මේ රටේ සිද්ධ වෙන ඇක්සිඩන්ට්වලින් කොයිතරම් නම් මිනිස්සු මැරෙනවද... ආබාධිත වෙනවද... ඒක නම් ඉතාම නරක තත්ත්වයක් ආන්ටි. පාරවල් වගේම මිනිස්සුත් අලුත් වෙන්න ඕන, විනයගරුක වෙන්න ඕන. යුද්දෙන් සිද්ධ වුණාට වඩා වැඩි ජීවිත හානියක් ඇක්සිඩන්ට්වලින් වෙනව නම් රටක... ඒක හරිම කනගාටුදායකයි.”
පෞද්ගලික රෝහලක් බැවින් කාල වේලාව පිළිබඳ ගැටලුවක් නොතිබිණි. අමාලි මහත් කඩිමුඩියෙන් රෝහලට ඇතුළු වූවාය. හැරී බැලූ ඇය රමේෂ් ප්‍රමාද වන්නේ මන්දැයි දෑසින් ප්‍රශ්න කළාය.
“ඔයාගෙ තාත්ත ඇවිල්ල වගේ නේද අමාලි..? අර ඔයාලගේ කා-එක නේද..?”
මෝටර් රිය හඳුනාගත් ඇය හිස සැලුවාය. තියුණු දෑසින් එදෙස බලා හුන් ඔහු යමක් විමසුවේය. එහෙත් නැන්දණිය දැකගන්න නොයිවසිලිමත්වූ යුවතියට එය නොඇසිණි.
අමාලි දුටු සැණින් සුනන්දා මැසිවිලි නඟන්න වූවාය.
“අපරාදෙනෙ අමා මාව මෙහාට එක්ක ආවෙ. මම කොයිතරම් කිවුවද අයියට ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යං කියලා. කෝ ඇහුවෙ නෑ නේ...”
අතිශයින් පවිත්‍ර රෝහල් කාමරය තුළ ඇය අඳුරුව හා අසෝබනව පසු වූවාය.
“අයියෝ නැන්දෙ... මොනාද මේ කියන්නෙ? ඔයාට කොහොමද කියලා කියන්නකෝ. මොකද වුණේ මේ එක පාරටම...?”
රෝගියාගේ ඇඳ අබියස වූ පුටුව මත හිඳගනිමින් අමාලි ප්‍රශ්න කළේ යම් තරමක සහනයකින් යුතුවය. ඇය සැක කළ විලස සුනන්දාගේ තත්ත්වය බරපතළ නොවෙයි.
“ඒක මේ නිකං පොඩි කලන්තයක්. අයියා ඉස්කෝලෙ ඉඳලා ගෙදර ආවා විතරයි...”
අමාලි කල්පනාකාරි මුහුණින් “කෝ තාත්තා?” යි අසුවාය.
“මට අමාරුවක් නෑ කියලා කිව්වට අහන්නෙ නෑ නේ. ඔන්න ඩොක්ටර් එක්ක කතා කරන්නද කොහෙද ගියා...”
අමාලි ඇගේ හිස අතගාන්න වූයේ සසලව ගිය සිතිනි.
“මං හරියට බය වුණා නැන්දෙ... අනේ ඉක්මනට සනීප වෙන්න...” යි අමාලි ඉල්ලා සිටියේ බැගෑබර හඬිනි.
“මට ඇති අමාරුවක් නෑ බං. මට දැං සනීපයි...”
“හරි හරි. ඔහොම කේන්ති ගන්න එපා... ලෙඩෙක් වුණාම ඔයිට වඩා අහිංසක විදියට ඉන්න ඕන නේද...?”
අමාලිගේ සෙනෙහෙබර තරවටුව කාමරයට පිවිසි රමේෂ්ට හා සිරිමාන්නටද ඇසිණි.
“ලෙඩ්ඩු විතරක් නෙමෙයි, ගෑනු දරුවොත් අහිංසකකමට ඉන්න ඕන. ඕනවට වඩා හිතුවක්කාර වෙන-එක වීරකමක් කියලානෙ සමහරු හිතාගෙන ඉන්නෙ...”
සිය පියාගේ ඇනුම්පදය නිහඬව විඳ-දරාගත් යුවතිය නැඟී සිටියාය.
“මේ අමාලිගෙ කලබලේ හින්දා ඔන්න මම ලෙඩ්ඩු බලන්න ආවෙ හිස් අතින්” යි රමේෂ් සමාව අයදින හඬින් පැවසුවේය.
“මට එහෙමට ඇති ලෙඩක් නෑ පුතා. මේ අපේ අයියා බොරුවට බය වෙලානෙ...”
සිරිමාන්නගේ හා රමේෂ්ගේ බැල්ම එකට ගෑවිණි. ක්ෂණිකව හුවමාරු කරගත් ඒ බැල්මෙහි අරුත කුමක්දැයි අමාලි කුහුල් සිතින් කල්පනා කළාය.
