
* ලංකාවේ දිනකට පුද්ගලයන් හත් දෙනෙකුට අත්පා අහිමිවෙයි
* කෘත්‍රිම කකුල් දහසකට ආසන්න ප්‍රමාණයක් පරිත්‍යාග ලෙස
ජීවිතය වූ කලී මහා පුදුමාකාර දෙයකි. විටෙක එය අපට සතුට රැගෙන පැමිණෙයි. තවත් විටෙක දුක් සුසුම් උරුම කරයි. මේ අතර නොසිතූ මොහොතක දී සිදුවන හදිසි අනතුරු ද ජීවිතයට පැමිණෙන්නේ අනවසරයෙනි. එවන් විපතකට මුහුණ දී අත් පා පමණක් නොව ශරීර අවයව ද අහිමි වූවෙකුට ඒ දුක දරා ගැනීම අසීරුය. ඊටත් වඩා සංවේදී කාරණය වන්නේ තම ආබාධිත තත්ත්වය හේතුවෙන් එදිනෙදා කටයුතු ඉටුකර ගැනීමට නොහැකිව විවිධ අපහසුතාවනට මුහුණ පෑමට සිදුවීමයි. මිනිසාට පමණක් නොව මිහිපිට සිටින සියලු සත්ත්වයනට පින් පව් මත මෙබඳු අවස්ථාවනට මුහුණ පෑමට සිදුවිය හැකිය.
දෑත්, දෙපා අහිමි වූ වනට ජීවිතය දෙමින්, අහිමි අත් පා වෙනුවට කෘත්රීමව සකසන ලද අත් පා ලබා දෙන අපූර්වතම ආයතනයක් ලෙස ‘ආවාස්’ හි ක්‍රියාවට නැංවෙන සහෝදරත්වයේ පියසටහන් පදනම හඳුන්වා දිය හැකිය. කළුතර නාගොඩ බෝඹුවලට නුදුරින් පිහිටි කර්මාන්තපුරයේ ‘ආවාස්’ ආයතනය ස්ථාපනය කොට ඇත්තේ මිහිපිට සිටින ආබාධිත මනුසතුනට පමණක් නොව ඇලි ඇතුන්, අශ්වයිනට මෙන් ම බල්ලා හරකා ඇතුළු සතා සිවුපා වුනට ද පිහිට වීමේ උතුම් පුණ්‍ය කර්මය පෙරදැරි කොටගෙනය.
‘සහෝදරත්වයේ පියසටහන්’ පදනම ක්‍රියාත්මක වන ‘ආවාස්’ ආයතනයට පසුගිය දිනක පියනැඟූ අප දුටුවේ සංවේදනා මතින් ගොඩනැඟුණු අනාගතයට නොබියව ශක්තිමත්ව මුහුණදීමට සූදානමින් සිනාමුසු මුවින් සිටින පුද්ගලයන් සමූහයකි. ඔවුහු සියලු දෙනාම අනාගතයට නොබියව මුහුණ දීමට සූදානම් වෙති.
‘ආවාස්’ ආයතනයේ සභාපති, එහි නිර්මාතෘ අරුණ සමරවික්‍රම මහතා ‘සෙනෙහසේ පියටසහන්’ පදනමේ ඇරැඹුම මගින් සිදු කෙරෙන පුණ්‍ය කර්ම පිළිබඳ අප සමඟ අදහස් දැක්වීය.
“මම නව නිපැයුම්කරුවෙක් ලෙස ලංකාවේ සිටින ආබාධිත පුද්ගලයනට අවශ්‍ය අත්, කකුල් නිපදවා දෙනවා. මුදල් ඇති අය ඒවා මුදල්වලට ලබා ගන්නවා. මුදල් නොමැති අයට පරිත්‍යාගශීලියෙකු ගේ මුදලින් එය ලබා දෙන්නට අප කටයුතු කරනවා. මෙම ආයතනය නිර්මාණය වූයේ, ආබාධිතයන් සුවපත් කිරීමේ උතුම් අරමුණ ඇතිවයි. මම ආයතනය ආරම්භ කර රටේ විවිධ පළාත්වල සිටින ආබාධිතයන්ට අත්, කකුල් හදමින් උදව් උපකාර කරන විට මෙය දුටු බොහෝ දානපතියන්, පරිත්‍යාගශීලීන්, පුණ්‍ය ආයතන මේ කාර්යයට උදව් උපකාර කළා. එම ආධාරත් උපයෝගී කර ගනිමින් ‘සහෝදරත්වයේ පියසටහන්’ පදනම ආරම්භ කළා. ආබාධිතයන් උදෙසා කකුල් අත්පා නිර්මාණයකර ඔවුනට අලුත් ජීවිතයක් ලබා දෙන්න කටයුතු ආරම්භ කළේ එලෙසයි.
