අපිට ඉතිරි වුණේ ඇඳගෙන හිටපු ඇඳුම් ටික විතරයි | සිළුමිණ

අපිට ඉතිරි වුණේ ඇඳගෙන හිටපු ඇඳුම් ටික විතරයි

අනිත් සියලුම දේ ගිනි තියලා විනාශ කළා

2022 මැයි 09 වැනිදාට යෙදී තිබුණු අපේ 20 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් මමත් බිරියත් එදා උදෑසනම මහනුවර දළදා මාලිගාවට ආවා. මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා ධුරයෙන් ඉවත් වීමට නියමිතව තිබුණ නිසා මම එදා උදේ අටට විතර අරලියගහ මන්දිරයට ගිහින් එතුමාට සුබ පතලා ආවා. මම එතුමාටත් කිව්වා විවාහ සංවත්සරය වෙනුවෙන් බිරියත් සමඟ නුවර යන නිසා කලින් පිටත් වෙනවා කියලා. අපි නුවර ගිහින් දළදා මාලිගාව වැඳ පුදාගෙන හවස නැවත එන්න පිටත් වෙනකොට තමයි රට පුරා ඇතිවෙමින් තිබෙන කලබලකාරී තත්ත්වය ගැන දැනගත්තෙ. ඒ විතරක් නෙවෙයි මගේ ගෙදරට පහර දීලා ගිනි තියලා සිදු කරන විනාශය සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නත් ලැබුණා

ඒ හඬ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් ගේ ය. සිය බිරියත් දරුවාත් සමඟ වසර ගණනාවක් ජීවත් වන, ජීවිතයේ සියලු මතක සැමරුම් සහ ජීවිත කාලය පුරා උපයාගත් සියල්ල ගින්නෙන් දැවෙන අන්දම දැක දැක ඒ සියල්ල ඉවසා දරාගෙන ඉන්නට සිදුවීම කොතරම් අනුවේදනීය සිදුවීමක් දැයි වැටහෙනු ඇත්තේ එවැනි අත්දැකීමකට මුහුණ දුන් අයකුටම පමණි. එහෙත් ඉකුත් මැයි මස 9 වැනිදා මෙරට මහජන නියෝජිතයන් 70කට අධික පිරිසක් ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්හ. අරගලය නමින් මහ පාරට බැස මහජන නියෝජිතයන්ගේ පෞද්ගලික දේපළ පමණක් නොව පොදු දේපළ පවා විනාශ කරමින් රට පුරා ඇති කළ ප්‍රචණ්ඩකාරී වාතාවරණය ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සෑම හදවතක් තුළම සන්තාපයක් ඇති කළාට සැක නැත. පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන අදත් ඒ සිදුවීම් පෙළ ආවර්ජනය කරන්නේ එදා හදවතට දැනුණු වේදනාව, තිගැස්ම සමඟය.

“කඩවත පිහිටි මගේ නිවෙස විනාශ කරපු හැටි ඒ විදිහට දැක දැකත් අපි ගෙදර එන්න පිටත් වුණා. නමුත් එන්න එන්නම තත්ත්වය දරුණු වෙමින් තිබුණා. මීරිගම අධිවේගී මාර්ගයෙන් පිටතට එද්දි හාර පන්දාහක පිරිසක් මහපාරට බැහැලා හිටියා. ඔවුන් එතැනින් යන එන හැම වාහනයක්ම නවත්තලා දොරවල් ඇරලා පරීක්ෂා කරනවා. වාහනවලට පහර දෙනවා. පාර්ලිමේන්තුවේ 225 දෙනාම එපා, ඔවුන් හැමකෙනෙක්ම විනාශ කළ යුතුයි කියන දේ තමයි ඒ වෙද්දි ප්‍රචණ්ඩකරුවන්ගේ එකම අදහස වෙලා තිබුණේ. ඒ නිසා මගේ ජීවිතයටත් අවදානමක් තියෙන බව තේරුම් ගත්තා. ඒ නිසාම මම මීරිගම ඉඳලා ආවේ වාහනේ පිටිපස්සේ තියෙන බඩු දාන කොටසේ නිදාගෙන කාටවත් නොපෙනෙන්න. බිරියයි අපි එක්ක නුවර ගිය මගේ යාළුවොයි සාමාන්‍ය විදිහට වාහනේ වීදුරු පාත් කරගෙන, අරගලයට ජයවේවා කියමින්. එන අතරමඟ 15 තැනකදි විතර ප්‍රචණ්ඩකාරීන් අපේ වාහනයත් නවත්තලා පරීක්ෂා කළත් වාසනාවකට වගේ ඒ කාටවත් මාව හොයාගන්න බැරි වුණා. එහෙම වුණා නම් අනිවාර්යයෙන් එදා මාවත් මරනවා. කොහොමහරි පණ බේරගෙන ආවට අපිට ඒ වෙද්දි අපේ ගෙදරට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ගෙදරට පහර දීලා හැමදේම කඩලා බිඳලා විනාශ කරලා අන්තිමට ගිනි තියලා තිබුණා. අපි වතුර බොන ළිඳට පවා කළු තෙල්, ඩීසල්, භූමිතෙල් දාලා ආයේ ඒ ළිඳෙන් වතුර ටිකක්වත් බොන්න බැරි තත්ත්වයට පත් කරලා තිබුණා. ඒ සිද්ධිය වෙද්දි ගෙදර හිටියේ මගේ පුතයි බිරියගේ අම්මයි තාත්තයි. ඔවුන් විශාල මානසික පීඩාවකට, භීතියකට, කම්පාවකට මුහුණ දීලා තිබුණා ඒ සිදුවීම නිසා. කඩවත නගරය එදා ඉතා දරුණු විදිහට ප්‍රචණ්ඩකාරීන්ගේ බලපෑමට නතු වුණා. සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, විශ්වවිද්‍යාල සිසුන්, පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් ඇතුළු හාරපන්දාහක් පිරිසක් වෛරයෙන් ද්වේශයෙන් උසිගන්වලා මේ අපරාධය කළේ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසන පරිදි ඒ වෛරය සහ ද්වේශය විසින් ගිනි තබා විනාශ කළ නිවෙස හුදු ගොඩනැඟිල්ලක් පමණක් නොවේ. ඔහු සිය බිරිය, දරුවා සමඟ ආදරයෙන් සතුටින් ජීවත් වූ ස්ථානයයි. ඔවුන්ට අයත් සියල්ලම තිබූ ස්ථානයයි. ප්‍රචණ්ඩකාරීන් ඒ සියල්ලම එක නිමේෂයකදී ගින්නෙන් දවා අළු කළහ.

