තරු හෝටලයේ රහස් සාකච්ජාව | සිළුමිණ

තරු හෝටලයේ රහස් සාකච්ජාව

ත්තල් සමඟ සීතල දෙසැම්බරයේදී දේශපාලනය ද යම් සිසිල් තත්ත්වයක පවතින්නේ ඊට තාවකාලික විරාමයක් ලැබූ නිසාවෙනි.

ස්වාධීන වූ පිරිසක් බුලත් කොළයේ පිහිට පතති

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වී සිටින දේශපාලන කණ්ඩායම් 3ක් ඉදිරි මැතිවරණවලට තරග කරන්නේ කෙසේදැයි කියා මේ දිනවල සාකච්ජා කරමින් සිටී.

මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාව, මහාචාර්ය ජී.එල්.පීරිස්ගේ නායකත්වයෙන් යුත් නිදහස් ජාතික සභාව එම ‍දේශපාලන කණ්ඩායම් 3යි.

පසුගිය දිනවලදී ඔවුන් දිගින් දිගටම සාකච්ජා කළ අතර ඔවුන්ට තිබෙන බරපතළම ප්‍රශ්නය මීලඟ මැතිවරණවලට තරඟ කරන්නේ කුමන සන්ධානයකින්, කුමන සලකුණකින් ද යන්නයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බුලත් කොළය යටතේ තරග කිරීමට අදහසක් ඉදිරිපත් වූවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතරයක් පක්ෂ සන්ධානගත වී සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ වීම යම් ගැටලුවක් වී තිබේ.

රනිල්, මහින්ද, ගෝඨා එක ළඟ

ආණ්ඩුවේත් විරුද්ධ පක්ෂයේත් දේශපාලනඥයන් රැසක් සහභාගී වූ විවාහ මංගල උත්සවයක් පසුගිය 19 වැනිදා පැවැත්වුණේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදීය. ඒ, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයයි.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තිදෙනාටම ශාලාවේ ඉදිරියෙන්ම එක ළඟ අසුන් පනවා තිබුණු අතර තිදෙනාම ඉතා උනන්දුවෙන් කතාබස් කරමින් සිටිනු දක්නට ලැබුණි.

අටකන් මන්ත්‍රණයක්

ප්‍රධාන ශාලාවේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන අතර එම හෝටලයේ තවත් කාමරයක් වෙන් කර තිබුණේ පැමිණෙන ආරාධිතයන්ට නිදහසේ කතාබහ කිරීම සඳහාය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් අතර එහිදී අටකන් මන්ත්‍රණයක් සිදු වී තිබෙන බව වාර්තා වේ.

ජනපති රනිල් ඇල්ලේදී විරෝධය පළ කළේ ඇයි?

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන රැස්වීමට සහභාගී වීමට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ එය නිම කර කොළඹ නොපැමිණියේ දියතලාව යුද හමුදා කඳවුරේ පැවැති කාන්තා කැඩෙට් නිලධාරීන් විසිර යෑමේ උත්සවයට සහභාගී වීමට තිබුණු නිසාය. ඒ අතරතුර ඔහු ඇල්ල ප්‍රදේශයට ගියේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය වන ආකාරය ගැන සොයා බැලීමට ය.

සිය මවුපියන් සමඟ මුලින්ම ඔහු ඇල්ල ප්‍රදේශයට පැමිණ තිබුණේ අත දරුවකු ලෙසය. එතැන් සිට පවුලේ උරුමයක් වූ දියතලාව ආකේඩියා බංගලාවට ඔහු කුඩා අවධියේ සිට පැමිණියේ ඒ ස්වාභාවික පරිසර සුන්දරත්වයට දැක්වූ දැඩි ඇල්ම හේතුවෙනි.

