල් යාම නිසා දිනක් පරණ ගෝල්ෆේස් පාර්ලිමේන්තුවේදී ජේ. ආර්. ඇමතුවේ ප්‍රේමදාසටය. 

“අගමැතිතුමා දැන් මේ ගෝල්ෆේස් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලට ඉඳ ගන්න ඉඩත් මදි. අලුත් පාර්ලිමේන්තුව දැන් උත්සවශ්‍රීයෙන් විවෘත කරන්න ඕන. නැකතක් එහෙම බලන්න ඔය අලුත් පාර්ලිමේන්තුව උත්සවශ්‍රීයෙන් විවෘත කරන්න. අගමැතිතුමා ඉතින් ඔය නැකැත් වැඩවලට දක්ෂයානේ!.

එදිනම හවස ආර්. ප්‍රේමදාසගෙන් ඇමතුමක් ලැබුණේ මරදාන මාලිගාකන්ද පාරේ ශරත් බන්දුසේනටය. චන්ද්‍රසේන කිවුවේ ගාමිණි දිසානායක සමඟ එලොව ගිය නමින් අප ලිපියක් පළ කළ බන්දුසේන “බන්දුසේන මම රෙනෝල්ට් කාර් එකක් එවුවා. විද්‍යෝදය පිරිවෙනට ගිහින් බෙල්ලන ඥානවිමල හාමුදුරුවෝ ඒ වාහනෙන් පරණ පාර්ලිමේන්තුවට වඩම්මන්න.

අගමැති ප්‍රේමදාස හරහා පාර්ලිමේන්තුවට ඥානවිමල හිමියන් වඩම්මන බන්දුසේන එනතුරු බලා සිටියේ උන්වහන්සේට වැඩ හිඳවන්නට සුදු පිරුවටයක් දැමූ අසුනක් ද සූදානම් කිරීමෙන් පසුවය.

ප්‍රේමදාස කළු තීන්තයේ ඔබා දුන් කටු පෑනෙන් තල්පතක් වැනි කරදාසියක අලුත් වේලාවට ගෙවදින ශ්‍රී සුබ මුහුර්තය කාටත් නොපෙනෙන ලෙස ඥානවිමල හිමියන් සටහන් කරන ලදී. වේලාව බලා දැහැනකට සමවැදුණාක් මෙන් සිටි අගමැති ප්‍රේමදාස නැකත ලියූ කටු පෑන අතට ගෙන දෙකට කඩා ඉන්පසු එය ලියුම් කවරයක බහා සීල් තබන ලෙස පාර්ලිමේන්තු සේවකයකුට අණ කරන ලදී.

නැවත ඥානවිමල හිමියන් විද්‍යෝදය පිරිවෙනට වඩම්මන අතර බන්දුසේන නව පාර්ලිමේන්තුවට ගෙවදින නැකත හැදූ හැටි ගැන ඥානවිමල හිමියන්ගෙන් විමසන්නට විය.

“අගමැතිතුමාගෙයි, ආර්යාවගෙයි, බබාල දෙන්නගෙයි කේන්දර එවල තිබුණා. ඒවත් බලල තමයි.

බන්දුසේන නැකත ගැන ඊට වඩා අහන්නට ගියේ නැත.

නව පාර්ලිමේන්තුවට බෝම්බ ගසා මන්ත්‍රී කිර්ති අබේවික්‍රම ඝාතනය කළ මොහොතේ බන්දුසේන වහා බෙල්ලන ඥානවිමල හිමියන්ගෙන් නව පාර්ලිමේන්තුව විවෘත කළ නැකත ගැන නැවත විමසන්නට විය.

“මොනාද බන්දුසේන මහත්තයගේ අගමැතිතුමාගේ දණහිසට නිකං ඩෙටොල් ප්ලාස්ටරයක් දාන තරම් අනතුරක් නේ වුණේ. ජනපති ජේ.ආර්ගේ ඇඳුමේ ලේ ගැවුණා විතරයි. ලලිත්ට අනතුරක් වුණා කියන්නේ ප්‍රේමදාස මේ රට බාරගන්න දිනයක ලලිත් එක්ක නායකත්වය ගැන ලොකු අර්බුදයක් හටගන්නවා කියන එක කියල හිතා ගත්ත නං හොඳා!” 