“අපිට අයිති හැමදෙයක්ම විනාශ වුණා. ඒ අතර නැවත කවදාවත් සල්ලිවලටත් ගන්න බැරි වටිනා දේවල් රාශියක් තිබුණා. අපේ ලිපි ලේඛන, මගේ පාසල් වියේ ජයග්‍රහණ, මගේ දරුවගේ පොත්පත් ඇතුළු මතක සටහන් රාශියක්. කෙටියෙන් කියනවා නම් අපිට ඉතිරි වුණේ ඒ වෙලාවේ ඇඳගෙන හිටපු ඇඳුම් ටික විතරයි.අනිත් සියල්ලම ගිනි තියලා විනාශ කරලා. තවත් බොහෝ දේවල් සොරකම් කරගෙන ගිහින් තිබුණා. එදා සිට දින කිහිපයක්ම මමයි බිරියයි මිතුරෙක්ගේ ගෙදර හිටියේ. ප්‍රචණ්ඩකාරීන් ගෙදර විනාශ කරද්දි මගේ පුතා ගෙදර හිටියේ. ඔහුට වයස අවුරුදු 19යි. මේ වෙද්දි ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නවා. මිතුරෙක් ඇවිත් පුතාව ඔහුගේ වාහනයෙන් රැගෙන යද්දි ප්‍රචණ්ඩකාරීන් ඒ වාහනය පිටුපසත් ලුහුබැඳ තිබුණත් වාසනාවකට පුතාට අනතුරක් කරන්න ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ. මට හිතාගන්න බැරි ඒ තරම් පළිගැනීමක්, විනාශයක් කරන්න තරම් මම කළ වරද මොකක්ද කියලයි. මම අරගලයට සම්බන්ධ අයට ගැහුවෙ නැහැ. ගහන්න සෙනඟ ගෙනිච්චෙත් නැහැ. මම හිතන්නේ ඒ වෙලාවේ ඒ පිරිස හැසිරුණේ හැමදෙනා ගැනම වෛරී හැඟීමෙන්. ආණ්ඩුව නියෝජනය කළ මහජන නියෝජිතයකු වීම නිසා මමත් ඒ වෛරයට ලක් වුණා. මගේ ගෙදරට ඒ විනාශය කරද්දිත් පොලිස් නිලධාරීන් 15-20ක් මගේ ගෙදර හිටියා. නමුත් ඒ වෙලාවේ අපි වෙනුවෙන් පෙනී සිටින්න කාටවත් බැරි වුණා.”

එසේ වුවද ඔහු අද ඒ සිදුවීම පිළිබඳ කල්පනා කරන්නේ මැදහත් සිතිනි.

