මන්ත්‍රී­ව­රුන් දෙදෙ­න­කුට ඩයනා දෙන්න යන නින්ජා ගේම... | සිළුමිණ

මන්ත්‍රී­ව­රුන් දෙදෙ­න­කුට ඩයනා දෙන්න යන නින්ජා ගේම...

ය - වැය විවාදය උණුසුම් ආකාරයෙන් පාර්ලිමේන්තුවේදී අවසන් වූ අතර පසුගිය 08 වැනිදා විවාදය ඉතා උණුසුම් වූයේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සමඟ සමඟි ජනබලවේගයේ නලීන් බන්ඩාර, මුජිබර් රහුමාන් අතර දැඩි උණුසුම් වචන හුවමාරුවීම් සිදුවූ නිසාය.

ද්විත්ව පුරවැසිභාවය ගැන කරුණු සඳහන් කරමින් මුජිබර් රහුමන් මුලින්ම ඩයනාට චෝදනා කළේය.

අය - වැය විවාදයට එක්වු ඩයනා ලුණු ඇඹුල් ඇතිව මුජිබර්ට ප්‍රතිචාර දැක්වීමත් සමඟම නලීන් බණ්ඩාර ද ඊට පැටලුණේය.

“මගේ වීසා හොයන්න එන ඔයගොල්ලො 52 කගේ වීසා තියෙන්නේ මං නිසා” යනුවෙන් ඩයනා ප්‍රකාශ කළාය.

මන්ත්‍රී ධූර ටික ආරක්ෂා කරගන්න බෝධි පුජා තියන්න ලෑස්ති වෙන්න. මාව වට්ටන්න ලැබෙන්නේ නැහැ. වැටෙන අය ළඟදීම බලා ගන්න පුළුවන් වෙයි” යනුවෙන් ඩයනා කෑගැසුවාය.

“එතුමිය කිව්වා. එතුමියව කාටවත් වට්ටගන්න බැරි වුණා කියලා. එතුමියව වට්ට ගත්තේ නැහැ. පෙරළ ගත්තා.” යනුවෙන් නලීන් බණ්ඩාර ප්‍රතිචාර දැක්වීය.

“කවුරු පෙරළ ගත්තත් ඔයාට මාව පෙරළ ගන්න බැරි වෙයි” යනුවෙන් ඩයනා ප්‍රතිචාර දැක්වූයේ නලීන් බණ්ඩාරට අත දිගු කරමිනි.

 

අය - වැය ඡන්ද විමසීම ඇඟිලි සලකුණු අනුව විදුත් ක්‍රමයට

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇඟිල්ල තැබුව ද ඡන්දය සලකුණු නොවීම නිසා අත ඔසවා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔවුන්ට සිදු විය.

“තාම හරියට ඇඟිල්ල ගහගන්න බැහැ. ඒ වුණාට පෙරළ ගන්න තමයි කතාව” යනුවෙන් ඩයනා කළ ප්‍රකාශයට සියල්ලෝම සිනාසුණහ.

ඡන්දය අවසන් වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ කිහිපදෙනෙක් ඩයනා වට කර ගනිමින් කීවේ විපක්ෂයට හොඳ උත්තරයක් ලබා දුන් බව ඩයනාට ප්‍රශංසා කරමිනි.

“මුජිබර්, නලීන් බණ්ඩාර මගේ හැටි දන්නේ නැහැ. මට අපහාස කළොත් ඔය දෙන්නා මගෙන් ගුටි කනවා” යනුවෙන් ඩයනා පැවසුවේය.

නින්ජා ගැහිල්ලක් ද ඇමැතිතුමිය ගහන්න යන්නේ” ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු විමසීය.

නින්ජා හරි චීනාඩි හරි ඕන එකකට මං ඔට්ටුයි.”යනුවෙන් ඩයනා දැඩිව ප්‍රකාශ ක‍ළාය.

 

අරගලයේ නීතීඥවරුනුත් ජනපති රනිල් හමුවට

ජනපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් සංවිධානය කළේ නීතිඥවරු පිරිසක් විසිනි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ද එම උත්සවයට පැමිණ සිටි අතර පක්ෂ නීතිඥවරු බහුතරයක් ඔහු අසලට පැමිණියේ නෝක්කඩුවක් කියන්නටය.