පොදුජනතා ජනාධිපති,

දුප්පතාගේ හිතවතා ප්‍රේමදාස,

නැති බැරි අය ඇති හැකි අය කළ ප්‍රේමදාස

... ඒත් නැත්නම්

ඉහළ කුලවල අයට එපා නොකියන්න බැට දීපු ප්‍රේමදාස,

ඒත් නැත්නම් මිනීමරු කෙහෙල්වත්තේ ප්‍රේමදාස

මේ මොන අයුරකින් හැඳින්වුවත් මේ සියලු හැඳින්වීම් අවසානයේ නතර වන්නේ මෙරට දෙවැනි විධායක ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස නමැති නාමය හමුවේය.

අසූව දශකයේදී මෙරට ඔටුන්න හිමි කුමාරවරු රජ කළ කුල පරම්පරාගත නායකත්වයට අභියෝග කළ සාමාන්‍ය පන්තියේ නැඟී එන නායකයන් සිවු දෙනකු දැකගත හැකිය. රෝහණ විජේවීර, විජය කුමාරතුංග, වේලුපිල්ලේ ප්‍රභාකරන් හා ආර්. ප්‍රේමදාස මේ සිවු දෙනාය.

රණසිංහ ප්‍රේමදාස වූ කලී නිදහසින් පසු මෙරට බිහි වූ නායකයන් අතරින් සුවිශේෂිම චරිතයක් කිවහොත් වඩාත් නිවැරැදිය. රාජ්‍ය පරිපාලනය නොහොත් පාලනය ප්‍රභූ පෙළැන්තියේ ඒකාධිකාරී ග්‍රහණයකට හසු වී වරප්‍රසාද ලත් පන්තිය රාජ්‍ය පාලනයේ සුක්කානම තම පරම්පරාවේ උරුමයක් ලෙස සැලකූ යුගයක ඊට එරෙහිව සාමාන්‍ය ජනතාව අතරෙන් මතුවී පැමිණ රටේ ඉහළම විධායක ජනාධිපති ධුරයට පත් සාමාන්‍ය පවුලක ප්‍රථමයා ලෙස ඉතිහාසගත වන්නේ ප්‍රේමදාසය.

ප්‍රේමදාස සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයේ වහලකු නොවීය. සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූන් ගිය දේශපාලන මඟේ නොබියව ගමන් ගත් ප්‍රේමදාස ප්‍රභූ පෙළැන්තිය අත වූ බලය තමන් අතට ගෙන සාම්ප්‍රදායික රාජ්‍ය පාලනය කළ ප්‍රභූන්ගේ බලය සමච්චලයට ලක් කළේය.

ප්‍රේමදාස වූ කලී මෙරටේ නායකත්වයට සංසාරේ පතාගෙන ආ පුද්ගලයෙකි. ඔහුට මෙරටේ නායකයා වීමට තිබුණේ අධිෂ්ඨානය පමණි. අගමැති මවකගේ හෝ පියකුගේ පරවේණි උරුමයක්, කුල බලයක් හෝ ධන බලයක් උප්පත්තියෙන් ඔහු සතු නොවීය. ඔහු සියල්ල ලබා ගත්තේ කැපවීමෙනි. එහෙත් ප්‍රේමදාස තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස අපේක්ෂකත්වය ලබා ගැනීම නම් නිර්වචනය කළ යුත්තේ 'බලහත්කාරයෙන් ගසා මංකොල්ල කා ලබාගත් එකක් ලෙසය.'

ජවිපෙ භීෂණය තුරන් කිරීම, ඉන්දියානු සාම හමුදාව ආපසු යැවීම, ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීම සඳහා අරඹන ලද ජනසවිය වැඩසටහන, ශිෂ්‍ය දිවා ආහාර ක්‍රමය, ජාත්‍යන්තර වශයෙන් ද පැසසුම් ලැබූ නිවාස වැඩසටහන, ප්‍රාදේශීය සභා ක්‍රමය, ප්‍රාදේශීය විද්‍යා පීඨ වැඩපිළිවෙළ, කැපකරු මාපිය ක්‍රමය, රටපුරා ඇඟලුම් කම්හල් 200ක් පිහිටුවීම, ව්‍යාපෘති 15,000 වැඩසටහන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 200ක් පිහිටුවීම මෙරට නිදහස ලැබූ දා සිට මේ දක්වා බිහි වූ රාජ්‍ය නායකකාරකාදීන් අතර දිළිඳු ජනතාව කෙරෙහි උපන් සානුකම්පිත හැඟීමකින් කටයුතු කළ ප්‍රායෝගික ජනාධිපතිවරයා වන්නේ රණසිංහ ප්‍රේමදාසය.