ස්වාභාවික පරිසරය වෙනස් කිරීමට ඉදිරිපත් කර තිබූ සැලැස්ම නැරඹූ ජනාධිපතිවරයා ඊට විරෝධය පළ කළේය. එහෙත් සමාජ මාධ්‍ය තුළ එය වෙනස් ආකාරයකින් ප්‍රචාරය කර තිබූ බැවින් මේ ගැන ජනපතිගෙන් විමසුවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර ය. ඒ දියතලාව කැඩෙට් නිලධාරීන් විසිර යෑමේ උත්සවයට ඔහු ද පැමිණි අවස්ථාවේදීය.

“සර් අර මොකක්ද ඇල්ලේ තේ කෝප්පේ කතාව.” රංගේ විමසුවේ ජනපතිගෙනි.

“මෙතනට සංචාරකයෝ එන්නේ ස්වාභාවික සුන්දරත්වය විඳින්න මිසක් කෘත්‍රිම සුන්දරත්වයක් ලබන්න නෙවෙයි. ඒක අද ඉන්න ගොඩක් අයට තේරෙන්නේ නෑ.” ජනපති දුන්නේ කෙටි පිළිතුරකි.

ඩී.එස්. පිළිරුව යට සිට රනිල් කැරොල් බලපු හැටි

ඉරු දින සවස ජනපති රනිල් සිය කාර්යාලයට ගියේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සංචාරක අමාත්‍යාංශය සංවිධාන කර තිබූ නත්තල් කැරොල් ප්‍රසංගය නැරඹීමටය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පියගැට පෙළ මත කැරොල් ප්‍රසංගය පැවැති අතර නරඹන්නන් සිටියේ පහළ භූමියේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනපති ලේකම් සමන් ඒකනායක, කම්කරු ඇමැති මනූෂ නානයක්කාර හා එහි ප්‍රධාන සංවිධායක සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද ඊට එක්ව සිටියෝය. මනූෂ එම උත්සවය නැරඹීමට පැමිණියේ සිය දරුවන් ද කැටුවය. ජනපති සිටි අසලට ගිය ඇමැති මනූෂ “සර් අද ඩී.එස් පිළිරුව යට ඉඳන් කැරෝල් බලනවා නේද?” යැයි විමසුවේ සැවොම කොක් හඬලද්දීය.

“අපේ පක්ෂයේ නිර්මාතෘතුමාගේ පිළිරුව යට ඉදන් කැරොල් බලන්න ලැබීම මට භාග්‍යයක්” ජනපති කීවේ සැමගේ සිනා හඬ මැදය.

ජනපති රනිල්ට ලැබුණු රහස් වාර්තාව

ජනපති රනිල් සඳුදා සිය කාර්යාලය වෙත පැමිණෙන විට විශේෂ රහස් වාර්තාවක් ලැබී තිබුණේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධයෙනි. ඒ ගැන කතා කිරීමට ජනපති ලේකම් සමන් ඒකනායක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද කැඳවා තිබිණ. වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ජනපති ලේකම් කීවේ මෙම කාරණය ගැන ඇමැති මණ්ඩලයේදී සාකච්ඡා කොට තීන්දුවකට පැමිණිය යුතු බවටය. සවස එම වාර්තාව පදනම් කර ගනිමින් ඇමැති මණ්ඩලයට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පවතින දරුණු නවක වද තත්ත්වය ගැන ජනපති පැහැදිලි කළේය.

ඉන් පසු මෙම විශ්වවිද්‍යාලයේ ඉදිරි කටයුතු ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ උපදෙස් ලැබෙන තෙක් එය වසා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කරනු ලැබීය. පසුව ජනපති රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න කැඳවා ඔහුට ද උපදෙස් දුන්නේ කැබිනට් තීරණ ගැන කියන මාධ්‍ය හමුවේදී මේ ගැන සවිස්තර විත්‍රයක් මාධ්‍යයට ලබා දෙන ලෙසටය.

