කලෙ­කට ගෑනු; පිරිමි හෙවත් සොරෙ­යිය වස්තුව | Page 2 | සිළුමිණ

කලෙ­කට ගෑනු; පිරිමි හෙවත් සොරෙ­යිය වස්තුව

කතන්දර කීම කලාවකි. එහෙත් කාලත්‍රය ඉක්මවා කොයි කාලයටත් එක ලෙස අර්ථය සහ රසය රැකෙනා ලෙස නිර්මාණය වන කතාවක් නම් ඉතා දුලබය. මේ කතාව වසර දෙදහසකට වඩා පැරණිය. එහෙත් අද පවතින සාහිත්‍ය ධාරා සියල්ලම අතික්‍රමණය කරවන සුළු මහ අරුම ගුණයක් මෙහි ගැබ් වී පවතී.

සොරෙය්ය නමින් සිටුවරයෙක් විය. ඔහු තම මිතුරු සිටුවරයෙකු සමග සහපිරිවරින් රථයක නෑගී දිය නෑම පිණිස ගඟට යමින් සිටියදී දුටු දෙයකින් සිත කැලඹිණ. ඉතා ශෝභාසම්පන්න කසුප් නම් මහ තෙරුන්වහන්සේ පිඩු සිඟා වඩිමින් සිටියෝය. උන්වහන්සේගේ සිරුර රන්වන් පෑහැයෙන් බබලන්නේය. ඒ දුටු සොරෙය්ය සිටුවරයා; මෙවෑනි රූමත් සහකාරියක් මට විවාහ කරගන්නට ලැබුණේ නම් කෙතරම් සතුටක්ද..... අහෝ අඩුම තරමින් මගේ බිරිඳට මෙවෑනි මනස්කාන්ත සිරුරක් තිබුනේ නම් මට ඇය සමඟ සිත් සේ සතුටු විය හැකිව තිබුණා නේද....., යනුවෙන් රාගී හැඟීම් මතුකොට ගෙන ඒ ගෑනම සිතමින් ගියේය. මෙවිට පුදුම දෙයක් සිදුවිය. සැණෙකින් ලිංග විපර්යාසයක් සිදු වී සොරෙය්ය සිටුවරයා ස්ත්‍රියක බවට පෙරළිණ. සිදු වූ දේ අදහාගත නොහැකිව ලෑජ්ජාවෙන් ත්‍රස්ත වූ ඔහු රතයෙන් බිමට පැන පලා ගියේය.

දිය කෙළියට ගිය පිරිස ආපසු එන්නට සූදානම්ව සෑම තැනෙකම සෙවූ නමුත් සොරෙය්ය සිටුවරයා ආ ගිය තැනක් නොදැක, ඔහු තනිවම සිටු මාළිගයට යන්නට ඇතැයි සිතා එහි ගිය විට සිටුවරයා නොපැමිණි බව අසා මුළු නගරය පුරාම මෙහෙයුමක් දියත් කළෝය. එහෙත් සොරෙය්ය සිටුවරයා සොයා ගත නොහැකි විය. ඔහු දියෙහි ගිලී මිය යන්නට ඇතැයි තීරණය කොට දන් පින් පමුණුවා මතක වස්ත්‍ර ද පූජා කොට සියල්ලෝ සිත් සාන්කා දුරුකොට ගත්තෝය. සොරෙය්ය සිටුවරයා ඒ වනවිට දෙදරු පියෙකි. පුත්තු දෙදෙනක් ඔහුට දාව සිටියෝය.

නගරයෙන් නගරයට, රටින් රටට, යමින් වෙළෙඳාමේ නිරත ගැල් පෙළක් පසුපස බොහෝ වේලාවක සිට හඹා එන රූමත් සිටුවරියක බදු ස්ත්‍රියකගේ කලබල ගතිය දුටු ගැල් නායකයා ඒ පිළිබඳව විමසිලිමත් විය. කවුද.. කින්ද.. මන්ද.. කොතැනක සිට කොතැනකට යන්නේද ...? ආදී වශයෙන් ඔහු අර ස්ත්‍රියගෙන් දහසක් ප්‍රශ්න ඈසූ මුත්, එම ස්ත්‍රිය කියා සිටියේ, නුඹලා යන ඉසව්වකට මාත් එනවා.. ඒ මිස ඔවැනි ප්‍රශ්න නෑඟීම නුවුමනාය කියාය. ඈ පිළිතුරු දුන් ආකාරයෙන් මෙල්ල වී ගිය ගැල් නායකයා කරබා ගත්තේය.

