ලෙස්ටර් නම් වූ අව්‍යාජ මිනිසා | Page 2 | සිළුමිණ

ලෙස්ටර් නම් වූ අව්‍යාජ මිනිසා

එතුමන් උදේම පිරිත් ශ්‍රවණය කළේ ආගමික හැඟීම හෝ නොඑසේනම් එහි සෞන්දර්ය නිසා හෝ විය හැකිය. කෙසේ හෝ ආගම සංස්කෘතිය සම්බන්ධයෙන් එතුමාගේ හැඟීම් පසුකාලීනව මුදු මොළොක් වූ බව පැවසිය හැකිය. රේඛාවේ කතා පුවත සම්බන්ධයෙන් වුව ද එතුමන් තුළ පසුකාලීන ව වූයේ උපේක්ෂාශීලී පිළිවෙතක් යැයි සිතමි. එනම් ඒ කතා පුවතෙන් මෙරට සංස්කෘතිය පිළිබඳ යම් හෙළාදැකීමක් සිදුවන්නේය යන්න නොපිළිගෙන සිටීමෙන් වැළකීමට එතුමන්ට වුවමනාවක් නොවූ බව පෙනෙයි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් නිර්මාණය කළ විශිෂ්ට චිත්‍රපට පිළිබඳව ලෝකය ම දැන සිටියි. ඒ ගැන බොහෝ දේ ලියැවී ඇත. කියවී ඇත. මේ දිනවල අසන්නට ද ලැබිණි. එතුමන්ගේ සම්භාව්‍ය සිනමා චිත්‍රපට කලාවට සිදුවූ මෙහෙවර පිළිබඳව විචාරකයෝ බොහෝ දෑ කියා ඇත. මා උත්සාහ කරන්නේ ඉන් බාහිරව මේ මොහොතේ යමක් කියන්නටය. වාණිජ නොඑසේ නම් ජනප්‍රිය චිත්‍රපට කලාවට එතුමාගෙන් මෙහෙවරක් ඉටුවී දැයි විමසන්නටය.

දකුණු ඉන්දීය අච්චුවෙන් සිංහල චිත්‍රපටය මුදවා ගනිමින් එතුමා මග පෑදුවේ සම්භාව්‍ය සිංහල චිත්‍රපට කලාවකට පමණක් නොවේ. ලාංකීය අනන්‍යතාවක් සහිත වාණිජ ජනප්‍රිය චිත්‍රපට ධාරාවකට ද මංපෙත් පාදා දීමට උපකාරී වූයේ යැයි සිතමි.

චණ්ඩියා, හාරලක්ෂය, මරුවා සමඟ වාසේ චිත්‍රපට සමඟින් ප්‍රබල ජනප්‍රිය චිත්‍රපට ධාරාවක් ගොඩනැංවීමට දායක වූ ටයිටස් තොටවත්ත සිංහල සිනමාවට පිවිසියේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ රේඛාව චිත්‍රපටයේ සංස්කාරකවරයකු වශයෙනි.

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා සිංහල සිනමාවට රැගෙන එන්නේ ද ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනි. ඒ රේඛාව චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයකු වශයෙනි. ගාමිණි ෆොන්සේකාගේ මුල් ම රඟපෑම වන්නේ ද රේඛාව චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටීම බව ද කියැවේ. ඉන්පසුව නළුවකු වශයෙන් ද ගාමිණි ෆොන්සේකා සිනමාව තුළ ස්ථාපිත වන්නේ ලෙස්ටරේගේ සංදේශය චිත්‍රපටයෙනි.

එච්. ආර්. ජෝතිපාල ලෙස්ටරේගේ චිත්‍රපටයක් වෙනුවෙන් ගයා ඇති එකම ගීතය සංදේශය චිත්‍රපටයට ගැයූ පෘතුගීසිකාරයා ද යන්න මම නොදනිමි. කෙසේවුව ද ස්වකීය නිරේමාණ භාවිතය උසස් සම්භාව්‍ය චිත්‍රපටයට සීමා කළ ද පොදු ජන රසවින්දනය හා සංස්කෘතිය සමඟ පහසුවෙන් යා වූ හදවතක් ලෙස්ටර්ට තිබිණි යැයි සිතමි.

එය ම විශිෂ්ටයන් පිරිසක් සිංහල සිනමාවට එක්කිරීමට එතුමන්ට උපකාරී වූයේ යැයි සිතමි. තිස්ස අබේසේකර සිනමාවට එක්කරනු ලබන්නේ ද ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනි. ප්‍රභූ පැළැන්තියේ උපත ලැබූව ද ලන්ඩනයේ ස්වකීය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ද සියලූ පංතිවල ජනතාව වෙත ළඟාවීමේ හැකියාව ලෙස්ටර් තුළ තිබිණි. එයට හේතුව එතුමන් උපතින්ම හිමිකරගෙන තිබූ කලාකාමී හදවත යැයි සිතමි.