පුංචි ඡන්දය ගැන එ.ජා.ප. ප්‍රබලයන් සාකච්ජාවක

සවස ජනපති මුණගැසුණේ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු සාමාජිකයන්ය. පැජට් පාරේ නිවෙසේ පැවැති මෙම හමුවට පක්ෂ නිලධාරීන් බහුතරයක් පැමිණ සිටියහ. එහිදී මූලික වශයෙන් සාකච්ඡා වූයේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැනය.

“පළාත් පාලන මැතිවරණය එන්න ඉඩ තියෙනවා.අපි ඒකට සූදානම් විය යුතුයි.” මහලේකම් රංගේ කතාව ආරම්භ කළේය.

“ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ තියන්න ඕනේ. ඒත් මේකට යන වියදම දරන්නේ කොහොමද? දැනටම රුපියල් බිලියන 10ක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා. ඊට වඩා යාවි” රුවන් කීවේය.

“දැනට මන්ත්‍රීවරු 8000ක් පමණ ඉන්නවා. එතකොට එක පක්ෂයකින් මේ ගාණට නාම යෝජනා දෙන්න ඕනේ. මැතිවරණය වෙනුවෙන් මේ අයත් අඩුම ලක්ෂ 20ක් 30ක් වියදම් කරන්න වෙනවා. මැතිවරණ තියන්න මුදල් අච්චු ගැහුවොත් උද්ධමනය නැවත වැඩි වේවි.” වජිර කීවේය.

“මේ ඔක්කොම බැලුවම මට නම් හිතන්නේ බිලියන 20ක් විතර වියදම් කරන්න වේවි කියලයි.” අකිල ද කීවේය. අවසානයේ මැතිවරණය වෙනුවෙන් සූදානම් වීමට තීන්දු කළ පිරිස නාම යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපේක්ෂක ඉල්ලුම්පත් කැඳවීමට ද තීන්දු කළේය. ඊට අදාළ නිවේදනය නිකුත් කිරීමට මහ ලේකම්ට බලය පැවරිණි.

එදින රාත්‍රියේ ජනපති සහභාගී වූයේ මහාධිකරණ නීතිඥ සංගමය සංවිධාන කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකටය. එහිදි රටේ නීතිය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් බොහෝමයක් නීතිඥවරු ජනපතිට ස්තූති කළහ.

“වාණිජ නගරයක් ලෙස මේ නගරය හැදෙද්දී එහි ඇතිවන ගැටලු විභාග කරන්නේ කොහොමද?” එහිදී එක් නීතිඥවරයකු විමසා සිටියේ කොළඹ වරාය නගරය ගැනය.

“මෙතන බොහෝ විට ඇති වෙන්න පුළුවන් වාණිජ ගැටලුනේ. ඒ නිසා අපි වාණිජ මහාධිකරණයක් පිහිටුවමු. ඒක ඔබතුමන්ලාටත් හොඳ වේවි.” ජනපති කීවේ සිනාසෙමිනි.

ගල් අඟුරු ගැන ගල් පැළෙන බොරුවක්

මේ අතර සැවොම ජනපතිගෙන් විමසන්නට වූයේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙනි. ඔවුන් කියා තිබුණේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු තවමත් ඇණවුම් කර නොමැති නිසා ලබන මාසයේදි ගල් අඟුරු නොමැතිව බලාගාරය වැසී යා හැකි බවය.

“ගල් අඟුරු නැතිව නොරොච්චෝලේ වැහුණම පැය 10-12ක් විදුලි කප්පාදුවක් ඇතිවෙනවා කියලා ඉංජිනේරු සංගමය කියනවා.” මන්ත්‍රී වජිර විමසුවේ ජනපති කාර්යාලයේදීය.

“මුදල් අමාත්‍යාංශය ඒ අවශ්‍ය පියවර අරගෙන ඉවරයි. ටෙන්ඩරය අනුමත වුණ නිසා ඉදිරියේදී ගල් අඟුරු නැව් එනවා. හැබැයි මේක එළියේ ඉන්න අය දන්නේ නෑ.” ජනපති කීවේය.