දවසකට ලංකාවේ පුද්ගලයින් හත් දෙනෙකුට කකුල් අත් අහිමිවෙන බව සමීක්ෂණ මඟින් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන් ම දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් වගේ ම හදිසි අනතුරු, මඟින් උපතින් ම, කකුල්, අත් අහිමි වෙනවා. ඒ අතුරින් තුන් දෙනෙකුට පමණ මුදල් වැය කොට අත්, පා යොදා ගන්න පුළුවන්කම තිබුණත් අනෙක් හතර දෙනාට එලෙස සිදු කරගන්නට පෞද්ගලිකව වත්කම් නැති බව මෙම සමීක්ෂණ ඔස්සේ සොයාගෙන තිබෙනවා. ඒ හතර දෙනාට උපකාර කිරීමට තමයි පදනම පිහිට වෙන්නේ. මේ ආකාරයට වසරකට අත්පා අහිමි වන අය දෙදහසක් පමණ වෙනවා.”
මේ වන විට ‘සෙනෙහසේ පා සටහන්’ පදනම ඔස්සේ කෘත්‍රිම කකුල් දහසකට ආසන්න ප්‍රමාණයක් ආබිධිත වූවන් ගේ හෙට දිනය ආලෝකවත් කරනු වස් පරිත්‍යාග කර තිබේ.
“මෙතනට ලංකාවේ හැමතැනින් ම වගේ කෘත්‍රිම අත් පා ලබා ගන්නට ආබාධිත අය පැමිණෙනවා. ඒ අයගේ ආබාධයේ ස්වභාවය බලා, ඔවුන් ගේ උසට, බරට, ඔවුන් සිදුකරන රැකියාව, ජීවත් වන පරිසරයට යෝග්‍ය වන ලෙස තමයි මෙම අත, පය අපි නිර්මාණය කරන්නේ. මෙම ආයතනයේ ම ඒ සඳහා ඔවුනට නේවාසික පහසුකම් අපි සපයා තිබෙනවා. පසුව සති, මාස ගණන් ඔවුන් මෙහි තබාගෙන එම අත්, පා යොදා ඔවුනට ඇවිදීමට, අවශ්‍ය රැකියාවේ නියැළීමට අපි පුහුණු කරනවා. ඉන්පසු ඔවුනට තමාගේ දෛනික කටයුතුවල අභිමානෙයන් යුතුව සාමාන්‍ය කෙනෙකුටත් වඩා හොඳින් නියුක්ත වෙන්න පුළුවන්කම ලැබෙනවා.
කකුල යොදලා අදාළ පුද්ගලයාගේ ආගමානුකූලව ඔහුට සෙත් පිරිත් කියලා තමයි නිවෙසට ගෙන යන්නේ. ඇත්තෙන් ම, අද සමාජයේ බොහෝ දෙනෙක් තමන්ගේ උපන්දින සාද, මවුපියන්වෙනුවෙන් කරන පින්දහම් සඳහා යොදවන මිල මුදල් කකුල් අතපය අහිමි අය වෙනුවෙන් කකුල්, අත් පා සකසා දීමට යොදවනවා. එය වටිනා පුණ්‍ය කර්මයක්. කකුලක් ලබා දෙන දිනයේදී එයට මුදල් පරිත්‍යාග කළ ඒ පරිත්යාගශීලියාවත් කැඳවලා ඔහු අතින් මේවා ප්රදානය කරනවා. ඒ වෙනුවෙන් 2009 වසරේ සිට ‘උත්තම පූජා’ වැඩසටහන අපි ආරම්භ කළා. එමඟින් හැම වසරකම පාද පනහ බැගින් ආබාධිත වූවන් වෙනුවෙන් අපි ප්රදානය කළා.”
