වෙළෙන්දිය තවත් ඉරිඟු කරලක් ගිනි අඟුරු මධ්‍යයේ ඔබමින් ඒ මේ අතර හැරෙව්වාය. ඉරිඟු කරල පිළිස්සීමද සීරුවෙන් කළ යුතු කාරියක් නොවේදැයි අමාලි සිතුවාය. කිසිවක් විමසන්නට විවර කළ මුවෙහි වචන ගොළුව ගියේය. මේ දැන් නවතන ලද යතුරු පැදියෙන් බට තරුණයා දැකීමෙනි.
කඩමැස්ස මත කොමඩු ගෙඩි කන්දරාව දෙස රමේෂ් බලා සිටියේ මහත් ආශාවෙනි.
පසෙක බඩ ඉරිඟු මුට්ටිය ද ප්‍රණීත සුවඳක් දසත විහිදුවයි. එය පරයා පුළුටු ගඳක් නැගිණ.
රූස්ස මාර ගසේ සෙවන සුවදායකය. සියක් අතු ඉති අතරින් රිංගා එන හිරු කිරණ මවන මකන ආලෝක ලප තොරණක් සදිසිය.
“කොමඩු කනවද? බඩ ඉරිඟු කනවද?” යි අසමින් රමේෂ් හිඳ ගත්තේ ගිනිමැළය සමීපයෙහි කොටය මතය.
බඩ ඉරිඟු කරල් පුළුස්සමින් හුන් තරුණ වෙළෙන්දිය පුළුල් සිනාවක් පෑවාය. ඇගේ සහයට සිටින දැරිය මී මැස්සියක මෙන් කඩිසරය. සියල්ලට වඩා රමේස්ගේ සිත ගත්තේ ඇය ය.
“හායි ස්වීටි.. ඔයා ඇයි අද ඉස්කෝලෙ නොගියේ?”
අමාලිගේ ලෙන්ගතු හඬ ද බැල්ම ද ඇය ලැජ්ජාශීලී සිනාවකින් ඉවසුවාය.
“ළමයි ට්‍රිප් එකක් ගිහිල්ලා... ඒකයි අද මෙයා ඉස්කෝලෙ නොගියේ.”
ඇගේ මව යැයි සිතිය හැකි වෙළෙන්දිය උත්තර දුන්නාය.
“ඇයි ඉතින් මෙයා නොගියෙ ඒ ට්‍රිප් එක...?”
කදිමට පුලුස්සන ලද බඩ ඉරිඟු කරලක රසය විඳිමින් රමේෂ් ඇසුවේය.
මවට හෝ දුවට පෙර අමාලි කතා කළාය.
“ඕක අහන්න ඕන ප්‍රශ්නයක් නෙමේ රමේෂ්...”
“ඇයි?”
ඔහු හැබෑ ම කුහුලින් දෙනෙත හකුලා ගත්තේය.
“ඉස්කෝලෙන් යන ට්‍රිප් එක යන්න බැරි වෙන ළමයි හැම ඉස්කෝලෙකම ඉන්නවා රමේෂ්...”
ඔහු අතුරු ප්‍රශ්න අසන්නට මැළි විය. වචනයක් මුවින් පිට කරන්නට පෙර, එයින් තවකෙකුගේ සිත රිදෙනු ඇත්දැයි ඔහු හැමවිටම කල්පනා කරයි.
“ඉරිඟු කරලක් කොමඩු ගෙඩියක් විකුණලා කීයක් හරි හොයාගන්න කරන යමයුද්දේ අස්සෙ මොන ට්‍රිප් ද නෝනා? ඔව්වට කොහේ තියෙන සල්ලිද...? පෑන පැන්සල පොත ගන්නෙත් බොහොම අමාරුවෙන්..”
වෙළෙන්දිය කළකිරීමෙන් හා කෝපයෙන් පැවසුවාය.
“ඔන්න... ඕක තමා යථාර්ථය රමේෂ් මේ ලස්සන පුංචි රටේ..”