ගැටඹෙට කටු කම්බි ගහපු හැටි දිනේෂ් මහින්දට මතක් කරයි

ඉකුත් 17 වැනිදා පෙරවරුවේ අග්‍ර­ාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහනුවර ගියේ ගැටඹේ හාමුදුරුවන්ට( කැප්පිටියාගොඩ සිරිවිමල අනුනායක) අනුනායක පදවියට අදාළ සන්නස්පත ප්‍රදානය කිරීම සඳහා සංවිධාන කර තිබූ උත්සවයට සහභාගි වීමටය. මේ අවස්ථාවට හිටපු පස් වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියේය.

උත්සවයේදී අග්‍රමාත්‍යවරයා අසලම ආසනය හිමිවූයේ මහින්ද රාජපක්ෂටය. මේ නිසා උත්සවය අතරතුර දෙදෙනා සුහද කතාබහක නිරතව සිටියහ.

" මතකනෙ එදා ගැටඹේ සිද්ධිය" අග්‍රාමාත්‍යවරයා ඇසීය.

" ඒකනේ, ඒකනේ. ඒවා ඉතිහාසගත වුණු සිද්ධි"

එකල ත්‍රස්තවාදයට හා පැවති පාලනයට එරෙහිව හිටපු විහාරාධිපති ලබුදූවේ නාහිමි දැඩි අදහස් දැක්වූහ. අවසානයේ ගැටඹේ රාජෝපවනාරාමය දෙකඩ වන සේ බෙදා විහාරස්ථානය මැදින් කටු කම්බි ගසා යුද හමුදාව යටතට එහි පාලනය බාර දුන්නේය.ඊට එරෙහිව එදා ගැටඹේ විහාරාධිපති සමඟ එක්ව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පෙරමුණේ කටයුතු කළහ.

දෙදෙනා ඒ පැරණි මතක සිහිපත් කළේ උත්සව භූමියක සිටින බව ද අමතක වූ ලෙසිනි.

ගෝපාල් බග්ලේට අගමැතිගෙන් කිතුල් හකුරු

මේ අතර ඉකුත් සතියේ සීතාවක රජමල්වත්ත උද්භිද උද්‍යානයේ පැළ රෝපණය කිරීමේ අවස්ථාවකට ද අග්‍රාමාත්‍යවරයා එක් විය. ඒ ඉන්දියාවේ 75 වැනි නිදහස් දින සැමරුම සංකේතවත් කරමිනි.මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද සහභාගී වූයේය.

එහිදී මෙරටට ආවේණික ලුණු දම් පැළයක් සහ සුවඳ පැළයක් ඉන්දියානු මහ කොමසාරිස්වරයා අතින් රෝපණය කෙරිණි. මීට පෙර මෙම උද්‍යානයට හිටපු ඉන්දියානු මහ කොමසාරිස් නිරූපමා රාඕ මහත්මිය ද පැමිණ ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.

ඒ අතර එම ගම්වැසියකු අග්‍රාමාත්‍යවරයාට කිතුල් හකුරු මුලක් දිගු කළේය.

" ආ... බොහොම ස්තූතියි. මං මේක ඉල්ලුවෙ අපේ මහ කොමසාරිස්තුමාටමයි" කී අග්‍රාමාත්‍යවරයා මහ කොමසාරිස්වරයා දෙසට හැරී " මහකොමසාරිස්තුමා, මේක ඔබතුමාට" (" high commissioner, this is for you")

" මේ මොකක්ද"( "what is this?")

" මේ ග්‍රාමීය නිෂ්පාදනයක්. කිතුල් ගහෙන් කරන" ("this is a village produces. Made out of kithul palm")

"මම මේ ගැන අහලා තියෙනවා. අගමැතිතුමාට බොහොම ස්තූතියි" ( " I have heard of this. Thank you mr. prime minister") මහ කොමසාරිස්වරයා පෙරළා ස්තුති කළේය.