රණසිංහ ප්‍රේමදාස නම් දේශපාලනඥයා තුළ අපූරු කලාකරුවෙක්, ලේඛකයෙක් ජීවත් වූයේය. ප්‍රේමදාස විටෙක කවියෙකි, තවත් විටෙක නවකතාකරුවෙකි. අගමැති වූ පසු ඔහු ලියූ නවකතාවලට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ඒවා අන් අය විසින් ලියන ලද ඒවා බවය. ප්‍රේමදාසගේ පොත්වල ප්‍රකාශකයා වූයේ දයාවංශ ජයකොඩිය.

"ප්‍රේමදාස මහත්තයා ලියපු හැම පොතකම අත් පිටපත් මා ගාව තවමත් තියෙනවා. එතුමා දක්ෂ ලේඛකයෙක්. ඒ ප්‍රකාශකයාගේ හඬ ය.

ප්‍රේමදාස සුචරිතයත් දවස පත්තර කොම්පැනියත් අතර තිබුණේ හූවක දුරකි. රිවිරැස කර්තෘ වූයේ මාගේ පියා ගුණදාස ලියනගේය. ප්‍රේමදාස ලේඛකයා ගැන ‘පොත් ලියන අගමැති‘ නමින් ලිපියක් වරක් මගේ පියා පළ කළේ ජාත්‍යන්තර ASIAWEEK සඟරාවේය. ප්‍රේමදාස තම ජීවිත කතාව ලියන්නට තෝරා ගත්තේ මාගේ පියාය. එහෙත් එයට පෙර ප්‍රේමදාස ඝාතනයට ලක් විය. 

ප්‍රේමදාස මහ මඟ මියගියත් ඔහු කිසිදින මරණයට බියවූ පුද්ගලයකු නොවීය. මේ කතාව දයාවංශ ජයකොඩි ඒ ගැන කියූ එකකි. එය හැත්තෑවේ දශකයේ මැද හරිය විය. රටේ නායිකාව වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. අලුත් කඩේ රණසිංහ ප්‍රේමදාස විපක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් විය.

ලේඛකයකු වශයෙන් ප්‍රසිද්ධව සිටි රජයේ සේවකයකු විශ්‍රාම ගිය පසු ප්‍රේමදාස ඔහුට රැකියාවක් ලබා දුන්නේය. දිනක් සවස 3 ට පමණ මේ ලේඛකයා මරදානේ දයාවංශ ජයකොඩිගේ පොත් සාප්පුවට පැමිණියේය. ඔහු ආවේ මදාවි පෙනුමක් තිබුණු තවත් මිනිසකු සමඟය. දෙදෙනාම හොඳට බීමත්ව සිටි බව පෙනෙන්නට තිබුණි. මේ ලේඛකයා දයාවංශගේ සාප්පුවට ගොඩ වූයේ ප්‍රේමදාස ට බැණගෙනය. ප්‍රේමදාස මොකක්දෝ වැඩක් කර දීමට පොරොන්දු වී සිටි නමුත් අන්තිමේදී රැවැට්ටූ බව කියමින් ගුණපාල දිගින් දිගටම බැණ්නේය.

“එයාට වැඩක් දෙනව අපි. මේ මගේ මිත්‍රයා ඔයිට වැඩිය කෙරුම්කාරයන්ටත් වැඩ දීපු මිනිහෙක්" යි කියමින් මේ ලේඛකයා තමා සමඟ පැමිණි මදාවි පෙනුමෙන් යුත් මිනිසා පෙන්වීය.

“ඔව්, අපි දෙනව වැඩක්” යි වෙරිමරගාතේ සිටි මිනිසා ද ගොත ගසමින් කීවේය.