“කෝකටත් හොඳයිනෙ ටික දවසක් මෙහෙ ඉන්න එක”
සිරිමාන්න සුපුරුදු රළු රසල හඬ ඉවත දමා ආරෝපණය කරගත් සෞම්‍ය විලාසය ඒ ආරෝහ පරිණාහ දේහයට නොගැළපුණේය.
“මොනවා!?”
සුනන්දා අඩක් විස්මයෙන් හා අඩක් කෝපයෙන් කෑගෑවාය.
“ටික දවසක් තියා මං තව එක දවසක්වත් මෙතන ඉන්නෙ නෑ. නිකං බොරුවට බිල් ගෙවන්න... මහ ලොකු ලෙඩක් නං තව කමක් නෑ...”
ඇගේ විරෝධය කොතරම්ද යත්: ඇය උඩුකය කෙළින් කළාය.
“අයියෝ පොඩි නැන්දේ... මොකද මේ..?”
අමාලි ඇය වෙත නැඹුරු වූවාය.
“දෝණියැන්දටත් බැරියැ නැන්දත් එක්ක ඉන්න. මම යන්න ඕන” කී සිරිමාන්න නිහඬව නමුදු දයාන්විත බැල්මෙන් පසු වන තරුණයා දෙස හැරුණේය.
“ඉස්කෝලෙ ළමයින්ට වගේම මට ගෙදර අයටත් වේවැල පාවිච්චි කරන්න වෙයි වගේ. නේද පුතා..?”
“වේවැලෙන් කිසි දෙයක් කරන්න බෑ අංකල්. ඒක යල් පැන ගිය දඬුවම් ක්‍රමයක් විතරයි. අපට පුළුවන් වෙන්න ඕන වේවැල පාවිච්චි නොකර ඉන්න. ඒක තමා අපේ ජයග්‍රහණය...”
විදුහල්පතිවරයාට මේ නවීන තරුණයා සමඟ කිසිසේත් එකඟ විය නොහැකිය. එහෙත් වාද කරන්න නොසිතූ ඔහු පිටව ගියේය.
“පුතා තව ටික වෙලාවක් ඉඳලා එන්න. පුළුවන් නම් ඔයා ඔය අලුත් අදහස්වලින්වත් අපේ මෝඩ මුරණ්ඩු කෙල්ලව වෙනස් කරගන්න...”
හැරී බැලුවේ නම් ඔහුට අමාලිගේ නොරොක් බැල්ම දැකගන්න තිබිණ. ඇය අමනාපයට පත්දැරියක මෙන් මුහුණ එල්ලාගෙන සිටියාය.
“මේක හරි වැඩක් නෙ! තාත්තා හිතාගෙන ඉන්නෙ පොඩි නැන්දා අසනීප වුණේ මං හින්දා කියලයි.”
“එයා හිතන දේවල් ඔයා කොහොමද දන්නෙ?”
රමේෂ් මඳ මුදු සිනාවක් සමඟ ඇසුවේය.
“දන්නෙද? දන්නෙ මං එයාගෙ එකම දුව නිසා.”
අමනාපයෙන් පසු වූ සුනන්දා පවා සිනා ගන්වන්න ඒ කියුම සමත් විය.
“ඔයා හින්දා මං ලෙඩ වෙන්නෙ කොහොමද? මොකද, ආයෙ ඔයා විසබීජයක්ද...?” ඇය ඇසුවේ දියණිය කෙරෙහි කරුණාවෙනි.
“නෑ ඉතිං... හැමදේටම හැමෝටම පේන්නේ මගේ මෝඩකම. මගේ මුරණ්ඩුකම නෙ.”
රමේෂ් ජනේලයෙන් පහත බැලුවේය. දෙවන මහලේ බැවින් ඔහුට රෝහල් පරිශ්‍රයෙන් පිටව යන මෝටර් රිය පැහැදිලිව දැකිය හැකිය. එය සිරිමාන්නගේ රථය බව ඔහු හඳුනාගත්තේය.
“කා-එකේ පොඩි ඩැමේජ්-එකක් තියෙනවා නේද අමාලි..? මොකක් හරි ඇක්සිඩන්ට්-එකක් වුණාද?”
කිසි සේත් අපේක්ෂා නොකළ ඒ ප්‍රශ්නයෙන් සුනන්දා තිගැස්සුණාය. අමාලි දෙතොල තරයේ වසාගත්තේ ඒ පිළිබඳ වචනයක් හෝ පිට නොකරන්න ගිවිස ගත්තාක් මෙනි.
“සමාවෙන්න ඕන මම ඇහුවෙ අනවශ්‍ය ප්‍රශ්නයක් නම්.”