සති ගණනාවකට පසුව ගැල් පෙළ ගමනාන්තයට ළඟා විය. එම නගරයේ මහ සිටුවරයා වෙත ගිය ගැල් නායකයා, අතර මගදී හමු වූ ආගන්තුක සිටුවරිය පිළිබඳ තොරතුරු හෙළි කෙළේය. සිටුවරයා ඇය කෙරෙහි කෙතරම් වශී වූයේද යත් ; තම අග මෙහෙසිය බවට පාවා ගත්තේය. මේ සරණ බන්දනයේ පලයක් ලෙස ඇය පුතුන් දෙදෙනකුගේ මවක් බවට පත් වූවාය.

එක් දිනෙක සිටුවරිය සඳලුතලයට වී හාත්පස නරඹමින් සිටියදී දන්නා හඳුනන තැනැත්තෙකු මහ මග යනු දැක සේවකයන් ලවා ඔහු සිටු මැදුරට කැඳවා ගත්තේය., ඔබ මා හඳුනන්නේ නැතිද...? යැයි සිටුවරිය අමුත්තාගෙන් කිහිප විටක්ම විමසූවාය. ඒ හැම වරම අමුත්තා, නෑ.. මා ඔබ නොහඳුනමි, යැයි පිළිතුරු දුන්නේය. එවිට, ඔබ සොරෙය්ය සිටුවරයාගේ අඹ යාළුවා නේදැයි, සිටුවරිය විමසූයෙන් පුදුමයට පත් වූ අමුත්තා, ඔව්, යෑයි කීවේය. ඔහුට කුමක් වූයේ දෑයි ඈසූ විට; ගඟේ ගිලී මිය ගියා යැයි පිළිතුරු ලෑබිණ., ඔහුගේ අඹු දරුවන්ට කුමක් වී දැයි සිටුවරිය විමසූ කළ; ,ඔවුන් එනුවර තවමත් යහතින් වාසය කරන්නේ, යැයි අමුත්තා කීවේය. සිනහ පළ කළ සිටුවරිය; සොරෙය්ය සිටුවරයා මිය ගියේ නැත....එදා දිය කෙළියට යන අතරතුර අතුරුදන් වූ නුඹේ ගජ යහළුවා වූ සොරෙය්ය සිටුවරයා නම් දැන්න් නුඹ ඉදිරියේ ස්ත්‍රියක ලෙස සිටින මම ය..., යනුවෙන් කියා සියලු සිද්ධියම පෑහැදිලි කොට දුන්නේය., ඔබ කසුප් මහ තෙරුන් දැක අති කර ගත් අසන්වර සිතිවිලි ඔබටම ශාපයක් වී පිරිමිබව නැතිව ගෑහැනියක බවට පෙරෑළී ඈති සෑටියකි..වහාම ඒ තෙරුන් වහන්සේ සමා කරගතහොත් ශාපයෙන් මිදිය හැකි නොවේ දෑයි මිතුරා යෝජනා කෙළේය.

