කෙටිකතාව | Page 2 | සිළුමිණ

කෙටිකතාව

ජයනෙත්ති ගෙයි වැඩ කටයුතු අවසන් හෙයින් පරණ පත්තරයක් ද ගෙන මිදුලට බැස්සේ දරුවන් ඉක්මනින් දැකීමේ සතුට අවදි කර ගැනීමේ බලාපොරොත්තුව ද සිත යට සඟවා ගෙනය. දුඹුරු පාට සමනල්ලු දෙදෙනෙක් එකිනෙකා වටා කරකැවෙමින් සේපාලිකා ගහේ ඉහළටත්, පහළටත් ඉගිළෙමින් අපුරු රංගනයක යෙදී සිටිති. කහපාට, සුදුපාට පුංචි සමනල්ලු මිටි ගඟවැරැල්ල ගස්වල මල් අතරේ පියඹමින් මල් පැණි සොයති. වරෙක ඔවුන්ගේ පියාසැලීම වේගවත් වෙයි. අවට ගස් වැල් තෙරපමින් තරමක වේගයෙන් සුළඟක් හමාගෙන ගියේ ජයනෙත්තිට පීඩා කරන දාහය නිවා දැමීමටය. තම දරුවන් හතර දෙනාගෙන් කවරකු හෝ අලුත් අවුරුද්දට තමන් සමඟ නවතී යයි ජයනෙත්ති බලාපොරොත්තු වුවද තුන් දෙනෙක්ම මේ වන විට විටින් විට පැමිණ අවුරුදු චාරිත්‍ර අවසන් කර ආපසු ගොස් ඇත.

විටින් විට එන මඳ සුළඟ ළසඳා මැණිකේගේ කෙඳිරියද තමන් වෙත රැගෙන එතියි ජයනෙත්තිට සිතේ. ඇය වෙත යා යුතු යැයි සිතුණද දැන් ලොකු පුතා පැමිණි විට ඇය අත් වාරුවෙන් පෙර මඟට එන අයුරු ජයනෙත්ති සිතින් දකියි. දිර්ඝ කාලයක් තම කනට වැටෙන මේ කෙඳිරිල්ල ජයනෙත්තිට එපාවන්නේ නැත. බොහෝ විට ඔහු තම බිරියගේ නිදන ඇඳ වෙත ගොස් ඇය අසලින් වාඩී වී ඇය‍ගේ හිස පිරිමදියි. තරුණ වියේදී කිතුල් රෑනක් මෙන් රැලි ගැසී තිබුණු කෙස්වැටිය සුදට හුරු කහ පැහැ‍යක් ගෙන ඇත්තේ හොඳින් නොපීරූ හණ කැරැල්ලක් මෙනි. ඇතැම් විට තම අත තදින් අල්ලා ගන්නා ළසඳා එය ළයට තදකර ගෙන හදවතේ කැකෑරීම දෙනෙතින් වගුරුවයි.

ඇය දිරිය මවකි. ආදරණීය බිරියකි. ගුණවත් කාන්තාවකි. දරුවන් හතර දෙනෙකු හදා වඩා ශිල්ප සතර දී හතර දිග් භාගයට බෙදා දුන්නාය. ඇඳුම් මැසීමේ කලාව හොඳින් දන්නා ඇයට මහන මැසිමක් තෑගි ලැබුණේ ඇයගේ මෑණි‍යන්ගෙනි. දරුවන්ගේ ඇඳුම් පමණක් නොව ළඟපාත අයගේද ඇඳුම් මැසු ඇය ව්‍යාපාරික ස්ථාන සඳහා ද ඇඳ ඇතිරිලි, කොට්ට උර තිර රෙදි ආදිය මසා දීමෙන් ලැබු ආදායම ගෙදර වියදම් හා දරුවන්ගේ අවශ්‍යතා ද පිරිමැසුවේය.

තමාගේ පවුල් ජීවිතය මොනතරම් නිදහස්දැයි දැනුදු ජයනෙත්ති මතකයට නංවන්නේ සිත පිරුණු සතුටකිනි. එහෙත් තමා ස්වාමියෙකු, පියෙකු ලෙස තම වගකීම් පැහැර හැර ඇතැයි ද විටෙක සිත පහුරුගාන සිතිවිලි මතුවේ.