නැන්දණියගේද දියණියගේද මුහුණු දුටු රමේෂ් වහා සමාව අයැදියේය.
“අනවශ්‍ය ප්‍රශ්නයක් නං නෙමේ පුතා, ඇත්තටම අයියගෙ කා-එක ඇක්සිඩන්ට් වුණා... චම්පා අක්කට තමා හුඟක් අමාරු වුණේ...”
පළමුව සුසුම් ලෑ සුනන්දා දෙවනුව සාංකාකූල හඬින් කතා කළාය.
“ඒකටත් වැරදිකාරි මම.. මං තමා වද දුන්නෙ ෆිල්ම්-එකක් බලන්න යමු කියලා...”
අමාලිගේ ස්වරූපය වඩාත් දුක්බර විය.
“ෆිල්ම්-එකක් බලන්න යන-එක වැරැද්දක් නෙමේ අමාලි.”
ඇගේ පෙනුමෙන් කනස්සල්ලට පත් තරුණයා “හැම වැරැද්දක්ම තමුන් පිට පටවාගන්න හදන්න එපා...” යි අවවාද කළේය.
“නෑ, මං තමා වැරැද්ද කළේ. එදා අම්මා යන්න බෑ කීවා... මම රණ්ඩු කළා.”
ඇගේ ඇස නැඟි කඳුළින් ඔහු චංචල විය.
“අපි දැන් ඔය කතාව නවත්තමු අමාලි...”
“අම්මට මාසයක් විතර ඉස්පිරිතාලෙ ඉන්න වුණා. ලේත් දුන්නා... අනේ මගේ අහිංසක අම්මා මොන තරම් දුක් වින්දද...”
ඒ හදිසි අනතුර පිළිබඳ කතා කරන්න ප්‍රිය නොකළ අමාලි දිගින් දිගටම එහිම එල්ලී සිටින කල සුනන්දා කෝපයට පත් වූවාය.
“හරි හරි... කොහොම හරි ඉතිං තුන්දෙනාම බේරුණා නේ... ඒ මදැයි... හැමෝගෙම වාසනාව.”
“ඔව් ඉතිං මේ රටේ සිද්ධ වෙන ඇක්සිඩන්ට්වලින් කොයිතරම් නම් මිනිස්සු මැරෙනවද... ආබාධිත වෙනවද... ඒක නම් ඉතාම නරක තත්ත්වයක් ආන්ටි. පාරවල් වගේම මිනිස්සුත් අලුත් වෙන්න ඕන, විනයගරුක වෙන්න ඕන. යුද්දෙන් සිද්ධ වුණාට වඩා වැඩි ජීවිත හානියක් ඇක්සිඩන්ට්වලින් වෙනව නම් රටක... ඒක හරිම කනගාටුදායකයි.”
නොරටක අවම අනතුරු හා අතිශයින් විනයගරුක රියැදුරන්ද දැක පුරුදු ඔහුට සිය මවුබිමෙහි දිනෙන් දින වැඩි වන හදිසි අනතුරු ඉවසිය නොහැකි තරම්ය. ඔහුගේ දුරකතනය නාද විය.
“මමී කතා කරනවා...” යි ඔහු දුරකතන ඇමතුම කාගෙන්දැයි කියා සිටියේය.
“අම්මෝ... එහෙනම් ඉක්මනට යන්න. දන්නව නේ මමීට කේන්ති ආවොත් ඊට වඩා ඇක්සිඩන්ට්-එකක් තවත් නෑ කියලා...”
අමාලි සුපුරුදු කෙළිලොල් සරින් කී කල ඔහු අස්වැසුණේය.
“අනේ පරිස්සමින් යන්න පුතා...”
සුනන්දා මහත් වුවමනාවෙන් ඉල්ලා සිටියාය.
“මං අක්කත් එක්ක එන්නම් වෙලාවක.”
ඔහු අමාලි දෙස බලමින් කීවේය.
“එපා...” යි ඇය එක එල්ලේ කී කල සුනන්දාගේ මුවග සියුම් සිනාවක් මතු විය.
“ඇයි?”
ඔහු දඟකාර බැල්මක් හෙළුවේය.
“නෑ ඉතිං මොකටද කරදර වෙන්නෙ..? අනිත්-එක මේ රටේ පාරවල්වල යන්න-එන්නත් අමාරුයි නෙ... කිසිම විනයක් නැති ඩ්‍රැයිවර්ස්ලානෙ මෙහෙ ඉන්නෙ...”
ඔහු පිටව ගියේ උස් හඬින් හිනැහෙමිනි.
ඇය සුනන්දාට තුරුලු වූයේ මුහුණ එල්ලාගෙන නොව, මේ දැන් පැන නැඟි සිනාව සඟවාගන්න යත්න දරමිනි.
ලබන සතියට...