කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ
මැයි නව වැනිදා අපි අරලියගහ මන්දිරයට ආවේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමාට සමුදෙන්නයි. මහින්ද රාජපක්ෂ කියන්නේ හැමදාම අපේ හදවත්වල ජීවත් වෙන නායකයෙක්. එතුමා වෙනුවෙන් අපේ හිත්වල ආදරය, ගෞරවය හැමදාම තියෙනවා. ඒ උත්සවයෙන් පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා.
අපි කෑගල්ලේ ගෙදරට ගිහින් පැයක් විතර යද්දි අපේ ගම්පළාත්වලත් කලබල ඇතිවෙන්න පටන් ගත්තා. රට පුරා මැති ඇමතිවරුන්ගේ ගෙවල්වලට පහර දෙන, ගිනි තියන සිදුවීම් ඇති වුණා. අපේ කෑගල්ලේ ගෙදරටත් පිරිසක් පහර දෙන්න ආවත් අහල පහළ ජනතාව අපිව ආරක්ෂා කළා. ඒ අතරේ තමයි යටියන්තොට ගෙදරට පුද්ගලයන් දෙතුන් සීයක් ඇවිත් කලබල කරලා අලාභ හානි කරලා තිබුණේ. නමුත් ආරක්ෂක අංශවල මැදිහත් වීම නිසා ගෙදරට ගිනි තියලා ලොකු විනාශයක් කරන්න ප්‍රචණ්ඩකාරීන්ට අවස්ථාව ලැබුණේ නැහැ.
“රටේ දේශපාලනය ඉතිහාසය මත කළු අකුරින් ලියැවුණු 2022 මැයි 9 වැනිදා පිළිබඳ ඒ ආවර්ජනය කළේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ ය. පැවති ආණ්ඩුවට විරෝධය පාමින් නැඟුණු ජනතා විරෝධය ආයුධයක් කරගත් ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් රට පුරා ඇවිලූ සාහසිකත්වයේ ගින්නෙන් එදා රටම භීතියෙන් ඇලළී ගියේය. ආණ්ඩුව නියෝජනය කළ මහජන නියෝජිතයන් 70කට අධික පිරිසකගේ නිවෙස්වලට පහර දෙමින් කළ අලාභය කොතෙක් දැයි නිසි ලෙස ගණනය කිරීම පවා අසීරුය.
“ගෙදරට සිදු වූ අලාභය තක්සේරු කරලා තියෙනවා. නමුත් එදා ඉදිකිරීම් ද්‍රව්‍ය මිල හා අද මිල අතර විශාල වෙනසක් තියෙනවා. ඒ නිසා සාධාරණ වන්දියක් ලැබෙන්නෙ නැහැ. මම හිතන්නේ අපිටත් වඩා ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ මැති ඇමතිවරුන්ට ඒකෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා”.
සිය නිවෙසට පහර දී අලාභ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වී ඇති පිරිස අතර ජනතා විමුක්ති පෙරමුණට, පෙරටුගාමී පක්ෂයට සහ සමගි ජන බලවේගයට සම්බන්ධ පාක්ෂිකයන් සිටි බවට තොරතුරු ලැබී ඇති බව ද මන්ත්‍රිනී, රාජිකා වික්‍රමසිංහ පැවසුවාය.
“එදා රට පුරා ඇතිවුණු මේ වගේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් දිහා බැලුවම පැහැදිලි වෙන්නේ ඒවා දේශපාලන පළිගැනීම් වගේම පෞද්ගලික අමනාපකම් පිරිමහා ගන්නත් අවස්ථාවක් කරගත්තා කියලයි. බොහෝ වෙලාවට මේ ගෙවල්වලට පහර දෙන්න ඇවිත් තිබුණේ ගම්වල අය නෙවෙයි. පිට ගම්වලින් ගෙනාව පිරිස්වලට නායකත්වය දුන් පුද්ගලයන් තමයි මෙවැනි සිදුවීම් රැසකට මුල් වෙලා තිබුණේ.
