කැම්බල් පිටියේදී ෆොනීගේ රතු කට්ට පනී | සිළුමිණ

කැම්බල් පිටියේදී ෆොනීගේ රතු කට්ට පනී

2023 අය - වැය තෙවනවර කියවීම පසුගිය 08 වැනිදා වැඩි ඡන්ද 43කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. අය - වැයේදී විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට පිල් මාරුවක් සිදුවනු ඇති බවට කතාබස් පැතිරුණ ද එසේ සිදු නොවුණි. එම පිල් මාරුව සිදුනොවීත් ආණ්ඩු‍වට ඡන්ද 123ක් ලබා ගැනීමට හැකිවීම ආණ්ඩුව ලත් ප්‍රබල ජයග්‍රහණයකි. සමඟි ජන බලවේගයේ ප්‍රබලයන් ඇතුළු කිහිපදෙනෙක් අය - වැයේදී ආණ්ඩුවට එක්වනු ඇති බව ප්‍රකාශ වුව ද ආණ්ඩුවට බහුතරය ගැන කිසිදු ගැටලුවක් නැති නිසා එසේ සිදු නොවුණු බව වාර්තා වේ. නමුත් ඉදිරි ආමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී මෙම පිරිස ආණ්ඩුවට එක්වීමට නියමිත බව වාර්තා වේ.

අනුර තනි වෙයි

ආණ්ඩුවෙන් ඉවත් වී විරුද්ධ පක්ෂයේ ස්වාධීනව කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු කණ්ඩායමේ කිහිපදෙනකු ක්‍රම ක්‍රමයෙන් අනුර තනිකර ආණ්ඩුවට සහයෝගය ලබා දීමට කටයුතු කරමින් සිටී.

විරුද්ධ පක්ෂයේ සිටමින් අය - වැය ඡන්ද විමසීමේදී එසේ කටයුතු කළේ ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ පියංකර ජයරත්නයි.

කැබිනට් එක ගැන මහින්ද රනිල්ට කීවේ මොනවාද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පසුගියදා සිදු විය. වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී කතාබස් වූ අතර, කැබිනට් මණ්ඩලය පත් කිරීම ගැන ද යම් කතාබහක් ඇති විය.

“කැබිනට් එකට පත් කරන්නේ කවුද කියලා මං බලපෑම් කරන්නේ නැහැ. ගෝඨාභය ජනාධිපති වෙලාවෙත් මං ඔහුට ස්වාධීන කැබිනට් එක පත් කරගන්න අවස්ථාව දුන්නා. දැනුත් එහෙමයි.” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබූ බව වාර්තා වේ.

ජනපති රනිල් සමඟ ජී.එල්.

ජනපති රනිල් වික්‍රමසිංහට ඉකුත් සතිය ඉතාමත් කාර්ය බහුල සතියක් වූවේය. ඉකුත් අඟහරුවාදා ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ වූ අතර, එදිනම සවස සර්ව පාක්ෂික හමුවද යොදාගෙන තිබුණි. බ්‍රහස්පතින්දා සිට බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීම ද රාජකාරී බහුල වීමට තවත් හේතුවක් විය.

කෙසේ නමුත් ඉකුත් සෙනසුරාදා ජනපති රනිල් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ගියේ ආදී විද්‍යාර්ථීන් වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයට සහභාගී වන්නැයි ලද ආරාධනාවකට අනුවය. එය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට විශේෂ අවස්ථාවක් වූයේ ඉන් බිහි වූ පළමු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ වීම නිසාවෙනි.

ඊට මහාචාර්ය ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී මධූර විතානගේ, ව්‍යවසායක දිලිත් ජයවීර, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ආදී නීතිවේදීහු විශාල පිරිසක් එක්ව සිටියහ. එහිදී ජනපති රනිල් පිරිස හමුවේ ගොඩනැගිලි සේම දරුවන්ගේ ගුණාත්මක භාවයත් වැඩි කළ යුතු බව කීවේ මහාචාර්ය ජී. එල්. ගේ පීඨාධිපතිත්වය ද සිහිපත් කරමිනි.