මේ ඔස්සේ සතුන්ටත් අත් පා නිර්මාණය කෙරෙනවා නේද? මම විමසුවෙමි.
“ඔව්. සතුන්ට අත් පා හදන්නේ කිසිදු අය කිරීමකින් තොරවයි. මං මේ වනවිට පිපිරීම් නිසා අනතුරට ලක්වූ ඇතුන් තිදෙනෙකුට කෘත්‍රීම පාද නිර්මාණය කර තිබෙනවා. හරකුන්ට, අශ්වයන්ට, බල්ලන්ට කෘත්‍රිම පාද යොදා තිබෙනවා. අදටත් ඒ සතුන් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා.”
අරුණ පවසන අන්දමට මෙම කෘත්‍රිම අත් පා නිර්මාණය කිරීමෙන් ඔහු ලබන්නේ අපමණ සතුටකි. ආබාධිත වන්නන් උදෙසා කෘත්‍රිම කකුල් නොමිලේ ලබාදීම ඔහුගේ අනාගත බලාපොරොත්තුවයි.
මේ වසරේ යෙදෙන 2563 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කෘත්‍රීම පාද 563ක් ප්රදානය කිරීම ද ඒ අතර වේ.
“මෙතෙන්ට හුඟක් වේලාවට එන්නේ, අසරණ ආබාධිතයන්. ඔවුනට නොමිලේ නේවාසික පහසුකම් අපි ලබා දුන්නත් කෑම බීම ඔවුන් සපයාගත යුතු වෙනවා. එනිසා කවුරුන් හෝ මොවුනට දානය වේලක් පිරිනමනවා නම් එය මහත් පුණ්‍ය කර්මයක්.” අරුණ පැවැසුවේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා පිරිස පෙන්වමිනි.
ආවාස් ආයතනය පුරා ඇවිද යන අපිට පාද ලබා ගැනීමට පැමිණි කිහිප දෙනෙකු මුණ ගැසිණි. චාමර මයිකල් මාවනැල්ල අරණායක ප්‍රදේශයේ තරුණයෙකි. ඔහු පැමිණ සිටියේ කෘත්‍රිම කකුලක් ලබා ගැනීමේ අරමුණෙනි.
“මම පෞද්ගලික ආයතනයක සේවය කළේ. 2015 වසරේදී හරියටම අප්‍රේල් පළමුවැනිදා නිවාඩු ලබාගෙන නෑදෑ ගෙදරක යන්න කොළඹින් මොනරාගල බස් රථයකට ගොඩවුණා. රත්නපුර නව නගරයේදී බස් එක අනතුරකට ලක්වුණා. මම ඉඳ සිටියේ රියදුරු අසුන ළඟමයි. ඒ අනතුරින් මගේ කකුල ඉවත් කරන්න සිදුවුණා. ඒ අනතුර නිසා මම නොසෑහෙන්න දුක් වින්දා. කිහිප වතාවක් ම ශල්‍යකර්මවලට ලක් වුණා. මේ අතර මට ‘ආවාස්’ ආයතනය ගැන දැනගන්නට ලැබුණා. මෙතැනින් ඇතුළට එන විට මට ලොකු සතුටක් දැනුණා. මගේ උසට බරට සරිලන විදිහට මිනුම් අරගෙන තමයි කකුල නිර්මාණය කළේ. ඉන්පසු එම කකුල යොදාගෙන ඇවිදින්නට වැඩ කරන්නට මට ලොකු පුහුණුවක් ලබා දුන්නා. මා ගත කළ සුපුරුදු ජීවිතයට ම මාව අනුගත කළා. ඉස්සර හිටියටත් වඩා හොඳට මම මගේ වැඩ කටයුතු සියල්ල කරගෙන යනවා. ඊට වඩා වැඩි දේවලුත් කරනවා. (ඔහු සිනාසෙයි.) දැන් මෝටර් බයිසිකලය පැදගෙන ඕනම තැනක මට යන්න පුළුවන්.