සිටු මාළිගයේ මහ දානයක් සූදානම් කෙරිණ. දන් පිළිගන්නැයි කසුප් මහ තෙරුන්ට කළ ආයාචනය උන්වහන්සේ පිළිගත් හෙයින් සියල්ලෝ එක්ව බැතිබරව එකී කටයුතු නිම කළහ. එහෙත් මේ හදිසි දන්-පින් සිතිවිල්ලේ රහස අවසානය තෙක් දැන සිටියේ සිටුවරියත් ඈ පිරිමිව සිටියදී උන් මිතුරාත් පමණී. තව දුරටත් පමාවීය යුතු නැතැයි සිතූ සිටුවරිය ; තමා පිරිමිව, සොරෙයිය සිටුවරයාව සිටියදී දිය කෙළියට යමින් සිටියදී හටගත් මුළු සිද්ධියම කසුප් මහ තෙරුන් හමුවේ පාපෝච්චාරණය කොට සමාව අයැද සිටියාය. බුදු පුතුන් වන තමන් කිසිවිටෙක කිසිවකුට ශාප නොකරන බවත්, දුර්ජනයාට පවා සත්පුරුෂයාට මෙන්ම සම සිතින් මෙත් පතුරන බවත් උන්වහන්සේ කීවෝය. සිටුවරිය මෙවැන්නක් පවසන තෙක්ම තමන් වහන්සේ ඒ නොදැන සිටි බවත්, සිටුවරියට යහපතක්ම වේවා යි පතන බවත් කියමින් කසුප් මහ තෙරුන් ආශීර්වාද කළහ. ඒ සැණින්ම ස්ත්‍රී ස්වරූපය අතුරුදන්ව සිටුවරිය පිරිමියෙකු බවට පෙරැළිණ.

මෙතෙක් සියල්ලම නිහඬව බලා සිටි සිටුවරයා මෙසේ කීය.'' මා හට දාව නුඹ දරුවන් දෙදෙනකු බිහි කෙළෙහිය, ඒ දරුවන්ගේ මව නුඹමය. සිදු වූ සියල්ලම අමතක කොට අපි ජීවත් වෙමු ‘

නුඹ සමඟ එක්ව වසන්නේ කුමන කාරියකටද... තවත් දරුවන් බිහි කරන්නටද. මෙතරම් දෙයක් සිදූ වීත් මා තවත් කාමභෝගී ජීවිතයකට ඇලෙන්නේ මන්ද... මා මේ මහ තෙරුන් සමඟම ගොස් පැවිදි වෙමි... යැයි සොරෙයිය සිටුවරයා එවිට කීය.

ඔහු සියල්ල අතහැර ගොස් සොරෙයිය තෙරුන් යන නමින් පැවිදි විය. එහෙත් මේ සිද්ධිය ගම් දනව් කරා පැතිර ගියේය. විස්මයෙන් ඇලළී ගිය ජනයා සොරෙයිය තෙරුන් දැකීමට පැමිණ නොයෙක් ප්‍රශ්න ඇසුවෝය.

ඔබ වහන්සේ වඩාත්ම ආදරය සෙනෙහස පළ කරන්නේ... ස්ත්‍රීව බිහි කළ දරුවන් දෙදෙනාටද නොඑසේ නම් පිරිමිව ජාතක කළ දරුවන් දෙදෙනාටද..?

මේ පැණය නැගූ විට සොරෙයිය තෙරුන් වහන්සේ,

ස්ත්‍රීව සිටියදී බිහි කළ දරුවන් දෙදෙනාට වඩාත්ම සෙනෙහස දක්වන බවට පිළිතුරු දෙති.

මෙයින් පසුව සොරෙයිය තෙරුන් දකින්නට එන බොහෝ දෙනා එම පැණයම විමසන්නට ගත්තේ උන් වහන්සේ අසීරුවට ලක් කරවීමට නමුත්, උන් වහන්සේ ඒ කිසිත් නොතකා; ස්ත්‍රියකව හෙවත් මවක් ලෙස ලත් දරු දෙදෙනාට වඩාත්ම ආදරය බව කීවෝය.

මෙතෙක් ඔබ කියවූ මේ කතාව; සමාජ සත්තා යථාර්ථවාදීයකු දුටුවේ නම් ඇතැම් විට ඔහු මෙසේ කියනු ඇත. ‘අභව්‍ය ප්‍රබන්ධයක්!

ඔහු ශ්‍රීලංකාවේ පශ්චාත් නූතනවාදියකු වූයේ නම් මෙසේ කියන්නට ඉඩ ඇත.,' ඇත්තෙන්ම ඔහු කියන්නට උත්සාහ කරන කිසිවක් අපට තේරුම්ගත නොහැකි වනු ඇත.