පසුව පිරිස නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවාගේ කාර්යාලයේදී විශ්වවිද්‍යාලයේ කටයුතු ගැන සාකච්ඡා කළෝය. ඔවුන් පහළට එද්දී ආදි විද්‍යාර්ථින් පපරේ සංගිතයේ නිතරව සිටි බැවින් ජනපති ද එතනට යෑමට අමතක නොකළේය. එහි රැඳී සිටි තරුණ විද්‍යාර්ථීන් ජනපති සමඟ එක්ව සෙල්ෆි ඡායාරූප ගැනීම ද සුවිශේෂි සිද්ධියකි.

ආදී විද්‍යාර්ථින් හා සෙල්ෆි ඡයාරූප ගනිමින් ජනපතිවරයා පිටතට පැමිණෙද්දී මධුර විතානගේ මන්ත්‍රීවරයා ද ඒ අසලට පැමිණියේය. පිරිසට මධුරව පෙන්වමින් ජනපති කීවේ “දැන් ලෝ ෆැකල්ටිය භාරව ඉන්නේ මධුර. එයාට ඔයාලගේ ප්‍රශ්න ඕන දෙයක් කියන්න පුළුවන්.” යනුවෙනි.

රාජකීය රනිල්ගේ හිත ආනන්දයට

ජනපති රනිල් ඉරිදා කොළඹ රාජකීය විද්‍යාලයට ගියේ ජාත්‍යන්තර සිංහ සමාජය විසින් සංවිධානය කර තිබූ ප්‍රදර්ශනයක් නැරඹීමටය. සිංහ ලසන්ත ගුණවර්ධන විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේ විශේෂ අවස්ථාවක් වූවේ ආනන්ද විද්‍යාලයේ සිසුවකු නිර්මාණය කර තිබූ පරිසර හිතකාමී “බීජ පෑන”ය. එය ජනපතිවරයාගේ සිත් ගත් බැවින් ඒ ගැන ඔහු සිසුවාගෙන් බොහෝ කරුණු විමසා දැන ගත්තේය.

එය වැඩි දියුණු කිරීමට සහාය දෙන බව ද ජනපති රනිල් එහිදි පොරොන්දුවක් ද දුන්නේය. සදුදා ජපන් හා වියට්නාම් විශේෂ නියෝජිතයන් පිරිසක් ජනපති මුණ ගැසුනි. එය සම්බන්ධීකරණය කරන ලද්දේ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසිනි.

ත්‍රෛලෝක විජය පත්‍ර ගැන ජපානයේ අවධානය

ජපානයේ සිට පැමිණි මෙම පිරිස උනන්දු වූවේ ජනපති අය වැයෙන් ඉදිරිපත් කර තිබූ ‍ත්‍රෛලෝක විජය පත්‍ර ගැනය. ජපාන රජයේ එම කර්මාන්ත සංගමයේ සභාපති ඇතුළු නියෝජිතයන් පිරිස මෙරට ත්‍රෛලෝක විජයපත්‍ර වගා කරන්නේ නම් ඊට අවශ්‍ය සහයෝගය ලබා දිය හැකි බවත් එම අස්වැන්න මිලදී ගත හැකි බවත් පෙන්වා දී තිබුණි.

විශ්වවිද්‍යාලවල අයිස් ගහන්නේ කවුද?

අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ආරක්ෂක ලේකම් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මුණගැසුනේය. එහිදි විශ්වවිද්‍යාල තුළත් පාසල් තුළත් මත්ද්‍රව්‍ය ප්‍රචලිත වීම ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළෝය. මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනපති රනිල් ආරක්ෂක අංශ වෙත එහිදි උපදෙස් දෙනු ලැබීය. එදිනම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ජනපති කැඳවා තිබුණේ නිදහස් දිනයට විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධ කර ගැනීම ගැන හා ජාතික තරුණ ප්‍රතිපත්තිය ගැන කතා කිරීමටය. එහෙත් එහිදි වැඩි වේලාවක් කතා කිරීමට සිදුවූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිට පහර දීම ගැන මෙන්ම නවක වදය ගැනය.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණේ දිවා කාලයේය. අගමැති දිනේෂ් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

එම අවස්ථාවට සහභාගී වන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණි. විපක්ෂයේ පක්ෂ හැර සෙසු පක්ෂ නියෝජිතයෝ ද මීට සහභාගී වී සිටියහ.