“ජනාධිපතිතුමා ළඟට දැන් අපිට යන්න බෑ. බලන්නකෝ ළං වෙලා ඉන්න ඔක්කොමලා එදා එතුමාට විරුද්ධව හිටපු අයනේ.” එ.ජ.ප නීතිඥ මහතකු කීවේය.

“ඔව් ඔව් ඒක තමයි ලොකුම ජයග්‍රහණය.” රුවන් ද කීවේ කොක් හඬලමිනි.

ජනපති රනිල් ළඟට පැමිණි බහුතරයක් දෙනා උත්සාහ කළේ ජනපති සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමටය. ජනපති ද උත්සව ශාලාව පුරා යමින් නීතිඥවරුන් බොහෝ පිරිසක් අසලට ගියේය. ඔවුන් අසල‍ට යද්දී අරගලයට සම්බන්ධව සිටි නීතිඥවරු පිරිසක් ද මුණ ගැසුණේය.

“ආ මේ ඉන්නේ අපේ යාළුවෝ ටික.” පොදුජන පෙරමුණේ නීතිඥ මහතකු කියද්දී ජනපති රනිල් “බොහෝම හොඳයි... බොහොම හොඳයි... අපිට දැන් තියෙන්නේ ඔක්කොම එකතු වෙලා ආර්ථිකය ගොඩ දාන්නයි අරගල කරන්නයි.” කියද්දී සැවොම කොක් හැඬලූහ.

“ලංකාවේ විශ්වවිද්‍යාලයකින් බිහි වුණ එකම ජනාධිපති” වජිර ද එහි සිටි සැමට ජනපතිතුමන් පෙන්වමින් කීවේ එය රටට ආඩම්බරයක් බව හඟවමිනි.

 

සජබ මන්ත්‍රීවරුන් රනිල්ගේ කාමරයේ

පසුගිය දිනවල අය - වැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන අවස්ථාවලදී සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු නිතරම ගැවසෙන ස්ථානයක් වූයේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කාර්යාලයයි.

එහි පැමිණෙන සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවී කතාබස් කිරීමට අමතක නොකිරීම ද විශේෂත්වයකි.

මේ ආකාරයට පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ නිතරම දක්නට ලැබෙන්නේ සමගි ජනබලවේගයේ කුරුණෑගල, ගම්පහ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

වැඩිපුරම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැඩි ලෙස විවේචන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් හතර දෙනකු ඒ අතර සිටීම ද විශේෂත්වයකි.

එදින සවස ජනපති රනිල් ගියේ කොළඹ විශ්වවිද්‍යාලයේ පන්ති සගයකුගේ සාදයකට සහභාගී වීමටය. ඔහුගේ නීති දිවියට ද ඒ වන විට වසර 50 ක කාලයක් සපිරුණු බැවින් උත්සවයක් සංවිධානය කර තිබුණි. ඒ අනෙකකු නොව හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වාය.

එම උත්සවයට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති ඇතුළු නීති ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් එක්ව සිටියහ.

 

ජනපතිගේ කතාවට වැරදි අර්ථකථනයක්

ජනපති රනිල් අඟහරුවාදා පෙරවරුවේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන කිහිපයක නිලධාරීන් මුණ ගැසුණේ වට මේස සාකච්ඡාවක් පවත්වමිනි. මීට අගමැති දිනේෂ් ගුණවර්ධන ද එක්ව සිටියේය. ඉතා සාර්ථක සාකච්ඡාවක් වූ මෙහිදී රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැදගත් අදහස් ගණනාවක් හුවමාරු කර ගැනීමට හැකියාව ලැබුණි.

එදිනම මෙරට ආර්ථික තත්ත්වය ගැන විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදී ද රටේ ආර්ථිකය ගැන කතා කෙරුණි. ජනපති රනිල් මෙහිදි කී කතාවක් සම්බන්ධයෙන් මාධ්‍යයෙන් හා සමාජ මාධ්‍යයෙන් වැරදි අර්ථකථනයක් ලබා දුන්නේ කතාවෙන් කොටසක් අල්ලා ගනිමිනි.

බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු පැමිණි පසු මේ ගැන විමසා සිටියේ මන්ත්‍රී වජිර අබේවර්ධනය. “ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සර්ටත් ආණ්ඩුවටත් අදහසක් නෑ කියලා සර් කිව්වා ද” වජිර විමසීය.

“ඔව්. ඇයි.” ජනපති පිළිතුර එය විය.

“නෑ සර් එහෙම වුණාම වෙන පණිවුඩයක් රටට යනවානේ.” ආශු මාරසිංහ ද කතාවට එකතු වූවේ එසේය.

“ප්‍රතිසංස්කරණයක් කරන්න පුළුවන් ආර්ථිකයක් නෑ. දැන් රටට අවශ්‍ය අලුත් ආර්ථිකයක්. මම ඒ කතාව කියලා ඊට පස්සේ කිව්වා අපි අලුත් ආර්ථිකයක් හදනවා කියලා. ඒක දැකලා නෑ ඔය කියන කට්ටිය.” ජනපති රනිල් කීවේ සිනා සෙමිනි.

“ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කරපු හින්දා ඩොලර් මිලියන 567 ක අලාභයක් වෙලා කියලා විගණන වාර්තාවක් කියනවා.” චාමර සම්පත් වෙන කතාවක් ගෙන ආවේය.

“නැවත මේ වැඩේ පටන් ගන්න බැරි ද ජනාධිපතිතුමා.” සභානායක සුසිල් ද ඇසුවේය.

“මම ජපානයේ ගිය වෙලාවේ මේ ගැන කතා කළා. ඔවුන් කැමතියි එය නැවත දෙන්න.” ජනපති කීවේය.

 

ගෝඨාභය ඇමතිවරුන්ට කිව්වේ මොනවාද?

මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට සාදවලින් අඩුවක් නැත. ඉකුත් සතියේ ද ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් අරලිය ගහ මන්දිරයේදී භෝජන සංග්‍රහයක් පැවැත්විණ. පසුගිය අඟහරුවාදාත් බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි හෝටලයක ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්විණ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සංසදය විසින් මෙම භෝජන සංග්‍රහය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා වන සියලුම බර පැන දරා තිබුණේ ද එම මන්ත්‍රී සංසදයමය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මැති ඇමතිවරුන් සියයකට ආසන්න පිරිසක් සහභාගී වී ඇත. කිහිප දෙනකු කලින් යොදා ගත් වැඩ කටයුතු හේතුවෙන් මෙයට සහභාගී නොවූව ද මුදලෙන් දායකත්වය ලබාදී තිබුණි.

මේ සඳහා මැති ඇමැති බිරින්ඳෑවරුන්ට ද ආරාධනා කර තිබූ තිබුණි. ඒ අනුව ඇමැති ප්‍රසන්න, නිමල් ලාංසා ඇතුළු කිහිප දෙනෙක්ම තම බිරින්දෑවරුත් සමඟ මෙයට සහභාගී විය.

රාත්‍රී 7 ට පමණ ආරම්භ වූ මෙම සුහද හමුව මැදියම වනතුරුත් ජයට පැවැත්වුණ අතර දේශපාලන ලෝකයේ රසකතාවලින් මෙන්ම ගී ගායනය හා නර්තනයෙන්ද වර්ණවත් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ට අමතරව තවත් විශේෂ අමුත්තෙක් මේ සඳහා සහභාගී වීම විශේෂත්වයකි.

එම අමුත්තා අන් කවරකුවත් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි. ඉකුත් ජූලි මස 9 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉවත්ව ගිය පසුව ආණ්ඩු පක්ෂයේ කිසියම්ම හෝ වැඩ කටයුත්තකට ඔහු සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම සුහද හමුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පළමුව පැමිණි අතර අනතුරුව පැමිණියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ඔවුන් දෙදෙනා ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගත්හ. සාදයට සහභාගී වූ සියලුම මැති ඇමැතිවරුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සුහද කතාබහක නිරත වනු දක්නට ලැබුණි.

“ඔබතුමා මේකට ආපු එක ලොකු දෙයක්” ඇමැති ප්‍රසන්න හිටපු ජනාධිපතිවරයා කීය.