ප්‍රසන්න අරගලකරුවන් අන්දමන්ද කරයි

මිනුවන්ගොඩ නව වෙළෙඳ සංකීර්ණය හා වන වදුල විවෘත කිරීම හා පාසල් ළමුන් සිය දෙනකුට පාසල් පොත් බෙදා දීම ඇතුළු තවත් උත්සව කිහිපයකට පසුගිය ඉරිදා ඇමැති ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩදී සහභාගි විය.

වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ සුබ නැකත උදාවනතුරු ඇමැති ප්‍රසන්න හිතවතුන් සමඟ ආගිය තොරතුරු කතා කරමින් සිටින්නට විය. ඒ අවස්ථාවේදී මිනුවන්ගොඩ පන්සලේ සීලරතන හිමි සමඟ තරුණයන් සිවු දෙනකු පැමිණියේ වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථානයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

“ මට මල්ලිලා දැකල පුරුදුයි. අරගලයේ හිටිය නේද?” යනුවෙන් ඇමැති ප්‍රසන්න තරුණයන්ගෙන් විමසීය.

“අපි දන්නෙ නැතුව ඒවට ගියා සර්” ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් අන්දමන්ද වූ තරුණයකු කීවේය.

“ඔය අරගල කළේ කවුද කියල අපි දන්නවනේ මල්ලි. ඔයගොල්ලොත් හොයන්නෙ බලන්නෙ නැතුව ඒ වැරැදි වැඩේම කළා. ” ඇමැතිවරයා පැවසුවේ තරමක දැඩි හඬිනි.

“අපිට වැරැද්ද තේරෙනව සර්.” තවත් තරුණයකු කීය.

අගමැති දිනේෂ්ගෙන් ප්‍රසන්නට ඇමතුමක්

මේ පුවත දුටු අගමැති දිනේෂ් ගුණවර්ධන ඇමැති ප්‍රසන්නට දුරකතන ඇමතුමක් ගත්තේය.

“සෝෂල් මීඩියාවලින් ඔයාට හොඳටම ගහන්නෙ මොකද ප්‍රසන්න?”අගමැතිවරයා විමසීය.

“මේ අරගලයෙ හිටපු තරුණයෝ හතර දෙනෙක්. මම ඒ අය එක්ක කතා කළා” ඇමැති ප්‍රසන්න සිද්ධිය පැහැදිලි කළේය.

“ ඒක හොඳ වැඩක්. කොහොමද ඒ අය අඳුන ගත්තේ? ”

“මිනුවන්ගොඩ මගේ ගමනේ සර්. මම මේකෙ අස්සක් මුල්ලක් නෑර දන්නවා. මේ අය මම ඉස්සර ඉඳන් දන්නවා. මාව හමුවෙන්න ආවේ කඩයක් ගැන කතා කරන්න. මම හොඳට කියල දුන්නා” ඇම­ැතිවරයා සිනාසෙමින් කීය.

“ඔයා ඉතින් කොහොමත් කෙළින් කතා කරන මිනිහනේ.” අගමැතිවරයා ද සිනාසෙමින්ම පැවසීය.

පාසල් ළමුන් සඳහා පොත් බෙදා දීමේ අවස්ථාවේදී ඇමැති ප්‍රසන්න රණතුංග බොහෝ සංවේදී විය.

“හැම අවුරුද්දෙම අපි මෙහෙම පොත් බෙදුවා. මිනුවන්ගොඩ ළමයින්ට නොමිලයේ උපකාරක පන්ති කළා. ඒ ඔක්කොම කළේ උඩුගම්පොළ ගෙදර. අරගලකාරයෝ ඒක ගිනි තිබ්බා. ඒ නිසා මේ පාර මට ඒ එකක්වත් කරගන්න බැරි වුණා. ඒත් ගෙවල් ගිනි තියල අපිව දේශපාලනයෙන් අයින් කරන්න කවුරු හරි හිතනව නම් ඒක හීනයක්. අපි අපේ ගමන යනවා” ඇමැතිවරයා කී කතාවට රැස්ව සිටි පිරිසෙන් ඉහළ ප්‍රතිචාර හිමි විය.

