හිතේ පිරුණු ළෙන්ගතුකම පාට කරන මිනිස්සු | සිළුමිණ

හිතේ පිරුණු ළෙන්ගතුකම පාට කරන මිනිස්සු

අඳුරින් පිරී නුවර අහසට එළියක් එක් කරමින් හෙණ හඬ පැතිර ගියේ හිස් අහසේ නෙක රූ රටා මවමිනි. වැස්ස, අඳුර සහ ශිත විසින් නිර්මාණය කරමින් පැවැති උදාසීනත්වය බොහෝ දෙනෙකු හදවත් තුළට රිංගන්නට උත්සහ කරමින් සිටියේය. උඩවත්ත කැලයත් හන්තාන කඳු පියසත් සිපගනිමින් හමා එන සුළඟේ කාවැදී ඇති ශිත නොදැනුණු පිරිසක්ද ඒ අතර වූහ. නොකඩවා වේගයෙන් ඇද වැටෙන වැහි ගෙඩිවලට ඔවුන්ගේ හිතේ හයිය උදුරාගැනීම නම් සිහිනයක් පමණක් විය. ජාති,ආගම් බේදයෙන් තොරව ඔවුන් මෙලෙස පෙළ ගැසී සිටියේ නුවර හැඩ කරන්නටය. මුහුණු පොතේ මිතුරන් අතර සංසරණය වූ කෙටි වැකියකින් එම පිරිසගේ හමුව සිදු වී තිබිණි. මොවුන්ගේ අරමුණ වී තිබුණේ කලකට පෙර දේශපාලනඥයන්ගේත් පෞද්ගලික ගුරුවරුන්ගේත් ව්‍යාපාරික ආයතනවලත් පෝස්ටර්වලින් වැසීගත් නුවර තාප්ප නෙක නෙක වර්ණයන් ගෙන් චිත්‍රණය කිරීමය.

ඊට නුවර තරුණ තරුණියන්ගෙන්ද ලැබී තිබුණේ නොමඳ සහයෝගයකි. චිත්‍ර ඇඳීම පමණක් සිතන්නට ඔවුනට නිදහස ලබා දෙමින් තීන්ත ඇතුළු අමුද්‍රව්‍යයද ආහාරපානද සපයන්නට ඔවුන් කටයුතු කර තිබිණි. ඉන් නොනැවතුණ ඔවුහූ වැස්සෙන් එම පිරිසගේ කාර්යට සිදු වන බාධාව වැළැක්වීමට කටයුතු කර තිබුණු අන්දමද අපූරුය. වැස්ස නිසා මතු වන පීඩාවෙන් ඔවුන් මුදාලන්නට මහනුවර තරුණයන් ටෙන්ට් රෙදි ගෙන පැමිණ සිටියේ මේ තරුණ තරුණියන්ට ශක්තියක් වන්නටය.

නුවර චිත්‍ර අඳිමුද...මේ මුහුණු පොතේ මුලින්ම සංසරණය වූ වැකියයි. ඊට ඉහළින්ම ප්‍රතිචාර ලැබෙද්දී ඊළඟට මුහුණු පොතට එක් වුණේ විද්‍යාර්ථ ප්‍රාථමික ළඟදී හමුවෙමුද යන යෝජනාවයි. ඒ කාර්ය සඳහා පෙරමුණ ගත්තේ මහනුවර ඩි.එස් සේනානයක විදුහලේ ආදි සිසුවෙකු වන උදාර චතුරකයි.

“ලංකාවේ විවිධ ප්‍රදේශවල තරුණ කණ්ඩායම් මුහුණු පොත ඔස්සේ සංවිධානය වෙලා පොදු ස්ථානවල චිත්‍ර ඇන්දා. මට හිතුණා සුන්දර මහනුවරත් මේක ක්‍රියාත්මක කළොත් නුවර තවත් ලස්සන වෙයි කියලා. නුවර චිත්‍ර අඳිමුද කියලා ෆේස් බුක් එකේ දැම්මට පස්සේ ගොඩක් අය කමෙන්ට් කළා. දැන් මේ වැඩේට හත්සීයකට වඩා වැඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා. විද්‍යාර්ථ, ධර්මරාජ, ශාන්ත අන්තෝනි බාලිකා විදුහල් පරිශ්‍රවල මෙන්ම නිත්තවෙල බිම්ගෙය, මහනුවර ඔරලෝසු කණුව අබියස උමං මාර්ගය මේ වන විට චිත්‍ර අඳින්න තෝරාගෙන තිබෙනවා. මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය ගරු කරමින් තමයි මේ සිතුවම් නිර්මාණය කරන්නේ.

