නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

තමාගේ දුර නෑයකු මඟුල් ඇරියුමක් කරන්න පැමිණීමට අපේ ගෙදරට එන පාර ඇසූ බව මා ගෙදර ආ හැටියේම බිරිය කීවාය.

මම ආර්ථික තත්ත්වය ගැන කල්පනා කරන්නට වීමි.

“උදේක ආවොත් හොඳයි. දවල්ට කෑම කන්ඩ දීල යවන්න පුළුවං. හවස ආවොත් තමයි වැඩේ. රෑට ඉඳුං-හිටුං ලෑස්ති කරන්නත් වෙයි...” බිරිය කනස්සල්ල පළ කළාය.

බිරියගෙන් ඇමතුම දුන් නෑයාගේ දුර ඇමතුම් අංකය ඉල්ලාගත් මම ඔහු ඇමතීමි.

“මාමෙ, ඔයා වෙඩින්නෙකක් කියන්න එන්න අපේ ගෙදරට එන පාර අහල තිබුණ. මං මේ වැඩ ඇරිල ආ හැටියෙමයි කතා කරන්නෙ...”

“ආ... ඔව් පුතේ. දුව පාර කිව්ව. අපි අද-හෙටම එනව...”

“මාමෙ, ඇවිල්ල කිව්වත් මෙහෙම කිව්වත් වෙනසක් නෑ. ඇවිත් කරදර වෙන්න එපා. ඔයාලට වැඩත් තියෙනවනෙ. ඒ හින්ද ආරාධනා කෙරුව කියල හිතාගන්නකො. අපි දෙන්නයි, දරුවො දෙන්නයි එනව. මට දවසයි වෙලාවයි කියන්ඩකො...”

“එහෙම හොඳද?”

“අපිට නං ගැටලුවක් නෑ.”

“ඔයාලට ගැටලුවක් නෙමේ නං අපිටත් ගැටලුවත් නෑ පුතේ.”

මම ප්‍රශ්නය ගොඩිං විසඳා අදාළ දිනය කාටත් පෙනෙන පරිදි කැලැන්ඩරයේ සටහන් කළෙමි.

“එහෙම කරගත්තුඑක හොඳා. නැත්තං අපි දෙගොල්ලටම කරදරේ...” බිරිය ඉස්පාසුව පළ කළාය.

ඊළඟට විසදාගත යුතු වූයේ නිවාඩු ප්‍රශ්නයය. මම ලොක්කාට නහයෙං අඬා ඒ අවසරයද ගතිමි.

ඉන් පසු විසඳාගත යුතු වූයේ ඒ සා දුරක් යන්නේ කෙසේද යන ගැටලුවය. අප වෙසෙන්නේ අගනුවරට මෙපිට කිලෝ මීටර් තිස් ගණනක දුරිනි. මඟුල් ගෙදර ඇත්තේ අගනුවරට එපිට කිලෝ මීටර් විසි ගණනක දුරිනි. ඒ සා දුරක් යෑමට කුලී රියකට ලොකු වියදමක් දැරීමට සිදුවේ. දරුවන්ට ඇඳුම්ද ගත යුතු වූ බැවින් එය දැරිය නොහැකි තත්ත්වයකි.

කළ යුත්තේ කුමක්දැයි දහඅතේ කල්පනා කරන විට එක්තරා මිතුරකු මගේ සිහියට ආවේය. ඔහු වැඩ කරන්නේ අගනුවරින් එපිට නගරයකය. ඔහු යන්නේ එන්නේ කාරයෙනි. මම ඔහුට කාරණේ කීවෙමි.

“කුලී වාහනවලට වියදම් කරන්නෙ මොකටද? මාත් එක්ක යන්ඩ පුළුවංනෙ. මගෙ වැඩපොළ ළඟිං බැහැල, පාරෙ බස් එකේ හරි ත්‍රීවීලර් එකක හරි යන්ඩ පුළුවංනෙ” ඔහුගේ යෝජනාව මම සතුටින් බාරගතිමි.

මඟුල් දින පාන්දරම ඔහු ආවේය. අපි ඔහුගේ රියේ නැඟුණෙමු. පැය දෙකකින් පමණ ඔහු අප බස්සවා අපට සමු දුන්නේය. එතැන් සිට අපි බස් රියක ගියෙමු. තවත් පැයකට පමණ පසු අපි අදාළ මංසන්ධියෙන් බැසගතිමු. එතැන් සිට ත්‍රිරෝද රියක නැඟුණු අපට වැඩි වේලාවක් ගත වීමට පෙර නියමිත තැනට යාගත හැකි විය.

අතුරු පාරේ පුංචි ගෝට්ටුවෙන් ඇතුළු වූ අපට පෙනුණේ සුන්දරව සරසන ලද ගෙමිදුලකි. ඊට මුහුණ-ලා තිබුණේ එබඳුම සුන්දර ගේ පොඩ්ඩකි. ගෙමිදුලේ පසෙක සේද රෙද්දෙන් හැඩ කරන ලද තාවකාලික මඩුවක් යට ආරාධිත අමුත්තෝ හිඳ සිටියහ. ඔවුන්ගේ හිස්වලට උඩින් වූ ක්‍රේප් පටි සැරසුම් මඳ සුළගේ ලෙළ දෙමින් තිබිණි. බැලුම් පොකුරුද දිස් විණ.

මා බිරියගේ දුර නෑයා හෙවත් මා කිසි දිනෙක දැක නොතිබූ මාමාත්, නැන්දාත් අප උණුසුමින් පිළිගෙන ගෙතුළට කඳවාගෙන ගියහ. අප ගෙතුළ අසුන්ගත් පසු ඔවුහු අපට බොන්නට දොඩම් යුෂ බඳුන් පිළිගැන්වූහ. ඒ මිහිරි පානයෙන් අපේ මහන්සිය සිඳී-ගියේය.