ජීවිතයේ පළමු වැනි වතාවටයි මම මෙවැනි සිදුවීමකට මුහුණ දුන්නේ. විශේෂයෙන් මෑතකාලීන දේශපාලන ඉතිහාසය තුළ අපි මෙවැනි සිදුවීම්වලට මුහුණ දීලා නැහැ. 1983 කළු ජූලියේදී ජනතා විමුක්ති පෙරමුණ ගෙවල් ගිනි තියමින්, මිනිස් ඝාතන සිදු කරමින් රට පුරා භීෂණය පැතිරෙව්වා. මැයි 9 වැනිදා ඔවුන් කළේ නැවත වරක් ඒ දේශපාලන සංස්කෘතිය යළි ආරම්භ කිරීමක්. පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමා කියන්නේ ඉතාම අහිංසක මන්ත්‍රීවරයෙක්. එතුමාව ඉතාම කුරිරු ආකාරයට ඝාතනය කළා. ඒ සිදුවීම අපි තරයේ හෙළා දකිනවා. අපි සියලුම දෙනා මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට ගියේ අපේ නායකයා වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට කෘතගුණ දක්වන්නයි. දේශපාලන වශයෙන් තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය රටේ හැම පුරවැසියෙකුටම තියෙනවා. ඒ අයිතිය ගහලා මරලා නැති කරන්න පුළුවන්ද? එහෙම නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ කොහෙද?”
ඇය විමසන්නීය. මැයි 9 වැනිදා ප්‍රචණ්ඩත්වයට ලක්වූ හැම කෙනෙකුගේම සිතේ ඒ ප්‍රශ්නය ඔඩු දුවනවාට සැක නැත. එකී සිදුවීම් දාමයට හවුල්කරුවන් වූ පුද්ගලයන් පිළිබඳ මන්ත්‍රිනී, රාජිකා වික්‍රමසිංහ පළ කළේ මෙවැනි අදහසකි.
“අරගලය නමින්නේ මේ සිදුවීම් පෙළ සිදු වුණේ. අරගලය හොඳයි. අපිත් මුලදි අරගලයට කැමති වුණා. ඒකට හේතුව දේශපාලන වශයෙන් නායකත්වයට පෙන්වීමේ ඕනෑකමක් තිබුණා මේ යන ගමන වැරදියි කියලා. නමුත් අවසානයේ අරගලයට මොකද වුණේ. ඒක වෙනස්ම මුහුණුවරක් ගත්තා. අද රට පුරා මත්ද්‍රව්‍ය උවදුර පැතිරෙන්න අරගලයත් හේතුවක් වෙලා තියෙනවා. එයින් සමාජයම දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. එදා අරගලය නමින් මාධ්‍ය සංදර්ශන පවත්වපු අයගේ දේශපාලන මතවාදයට අද මොකක්ද වෙලා තියෙන්නේ? කාන්තාවක් විදිහට මම ඒ දේවල් අනුමත කරන්නේ නැහැ. මහපාරේ කාන්තාවන් පිරිසක් කල්ලි ගැහිලා කෑ ගැහුවා කියලා මේ රටේ ආර්ථිකය හදන්න බැහැ. ගමේ කාන්තාවන්ගේ, දරුවන්ගේ බඩගින්න නිවන්න, ප්‍රශ්න විසඳන්න බැහැ. ”
පැවති ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කළ බවට ඇතැම් පිරිස් ගෙන ගිය මතවාද ජනතාව තුළ ඇති කළ නොසන්සුන්තාව ද මැයි 9 වැනිදා සිදුවීම් දාමයට හේතුවක් විය. මහජන නියෝජිතවරියක ලෙස මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ ඒ තත්ත්වය දකින්නේ මෙලෙසිනි.