අද මුහුණු පොත භාවිත වෙන්නේ ගොඩක් වේලාවට සමාජ විරෝධී දේවල් වලට කියන මතය තමයි සමාජයේ තිබෙන්නේ. ඒකේ වරදක් නැහැ. මොකද ඒක සත්‍යයක් බව තහවුරු කරන්න ඕනෑ තරම් සිදු වීම් පසුගිය කාලයේ දක්නට ලැබුණා. අපි මේ වැඩපිළිවෙළත් එක්ක ඒ මතය වෙනස් කළා. අපිට මේ වගේ හොඳ දේකට මුහුණු පොත ඔස්සේ එකතු වීමට පුළුවන්. මේ වැඩේට තරුණ පිරිස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ. ඔවුන් තමන්ගේ ශ්‍රමය හා කුසලතාව රට වෙනුවෙන් ලබාදෙන්නේ මුදල් හෝ වෙනත් වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවෙයි. රට ලස්සන වෙනකොට ලස්සන මහනුවර තවත් ලස්සන කරන්න විතරයි අපිට ඕනෑ. මහනුවර සුදර්මාරාමය, ගලේවෙල, මැණික්හින්න පුරාණ විහාරස්ථාන වලස්වාමින්වහන්සේලාගේ උපදේශකත්වය වගේම මහනුවර උඩවෙල විද්‍යාලයේ චිත්‍රකර්ම උපදේශක මලලසේකර මහතාගේ දායකත්වයද මෙයට ලැබී තිබෙනවා.“උදාර පවසයි.

චිත්‍රවලින් හිස් තාප්ප හැඩ කරන්නට එක් වී සිටින කණ්ඩායමේ සිත් බිත්තියෙන් මතු වන චිත්‍රවලටත් වඩා සුන්දරය. ඒ සිත්වල ජාති, ආගම්, කුල බේද කිසිවක් නැත. මහ සංඝරත්නය සමඟ එක්ව චිත්‍ර අඳින්නට මුස්ලිම් කාන්තාවකද එක්ව සිටින්නීය. අපි හැමෝම ලාංකිකයෝ. මේ අපි හැමෝගෙම රට. ඒක ලස්සන කරන්න සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකතු වෙන්න ඕනෑ. පාරවල්වල බිත්ති විතරක් ලස්සන වෙලා රටක් ගොඩ නඟන්න බැහැ. ඒකට අපේ හිත් ලස්සන වෙන්න ඕනෑ. හිත් ලස්සන මිනිස්සු ටිකක් මෙතැනට එකතු වෙලා ඉන්නවා. මේ හිත්වල උපදින ආදරය, කරුණාව, දයාව කියන දේවල් වලින් තමයි අපි අපේ රට පාට කරන්න ඕනෑ“. ගලේවෙල ධර්මදූත මධ්‍යස්ථානයේ පත්කොළ ගොල්ලේ පේමානන්ද හිමියෝ පවසති.

මේ වැඩේ පටන් ගත්තේ පසුගිය ඉරිදා. එදා තමයි මේ කණ්ඩායමට ඇවිත් එකතු වුණේ. දේශපාලනයෙන් තොරව අපිට එකතු වෙලා වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. අපේ සිතුවිලි සහ ආකල්ප වෙනස් වෙන්න ඕනෑ. මම වෘත්තියෙන් විහාර කර්මාන්තය සහ චිත්‍ර තමයි කරන්නේ. අපි පරිත්‍යාගශීලින් විදියට සතුටින් තමයි මේ දේ සමාජයට දෙන්නෙ. මේකට මූලික අඩිතාලම දැම්මේ උදාර. උදාර කිව්වා එන්න අපි වැඩේ කරමු. අද අපි ලාංකිකයන් කියන තැනට මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. අද අපිට කතෝලික පල්ලියේ සිස්ටර් කෙනෙක් තේ ගෙනල්ලා දුන්නා. දෙමළ ළමයි විශාල වශයෙන් ඉන්නවා මෙතැන. මුස්ලිම් සහෝදරියක් සිතුවම් අඳිනවා.“