“ඔයා කලින් වගේම හොඳට වැඩටික කරගෙන යනවා. ඉස්සරහටත් ඔය විදියට වැඩ කරන්න” ගෝඨාභය හිටපු ජනපතිවරයා ඇමැති ප්‍රසන්නට කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැය භාගයකට ආසන්න කාලයක් රැඳී සිට නික්ම ගියේ වෙනත් වැඩකටයුත්තක් සඳහායි.

 

අය- වැයට ප්‍රසන්නගේ මෙහෙයුම

අය වැය ඡන්ද විමසුම පැවතුනේ බ්‍රහස්පතින්දාය. වැඩි ඡන්ද ප්‍රමාණයකින් අය වැය දිනවීමට ඇමැති ප්‍රසන්න මාසයකට ආසන්න කාලයක් මෙහෙයුමක් දියත් කළහ.

“ආණ්ඩුවෙ මන්ත්‍රීවරු බෙදිල කියල විපක්ෂය කියනවා. අපි බෙදිල නෑ කියලා විපක්ෂයටයි රටටයි පෙන්වන්න ඕන” ඒ ඇමැතිවරයා මේ දිනවල නිතරම මතුරන මන්තරයයි.

නිරන්තරයෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පවත්වන ඇමැතිවරයා අතරමඟදී මුණ ගැසෙන විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ද ඔහු අය වැය ගැන කතා කරයි.

“ අපි මැතිවරණ කාලෙට දේශපාලනය කරමු. ඔයාලයි ලොක්කටත් කියන්න. අපි එකතු වෙලා ගේම් එක ගහමු. නැත්නම් රට ඉවරයි”

ඇමැති ප්‍රසන්න බ්‍රහස්පතින්දා සවස් වරුවෙත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට කීය.

 

දොඩංගොඩගේ පුතාට

මහින්ද කියූ රහස

මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන සෑම විටකම ඔහු පිළිගැනීමට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මන්ත්‍රී පිවිසුම් දොරටුව වෙත යෑම සාමාන්‍ය සිරිතකි.

එක් දිනක් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට ගියේ ගුණතිලක රාජපක්ෂ, ඉසුරු දොඩංගොඩ, ජානක වක්කුඹුර, සුමිත් උඩුකුඹුර, ඩී. බී. හේරත්, සිසිර ජය‍කොඩි ඇතුළු පිරිසකි.

ඉසුරු දොඩංගොඩ දුටු මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ඉසුරු‍ගේ කරට අත තබාගෙන වසර 39කට පෙර සිදු වූ සිදුවීමක රහසක් හෙළි කළේය.

“ඉසුරුගේ තාත්තා අමරසිරි දොඩංගොඩ මහත්තයා 1933 දකුණු පළාත් සභා මැතිවරණයෙන් දකුණේ මහ ඇමැති වෙලා දිවුරන්න දුන්නේ නැහැ. අපි බැරියර් කඩාගෙන ගිහිල්ලා දිවුරුම් දුන්නා. දිවුරුම් දෙනකොට මං තමයි දිවුරුම කියෙව්වේ.” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා කියපු අතීත කතාව සියල්ලන් අසා සිටියේ දැඩි කුතුහලයකිනි.

 

මෛත්‍රී ගැන බැසිල් හෙළි කළ රහස

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මේ දිනවල පළාත් පාලන ප්‍රධානීන් සමඟ දිස්ත්‍රික් දේශපාලන මෙහෙයුම් ප්‍රධානීන්ව නෙලුම් මාවතට කැඳවා ඉදිරි වැඩ ගැන කතා කරන්න පටන් අරන්.

සර්, අපි ජන්දෙට බය නෑ. අපි ගමේ මිනිස්සු එක්ක ඉන්නවා. ඒත් අපේ සභාවල නිල කාලයෙන් අවුරුදු දෙකක් යහපාලන ආණුවට යට වුණා. අනික් අවුරුදු දෙක කොවිඩ් වසංගතේට අහු වුණා. ඒ හින්ද අපිට ජන්දෙකට ලෑස්ති වෙන්න තව පොඩි කාලයක් ඕනි. ගාල්ලෙ රැස්වීම මැද්දෙ මේ කතාව කිව්වෙ රත්ගම ප්‍රාදේශීය සභාවෙ සභාපතිය.