එදා අනතුර සිදුවූ මොහොතේ මගේ ජීවිතේ හැමදේම මට එපා වුණා. මානසික මට්ටම පවා වැටුණා. කියාගන්න බැරිතරම් අසරණ වුණා. ඒත් මේ කකුල දාලා වැඩකටයුතු වලට හුරුවන විට කකුලක් නැති බවත් දැන්නම් දැනෙන්නෙවත් නැහැ. මේ ආයතනය ගැන තිබෙන්නේ ලොකු ආදරයක්. අපි වගේ ආබාධිත වෙලා කඩාවැටුණු හීන යළි ගොඩ නගන්න අත්වාරුව සපයන එක ගැන හුඟක් සතුටක් දැනෙනවා. අන්ත දුප්පත් අයට මෙතනින් උපකාර කරනවා.” චාමර පවසන්නේය. .
රේණුකා දමයන්ති පනස් දෙහැවිරිදිය. ඇය රත්නපුරේ සිට පැමිණියෙකි.
“මට මීට පෙර කෘත්‍රීම කකුලක් දාලා තිබුණේ. කකුලේ ගෙඩියක් ඇවිත් එම කෘත්‍රීම පාදය ඉවත් කරන්න සිදු වුණා. පස්සේ රෝහල් ප්‍රතිකාර ලබත්දී මේ ආයතනය ගැන දැනගන්නට ලැබුණා. ඔවුන් මට කකුලක් පරිත්‍යාග කරන්න පොරොන්දු වුණා. ඒ සඳහා මට ෆෝම් එකක් පුරවන්න දී, ග්‍රාමසේවා සහතිකය හා මාගේ ඡායාරූපයත් ඉල්ලුවා. මේ දිනවල ඉන්නේ මගේ අලුත් කකුල ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. මට මේදේ දෙන්නට දායක වුණු අය ගැන මා දන්නේ නැහැ. නමුත් අපි වගේ ආබාධිත වූවනට මේ ආකාරයට නොමිලේ කකුලක් ලබා දෙන්නට කටයුතු කිරීම ගැන හැමදෙනාටම මම පින් දෙනවා.” දෑසේ නැඟි කඳුළු පිසදමමින් ඇය පවසන්නීය.
එරන්ද චානක 29 හැවිරිදිය. ඔහු යුද හමුදා සොල්දාදුවෙකි. යුද්ධය නිසා අහිමි වූ දකුණු කකුල වෙනුවට ඔහු කෘත්‍රීම කකුලක් බලාපොරොත්තුව මෙහි පැමිණ සිටියි.
“යුද්දෙ ඉවර වෙන්න හරියටම දවස් තුනයි තිබුණේ. 2009 නන්දිකඩාල් කලපුව ළඟ මරඋගුලකට මගේ දකුණු කකුල අසු වුණා. දණහිසට පහළින් කකුල කපා දැමුවා. හමුදා රෝහලෙන් වගේම රාගම රණවිරු සෙවණේ සිට ප්‍රතිකාර ලැබුවා. ශල්‍යකර්ම 35ට ලක්කළා. මෙහෙන් මට කෘත්‍රීම පාදයක් ලැබුණා. එය හරිම පහසුයි. එහි ඇඟිලි පවා නැමෙනවා. දෛනික කටයුතු සිදු කරන්න පුළුවන්. දැන් මට ත්‍රිවීල් එක , බයික් එක පැද යන්න පුළුවන්.” ඔහු පවසන්නේ සිනාමුසු මුහුණෙනි.
අලි ප්‍රහාරයක් හේතුවෙන් ද කකුල අහිමි වූවෙකු මේ අතර වෙයි. ඔහු වනජීවී නිලධාරීවරයෙකි. නමින් චමල් දුෂ්යාන්තයි. ඊට අමතරව කේ.බී. අමරසිංහ, පසිඳු දිලංක, ලහිරු චතුරංග, අමිල ප්‍රභාත් ද කෘත්‍රීම පාද බලාපොරොත්තුව මෙහි නේවාසිකව ප්‍රතිකාරවල යෙදෙති.
ජීවිතයට කුමන ආකාරයේ බාධක කම්කටොලු බාධා පැමිණය ද ඒ සියල්ල ජයගෙන රටට සමාජයට බරක් නොවී දෙපයින් නැගී සිටින්නට වෙර දරන දිරියවන්ත මිනිසුනට මේ ආයතනයෙන් ලබා දෙන්නේ සැබෑ දිරියකි. අත්වැලකි.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න