“කොවිඩි වසංගතය නිසා ලෝකයම විශාල කඩාවැටීමකට ලක් වුණා. ඒ නිසා අපේ රටේ ආර්ථිකයට විශාල පහරක් වැදුණා. එයින් ගොඩ එද්දි තමයි අරගලය ඇවිත් රටේ ආර්ථිකය තවත් කඩලා බිඳලා දැම්මේ. මහපාරේ අරගල නිසා විදේශිකයෝ රටට එන්න බය වුණා. රට අගාධයට ගෙනියන්න හවුල් වුණු අරගලයට නායකත්වය දුන්න අයගේ ගිණුම්වලට අද ලක්ෂ ගාණින් මුදල් වැටෙනවා. ඒවා ගැන කතා කරන්න ඔවුන් මාධ්‍ය ඉදිරියට එන්නෙ නැහැ. ඒ ගැන කනගාටුවක් තියෙනවා. මේ රටේ බුද්ධිමත් තරුණ පිරිස රට සංවර්ධන කරන්න, රටේ ආර්ථිකය හදන්න තමන්ගේ දැනුම, බුද්ධිය පාවිච්චි කරන්නේ නැතුව ඒක අනිසි ආකාරයෙන් රටට අයහපතක් කිරීමේ අරමුණින් යෙදවීම ගැන කනගාටුවක් තියෙනවා. රටට සැබෑ ලෙස ආදරය කරන තරුණ නායකත්වයක් එතැන තිබුණේ නැහැ. අදත් මම කියන්නේ අරගලය කරපු අයට රට ගැන, ජනතාව ගැන සැබෑ ආදරයක් තියෙනවා නම් මහපාරේ අරගල නොකර මේ මත්ද්‍රව්‍ය උවදුර නවත්වන්න, රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, දේශීය නිෂ්පාදන නඟා සිටුවන්න ඉදිරියට එන්න.”
මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ පැවසුවේ රට වෙනුවෙන් සෑම පුරවැසියකුටම ඇති යුතුකම පිළිබඳ සිහිපත් කරමිනි.
රාජිකා වික්‍රමසිංහ උසස් අධ්‍යාපනයෙන් පසුව හෙද වෘත්තියට පිවිස කලක් එහි නියැළීමෙන් පසුව ඊට සමු දෙන්නේ විවාහ දිවියට පිවිසීමත් සමඟය. ඇයගේ සැමියා සබරගමු පළාත් හිටපු ඇමැතිවරයකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාල් වික්‍රමසිංහ ය.
“කොළඹ උපන් මම කෑගල්ලට එන්නේ විවාහයෙන් පසුවයි. මගේ සැමියා 1997 සිට දේශපාලනයේ නියැළුණා. ප්‍රාදේශීය සභා, පළාත් සභා නියෝජනය කළා. 2016 පළාත් සභාව විසුරුවන තෙක් අඛණ්ඩව පළාත් සභාව නියෝජනය කළා. මම විවාහ වෙලා ආව දා සිට සැමියාගේ දේශපාලන ජීවිතයට සහයෝගය ලබා දුන්නා. විවාහ වීමට පෙර සිට කුඩා කාලයේ සිටම මගේ පවුලේ දේශපාලන සහ සමාජයීය පසුබිමක් තිබුණා. මගේ පියා සමාජ සේවා කටයුතුවල යෙදුණු අයෙක්. ඒ නිසා කුඩා කාලයේ සිට මම දැක්කා මිනිස්සු විවිධ දුෂ්කරතාවලදි උදව් උපකාර ඉල්ලගෙන එන හැටි, පියා ඔවුන්ට පිහිට වෙන හැටි. ඒ නිසා ජනතා සේවය මට නුපුරුදු දෙයක් වුණේ නැහැ. අනිත් කරුණ මම විවාහයට පෙර හෙදියක් ලෙස සේවය කළා. ඒ රැකියාවත් නිතරම ජනතාව සමඟ ගැටෙන ඔවුන්ට උදව් උපකාර කරන, පිහිට වෙන්න අවස්ථාව ලැබෙන ඉතා මානුෂික රැකියාවක්. ඒ නිසා සැමියා ජනතාව වෙනුවෙන් කළ සේවය මට අමුතු දෙයක් වුණේ නැහැ. ඔය අතරෙදි තමයි 2012දී සැමියා අසනීප වුණේ. ඒ අවස්ථාවේ අපේ පක්ෂයේ ඉහළ නායකත්වයෙන් මට ඉල්ලීමක් ලැබුණා මහත්තයාගේ දේශපාලන ගමන ඉදිරියට ගෙනයන්න