ගොළු හදවත චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූවේ ද ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනි. එහි දම්මිගේ චරිතය රඟපානු ලැබුවේ අනුලා කරුණාතිලක විසිනි.

අනුලා කරුණාතිලකගේ රංගන ජීවිතය පිළිබඳ වූ රූපවාහිනී සාකච්ඡාමය වැඩසටහනක් මට නරඹන්නට ලැබිණි. එහි දී ගොළු හදවතේ ඇගේ රංගනය පිළිබඳව ද විමසනු ලැබිණි. එය එතරම් සාර්ථකව දම්මිගේ චරිතය රඟපෑවේ කෙසේද යන්න ඇගෙන් විමසනු ලැබිණි.

එවිට ඇය කීවේ මෙවැන්නකි. ‘සෑම රූපගත කිරීමකටම කරුණාසේන ජයලත් මහත්තයත් ආවා. එයා මට රඟපාන්න ඉස්සෙල්ලා ඒ ජවනිකාවට අදාළ නවකතාවේ කොටස මට ඇහෙන්න කියවනවා. සමහර විට ඒක අහගෙන ඉන්න කොට මටත් ඇඬුම් එනවා’. මෙහි දී ඉතා වැදගත් කරුණක් හෙළිවෙයි. එනම් අධ්‍යක්ෂවරයකු වශයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නම්‍යශීලීත්වයයි. ගොළු හදවතේ කතුවරයාට එහි චිත්‍රපට නිර්මාණයට මැදිහත් වීම සඳහා ලබා දී තිබුණු නිදහසයි.

අන්‍ය නිර්මාණකරුවෙකුගේ නිර්මාණාත්මක මැදිහත් වීමට නොබියව ඉඩකඩ ලබාදෙන්නේ තමන්ගේ නිර්මාණශීලීත්වය පිළිබඳව ද දැඩි ආත්ම විශ්වාසයක් ඇති අයකු පමණි. ලෙස්ටර් මැතිඳුන්ට බොහෝ නිර්මාණශීලී පිරිස් සිංහල සිනමාවට එක්කිරීමට හැකියාව ලැබුණේ ඉහළම නිර්මාණ ශක්තියකින් යුතු එතුමා වෙනත් නිර්මාණකරුවන්ගේ නිර්මාණ හැකියාව හමුවේ බියවීම වෙනුවට ප්‍රමෝදයට පත්වූ බැවිනි.

ටයිටස් තොටවත්ත, තිස්ස අබේසේකර වැනි අග්‍රගණ්‍ය නිර්මාණකරුවන් සිංහල සිනමාවට සම්බන්ධකරවීමට එතුමන්ට හැකියාව ලැබුණේ ඒ නිසාය.

ඒ අතරම කොතනක දී ද යන්න හරියටම කිව නොහැකි නමුත් එතුමා කීවා යැයි එතුමන් ගැන වූ කෘතියක හෝ පුවත්පත් සාකච්ඡාවක පළවූ කරුණක් මගේ මතකයේ පවතියි.

තමන් දැන් උදේට ගුවන් විදුලියේ පිරිත් ශ්‍රවණය කරන බවක් එතුමා පවසයි. මුල් කාලීනව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අදේවවාදියකු නොඑසේනම් ආගම ගැන එතරම් තැකීමක් නොකළ අයකු වූයේ යැයි සිතමි. එසේ ද වුවත් පසුකාලීනව ඒ තත්ත්වය වෙනස් වූයේ යැයි සිතමි.

එතුමන් උදේම පිරිත් ශ්‍රවණය කළේ ආගමික හැඟීම හෝ නොඑසේනම් එහි සෞන්දර්ය නිසා හෝ විය හැකිය. කෙසේ හෝ ආගම සංස්කෘතිය සම්බන්ධයෙන් එතුමාගේ හැඟීම් පසුකාලීනව මුදු මොළොක් වූ බව පැවසිය හැකිය. රේඛාවේ කතා පුවත සම්බන්ධයෙන් වුව ද එතුමන් තුළ පසුකාලීන ව වූයේ උපේක්ෂාශීලී පිළිවෙතක් යැයි සිතමි. එනම් ඒ කතා පුවතෙන් මෙරට සංස්කෘතිය පිළිබඳ ව යම් හෙළාදැකීමක් සිදුවන්නේය යන්න නොපිළිගෙන සිටීමෙන් වැළකීමට එතුමන්ට වුවමනාවක් නොවූ බව පෙනෙයි.

මේ අනුව අපට ඇත්තේ එකම ලෙස්ටර් ජේම්ස් පීරිස් කෙනකු වීමට හේතු පැහැදිලි යැයි සිතමි. එවන් අව්‍යාජත්වයක් එවන් නිර්භීතභාවයක් හිමි බොහෝ මිනිසුන් උපදින්නේ නැත. කෙසේ වුවත් අවංක කලාකරුවකු වීමට සිතන අයෙකුට එතුමන් වෙතින් උගත හැකි පාඩම් බොහෝ යැයි සිතමි.

 

Comments