රමේෂ් නිහඬව ඒ කටුක යථාර්ථය විඳ දරාගන්නට තැත් කළේය. දැරියගේ මුහුණ බලන්නට බැරි තරමේ අපහසුතාවයක් ඔහුට දැනිණ. දරුවන්ට නොසලකන දරුවන් ප්‍රීතියෙන් නොතබන රටකට අනාගතයක් හෝ සෞභාග්‍යයක් නැතැයි ඔහුට සිතිණ.
“ඉස්කෝල තිත්ත වෙනවා නෝනේ.. කොච්චරවත් මේ ළමයින්ට සල්ලි ගේන්ඩ කියනවා... අරකට මේකට කිය කියා. බස් එකට කීයක් හරි දෙන්නෙත් කොච්චර අමාරුවෙන්ද.. අච්චු පොත් ටික විතරක් නිකං දීලා මේ දුප්පත් අපේ රීරි මාංසෙ හූරාගෙන කනවා ආණ්ඩුව..”
වෙළෙන්දිය තවත් ඉරිඟු කරලක් ගිනි අඟුරු මධ්‍යයේ ඔබමින් ඒ මේ අතර හැරෙව්වාය. ඉරිඟු කරල පිළිස්සීමද සීරුවෙන් කළ යුතු කාරියක් නොවේදැයි අමාලි සිතුවාය. කිසිවක් විමසන්නට විවර කළ මුවෙහි වචන ගොළුව ගියේය. මේ දැන් නවතන ලද යතුරු පැදියෙන් බට තරුණයා දැකීමෙනි.
“බ්‍රයන්?” යි ඇය අපමණ විස්මයෙන් හඬ ගෑවාය.
“මොකද බං ඔච්චර ෂොක් වෙලා...?” යි ඇසූ බ්‍රයන් සුපුරුදු ලෙන්ගතු හසරැල්ලෙන් මුව සරසා ගත්තේය. ඔහු සමඟ සිටි යුවතිය විළිබර සිනාවක් පෑවාය. රෙම්ෂ් මේ තරුණ යුවළ දෙස බැලුවේ දයාර්ද්‍ර දෑසිනි.
“රමේෂ් මේ බ්‍රයන්. මගේ හොඳම යාළුවා..”
බ්‍රයන් හඬ නඟා හිනැහුණේය.
“හොඳම යාළුවලු... හැබැයි මේ දැක්කේ මාස ගානකට පස්සේ..”
“හරි.. හරි.. දැං ඉතිං මේ ලස්සන ගෑනු ළමයව අඳුන්වලා දෙන්නකො අපිට..”
ඇය ඔහුගේ පෙම්වතිය විය යුතු යැයි රමේෂ් සතුටින් කල්පනා කළේය. කදිමට සැසදෙන පෙම් යුවළක් දැකීමත් භාග්‍යයක් බව ඔහු සිතයි. විශ්වයේ සකල විද සුන්දරත්වය ප්‍රේමයේ ගැබ්ව නැද්ද? ඒ ප්‍රේමනීය හදවත් මේ තුඟු තුර මෙන්ම සිහිලැල්ය. සුවදායකය... විශාලය.
අමාලි වරක් දෙවරක් නොව, කීප වතාවක්ම ඔහු දෙස බැලුවාය. නෙතගින් ඒ බව දුටුවද ඔහු සුපුරුදු සංයමයෙන් වාහනය පදවයි.
“ටිකක් ඉක්මන් කරන්න රමේෂ්...” යි ඇය නොයිවසිල්ලෙන් ඉල්ලා සිටියාය. බැගෑබර බවකට වඩා ස්වරයෙහි ගැබ්ව තිබුණේ නොරිස්සුමකි.
වහා එන්නැයි අණ කළ සිරිමාන්න ඊට හේතුවද යම් ප්‍රමාණයකට විස්තර කළේය.
“නංගිට ටිකක් අමාරුයි...” යි කී ඔහු ගෙදරට නොව රෝහලට පැමිණෙන්නැයි ඉල්ලා සිටියේ රමේෂ්ගෙනි. හිතූමතයේ පිටව ගිය දියණිය සමඟ වැඩිදුර කතා කරන්න ඔහු කැමැත්තක් නොදැක්වීය.
“ඇයි අපි ඉගිල්ලිලා තවත් කරදරයක් කරගන්නද?”
අමාලිගේ නොඉවසිල්ල නොතැකූ රමේෂ් මුව ඇද කළේය.