සජිත් බස් 50ක කඩඉමට

පසුගිය සතිය මුළුල්ලේම විපක්ෂ නායක සජිත් සම්පූර්ණයෙන්ම වාගේ කාර්යබහුල වූයේ ඔහුගේ මුලිකත්වයෙන් සිදු කරන ප්‍රධාන පෙළේ වැඩ කටයුතු තුනක් හේතු කොට ගෙනය. ඒ, සක්වළ, හුස්ම සහ බස්රථ පරිත්‍යාග කිරීමේ වැඩසටහන්ය.

"අලුත් අවුරුද්දට කලින් බස් රථ 50ක් පරිත්‍යාග කිරීම සම්පූර්ණ කරන්න ඕන"සජිත් සිය කණ්ඩායමට උපදෙස් දී තිබුණේ එසේය. ඒ අනුව සක්වළ වැඩසටහන යටතේ පරිත්‍යාග කරන 45 වැනි බස් රථය කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයටත් 46 වැනි බස් රථය අ/මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයටත් ප්‍රදානය කිරීම සිදු කොට එදිනම 47 වැනි බස් රථය පො/තෝපාවැව ජාතික පාසලට ප්‍රදානය කිරීමට පිටත් විය. ඊට පසුදා නාවුලට ගිය සජිත් ශ්‍රී නාග ජාතික පාසලට බස් රථයක් පරිත්‍යාග කරනු ලැබීය. 48 වැනි බස් රථය නවුල ශ්‍රී නාග විදුහලට පරිත්‍යාග කළේය. 49 වැනි බස් රථය බෙන්තර ගාමිණී ජාතික පාසලට පරිත්‍යාග කළ සජිත් 50 වැනි බස් රථ පරිත්‍යාග කිරීමේ කඩඉම අඟහරුවාදා සම්පූර්ණ කරයි.

සමගි ජන බලවේගයෙන් හුස්මක් වැඩසටහන යටතේ පරිත්‍යාග කරන රෝහල් උපකරණ ත්‍රිකුණාමලය රෝහලට ප්‍රදානය කිරීම ද පසුගිය සතියේ සිදු වූ අතර, මඩකළපුව රෝහලට ද ද රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමක් සිදු විය.

වජිරගේ නිවෙසට විශාල පිරිසක්

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට පසුගිය සති අන්තය දේශපාලනමය වශයෙන් එතරම් කාර්යබහුල සතියක් නොවීය. මේ නිසාම වජිර අබේවර්ධන පසුගිය සති අන්තය සම්පූර්ණයෙන්ම වෙන්කර තිබුණේ තම නිවෙසේ පිහිටි කාර්යාලයට පැමිණෙන පක්ෂ ක්‍රියාකාරින්, පාක්ෂිකයන් මෙන්ම තම හිතමිත්‍රාදීන්ගේ ගැටලු විසඳා දීම වෙනුවෙන්ය.

දේශපාලන වශයෙන් කාර්යබහුල නොවීම නිසාම නිවීසැනසිල්ලේ මේ අයට තම ගැටලු වජිරට පැවසීමට මෙන්ම ඔහුත් සමඟ රටේ වර්තමාන වාතාවරණය පිළිබඳ කතාබහ කිරීමට අවස්ථාව උදා විය.

“ඇමැතිතුමා දැන් රට ස්ථාවරයි. ජනාධිපතිතුමා මැච් එක නියමෙට ප්ලේ කරනවා. ඔබතුමත් එතුමන්ගේ හෙවණැල්ල වගේ ඉඳන් එතුමට බැට් කරන්න නියම සපෝට් එකක් දෙන්නේ. ඒ වුණාට ඉතින් ඔබතුමාට ඇමැතිකම ලැබෙන එක එන්න එන්නම කල් යනවා. ඇත්තටම ඇමැතිතුමා කවද්ද ඔබතුමා ඇමැති පදවියේ දිවුරුම් දෙන්නේ?