නොයෙක් පාට එක් වී සුන්දර දේදුන්නක් නිර්මණය වන්නා සේ ජාති සහ ආගම් භේද සියල්ල පසෙක තබා එකට එක් වී සිටි එම පිරිස අතරේ වූ අස්මා මරියම් මහත්මිය මහනුවර හීරැස්සගල ජීවත් වන සිව්දරු මවකි. “මගේ ගේ මගේ ගෙවත්ත විතරක් නෙවෙයි මේ මුළු රටම ලස්සනට තියෙන්න ඕනෑ කියලා අපි හිතන්න ඕනෑ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ළමයින්ට ලස්සන ශ්‍රී ලංකාවක් දායාද කරලා දෙන්න“

තාප්ප පුරා ඇදෙන චිත්‍ර බොහොමයක දක්නට ලැබෙන්නේ බෞද්ධ ආරකි. ඉස්ලාම් ආගමිකයෙකු වන අස්මා මරියම් මහත්මිය ඒ ගැන පැවසුවේ මෙවන් අදහසකි. “මම ඉපදුණේ බෞද්ධ රටක. හැදුණේ වැඩුණේ බෞද්ධ සමාජයක. මම ජීවත් වෙන්නේ ඒ අය එක්කයි. අනිවාර්යෙන්ම මගේ ගමන යන්න ඕනෑ මේ අය එක්කමයි. මට ළමයි හතර දෙනෙක් ඉන්නවා. ඒ අයත් ගෙදර තියලා තමයි මම මේ ගමන ආවේ. මහත්තයා රට. එයාට මේවා ගැන ප්‍රශ්නයක් නැහැ. මම හැදුණෙම බෞද්ධ සමාජයත් එක්ක. බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබුවේ. මම ඉගෙන ගත්තේ ඉස්ලාම් නෙවෙයි බුද්ධාගමයි. මේක අපි හැමෝම ජීවත් වන රට.“

සමාජ මාධ්‍යය ඔස්සේ මේ එක්වූ පිරිස රට තල්ලු කරමින් සිටින්නේ අපූරු තැනකටය. ජාතික සහ ආගමික සංහිඳියාව පිළිබඳ සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීමට රුපියල් කෝටි ගණන් වැය කරද්දී මේ තරුණ පිරිස එය කළ හැක්කේ මුදල්වලින් නොව හදවත් වලින් මෙලෙස එක්ව කටයුතු කිරීමෙන් බව තහවුරු කර තිබේ.

ඡායාරූප - රුවන් ද සිල්වා 
එස්. ජී. විජේරත්න 
(කටුගස්තොට සමූහ)

අසේල කුරුළුවංශ - එස්. ජී. විජේරත්න


පාට සිතුවම් පසුපස ‘නිර්මාණ අඳුරක්’

මහනුවර පමණක් නොව රටේ බොහෝ ප්‍රදේශවල අස්සක් මුල්ලක් නෑර තිබෙන මේ ආකාරයට සිතුවම් කරණය සඳහා යෞවනයන් එක්වීම අගය කළ යුත්තකි.

මේ ලැබුණු ඉඩත් එක්ක තමන්ට අනන්‍ය තමන්ගේ ශෛලියකින් සිතුවම් අඳින්න බොහෝ දෙනා පෙලඹි සිටිති. ඔවුන්ගේ නිර්මාණ අදාළ ප්‍රදේශය නියෝජනය වන ආකාරයට හා ස්ථානයට උචිත ආකාරයට නිර්මාණය කර තිබීම ඉතා අනර්ඝයි. නමුත් වෙනත් චිත්‍ර ශිල්පීන්ගේ සිතුම් කොපි කර ඇඳීමට සහ ඒවා තමන්ගේ ස්ව්‍යං නිර්මාණ ලෙස දක්වමින් විවිධ මාධ්‍යවල මත ප්‍රකාශ කිරීමට යෑම ඉතාම නුසුදුසු ක්‍රියාවක්. මේ ගැන ප්‍රබලව හඬ නැඟූ නිර්මාණකරුවා වුණේ ප්‍රසන්න වීරක්කොඩියි.

