අපි මහමැතිවරණයත්, ජනපතිවරණයත් දිනනවා! | Page 7 | සිළුමිණ

අපි මහමැතිවරණයත්, ජනපතිවරණයත් දිනනවා!

කොකේන් භාවිත කරන පාර්ලිමේන්තු මැති-ඇමැතිවරුන් සෙවීමට අග්‍රාමාත්‍යවරයා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ සම්බන්ධව විපක්ෂයේ අදහස කුමක්ද?

ඒක ඒ අයගේ මන්ත්‍රීවරයකු ඒ අයටම එරෙහිව ගෙන-ආ චෝදනාවක්. ඒක ඒගොල්ලගේ අය බලාගනීවි. අප දන්නවා අපේ මන්ත්‍රීවරුන් කිසිවකුත් කොකේන්වත්, වෙන දේවල් වත් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒ නිසා අපට කිසිම සේත් අදාළ නැහැ. ඒ අය කමිටුවක් පත් කරලා, ඒ ගැන මොනවා කරගනීද කියලා අප දන්නේ නැහැ. කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නවා නම් ඒ අය පුනරුත්ථාපනය කරනවා මිස, ගහලා මරන්න බැහැ නේ... අනෙක් කාරණාව ළඟ තබාගත්තොත් විතරයි ලංකාවේ නීතිය අනුව අත්අඩංගුවට ගන්න පුළුවන්. පානය කළා කියා අත්අඩංගුවට ගන්න ලංකාවේ නීතියක් නැහැ. පානය කරනවා නම් කරන්න පුළුවන් එකම දේ තමයි පුනරුත්ථාපන කඳවුරකට යවන-එක. වෙන කරන්න දෙයක් නැහැ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින නෛතික ගැටලු විසඳීමට මීළඟ පක්ෂනායක රැස්වීමට නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට නීතිපතිවරයා කැඳවීමට කටයුතු කර තිබෙනවා. පළාත් සභා මැතිවරණය කල් දමන බවට ඔබේ පාර්ශ්වය ආණ්ඩුවට චෝදනා කළත්, මැතිවරණ නිසි ක්‍රමවේදයට පැවැත්වීමට ආණ්ඩු පක්ෂයට අවශ්‍යතාවක් තිබෙනවා නේද?

මේ හැම දෙයින්ම සිදු වන්නේ පළාත් සභා මැතිවරණය කල් යන-එකයි. පැවැත්වීමට නොවෙයි; කල්දැමීමටයි මේ සූදානම. පළාත් සභා මැතිවරණයේදී කොට්ඨාස වෙන් කිරීමේ ක්‍රමයට බොහෝ දෙනකු අකැමැති මොකද කියනවා නම්: සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ වාර්තාවට එවකට හිටපු ඇමැතිවරයාත් විරුද්ධවයි ඡන්දය දුන්නේ. ඒ අනුව මේ ක්‍රමයට නම් ඉදිරියේදීවත් පාර්ලිමේන්තුවේ ප්‍රසාදය හිමි වෙයි කියා මා සිතන්නේ නැහැ. ඒ වගේම පරණ පනත වලංගු කරන්න පාර්ලිමේන්තුවට අලුතින් පනතක් ගේන්න අවශ්‍යයි. මේ දෙකම ඉක්මනින් කෙරෙන්නේ නැහැ. ඒ නිසා තවදුරටත් මෙය කල් යයි කියා තමයි මා සිතන්නේ.

රටේ ආණ්ඩු බලය ලැබුණොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන බවත්, එසේ වුව හොත් සිදු වන්නේ එක් තැනකට බලය කේන්ද්‍රගත වීමක් බව ආණ්ඩුපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසනවා...

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදිව ගත් හොඳ පියවරක් කිසි ලෙසකින් වෙනස් කරන්න කාගේ වත් අදහසක් නැහැ. මෙය අදහස් විකෘති කර දක්වන, සම්පූර්ණ වැරැදි කතාවක්. අප පවසන්නේ කොමිෂන් සභාවලට පත් කිරීමේදී ඒවායේ යම් අඩු-පාඩු තිබෙනවා. අපට කිසිදු ආකාරයකට බලය එක් අතකට කේන්ද්‍ර කරගන්න ඕනෑ නැහැ. ඒ ආයතන ස්වාධීන කරන විට යම් යම් වෙනස් කිරීම් වෙයි. ඒත් අප කිසිදු කොමිෂන් සභාවක් ඉවත් කරනවා කියා පවසා නැහැ. එහි සංයුතිය, ක්‍රමවේද වෙනස් විය යුතුයි කියලායි අප කියන්නේ.