ඉසබෙලා ඇලන්ඩේ, ගාර්ෂියා මාර්කේස්, හරුමි මුරකාමී අනුසාරයෙන් මේ කතාව රස විඳි අයෙක් නම් මෙසේ කියනු ඇත.‘ඉන්ද්‍රජාලික යථාර්ථවාදය......!

ඒ කිසිම කොටුවකට කොටු නොවී මෙය හුදු බණ කතාවක් ලෙස කිය වූ සැදැහැවතියක නම් ඇය මෙසේ කියනු ඇත.‘කරුමෙක මහත!

මාතෘත්වය පෙරදැරිව මේ කතාව කිය වූයේ නම්, ‘ස්ත්‍රී පුරුෂ යන භේදයට වඩා මාතෘත්වයම උත්තරීතරය යනුවෙන් කියනු ඇත.

හොඳයි ඔබ මේ කතාව කියවන්නේ කොහොමද?

ඇත්තෙන්ම කතාව තවම එහි අවසන් කඩ ඉමට පැමිණියේ නැත. ඔබ මේ මුළු කතාවම දැනගනු රිසි නම් තරමක් අතීතයට ගමන් කළ යුතුය. 3 වැනි විජයබා, 2 වැනි පැරකුම්බා ,4 වැනි විජයබා,සහ 1 වැනි බුවනෙකබා යන රජවරුන්ගේ කාලයේදී සම්පාදනය වූ බැව් සැලකෙන සද්ධර්මරත්නාවලිය මහා ග්‍රන්ථයේ 43 වැන්නට එන සොරෙයිය වස්තුව කියවන්න.

මා මේ කතාව කියවූයේ සහ පැරණි ව්‍යවහාර හෙළ බසින් සාරාංශය පමණක් ගෙන මෙසේ ඉදිරිපත් කෙළේ; එහි එන ධර්ම රසයට වශී වීමෙනි. ගැහැනු/ පිරිමි බව අතරින් කුමක් උසස් වන්නේද යනු අතිශය මෝඩ කල්පනාවකි. මේ කතාවේම අවසානයට එන හැටියට ආනන්ද මහ තෙරුන් වහන්සේ පෙර භවයක ස්ත්‍රී ස්වරූපයෙන් උපන් අයුරු විස්තර කෙරේ. එය කා හටත් පොදුය. සියලු පිරිමින් ස්ත්‍රීන් ලෙසද සියලු ස්ත්‍රීන් පිරිමි ලෙසද නොයෙක්වර උපදින්නට ඇත. සොරෙයිය සිටුවරයා එකම ජීවිතයකදී පිරිමි /ගැහැනු යන දෙකම අත් වින්දේය. එ පමණක් නොව; පියෙකු ලෙස දරුවන් දෙදෙනකු ජාතක කෙළේය. මවක ලෙස දරුවන් දෙදෙනකු ප්‍රසූත කළාය. අවසානයේදී සියල්ල කෙරෙහි කළකිරී සියල්ලම අත හැර දා මහණ වූවත් තම දරුවන් පිළිබඳ සෙනෙහස වියැකී ගියේ නැත. එයිනුත් තමන් වඩාත්ම සෙනෙහසින් බරිත වන්නේ මවක ලෙස ලැබූ දරුවන් දෙදෙනාට බවත් උන් වහන්සේ කීහ. එම බැඳීම සපුරා අහෝසි වන්නේ අර්හත්භාවයට පත් වීමෙන් පසුව බව මේ කතාවේ අවසානයට දැක්වේ. එහෙයින් මාතෘත්වය සහ මවු සෙනෙහස අන් කිසිවකට දෙවැනි නොවේ. එය දෙවැනි වන්නේ මේ ලෝක තත්ත්වය ඉක්මවා ගිය බුදු පසේබුදු අර්හත්භාවයට පමණි. එය ලෝකධර්මතාවක් බව මේ කතාවෙන් මොනවට පසක් වේ.

Comments