ඔවුන් පොත් සාප්පුවෙන් පිටව ගිය වහාම දයාවංශ කළේ ප්‍රේමදාසට ටැලිෆෝන් කිරීමය. මේ ලේඛකයා බලවත් කෝපයට පත්ව සිටි නිසා ප්‍රවේශම් වන ලෙස ඔහු ප්‍රේමදාසගෙන් උදක්ම ඉල්ලා සිටියේය. එහෙත් ප්‍රේමදාස ආරංචිය අසා සිනාසුණා විනා එය ගණන් ගත් බවක් කතාවෙන් තේරුණේ නැත.

එදා සවස 6 ට පමණ ප්‍රේමදාස මරදානේ සිරිධම්ම මාවතේ පිහිටි දයාවංශගේ නිවෙසට පැමිණියේය. ඔහු පැමිණියේ EN 1952 මොරිස් මයිනර් රථය පදවාගෙනය. මෙම මෝටර් රථය සුරක්ෂිතව තවමත් ඇත.

“මිස්ටර් ජයකොඩි, පොඩි ගමනක් තියනවා. එනවද මාත් එක්ක යන්න? මගෙ කාරෙක මෙහේ තිබුණාවේ. මිස්ටර් ජයකොඩිගෙ කාරකෙන් යමු” යි ප්‍රේමදාස කීය.

යන්නේ කොහේදැයි එතෙක් වේලා නොදැන සිටි දයාවංශ ජයකොඩිට හීන් දාඩිය දැම්මේය. ප්‍රේමදාස මේ යන්නේ ඔහු මරණ බවට තර්ජනය කළ පුද්ගලයා ගේ ගෙදරට නොවේදැයි කල්පනා කළ ඔහුට වරෙක ආපසු හැරී දුවන්නට සිතුණි.

ප්‍රේමදාස උළුවස්සට අත් දෙක තබා උගුර රැල් බුරුල් හැරියේය.

“මොකද? මොකද?” යි. මවිතයෙන් ඇසූ ලේඛකයා පිටිපසට හැරී දොරකඩ දෙස බැලුවේය. ප්‍රේමදාස මහතා හැඳින ගත්තේය. පුටුවෙන් නැගිට ඔහු වෙත ගියේය. දයාවංශ ජයකොඩි ඉබේම ටිකක් පිටිපසට විසි වුණි.

“අනේ බුදු සර්, මේ මහ රෑ මොකද?” යි කියමින් මේ ලේඛකයා ප්‍රේමදාස මහතාට දණ ගසා වැන්දේය.

“මේ කිට්ටුව වැඩකට ආපු ගමන් ඔහේවත් බලල යන්න හිතුණා” යි ප්‍රේමදාස කිසි ගණනකට නැතිව කීවේය.

අතීත ලේඛන පිරිස්සීමේදී පෙනී යන්නේ ආර්. ප්‍රේමදාස නම්වූ නාමය මෙරට පුවත්පත් අතරට එක්වන්නේ 1950 දශකයේ මුල භාගයේදී බවය. රණසිංහ ප්‍රේමදාසගේ ඡායාරූපයක් මුලින්ම පළ කොට ඇත්තේ සිළුමිණ කර්තෘ ධුරයට පත් ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ විසිනි. 1977 දී ප්‍රේමදාස අගමැති වූ විගස අරලිය ගහ මැදුරට කැඳ වූ ප්‍රභූන් අතර ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ ද විය.

“සර් තමයි මගේ පින්තූරයක් පත්තරේක දැම්මේ යැයි කියූ අගමැති ප්‍රේමදාස ලක්ෂ ගාණක චෙක්පත් තිළිණයක් ලෙස හික්කඩුව ශ්‍රී ලාල්ට දුන්නත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

ප්‍රේමදාසගේ ලිපියක් මුලින්ම පළ වී ඇත්තේ 1950 මැයි 1 වැනිදා සිළුමිණේය. එම ලිපිය සඳහන් කොට ඇත්තේ මෙසේය.

ආගම වනාහි විශ්වාසයට පමණක් සීමා කළ යුතු මතිමතාන්තරයක් නොවේ. ඒ වූකලී, ස්ව චරිත නිර්මාණය පිණිසත්, තමන්ට මෙන්ම පරහට වැඩදායක වනු පිණිසත්, අනුගමනය කළ යුතු උදාර ප්‍රතිපත්ති සමුදායකි.