දූ පුතුන්ගේ මඟුල් තුලාවල දී සියලු යුතුකම් ඉටුකළ පියෙකු මෙන් ජයනෙත්ති පෙනී සිටියේ ය. ප්‍රශංසා ලැබුවේය. රජයේ ස්ථීර රැකියාවක් නොකළ නිසා ඇය රැකියා විරහිත නිකම් සිටින කාන්තාවක ලෙස නම් කළ ද, අඩුපාඩුවක් නොතබා ගෙදර සියලු යුතුකම් මැදහත් සිතින් දැරුවාය. ඇය දැන් අසරණ වී ඇත්තේ, ජයනෙත්තිගේ පවුලේ බර ඇයගේ හතර හන්දි කඩා දමා ඇති බැවිනි. ජයනෙත්ති විශ්‍රාම ගිය පසු තමා පසු පස ආ මිතුරන්, තමන්ගෙන් ඈත්වීමේ හිදැස ළසඳ මැණිකේ නිසා මකා ගත්තේ ය. ඒ වන විට දරුවන් හතර දෙනාම විවාහ වී පිටගම් ගොසිනි.

රාජ්‍ය සේවය සඳහා වයස හැට සම්පුර්ණ වීමෙන් විශ්‍රාම ගැන්වීම ඉතා හොඳ ප්‍රතිපත්තියකැයි ළසඳා මැණිකේ කියන්නේ, ජයනෙත්ති වැනි සෙල්ලක්කාර පිරිමින්ට ස්වාමීත්වයත්, පීතෘත්වයත් වටහා දෙන බැවිනි. එසේ වුවද ජයනෙත්ති මේ දුර්වලභාවයේ නිරුවත වසා දමන්නේ “ග්‍රහචාරය” නැමති ස්වේතාම්බර පට සළුවෙනි.

අඹ ගහ යට ඇති ගල් බංකුව වටා අරක්ගෙන සිටින කෝඳුරුවන්, හෝ හපුටන්, මදුරුවන්, ජයනෙත්ති ප්‍රිය කරන්නේ නැත. ඔහු දකුණතින් වමත පිරිමදියි. නිරුවත් උඩුකය පිරිමදියි. මේ කුඩා සතුන් දෂ්ට කිරීමෙන් ශරීරය පුරා සිලන්දු මතුවී ඇත. ඔහු සරම ගසා දමා නැවත ඉණට තදවන සේ ඇඳගෙන තම බිරිය වෙත ගියේ “දැන් ලොකු පුතාලා ළඟ එනවා ඇතැයි” යන හැඟීමෙන් .

ජයනෙත්ති මීට වසර කීපයකට පෙර තම ඉඩමේ හපු ගසක් විකුණා ලබාගත් මුදලින් ඇයට ‍වොයිල් සාරියක් ද රීදී ඇ‍ට පොටක්ද ගෙනැවිත් තිබුණි. ඇය සුදු හැට්ටයක් සමඟ තරමක් අවපාට ගැසුණු ඒ සාරිය ඇඳ කොණ්ඩය පීරා ගෙඩියක් කර බැඳගෙන ඇට පොටද කරලා ඉතා ප්‍රසන්න ඉරියව්වකින් සිටිනු දැකීමෙන් ජයනෙත්ති “අපේ මැණිකේ අද ළමිස්සී වාගේ ඉන්නේ” කියමින් ඇ‍ඳේ වාඩි වුයේ , උතුරා යන සතුටකිනි. දරුවන්ට නොදැනුණත්, ඔවුන් පිළිබඳ මවු පියන් තුළ ඇත්තේ කොපමණ සංවේදී බලාපෙ‍ාරොත්තු දැයි ජයනෙත්තිට දැනෙයි.