“එතකොට ඔයා කවදාවත් කිසිම කරදරයකදී කලබල වෙන්නෙ නැද්ද රමේෂ්...?”
ඇය තරමක පුදුමයෙන් ඇසුවාය. පහසුවෙන් නොකැලඹෙන මේ තරුණයා වටහාගැනීම දුෂ්කරය. නිසල ගිරක් මෙන් ඔහු තිරසරය. බ්‍රයන් පවා සිය සෙල්ලක්කාර බව මඳකට යටපත් කොට දක්වන ලද ගෞරවාදරය ඇය සිහි කළාය.
“මරු පොරක්! උඹත් කොයි ලෝකෙං හොයාගන්නවද මන්දා මෙච්චර ඩීසන්ට් පොරවල්!” යි ඔහු කනට කොඳුළ විට ඇය හිනැහුණාය.
“ඇයි, ඉරිසියයිද?”
“නැතුව... පට්ට ඉරිසියයි...”
ඒ දෙබස රමේෂ්ගේ හා බ්‍රයන්ගේ පෙම්වතියගේ කන නොවැකුණු බව ඇයට සහතිකය. ඔවුන් ඉතා උනන්දුවෙන් කතා-බහ කරමින් සිටියේ ගීතය පිළිබඳවය.
ආධුනික ගායිකාවක වන ඇය බ්‍රයන් සමඟ යුග ගීයක් ගායනා කිරීමෙන් ඔහුගේ සිහිනය සැබෑ කරන්න දැක්වූ සහයෝගය රමේෂ්ගේ ඇගයීමට ලක් විය.
“කලබල වුණත්-නූණත් ඒ කරදරය එහෙමමයි නේද අමාලි..?”
තරමක ප්‍රමාදයකින් වුව රමේෂ් කදිම පිළිතුරක් දුන්නේය. මෙවර අවඥාවෙන් මුව ඇද කළේ අමාලිය.
“ඔය රුවන්වැකි සාමාන්‍ය ජීවිතේටවත්, සාමාන්‍ය සංවේදි මිනිස්සුන්ටවත් හරියන්නෑ රමේෂ්...”
“එහෙනං ඉතිං කරදරයක් වුණාම අනවශ්‍ය විදියට කලබල වෙලා සේරම අවුල් කරගන්න එකද හරි..?”
“අපි මිනිස්සුනේ රමේෂ්... තමුන්ගෙ කෙනෙකුට කරදරයක් වුණාම දරාගන්න අමාරුයි... ඒක තමා ඇත්ත...”
අවිනීත රියැදුරකු හට ඉඩ දෙමින් වාහනයේ වේගය තවත් අඩු කළ ඔහු දයාන්විත සිනාවක් මුවග නංවාගත්තේය.
“ඔය පිඹගෙන යන්නෙත් කරදරයක් වුණු කෙනෙක්ද අමාලි? හැබැයි ඉතිං එයාගෙ සංවේදිකම පාර පාවිච්චි කරන හැමෝටම හිරිහැරයක් නේද?”
තවදුරටත් වාද කරන්න ඇයට වුවමනා වුවද ගමනාන්තය එළැඹිණ.
“පොඩි නැන්දට මොකද දන්නෙ නෑ... එහෙම ලොකු අසනීපයක් තිබ්බෙත් නෑ නේ...” කියමින් අමාලි මෝටර් රියෙන් බැස්සාය.
“එහෙම තමා ළමයෝ... ඕනම කෙනෙක් ඕනම වෙලාවකදි අසනීප වෙන්න පුළුවන්.”
ඇය ඔහු දෙස බැලුවේ නොමනාපයෙනි.
“ඔයා මුනිවරයෙක් වෙන්න හදන්න එපා රමේෂ්... කිසිම ගෑනු ළමයෙක් මුනිවරයෙකුට කැමැති නෑ මනුස්සයෙකුට මිසක්.”
ඔහු දෙබැම ඉහළ නංවා ඒ කතාව අගය කළේය.
“ගෑනු ළමයෙක් කැමැති වෙන විදියට ඉන්න ඕන කියලා මම හිතන්නෙ නෑ අමාලි...”
ලබන සතියට...