මෙහිදි මැති ඇමතිවරු ජනපතිට ප්‍රශ්න යොමු කළ අතර බහුතරයක් කීවේ සතුන්ගෙන් වන වගා හානි ගැනය. “සර් අපිට දැන් පොහොර ටික ලැබෙනවා. ඒත් වන සතුන්ගෙන් වන හානිය නිසා අපට නිසි ඵලදාවක් ගන්න බෑ. මේකට මොකක් හරි විසඳුමක් දෙන්න.” මන්ත්‍රීවරු ඉල්ලූහ.

“මම ඒක දන්නවා. අපි මේ සම්බන්ධයෙන් පියවර කීපයක් ගන්න ඉන්නේ. ඉදිරියේදි මේ ගැන කියන්නම්.” ජනපති පිළිතුර එය විය.

අගමැති දිනේෂ් කැළණි ග‍ඟේ පිහිනපු හැටි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය බදාදා (14), සෑම නත්තල් සමයකම වාර්ෂිකව ඉටු කරන යුතුමක් සඳහා කැලණිය St.Anne's Elders' Home වෙත පැමිණියේය. ඒ හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් පියතුමන් බැහැදැක සුබ පැතීම උදෙසායි.

"දිනේෂ්ට මතකනේ කුඩා කාලේ, අපි කැලණි ගඟේ එගොඩ මෙගොඩ පීනුවා. එහෙම පීනන අය තමයි ඒ කාලේ දක්ෂයෝ විදියට ගත්තේ."

පියතුමා, කලුඅග්ගල උන්වහන්සේගේ මව් පාර්ශ්වයේ නෑදෑකම සිහි කරමින් අගමැතිතුමාගේ අතින් අල්වාගෙන සාමිචිය ඇරඹිය.

"ඔව් ඔබ වහන්සේගේ තාත්තා කැලණි ගඟෙන් එගොඩ, අම්ම ගඟෙන් මෙගොඩ..." අගමැති කීය.

"මට දැන් අවුරුදු 90ක්. ඉස්සර කලුඅග්ගල ගේබ්‍රියල් රාළහාමිත් එක්ක, දිනේෂ්ගේ සියා බොරලුගොඩ රාළහාමි හමුවෙන්න මම යනවා, ඒ පෞරුෂය මට මතක් වෙනවා ..පිලිප්, දිනේෂ්, දැන් මේ බොරලුගොඩ හතර වෙනි පරම්පරාව මම දකින්නේ "

යදාමිණි දෙස බලමින් පියතුමා කියන විට දිනේෂ් ඊට යමක් එකතු කළේය.

"ඇයි ඔබවහන්සේ කලුඅග්ගල එන වෙලාවට මීගොඩත් යනවනේ, ජයසුරිය පවුලේ ඇත්තෝ බලන්න... ගාමණී ජයසූරිය පවුලේ නෑකම අපටත් තියෙනවා "

"ඔව්, මීගොඩ තැපැල් මහත්තයා කවුරුත් දන්නවා , එතකොට මොරකැටිය පල්ලියේ චිත්‍ර ඇන්දේ, බොරැල්ලේ ගෝතම විහාරයේ චිත්‍ර ඇන්දේ අපේ ඥාති, ලෝක ප්‍රකාර රිචඩ් ගේබ්‍රියල් මහතා" "ඔව් ගේබ්‍රියල් මහතා බැන්දේ, පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ අක්කගේ දුවනේ" දිනේෂ් කියන විට පියතුමා කිව්වේ "ඔබතුමා, අගමැති, ඇමැති, මන්ත්‍රී, ආණ්ඩුවේ, විපක්ෂයේ කියලා නෑ, ගමේ කමට හැම නත්තලක ම එනවා මට සුබ පතන්න"

ප්‍රසන්න ගමට බහී

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගිය 13 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකයන් පාර්ලිමේන්තුවට කැඳවා තිබුණේ ඉදිරි දේශපාලන වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය.