“මනමාලි කෝ නැන්දෙ?” මා බිරිය ඇසුවාය.

“මනමාල ජෝඩුව ඇතුළෙ කාමරේ. එන්ඩ!” ඇය අප එහි කැඳවාගෙන ගියාය. එහි වූ සැටියක යුවළ අසුන්ගෙන සිටියහ. නැන්දා අප ඔවුන්ට හඳුන්වා දුන් හැටියේම ඔවුහු නැඟිට අපට ආචාර කළහ.

“අනිත් නැන්දලව දැකල තිබුණට, මං ඔය නැන්දව දැක්කෙ අද! නැන්දයි, මාමයි, මල්ලියි, නංගියි ආපු එක කොච්චර දෙයක්ද!” කියමින් මනාලයා අප සිපගත්තේය. “මාමෙ...” කියමින් මට දණ නමා වැඳි මනාලිය නැඟිට “නැන්දේ...” යි මා බිරියට වැඳ අනතුරුව අප දරු දෙදෙනාද සිපගෙන හිනැහී “අපිත් ඉක්මනටම ඔයාලගෙ ගෙදර එනව” කීවේ පෙර සිට ළඟ ඇසුරක් පැවතියාක් මෙනි.

කුටියෙහි පසෙක චාම්ව නමුත් සුන්දරව සකසන ලද මඟුල්පෝරුව දිස් විය. අප ඒමට ප්‍රථම පෝරුවේ චාරිත්‍ර නිම වී තිබිණි.

මනාල යුවළ බැහැදැකීමට එමින් සිටි වෙනත් අයට ඉඩ දී අපි සේද මඩුවේ අසුන් ගතිමු.

ටිකකින් මාමාත්, නැන්දාත් අප සොයා ආහ.

“මඟුල් ගේ හරි ලස්සනයි මාමෙ, සද්ද-බද්ද මුකුත් නෑ... හරි නිස්කාන්සුයි” මම කීමි.

“කවුරුත් ඕකම තමයි කියන්නෙ පුතේ... මිනිස්සුන්ට වෙඩින් හෝල්වල හිරවෙච්ච සංස්කෘතිය එපා වෙලා...” මාමා කීවේය.

“මනමාලිත් හරි ෂෝක්. හොඳට හිනා වෙලා කතා කරනව...” මා බිරිය කීවාය.

“අනේ හොඳ කෙල්ල... එයාව අපි දන්නෙ අපි මෙහෙ පදිංචියට ආව දවස්වල ඉඳලමයි. ඒ කාලෙ ඉඳන්ම මේ දෙන්න යාළුයි. එයා එයාගෙ ගෙදරට වැඩිය හිටියෙ අපේ ගෙදර... ඔය හිටිය මඳෑ, දැං යං ගෙදර, කියල අම්ම ඇවිත් අඬගහනකම්ම එයා හිටියෙ අපේ ගෙදර... පුතාලට කියන්න, මේ වෙඩින්නෙකට දෙන්නා කාලෙක හිට සල්ලි එකතු කෙරුව. ගෙවල් දෙකට බරක් දෙන්න දෙන්නාම කැමැති වුණේ නෑ. මේ අවට වෙඩින් හෝල් කොච්චර තියෙනවද? ඒත් ඒ ගොල්ලො කැමැති මේ විදිහට. සද්දෙ දාන සංගීතෙ එපා කිව්ව. යාළුවෙක් ඇවිත් පින්තූර ගත්ත...” කියමින් නැන්දා හදිස්සියේ පිටව ගියාය. ටිකකින් මනාලියගේ අම්මාත්, මනාලයාගේ අම්මා හෙවත් අපේ නැන්දාත් පැමිණ දෙපාර්ශ්වයේ ඥාතීන්ට එකටම කෑමට ඇරියුම් කළහ. එසේ කරන ලද්දේද මනාල ජෝඩුවගේ ඉල්ලීම පරිදිය.

මඟුල් මේසයේ කෑම ජාති මහගොඩක් තිබිණ. මෙපමණ කෑම වර්ග හැදුවේ කෙසේදැයි මම මාමාගෙන් ඇසුවෙමි. “අපිත් හැදුව. නෑයොත් හදාගෙන ආව. ඔය ඇඹුල්තියල් ජාති ගොඩක් හදාගෙන ආවෙ මාතර පැත්තෙ නෑයො. රහයිද?” මාමා හිනැහුණේය. “නියමයි!” මම පැසසීමි.

කෑමෙන් පසු මංගල සභාව රැස් විය. දෙපාර්ශ්වයේ වැඩිහිටියන් දෙදෙනෙකුගේ ලුහුඬු කතා දෙකකින් එය නිමා විය.

මංගල සභාව නිම වීමෙන් පසු ගෙතුළට ගිය මනාලිය යළි පිටතට ආවේ මඟුල් සාරියෙන් මිදී සරල ඇඳුමක් ඇඳගෙනය. “මෙහෙම හොඳා!” ඇය හිනැහුණාය.

“ජෝඩුව හනිමූන් යන්න පිටත් වෙච්ච හැටියේ අපිත් යන්නං. දුර යන්නත් ඕනැනෙ..” මම මාමාට කීමි. මාමා වෙනුවට පිළිතුරු දුන්නේ අලුත් ලේලියය:

“එහෙනං මාමාලට අද යන්න වෙන්නෙ නෑ!”

“ඒ මොකද?” මම ඇසීමි.

“අපි මේ ගෙදර දාල කොහෙවත් යන්නෙ නෑ...”

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල, සිළුමිණ, 
ලේක්හවුස්, 
කොළඹ 10. 

Comments