පැමිණ සිටි බොහෝ දෙනකු වජිරගෙන් ඒ ප්‍රශ්නය ඇසීමට අමතක නොකළහ. එහෙත් ප්‍රශ්නය අසන සෑම දෙනාටම වජිර ලබා දුන්නේ එකම පිළිතුරකි. 

“ඇමැතිකම් දෙන්න හෝ විපක්ෂය කියන විදිහට මැතිවරණ පවත්වන්න නෙමෙයි අපි මේ වේලාවේ මූලිකත්වය දිය යුත්තේ. අපි හැමෝටම මේ වේලාවේ තිබිය යුත්තේ එකම එක අරමුණක් පමණයි. ඒ තමයි මේ වැටුණු රට ඔසවා තැබීම. ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ මොහොත වන විටත් රට පුරා යමින් ජනතාවගේ ගැටලු විසඳීමට කැපවී ක්‍රියා කරනවා. අපි සියලු දෙනාම එතුමාට සහයෝගය දිය යුතුයි. එතුමා දැන් තිබෙන තත්වයෙන් රට ගොඩගත්තට පස්සේ අපිට පුළුවන් මැතිවරණ ගැන හෝ වෙනත් දේවල් ගැන හිතන්න. එතකන් අපි කලබල නොවී ඉවසන් ඉමු.” වජිර ඔවුන්ට පැවසුවේය.

දිසාපති ග්‍රන්ථය එළිදැක්වීම

මේ අතර හිටපු දිසාපතිවරයකු මෙන්ම, අමාත්‍යාංශ ගණනාවකම ලේකම්වරයකු ලෙස කටයුතු කළ ප්‍රදීප් රත්නායක විසින් රචිත “දිසාපති” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පසුගිය අඟහරුවාදා සවස කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන (SLIDA) ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි. ඔහුට අමතරව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඩලස් අලහප්පෙරුම,ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නද මෙම උත්සවය සඳහා සහභාගීව සිටියහ.

ප්‍රදීප් රත්නායක දිසාපතිවරයකුව සිටියදී තම අත්දැකීම් අලළා රචනා කර ඇති මෙම ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට රජයේ ආයතනවල නිලධාරීහු විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

මනුෂට ලැජ්ජ හිතෙයි

ගිය සතියේ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපතිවරයා මනුෂ නානායක්කාර ඇමැතිවරයා හමුවීමට පැමිණියේ ඕමාන තානාපති කාර්යලය ගැන මෙරට මාධ්‍යවල පළවු තිබුණු වාර්තා ගැන තානාපතිවරයාගේ අවධානය යොමු කරමිනි.

"පහුගිය කාලයේ ඕමානයේදී වූ සිදුවීම් සම්බන්ධයෙන් ඔයාලගේ මාධ්‍ය වාර්තා කර තිබුණේ ඕමාන තානාපති කාර්යාලය යන නමින්නේ. මේ නිසා බොහෝ දෙනෙක් ඕමාන තානාපති කාර්යාලය දිහා වපර ඇහෙන් බලන්න ගත්තා. ඒකෙන් අපේ තානාපති කාර්යාලයට විතරක් නෙවෙයි අපේ රටටත් සිද්ධ වුණේ ලොකු අපහසුතාවක්" මනුෂ නානායක්කාර ඇමැතිවරයා හමු වුණු මොහොතේදීම ශ්‍රී ලංකාවේ ඕමාන තානාපතිවරයා මනුෂට කීවේ කනගාටුවෙන් මෙනි.

“ අපේ මාධ්‍ය ඒ ගැන කිවුව විදිය ගැන මම බොහොම කනගාටු වෙනවා. ඒක ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදියට තමයි කියවෙන්න ඕනෑ“. මනුෂ කීවේය‍.

Comments