“ වෙච්ච දේවල් වුණා. දැන් අපි වැඩට බහින්න ඕන” ඇමති ප්‍රසන්න එක්වරම කීවිට සහභාගී වූවන් මුහුණට මුහුණ බලා ගත්හ.

“නෑ.. මම කියන්නේ අපි දැන් ගමට බැහැල දේශපාලන වැඩ පටන් ගමු කියලයි. මැයි 9 වැනිදා මගේ ගෙදරයි මගේ මන්ත්‍රීවරුන් 13 ක් ගෙ ගෙවල් ගිනි තිව්වේ මාව බය කරල දේශපාලනයෙන් අයින් කරන්න. ඒ අයගේ බලාපොරොත්තු ඉටු වෙන්නෙ නෑ. අපි ඉස්සරහටත් දේශපාලනය කරන්න ඕන.” ඇම­ැතිවරයා තිර හඬින් කීය.

“ඒක ඇත්ත, කාටවත් බයේ අපේ වැඩ නවත්වන්න බෑ” ඒ මන්ත්‍රීනී කෝකිලා

77 ගිනි තියපු අයගේ දරුවන්

පසුගිය බදාදා ඇමැති ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් පැවති ගම්පහදී පළමු රැස්වීම මිනුවන්ගොඩදී පැවැත්වුණු අතර දෙවැනි රැස්වීම ගම්පහදී පැවැත්විණ.

“77දී මගේ තාත්තගේ ගේ ගිනි තියපු අයගේ දරුවො අද ඉන්නේ ස.ජ.බ එක්ක. ඒ අයයි ජ.වි.පෙ, පෙරටුගාමීන් එකතු වෙලා තමයි අපේ ගෙවල් ගිනි තිව්වෙ. මේක අපිව දේශපාලනයෙන් එළවන්න කරන කුමන්තුණයක්. ගම්පහ තමයි තීරණාත්මක දිස්ත්‍රික්කය. අපිව අයින් කරාම එයාලගේ මැච් එක ගහන්න ලේසියි” ඇමති ප්‍රසන්න එහිදී කීය.

ගොනා කියපු මන්ත්‍රිවරිය අගමැති හඳුනා ගනී

දෙහිවල ගල්කිස්ස නගර නගර සභාවේ මන්ත්‍රීවරු හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් ඉකුත් 15 වැනිදා පැවැත්විණි. ඒ දෙහිවල-ගල්කිස්ස නගර සභාවේදීයි.

මෙම අවස්ථාවට සභාව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එක්ව සිටියහ.

අග්‍රාමාත්‍යවරයා නගර සභා පරිශ්‍රයට ඇතුළු වන විට බුලත් අතක් ගෙන ඉදිරියට පැමිණියේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නගර සභාවට තේරී පත් වූ මරීනා ආබ්දීන්යි.

බුලත් අත දී අගමැතිවරයා පිළිගත් මන්ත්‍රීවරිය දුටු සැණින් අග්‍රාමාත්‍යවරයාට පෙර සිදුවීමක් සිහිපත්ව මුවඟට සිනහවක් මතු විය.

ඒ සිනහව සමඟම " මේ අපේ ගොනා අපිට හොඳා කියලා පෙළපාළි ගිය මන්ත්‍රීවරිය නේද" දැයි අග්‍රාමාත්‍යවරයා කියනවාත් සමඟම පෙර සිදුවීම මතක් වූ සියලු දෙනාගේ මුවඟට සිනහවක් එක් විය.

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නගරසභාවේ නගරාධිපති ධූරය හොබවන්නේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන මෙන්ම ඇමතිවරියක ද වූ සුනේත්‍රා රණසිංහයි.

මන්ත්‍රීවරු හා පැවැති සාකච්ඡාව අවසානයේ " සුනේත්‍රාට දැන් ඉතින් ප්‍රශ්න නැහැ නේ" අග්‍රාමාත්‍යවරයා කීවේය.