එසේ වුව හොත් ස්වාධීන කොමිෂන් සභාවල, පොලීසියේ සහ අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙයි කියලාත් චෝදනාවක් නැ‍ඟෙනවා...

ස්වාධීනයි කියලා පත් කරන මිනිසුන් ස්වාධීන නැහැ කියලයි රටේ මතය තිබෙන්නේ. නම 'ස්වාධීන කොමිසම' වුණාට කටයුතු ස්වාධීන නැහැ. පත් කරන නිලධාරීන් යම් කිසි ආකාරයකට ආණ්ඩුවට ගැති අයයි. එජාපයට අවශ්‍ය විදිහටයි මේ කොමිෂන් සභා කටයුතු කරන්නේ කියලයි අප පවසන්නේ. එජාපෙ කරන මේ ක්‍රියාවලියෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල පහරක් එල්ල වනවා. අප කියන්නේ ඒ ආයතන සම්පූර්ණයෙන්ම ස්වාධීන විය යුතුයි කියන කාරණාවයි. ව්‍යවස්ථාපිත සභාව පත් කිරීමක් කරනවා නම් ඒ සදහා සියලු පක්ෂවලට අපක්ෂපාතිව තීන්දුවක් ගත හැකි අවස්ථාවක් උදා කරලා දෙන්න ඕනෑ.

ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට නොහැකි වුව හොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර, කඩිනමින් මහා මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තියනවා නේද?

සූදානමක් තිබෙනවා නම් අප ඕනෑම වේලාවක සහාය දෙන්න සූදානම්. ජනාධිපතිවරයා එක් මතයක, අගමැති තවත් මතයක සිටින වෙලාවක මේ වගේ සංකීර්ණ සමාජීය, ආර්ථික ගැටලුවලට මුහුණ දෙන්න අසමත් භාවයක් තිබෙනවා. ඒ නිසා රට විශාල ආර්ථික ආගාධයකට යනවා. ආයෝජන අවස්ථා නැහැ. රටේ කර්මාන්ත බිඳ-වැටිලා. කර්මාන්තකරුවන් අනතුරේ. ඒ වගේ අවස්ථාවක මිනිසුන්ට නව බලාපොරොත්තුවක් ඇති කරලා, පත් වන නව ආණ්ඩුවක් තුළ අලුත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි වඩා උචිත වන්නේ.

ජනාධිපතිවරයා පවසනවා ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වනවා කියලා...

ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් තිබෙනවා මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න. ඔහු එය කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කර ති‍බෙනවා. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට නම් වර්තමාන ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ ක්‍රියාමාර්ග ගන්නේ නැතුව ඒවා කල් දමන තත්ත්වයක් අපට පේනවා. ජනාධිපතිවරයාගේ අරමුණ කොතරම් හොඳ වුණත් ක්‍රියාත්මක කරන ආණ්ඩුව ඒ සඳහා එකඟ නැති නම් රට මේ වැටිලා තියෙන ආගාධයට දිගටම වැටෙනවා කියලයි අප කියන්නේ.

ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා නේද?...

ජාතික ආණ්ඩුවක් නම් පිහිටුවන්න හැකියාවක් නැහැ. අප එයට විරුද්ධයි. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ, ජවිපෙ, ටීඑන්ඒ වැනි පක්ෂත් විරුද්ධයි. ඒ නිසා ආණ්ඩුවට මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරම හකුළුවාගන්න සිදු වුණා. මෙවැනි විරෝධතා මධ්‍යයේ එය කිසි සේත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැහැ.

පුළුල් සන්ධානයක් ගොඩනඟාගැනීමට ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර සාකච්ජාවලදී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ විශාල ගැටුම් ඇති වී තිබෙනවා නේද?

ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒ පක්ෂයේ නායකයන්ට හැකියාව තිබෙනවා, තමන් කැමැති අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න. අවශ්‍ය දේ සිදු වෙයි; ජාතික සන්ධානයත් ගොඩනැ‍ඟෙයි. ඒ කිසිදු දේක ගැටලුවක් නැහැ. සන්ධානයක් ගොඩනැඟිය යුතුයි. ඒ තත්ත්වය මත එජාප විරෝධි පුළුල් සන්ධානයක් ගොඩනැඟීමෙන් ඉතා ශක්තිමත් නායකයකු ගොඩනැඟිලා ජයග්‍රහණය කිරීමට හැකියාව ලැ‍බෙනවා කියා අප විශ්වාස කරනවා. මහා මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කරන්න අපට පුළුවන් වෙයි කියලා හිතනවා.

සංවාදය - සුභද්‍රා දේශප්‍රිය

Comments