“මගේ ගෙදරට සිදුවුණු අලාභය ගැන තක්සේරු කරන්න තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආවෙත් ඒ සිදුවීමෙන් මාස 3කට පස්සෙයි. ඒ වෙද්දි විනාශ වෙච්ච බඩුවල සුන්බුන් අපි අස්කරලත් ඉවරයි. ඔවුන්ගේ තක්සේරුව ලක්ෂ 12යි. නමුත් මම ගෙදර තිබුණු හැම දේම ඡායාරූප අරන් දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ තක්සේරු දෙපාර්තමේන්තුවටත් යැව්වා. නමුත් කවුරුවත් ඒවා පිළිගන්නෙ නැහැ. සිද්ධියට සම්බන්ධ කිහිපදෙනෙක්ව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තිබුණත් පස්සේ මම ඒ හැමදෙනාවම නිදහස් කරන්න කිව්වා. මගේ ගෙදර විනාශ කරන්න ඇවිත් තිබුණු ගොඩක් අය මම දන්න තරුණයෝ. ඔවුන් ඇත්තටම ඒ දේට සම්බන්ධ වෙලා තිබුණේ මා සමඟ අමනාපයකට නෙවෙයි, රැල්ලට කරපු දෙයක් නිසයි. ඒ පිරිස අතර මගේ පාක්ෂිකයෝ තුන්හාර සීයක්වත් ඉන්න නැතුව ඇති. පාක්ෂිකයෝ කවදාවත් අපිට ඒ විදිහට සලකන්නෙ නැහැ. දේශපාලනය තුළ ඔවුන් වෙනුවෙන් මම කරපු දේවල් ගැන ඔවුන් දන්නවා."

පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන එසේ කීවේ සිය දේශපාලන ගමන් මඟ පිළිබඳ ද ආවර්ජනය කරමිනි. කඩවත මහබෝධි විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් කඩවත මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස්පෙළ දක්වා අධ්‍යාපනයත් ලැබූ සහන් ප්‍රදීප් දේශපාලන ජීවිතයට ආභාසය ලබන්නේ ප්‍රකට දේශපාලනඥයකු වන අතුල නිමලසිරි ජයසිංහ ගෙනි.

“මගේ පවුලේ කිසිම කෙනෙක් දේශපාලනයට සම්බන්ධ නැහැ. මගේ පියා රජයේ සේවකයෙක්. මව ගෘහණියක්. පාසල් යන කාලයේ මම පන්ති නායකයෙක්, ශිෂ්‍ය නායකයෙක් සහ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළා. ඒ වගේම කැඩේට් සාජන්ට් කෙනෙක්. පාසල් කාලයෙන් පසුව යෞවන සමාජවල කටයුතු කළා. ඒ තුළින් ලැබූ සමාජශීලී භාවය නිසා තමයි දේශපාලනයට එන්න මට ආශාවක් ඇති වුණේ.”

ඒ ඇල්ම දිගේ පියවරෙන් පියවර සිය දේශපාලන ගමන ඉවසීමෙන් සහ කැපවීමෙන් යුතුව පැමිණි සහන් ප්‍රදීප් පළමුව මහර ප්‍රාදේශීය සභාවත් ඉන්පසුව බස්නාහිර පළාත් සභාවත් ජයගත් මන්ත්‍රීවරයකු බවට පත්විය. අවසානයේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප 97,494ක් ලබා ගනිමින් පළමු වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අසුනක් දිනා ගැනීමට හෙතෙම වාසනාවන්ත විය. ඒ ජයග්‍රහණ අතරට මැයි 9 වැනිදා මුහුණ දීමට සිදුවූ සිදුවීම දැනෙන්නේ කවරාකාරයෙන් දැයි මම ඔහු විමසුවෙමි.

“දේශපාලන ජීවිතය තුළ මෙවැනි සිදුවීමකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නිසා ඒ ගැන හිතේ කම්පාවක් තිබෙනවා. නමුත් දේශපාලනය තුළින් මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා. ඒ තුළින් මට විශාල පිරිසකට උදවු කරන්න අවස්ථාව ලැබුණු නිසයි. ඒ නිසා මොන තරම් අභියෝග බාධක ආවත් ජනතාවගේ කැමැත්ත මට තිබෙනතුරු දේශපාලනය කරනවා. මේ රටේ හැම වෘත්තියකම ඉන්න කෙනෙකුටම වගේ කුමන හෝ වෘත්තිය සමිතියකින් රැකවරණයක් තිබෙනවා. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ රැකවරණය නැති වීම අවාසනාවන්ත තත්ත්වයක්. මේ වෙද්දි මමත් බිරියත් ඉන්නේ නිවාස අහිමි වුණු මන්ත්‍රීවරුන්ට වසරක කාලයක් සඳහා දී තිබෙන තාවකාලික නිවෙසක. බිරියගේ මවුපියන් ඉන්නේ කුලී නිවෙසක. ඒ අපහසුතා විඳගෙන අපි තවදුරටත් දේශපාලනය කරනවා. නමුත් මේ රටේ තරුණ පිරිසට කියන්න කැමතියි එක් එක් පාර්ශ්වයන්ගේ පටු න්‍යාය පත්‍රවලට අහුවෙලා අන්ධ වෙලා අනවබෝධයෙන් කටයුතු කරන්න එපා කියලා. අපේ රටේ තරුණ පරපුර රැල්ලට අහුවෙලා ගහගෙන යන්නෙ නැතුව යථාර්ථවාදීව බුද්ධිමත්ව හිතලා රට ගැන හැඟීමෙන් කටයුතු නොකළොත් මේ රටට අනාගතයක් නැතිවෙයි. දරුවන්ට ඒ අවබෝධය ලබා දෙන එක මවුපියන්ගෙත් වගකීම.”

Comments