ඒක මම පිළිගන්නව. මම කියන්නෙ නෑ ඡන්දෙකට යමු කියල. ඒත් අපි සූදානම් වෙලා ඉන්න එක කෝකටත් හොඳයි. අනික අමතක කරන්න එපා අපි ගිය පාර ඔබතුමාලගෙ ජන්දෙ කළේ මීටත් වඩා අමාරු වෙලාවක. මතකයිනෙ මෛත්‍රී ජනාධිපතිතුමාගෙ තර්ජන. පක්ෂයක් හැදුවොත් මාව පාර දිගේ ඇවිද්දවනව කියලත් කිව්වෙ. තනියම ඉල්ලල දිනන්න බෑමයි කිව්වා. අන්තිමට මොකෝ වුණේ.

පොහොට්ටුව කොට්ඨාශ 71%ක් දිනුව තනියම. අන්තිමේදි මෛත්‍රීත් මහ ජන්දෙදි ඉල්ලුවෙ අපේ පොහොට්ටුවෙන්. නාමයෝජනා අත්සන් කළාට පස්සෙ එතුමාට ලොකු බයක් තිබ්බ පොලොන්නරුවෙ කවුරු හරි එතුමාගේ නම ටිපෙක්ස් කරයි කියලා. ඒක මට කිව්වම මම කිව්ව බය වෙන්න එපා, ඒක මම බලාගන්නම් කියලා. අන්තිමේදි මම නාමයෝජනා පත්‍රය පොලොන්නරුවෙ කාගෙවත්ම අතට නොදී චොපර් එකක් හයර් කරල මම සාගරවයි කැටගොඩවයි පොලොන්නරුවෙ යැව්ව නාමයෝජනා බාර දෙන්න. ඔන්න ඔහොමයි මම එයාට කළේ. බැසිල් සංවේදී දිග කතාවක් කීවේය.

 

බැසිල්ගේ දෙවන ඉනිම ගැන සජිත්ලා කතා කරති

සමඟි ජන බලවේගයේ සංවත්සර සම්මේලනය ඉරිදා පැවැත්වෙයි. එය සාර්ථක කරගැනීමට පක්ෂයේ සියලුම නායකයන් ද සංවිධායකයන් ද විශාල උනන්දුවකින් කටයුතු කරමින් සිටී.

ඒ අතර සජිත් සංවිධායක කමිටුවට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර මහ ලේකම් රංජිත් නිරන්තරයෙන්ම මේ කටයුතු අධීක්ෂණය කළේය.

"අද මේ රට මොනතරම් අගාධයකට ඇද වැටිලා ද කිව්වොත් දුප්පත්කම දරා ගන්න බැරිව මිනිස්සු ශරීර අවයව විකුණන මට්ටමට වැටිලා."

නලින් බණ්ඩාර කීවේය.

"ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන්න යනවා. ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින නොරොච්චෝල තාප විදුලි බලාගාරය චීනයටත්, ලක්ෂපාන ජල විදුලි බලාගාරය කොරියානු සමාගමකටත් දෙන්න යනවා. මේ ආණ්ඩුව කරන්නේ විකුණලා බැරි තැනට රටම පත් කරන එක. එතකොට විකිණීම ඇර, වෙන විකල්පයක් නැති වෙනවා."

එහෙම කීවේ හර්ෂණ රාජකරුණා ය.

"මේ ආණ්ඩුව ගහන්නේ බැසිල් ගහපු මැච් එකේ දෙවෙනි ඉනිම. ඒකට උදව් කරන්න බැසිල් ආපහු ලංකාවට ආවා."

හේෂා කීවේය.

"ඉතිහාසයේ බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා තියෙනවා. සාමාජිකත්වයත් අරගෙන තියෙනවා. දැන් ඒක ආපහු අලුත් කරගන්න විතරයි තියෙන්නේ."

අශෝක් අබේසිංහ කීවේ අතීත සිදුවීමක් සිහිපත් කරමින් ය.