ආගම ඇදහීම, බාහිර පෙනුමට පමණක් සීමාවූ රැවටිල්ලක් බවට පත් කළවුන් අතර ලංකාවේ ඇතැම් බෞද්ධයන් චෝදනා ලැබිය යුත්තෝ නොවේද? 

මේ ලිපිය පළ වන විට ප්‍රේමදාස නාගරික මන්ත්‍රීවරයකුවත් නොවේ. දෛවෝපගත සිදුවීම වන්නේ මෙම ලිපිය පළ වී වසර 43 කින් මැයි 1 වැනි දාවකම ප්‍රේමදාස පරලොව යන්නේ ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් වීමය.

සිළුමිණට වසර 60 ක් පිරුණු 1990 දී මෙරට ජනපති වූයේ රණසිංහ ප්‍රේමදාසය. සිළුමිණ සංවත්සර කලාපයට හේ සුබ පැතුවේ මෙසේය.

මා සිළුමිණ පාඨකයකු වූයේ බහ තෝරන වියේදීය. පියසේන නිශ්ශංක මහතාගේ කර්තෘත්වයෙන් 1930 දී ඇරැඹි "සිළුමිණ අධ්‍යාපනික සංග්‍රහයක් විය. එය දේශානුරාගී හැඟීම් ඔප් නංවන්නා වූත්, සදාචාරාත්මක ශික්ෂණයකට මඟ පාදන්නා වූත් ගුරු ගෙදරක් විය. “සිළුමිණ” සති අන්ත සරසවියක් වූ හෙයින් ම එහි පිටපත් වෙළුම් බැඳ තබා ගන්නට එදා මවුපියෝ පුරුදුව සිටියහ.

1988 දී ජනපති බවට පත්වූ ප්‍රේමදාස දෙසැම්බර් 31එජාප 34 වැනි සමුළුව ඇමතීය. එය වාර්තා කළේ ප්‍රේමදාගේ සුවච කීකරු ගෝලයකු ලෙස සිළුමිණ කර්තෘ ධුරයට පත් කළ කවුඩානේ පියදාස පෙරේරාය.

“පෙබරවාරි මාසයේ පැවැත්වෙන මහා මැතිවරණ තරගයට මා ඉදිරිපත් කරන්නට යන්නේ දක්ෂ ක්‍රීඩකයන් පමණයි. දුර්වල ක්‍රීඩකයන් පත් කරන්නට මා සූදානම් නැහැ. එහෙම පත් නොකළාට මගෙන් හේතු අසන්නට එන්න එපා. දරු පවුල් පිටින් මා ළඟට විත් කඳුළු සලන්නට එපා. මා, මේ “ටීම්” එකේ “කැප්ටන්” හැටියට පත් වුණේ එක් කෙනකුගේ දෙන්නකුගේ කඳුළු පිස දමන්නට නොවෙයි. මේ රටේ පොදු මහජනතාවගේ දුක්බර කඳුළු පිස දමන්නට යැයි අභිනව ජනපති ප්‍රේමදාස එදා පවසා ඇත.

මේ රටේ හිටපු රාජ්‍ය නායකයන් ගැන සොයන විට ඔවුන්ගේ ශිෂ්‍ය කාලයේ පාසල් මිතුරන් හමුවන්නේ නිතැතිනි. එහෙත් ප්‍රේමදාස චරිතයේ සුවිශේෂිත්වයක් වන්නේ ඔහුගේ පන්ති මිතුරන් කිසිවකු නොසිටීමය. ප්‍රේමදාස චරිතය සඳහන් වන්නේ ඔහු උගත්තේ සෙන්ට් ජෝසස් විද්‍යාලයේ බවය. මේ ගැන අපූරු කතාවක් ඇත. ඒමන් කියන්නේ සිළුමිණ හිටපු ඩී.එෆ් කාරියකරවනගේ මල්ලීය. ඒමන් ජේ. ආර්ගේ සමීපම මිතුරකු විය. ඒමන් රේඩියෝ සිලෝන් එකේ සභාපති විය. ඒමන්ට අයිති ව්‍යාපාරයක් මරදාන සංඝරාජ පාරේ පුංචි 'වරුණ මීඩියා' නමිනි. එතැනට එන අයට ඒමන් උජාරුවෙන් කිවුවේ මේ ස්ථානය අගමැතිවරයකු බිහි කළ භූමියක් බවය. ඒමන් ඒ නොකියා කිවුවේ ප්‍රේමදාස උගත් ලොරන්ස් රෑ ඉස්කෝලය පිහිටියේ එතැන බවය. මේ කතාව කනින් කොනින් ගොස් අන්තිමට අහේතුකව ඒමන් වැඩ තහනමට ලක් විය.