ලොකු පුතාගේ පැමිණීම ළසඳ මැණිකේට හද පුරවා උතුරා යන සතුටකි. ඇය ජයනෙත්තිගේ උදව්වෙන් පොළොස් ඇඹුලක් පිළියෙල කළාය. ළඟපාත ඥාතිවරියකගේ උදව්වෙන් අලුත් මාළු, පරිප්පු , ගොටු කොළ සම්බලයක් ද සහිත කෑමවේලක් සකස් කර තැබුවාය. කලක් වි‍දේශගත වී සිටි අසල්වැසි පිංවත්ත ඥාතිවරියක් බොහෝ උදව් උපකාර කරන්නීය. ලසඳ මැණිකේගේ අත්වාරුවද ඇයගේ පරිත්‍යාගයකි. පෙර දින ගෙදර පිරිසිදු කර මිදුල වල් උගුලවා අතුගා දැම්මාය. උදැල්ලක්, පිහියක් නොදකින හුලංතලා ගොල්ල ගෙමිදුල දක්වාම අත්අඩංගුවට ගෙන තිබුණි.

ළසඳ මැණිකේ අත්වාරුවෙන් ඉදිරිපස සාලයට පැමිණ වාඩිවුයේ එතැනට එක එල්ලේම ඇස් මායිමට පාර පෙනෙන බැවිනි. මිදුල ඉතා පිරිසිදු යයි ඇයට සිතේ. රමණි නොපැමිණිදාට ජයනෙත්ති මිදුල අතු ගා කොළ රොඩු පුළුස්සා දමයි. එවැනි අවස්ථාවල ඔහු ළසඳා මැණිකේ ද කැටුවවිත් ගල් බංකුව උඩ වාඩි කරවන්නේ, මින් මත්තේ කිසි දිනෙක තනි ‍නොකරන බව ඇඟවීමටය. කවදත් අල්පේච්ඡා ගැහැනියක වු ඇය වියපත් වූ විටද තමා අත් නොහැර සිටීම ජයනෙත්තිගේ සතුටයි.

“පේර ගහට යාවී ඇති කරඹ ගහේ සුදු පාට මල් කීපයක් තැනින් තැන පිපී ඇත. කරඹ මලේ ඇත්තේ පිච්ච මලට සමාන හැඩයක් වුවත් පිච්ච මල තරම් පිරිපුන් නැතැයි ඇයට සිතේ. වැට අද්දර කොස්ගහේ රහු බැන්දාක් මෙන් පොළොස් ගෙඩි එල්ලී ඇත. කඩින් කඩ වැටෙන පොද වැස්සට ගහ කොළ නිල්ල පෙරවාගෙන මඳ සුළඟත් සමඟ සතුටින් නටයි. අලුත් අවුරුද්ද එනකොට ගහ කොළ අලුත් වෙනවා. ගමත් හැඩ වැඩ වෙනවා. අපේ සිතිවිලි අලුත් කරගෙන දරුවෝ ගෙදර එනවා” යන පහන් සිතිවිල්ල ඇයගේ මනෝ ලෝකය පරාමර්ෂණය කරද්දී කඩුල්ල පැනගෙන ගොරෝසු හඬකින් ලොකු වාහනයක් මිදුල දෙසට ඇදී එනවා පෙනුණි.

“ඒයි... පුතාලා එනවා වගේ. මිදුලට ගියා නං...” යන පුද්ගල නාමයක් රහිත ළසඳා මැණිකේගේ ඇමතුම ජයනෙත්ති සඳහා ය. ජයනෙත්ති වහ වහා වාහනය වෙත පිය මැන්නේ දරුවන් දැකීමේ නොඉවසිල්ල දෙපාවලට පවරමිනි. ඉදිරි දොර විවෘත විය. නිමල්සේන බැස්සේය. වාහනය අසල සිටින තමන්ට වඳින්ට එනවා යයි සිතූ ජයනෙත්ති “හා හා යං යං ...ගෙට ගිහිම්ම බැරුවායැ. අම්මත් උදේ ඉඳල බලාගෙන ...” යයි කීවේය. නිමල්සේන ජයනෙත්ති පසුකර ගොස් දොර ඇර උදේනිට වාහනයෙන් බැසීමට පහසුකම් සලසා දුන්නේ ය. නිමල්සේනගේ බිරිය ඉතා සුන්දර කාන්තාවක් වුවාය. ඒ බාහිරව පෙනෙන රූපකායෙන් පමණි. නිමල්සේනගේ මුදල් කළමනාකරණය උදේනි පවරා ගත්තේ විවාහයටත් පෙරාතුවම ය. උදේනි බරට පොලිතින් මල්ලක් ගෙනැවිත් මේසය උඩ තැබුවේ, නැදි මයිලන්වෙනුවෙන් මහා පරිත්‍යාගයක් කළාක් මෙන් මුහුණට කෘත්‍රිම සිනාවක් ද මතුකර ගනිමිනි. ජයනෙත්ති වහ වහා දොඩම් ගෙඩි දෙකක් මිරිකා දරුවන්ටත්, උදේනිටත්, පිළිගන්නා ලසඳා මැණිකේ‍‍‍ගේ කෝප්පයට ද එකක් පුරවා තැබ‍ුවේ ඇය දොඩම් බීමට බෙහෙවින්ම ප්‍රිය කරන බැවිනි. කවීන් එක හුස්මට දොඩම් වීදුරුව පානය කර “සීයේ තව” යයි වීදුරුව පෑවේ නැවුම් පලතුරේ රහ වැටීමෙනි. ජයනෙත්ති ළසඳා මැණිකේගේ කෝප්පයේ තිබුණු දොඩම් යුෂ ටික දරු දෙදෙනාටම සතුටින් බෙදා දුන්නේ “අපි කාපු බීපු කල් මදැයි...” සිතමිනි.