ඒ කතාව හරි හැටි නොවැටහුණු නගරාධිපතිනිය අග්‍රාමාත්‍යවරයාගේ මුහුණ දෙස බැලුවාය.

" නෑ මං කිව්වේ.. දැන් විපක්ෂයත් ආණ්ඩුව කියලයි" අග්‍රාමාත්‍යවරයා කීය.

පෙරළියට මඟ පාදන කරළිය

"සමගි ජන බලවේගය කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ දේශපාලන පක්ෂය.ඒ පක්ෂය ගන්න තීන්දු තීරණ මොනවද කියන එක රටේ ජනතාව දැනගන්න ඕන.ඒ නිසා අපි අපිත් විවෘතවම ජනතාවට ආරාධනා කරමු"

සම්මේලනය ආරම්භ කිරීමට සති දෙකකට පමණ පෙර විපක්ෂ නායක සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට එහෙම පැවසීය. "ඔව් ඒක හොඳයි,හෝල් එකක් ඇතුළෙ කොටුවෙලා පක්ෂයේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්න ක්‍රමය අපි වෙනස් කරන්න ඕන. අපි මේක රටේ පොදු මහජනතාව එක්ක සමරමු"

මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ අදහස වූයේ ද එයයි.

ඒ අනුව පසුගිය සතියේ එකොළොස්වැනි දාට සම්මේලනය පැවැත්වීමට ඔවුන් තීන්දු කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සජිත් සම්බන්ධය සංවිධාන කටයුතු සඳහා කණ්ඩායමක් පත් කළහ.

මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම සකස් කළ අතර එහි ප්‍රචාරක යාන්ත්‍රණයයේ පැටවුණේ නලින් බණ්ඩාර සහ මරික්කාර්ටය.

ආසන මට්ටමේ සිටින සියලුම සංවිධායකවරුන්ට ද වගකීම් පැවරීමට මහ ලේකම්වරයා කටයුතු කළේය. සමගි ජන බලවේගය අභිනව කාර්යාලයේ සිට බොහෝ සංවිධාන කටයුතු සිදු වූ අතර ඊට පරිබාහිර බොහෝ තැන්වල දී රැස් වෙමින් ද ප්‍රචාරක කමිටුව මීට අදාළ කටයුතු සංවිධානය කරනු ලැබීය.

"පෙරළියට මඟ හදන කරළියට ගොඩවන්න"සම්මේලනයේ තේමාව බවට තෝරා ගත්හ.

"අපි නිකම්ම විපක්ෂයේ දේශපාලන පක්ෂයක් නෙවෙයි. අපි විපක්ෂයේ ඉඳගෙන රටට වැඩ කරපු දේශපාලන පක්ෂයක්. මේ සම්මේලනයේ දී අන්න ඒ කාරණාවත් රටට පණිවිඩයක් විදිහට යන්න ඕන" සජිත් සංවිධායකයන්ට උපදෙස් දුන්නේය.

හිස් පුටු ගැන ෆොනී කතා කරයි

කොහොම නමුත් සමගි ජනබලවේගයේ සංවත්සර සමුළුවේදී බොහෝ දෙනකුගේ අවධානය යොමු වූ සිදුවීමක් වූයේ එහි සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ කතාවටය.

“මගේ ඉස්සරහ දැන් තියෙන්නේ හිස් පුටු ටිකක්. හිස් පුටුවලට මට කතා කරලා වැඩක් නැහැ. පාරේ එහේ මෙහේ ඉන්න මිනිස්සුන්ට හරි මං කතා කරනවා” යනුවෙන් නෝක්කඩු ස්වරූපයකින් ෆොන්සේකා ප්‍රකාශ කළේය.

මේ ගැන සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ අවසානයට කතා කිරීමට සිටි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වේලාසනින්ම කතා කර තිබීමයි.