"දැන් මේ රටේ තියෙන දැවැන්තම දේශපාලන බලවේගය මොකක්ද? අද පොහොට්ටුව තියෙනවා ද... අද එජාපය තියෙනවා ද... අද වෙන දේශපාලන බලවේගයක් තියෙනවා ද...නෑ, අද තියෙන දැවැන්තම දේශපාලන බලවේගය සමඟි ජනබලවේගය යි.

 

නාමල්, මහින්ද වෙනුවෙන් කරන්න හදන වැඩේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට හම්බන්තොට දිස්ත්‍රික් ‍පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ දිනවල සැලසුම් කරමින් සිටී.

මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා සමඟ වසර 50කට වැඩි කාලයක් දේශපාලන ක්‍රියාකාරීන් ලෙස ළඟින්ම කටයුතු කළ ක්‍රියාකාරීන් වෙනුවෙන් විශේෂ උපහාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාමල් රාජපක්ෂ සැලසුම් කර තිබේ.

“තාත්තා අභියෝග රැසකට මුහුණ දෙමින් දේශපාලනයේ ඉහළටම ඇවිල්ලා පස්වෙනි විධායක ජනාධිපති වෙලා මේ රට ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට කටයුතු කිරීමට හැකි වුණා. ඒ ගමනට විශාල ශක්තියක් වුණේ තාත්තත් එක්ක එදා ඉඳලා ඉන්න ක්‍රියාකාරීන්” යනුවෙන් නාමල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ජාවකදී ප්‍රකාශ කර තිබුණි.

ඒ අනුව එහි පළමු උපහාර උත්සවය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන් වෙනුවෙන් ජනවාරි මස 14 වැනිදා තංගල්ල කාල්ටන් හිදී පැවැත්වීමට නියමිතයි.

 

පාසල් දරුවන්ට අජිත් රාජපක්ෂගෙන් පාඩමක්

පසුගිය දිනවල පාර්ලිමේන්තුව නැරඹීමට පාසල් දරු දැරියන් විශාල වශයෙන් පැමිණි අතර බොහෝ අවස්ථාවල එම දරුවන් හමුවී කතාබහ කිරීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අමතක නොකළේය.

එසේ පාසල් දරුවන් හමු වූ හැම අවස්ථාවකදීම අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය, පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සිදු කළේය.

 

රනිල් ගෙනාවට නිතීඥයන්ගෙන් වජිරට තුති

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් පසුගිය සෙනසුරාදා පස්වරුවේදී කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සඳහන් කර සිටියේ “සියලු පුරවැසියන් සහයෝගයෙන් ජීවත් වෙන එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට සියලු භේද පසෙකලා 75 වන නිදහස් සංවත්සරය සමඟ සියලු දෙනා අත්වැල් බැඳ ගත යුතු බවත් ඒකීය සහ එක්සත් භාවය බිඳ දමන ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික ගැටලුවලට එක්සත්ව විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙළක ඇරඹුම 75 වෙනි නිදහස් සැමරුමේදී සනිටුහන් කළ යුතු බවත්ය.

එසේම පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කළ පරිදි සියලු දෙනාගේ සහාය ඊට හිමි වුවහොත් එය අසීරු කටයුත්තක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලඥයන්ට පමණක් එය තනිව ඉටුකළ නොහැකි බවත්, නීතිඥයන් ඇතුළු වෘත්තිකයන්ගේ සහාය ඊට හිමි විය යුතු බවත් සඳහන් කළේය.

පැමිණ සිටි නීතීඥයන් බොහෝ දෙනෙක් වජිර අබේවර්ධන සමඟ කතා බහ කිරීමට අමතක නොකළේය.

“ඇම­ැතිතුමා, ඔබතුමා තමයි ඉතින් මේ ගමන් මගේ පුරෝගාමියා වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිකම බාර නොගත්තා නම් අද රට කොයි වගේ තැනක තියෙයිද දන්නේ නැහැ. ඔබතුමා තමයි ඉතින් එකහෙලාම ප්‍රකාශ කළේ මේ රට ගොඩගන්න නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට බාර දෙන්න කියලා.” යැයි එක් නීතීඥවරයෙක් ප්‍රකාශ කළේය.

 

Comments