කියලා. කෑගලු දිස්ත්‍රික් ජනතාවත් මට ඒ සඳහා ආශිර්වාද කළා. ඒක තමයි මගේ දේශපාලන ජීවිතයේ ආරම්භය. අහඹු විදිහට දේශපාලනයට යොමු වුණත් අවුරුදු ගණනාවක් දේශපාලනය කළ නායකයෙක්වත් නොගිය දිස්ත්‍රික්කයේ හැම වසමකටම මම ගියා. හැම දුෂ්කර වසමකටම මම ගිහින් තියෙනවා. මගේ සැමියා පළාත් සභාවේ ක්‍රීඩා සහ කෘෂිකර්ම ධුරවල කටයුතු කරද්දි මම කාන්තා සංවිධාන, ගොවි සංවිධාන සහ විශේෂයෙන් තරුණ සංවිධාන සමඟ සමීපව කටයුතු කළා, ඔවුන්ට උදවු උපකාර කළා. ගමක් පාසා ගිහින් ජනතාව හමුවෙලා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලුවා.” ඒ අතීතය ඇය සිහි කරන්නේ සතුටිනි.
“2015 මම පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. හැටනවදාහක් මනාප ගත්තත් මනාප 21කින් මට එවර පාර්ලිමේන්තු වරම් අහිමි වුණා. ඒ මොහොතේ හිතට යම් දුකක් දැනුණත් පහුවදා සිට නැවතත් මම උනන්දුවෙන් දේශපාලන කටයුතුවල නිරත වුණා. දිස්ත්‍රික්කයේ ජනතාව මා සමඟ හිටියා. එහි ප්‍රතිඵලයක් විදිහට 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප 70,000ක් අරගෙන දිස්ත්‍රික් ජනතාවගේ ආශිර්වාදයෙන් මම පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. කොළඹින් ගිහින් කෑගල්ලේ වසම් 573ක ඇවිදලා දිස්ත්‍රික් ජනතාවගේ ආශිර්වාදයෙන් පාර්ලිමේන්තුවේ 225 දෙනා අතරට ආව ගමන ගැන මගේ හිතේ අවංක සතුටක් තියෙනවා. මගේ දේශපාලන ජීවිතයේ දැවැන්ත සෙවණැල්ල සහ ශක්තිය මගේ සැමියා ශ්‍රී ලාල් වික්‍රමසිංහ. මගේ තාත්තාගෙන් ලැබෙන අවවාද අනුශාසනාත් මට ලොකු ආශිර්වාදයක්. ඒ වගේම පක්ෂයේ දේශපාලන නායකත්වය සහ දිස්ත්‍රික් ජනතාව නිසයි මගේ ගමන සාර්ථක වුණේ. ඒ ගැන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ පැවසුවේ සතුටින් වුවද ඇයගේ සිත දොම්නසට පත් කරන කරුණක් ද ඒ අතර වේ. ඒ ගැන ඇය මෙසේ පැවසුවාය.
“මේ වෙද්දි මම පාර්ලිමේන්තුවට පත්වෙලා අවුරුදු දෙකහමාරක් වෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනා අතරින් කෙනකු වීමට ලැබෙන අවස්ථාව සුවිශේෂී භාග්‍යයක්. ඒ විදිහට අපිව පාර්ලිමේන්තුවට පත් කරලා එවන ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්නයි, ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින්නයි. නමුත් රටේ පවතින වත්මන් තත්ත්වය තුළ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් දැනෙන ආකාරයට යමක් ඉටු කරන්න අවස්ථාවක් නොලැබීම ගැන දුකක්, කනගාටුවක් මගෙ හිතේ තියෙනවා. කෙසේවෙතත් ජනතාව වෙනුවෙන් හැකි උපරිමයෙන් කළ හැකි සේවය කිරීමයි මගේ බලාපොරොත්තුව”
සුරේකා නිල්මිණි ඉලංකෝන්