ප්‍රේමදාසගේ අම්මාගේ ගම මීමනය, තාත්තා බලපිටියේය. එම ගම් දෙකේ හදපු ගම් දෙකට නම් තැබුවේ මගේ පියාය. ඒවා මව්ගම හා පියගම විය.

කොටින්ම කිවුවොත් සිළුමිණ කර්තෘ මීමනත් ප්‍රේමදාසගේ අම්මාත් එකම ගමේය. මීමන සෞන්දර්යවාදියකු විය. කැලෑවට - සතාට - සිව්පාවට මීමන දැක්වූයේ ආදරයකි. මීමන තම ෆොක්ස්වගන් කාරෙකෙන් වන වදින්නට යන විට ඊට එකතු වූ ප්‍රධාන පුද්ගලයා ප්‍රේමදාසය. ප්‍රේමදාස දැඩි ලෙස කැලයට ආදරය කළ පුද්ගලයෙකි. මීමන සිළුමිණ කර්තෘ වූ යුගයේ ප්‍රේමදාස ලේඛකයකු ලෙස බාහිරව ලිපි සැපයීම ලිපිය පළ වූ දිනම ප්‍රේමදාස මීමන හමුවී තම ලිපියට අදාළ ලේඛක ගෙවීම් ගැන විමසයි.

“මොකද ප්‍රේමදාස... තාම පත්තරේ එකවුන්ට්ස් (Accounts) එකට යවන්නත් ඔනේ අද ඉරිදා නේ පොඩ්ඩක් ඉවසනවා.”

ලංකාවේ එක් ජනාධිපතිවරයකුට එරෙහිව මුද්‍රණය කළ වැඩිම විකල්ප පුවත්පත් ගණනක් මුද්‍රණය කළේ ප්‍රේමදාස යුගයේදීය. එය පත්තර 20 කට වඩා වැඩි විය. සුනිල් මාධවගේ කර්තෘත්වයෙන් පළ වූ 'ලක්දිව' ප්‍රේමදාස ආණ්ඩුවට දිගට හරහට පහර දුන්නේය. ප්‍රේමදාස යුගයේ රිචඩ් ද සොයිසා මිය පරලොව ගියත් සුනිල් මාධවට ප්‍රේමදාසගෙන් කිසිදු අපල උපද්‍රවයක් සිදු වූයේ නැත.

මීමනගේ පුතා ගහපු 'ලක්දිව' මුද්‍රණයට පෙර ජනපති මැදුරට ගෙන්වා ගෙන ජනපති ප්‍රේමදාස බැලූ බවට එකල දැඩි කසුකුසුවක් විය. 

ප්‍රේමදාස ප්‍රචාරයට දැක්වූයේ දැඩි ලොල්බවකි. ප්‍රේමදාස ජනපති යුගයේ හැමTV එකකම, රේඩියෝවකම පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්ති වූයේ ජනපති ආගිය තැන් ගැනය. එවකට රූපවාහිනියේ සභාපති වූ එච්. ජේ. පෙරේරා අවසානයේ මීට එරෙහි විය. ඔහු ජනපති ප්‍රේමදාසට කිවුවේ ජනපති ගැන ප්‍රවෘත්ති තුනකට වඩා ප්‍රවෘත්ති විකාශනයට ඇතුළත් කළ නොහැකි බවය. අන්තිමට එම්. ජේ.ගේ අස්වීම රූපවාහිනියෙන් එදාම හවස 6.00ට රූපවාහිනී ප්‍රවෘත්තිවල විකාශය විය. රූපවාහිනියට වහාම ඇමතුමක් ගත් එම්.ජේ. මෙසේ කිවුවේය. ප්‍රේමදාස ජනපති මං අස්වෙච්ච එක ප්‍රවෘත්තිවලට දැම්මට අද රෑ දොළහ වෙනකම් මමයි සභාපති. වහාම මං ගැන නිවුස් එක ගලවන්න කියාය.