කොහොම නමුත් වේග‍වත් කතාබහක් කිරීමෙන් අනතුරුව වේදිකාවෙන් බැස යන ගමන් ෆොන්සේකා, සජිත්ට යම් දෝෂාරෝපණයක් කිරීමට ද අමතක නොකළේය.

“මේ විදිහට හරියට සම්මේලනයක්වත් පවත්වා ගන්න බැරුව රටක් පාලනය කරන්නේ කොහොමද?” යනුවෙන් සරත් ෆොන්සේකා විසින් සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කළ බවද වාර්තා වේ.

වජිර ගෝඨාභයට කියූ රහස

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවකදී එක ළඟ අසුන්ගෙන සිටි දෙදෙනකු ගැන බොහෝදෙනෙකුගේ අවධානය යොමු වී තිබුණි.

රාත්‍රී භෝජනය ද සමඟ පැවැත්වුණු මෙම හමුව සංවිධානය කර තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයකදීය.

එක ළඟ අසුන්ගෙන සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි.

අවස්ථා කිහිපයකදීම වජිර ගෝඨාභයගේ කනට කිට්ටු කර රහසක් වශයෙන් යමක් ප්‍රකාශ කරන බව අවට සිටින බොහෝදෙනාගේ නිරීක්ෂණයට ලක්වී තිබුණි.

එසේ කියූ රහස් සතරකන් මන්ත්‍රණයක්ම විය.

ඉන් දින කිහිපයකට පසුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් සමඟ පැවති සාකච්ජාවකදී වජිර අබේවර්ධන කියා සිටියේ කිසිම අවස්ථා‍වකදී ගෝඨාභය රාජපක්ෂ මහතා තනි නොකළ යුතු බවයි.

“ගෝඨාභය රාජපක්ෂ මහත්තය තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිධුරයට පත් කළේ. ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති ධු‍රයෙන් ඉල්ලා අස්වුණු නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය හිමි වුණේ"”යනුවෙන් වජිර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්ට ප්‍රකාශ කොට තිබුණි. 

මහාචාර්යවරයාට පහර දීමේ සිද්ධිය නියෝජ්‍ය කථානායක කාර්යාලයට

රටේ සිදුවන ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලය නිතරම අවදියෙන් සිටී.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මෙම සිද්ධිය ගැන නියෝජ්‍ය කථානායක කාර්යාලයට පැමිණෙන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ නිතරම කතාබස් කරයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් එල්ල කරන ලද මැර ප්‍රහාරය තරයේ හෙළා දකිමින් අවස්ථා කිහිපයකදීම නියෝජ්‍ය කථානයක අජිත් රාජපක්ෂ අදහස් දැක්වීය.

විශ්වවිද්‍යාලවල අයිස් ගහනවා. අයිස් ගහපු ළමයි උගන්නපු ගුරුවරුන්ට ගහනවා. මෙහෙම ගියොත් ආපහු මේ රට 88-89 ට යනවා" ”යනුවෙන් අජිත් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර තිබුණි.

නාමල්ගේ අභියෝගයට ප්‍රසාදය

මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී හම්බන්තොටින් තරග කර හැකි නම් තමාව පරාජයට පත් කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා අරගලකරුවන්ට විවෘත අභියෝගයක් කළේය.

මෙම අභියෝගය මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟම ඊට ඉහළ ප්‍රසිද්ධියක් ලැබුණු අතර, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසක්ම නාමල්ට කතා කොට කියා සිටියේ එසේ අභියෝග කිරීම ඉතා හොඳ කාරණයක් බවයි.

ප්‍රජාතන්ත්‍රවාදීව තරග කරලා ඉදිරියට එන්න කියලා අභියෝගය කරන්න ඕන. ගෙවල් ගිනි තියලා, වාහන ගිනි තියලා මන්ත්‍රීවරුන් මරණකම් තවත් බලාගෙන ඉන්නේ නැතුව නාමල් මන්ත්‍රීතුමා මේ කරපු අභියෝගය ඉතාම හොඳයි” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමැතිවරුන් පමණක් නොව විරුද්ධ පක්ෂයේ කිහිප දෙනෙක් ද නාමල්ට ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

Comments