“ඇත්තටම මේක හොඳ වැඩක්. මං දැක්කා ඉතා හොඳ නිර්මාණශීලී අය මේ අතර ඉන්නවා. ඔවුන් තමන්ට අනන්‍යවූ ශෛලියකින් ඉතා හොඳ ප්‍රකාශන ඇඳ තිබුණා. සමහරු මගෙන් අහලා අවසර අරන් මගේ නිර්මාණ මේ කාර්ය සඳහා යොදාගෙන තිබුණා. නමුත් කියන්න කනගාටුයි ඇතැමුන් එහෙම කළේ නැහැ. ඒ පිළිබඳ මං ඔවුන්ගෙන් ප්‍රශ්න කළාම බොහොම තර්ජනාත්මක ස්වරූපයකින් තමයි ඊට පිළිතුරු දුන්නේ. මං ඇඳපු සිතුවම් බොහෝම කාලයක් ශ්‍රමයක් කැප කරලා අධ්‍යනය කරල ඇඳපු චිත්‍ර. ඒ දේවල් විකෘති කරලා ඇන්ඳාම මට වේදනාවක් තියෙනවා. මං මේක මතු කළාම ඔවුන් ප්‍රොජෙක්ටර් එකක් ආධාරයෙන් මගේ සිතුවම බිත්තියට අරගෙන ඒ උඩ අඳින ආකාරය ඡායාරූපගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණා. ඇත්තටම මේක නිර්මාණයක් නෙමෙයි කොපි කිරීමක්. කොපි කිරීමක් නිර්මාණයක් වෙන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි; ඔවුන් එය තමන්ගේ ස්වයං නිර්මාණ විදියටයි මාධ්‍ය හමුවලදී හඳුන්වා දුන්නේ.

එයින් ඔවුන් කිසියම් පටු විදියේ ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වන බව පේනවා. ඒ නිසා මං වත්මන් රජයෙන් ඉල්ලන්නේ මේ පිළිබඳ කිසියම් නියාමනයක් කරන්න කියලයි. නැති නම් සැබෑ මැණික් වෙනුවට තිරිවාන ගල් මැණික් වෙලා මතු වේවි. ඒක ඒ කලාකරුවට වගේම රටේ අනාගතයටත් හොඳ පුර්වාදර්ශයක් වෙන්නේ නැහැ. ...”

රට පුරා ස්කූටර්වලින් ගමන් කරමින් සිතුවම් අඳින හරි අපූරු සිතුවම් ශිල්පීන් පිරිසක් මට හමු වුණා. ඒ අය හඳුන්වන්නේ ‘අලියා ආර්ට් විත් ස්කූටර්’ කියලා. ඔවුන් වෙනුවෙන් කතාවට එකතු වුණේ ඔවුන්ගේ කණ්ඩායමේ නායකයා සමන්. “ ඇත්තටම අපි ස්කූටර් යාළුවෝ සෙට් එකක්. අපි මේ කාර්ය සඳහා යොමු වුණේ ඉතාම ආසාවෙන්. නමුත් කාගෙවත් දේවල් කොපි නොකර අපට අවේණික විවිධ ශෛලීන් යොදාගෙන සිතුවම් අඳින්න අපි පරිස්සම් වුණා. අපි මුලින්ම ඇන්දේ පන්සල් තාප්පයක. එතැනදි ඒ ස්ථානයට උචිත නිර්මාණයක් කරන්න අපි පරිස්සම් වුණා. ඒ විදියට තමයි නුවර පෙරහර අඳින්න අපි යොමු වුණේ.

මේ ඩිසිප්ලීන් එක හැමෝම තුළම තියෙන්න ඕනෑ. අපට හිතුණ හිතුණ දේ අඳිනවාට වඩා අපි අඳින්නේ කොතැනද? අඳින දේ ඒ ප්‍රදේශයට ස්ථානයට කොතරම් ගැළපෙනවද? කියන කාරණාවට අපි මුල් තැනක් දෙනවා. මේ වෙද්දි රට හැම තැනින්ම අපට ආරාධනා ගලා එනවා. විශේෂයෙන්ම දේශපාලඥයන්ගෙන්. නමුත් අපි ඒවා ප්‍රතික්ෂේප කළා. මොකද ඒ අය ආරාධනා කරන්නේ තමන්ගේ පටු අරමුණු මුදුන්පත් කරගන්න. අපට ඒ අයගේ ඉත්තන් වෙලා කලාව පාවාදෙන්න බැහැ. අප මේ දේ කරන්නේ හොඳ අධ්‍යනයකින් හා නිදහස් මනසකින්.

නුවර ප්‍රධාන ස්ථානයක චිත්‍ර අඳින්න‘අලියා ආර්ට් විත් ස්කූටර්’ කණ්ඩායමට ආරාධනාවක් ලැබිල තියෙනවා. එය අප කිසියම් තීම් එකකට කරන්නයි හිතාගෙන ඉන්නේ. මං අපේ රටේ ඉන්න ආර්ටිස්ට්ලාගෙන් විවෘත ඉල්ලීමක් කරනවා. මේක රට ලස්සන කරන වැඩක්. යෞවනයන් එකතු වෙලා කරන මේ සත්ක්‍රියාවට සහාය දෙන්න.”

රසික කොටුදුරගේ

Comments