පත්තර කලාව ප්‍රේමදාසගේ ඇඟේ පත්තියන් වී තිබුණි. සුචරිතය ආරම්භ කළ යුගයේ ඔහු 'සුචරිත' නමින් සඟරාවක් සංස්කරණය කොට ඇති අතර අගමැති වූ පසු ජනාධිපති ධුරයට යන්නට තම මතවාදය ගෙන යන්නට 'පෙරමඟ' සඟරාව ආරම්භ කළේය. එහි කර්තෘ වූයේ ඇන්ටන් අල්විස්ය. ප්‍රේමදාසට එරෙහිව විකල්ප පත්තර වටකර පහර දෙද්දී ප්‍රේමදාස ඒවා හැඳින්වූයේ පත්තර ගෝණි පඩංගු ලෙසය. ඔහු තමන්ට පහර දෙන විකල්ප පත්තරවලට එරෙහිව තම ගෝල බාලයන් ලවා 'වේගය' නමින් ටැබ්ලොයිඩ් විකල්ප පත්තරයක් පටන් ගෙන විකල්ප පත්තරකාරයන් කීතු කීතුවලට ඉරා දැම්මේය.

ප්‍රේමදාසගේ ජීවිතයට සම්බන්ධ සමීපතම චිත්‍ර ශිල්පියා වූයේ දවස පුවත්පතේ ජයසිරි සේමගේය. ගම් උදාවේ සියලු තොරන් ඇතුළු සියලු කලා වැඩ බාර වූයේ සේමගේටය. ප්‍රේමදාස කුඩා කාලයේ රික්ෂෝවක ඉන්න ඡායාරූපයක් ඇත. එහි ප්‍රේමදාසගේ පියා වූ රිචඩ් රණසිංහ ද සිටී. එහි රණසිංහ රාලහාමිට එකල සිටි ප්‍රභූවරුන් මෙන් රවුම් පනාවක් කොණ්ඩයට ඇන්දේ ජයසිරි සේමගේ බවට ඇත්තේ ප්‍රබල චෝදනාවකි. ඒ කාලයේ වරක් අපේ නිවෙසට සේමගේ මාමා ආවිට ඔහුගෙන් මගේ පියා මේ ගැන ඇසූ විට ඔහු කළේ උස් හඬින් සිනාසීම පමණි.

ජී.බී. සේනානායක වැනි මහා ලේඛකයන් රාජ්‍ය ගෞරව සහිතව අවසන් ගමන් ගියේ ප්‍රේමදාස ජනපති නිසාය. ප්‍රේමදාස ඝාතනය වූ අවස්ථාවේ ඔහුගෙන්ම නිවාස ගත් ඇතැම් අය කිරිබත් උයා කමින් රතිඤ්ඤා පත්තු කරමින් මෙරට රාජ්‍ය නායකයකු මියගිය විට රතිඤ්ඤා පත්තු කරන ගුණමකු සම්ප්‍රදායක් ජාතක කරන ලදී. බුද්ධිමත් ඇමතිවරයකු වූ ප්‍රේමදාස ජනපති වූ විට කළ බොහෝ දේ නොගැළපෙන තත්ත්වයක් පෙන්නුම් කළේ ඔහු බලයෙන් උමතු වීම නිසා විය යුතුය. ප්‍රේමදාස දියණිය දුලාංජලී ඔහුගේ මරණයෙන් පසු ප්‍රකාශ කළේ 'අපේ තාත්තා අගමැති වශයෙන්ම හිටියා නම් හොඳයි' කියාය. අසාමාන්‍ය සංවිධාන ශක්තියකින් යුතු වූ රණසිංහ ප්‍රේමදාසගේ අවමංගල උත්සවය කිසිදු සැලස්මක් නැති අක්‍රමවත් එකක් විය.

ලිපියේ අවසානයට චින්තන ජයසේන ප්‍රේමදාසගේ අක්‍රමවත් අවමංගල උත්සවය ගැන ලියූ සටහනක් එක් කරමි. “ප්‍රේමදාසගේ අවමංගල්‍යය සංවිධාන කිරීමට ප්‍රේමදාසට හැර වෙන කිසිවකුට නොහැකි විය”. 

Comments