ජයනෙත්ති කෑම මේසය පිළියෙල කර ළසඳා මැණිකේගේ පිඟානද ගෙනැවිත් තබා, දරුවන්ට කෑමට ආරාධනා කළේ රහට මිහිරට නැතත් දරුවන්ට බත් කටත් දීමේ සතුට පුරවාගෙනයි. මේ සිංහල අලුත් අවුරුද්දේ සතුට බව ජයනෙත්තිට දැනෙන්නේය.

උදේනි වහා පැමිණ තමන් ගෙනා ලොකු පොලිතින් බෑගයෙන් වර්ණවත් කාඩ්බෝඩ් පෙට්ටියක් ගෙන මේසය මත තියා විවෘත කළේ ජයග්‍රාහි විලාසයෙනි. මේසය මත තිබුණු පිඟන් මත පීසා එක බැගින් තැබුවාය. නැඳී මයිලන්ට අවුරුදු කෑම වේල පිරිනැමුයේ යයි උදේනි සිතන්නීය.

“අනේ පුතේ මේ අලුත් අවුරුද්දේ මෙව්වා කන්ට එපා. බත් ඩිංගක් දරුවන්ට දෙන්ට”. කියමින් ජයනෙත්ති උදේනිගේ නොකැමැත්ත නොතකා දරුවන්ගේ පිඟන්වලට බත් සහ වෑංජන බෙදුවේ “එයාට ඕනෑනං ඔය පාං පිටි ගුලි කාපුවාවේ..” යන සිතුවිල්ල සඟවාගෙනය.

ළසඳා මැණිකේ පිඟාන අතට ගෙන “මොනවද පුතේ මෙව්වා ? මාළු බනිස් ජාතියක්ද? රෙ‍ාටී ජාතියක්ද? මෙව්වට මස් , මාළු මුහුවෙලා ඇති. මං බත් ඩිංගක් කඤ්ඤං.” කියමින් පීසා එක මේසය මතම තැබුවායදෛ්නිද පීසා සියල්ලම නැවත අසුරා “යනකොට කමු” කියමින් ඇයත් බත් බෙදා ගත්තාය. නිමල්සේන සතුටින් ආහාර ගනිමින් “අම්මාගෙ පොළොස් වෑංජනේ ඉස්සර වගේමයි” කියමින් පාං පිටි සංස්කෘතියෙන් ඈත් වී බඩ පුරා බත් කෑවේය.

ජයනෙත්ති තම මුනුපුරන් සමඟ වත්ත පුරා ඇවිද පලතුරු මල්ලක් පුරවා දුන්නේ “මෙව්වා ටවුමේ තියෙන එව්වට වැඩිය රහයි, පිරිසිදුයි පුතේ...” කියමිනි. නිමල්සේනගේ වැඩිමහල් පිරිමි දරුවා වු කවීන් අගනුවර ප්‍රධාන පෙළේ පාසලක හතරවන ‍ශ්‍රේණියේ ඉගෙන ගන්නා තරමක දැනුම් තේරුම් ඇති දරුවෙකි. ඔහු ගමේ සීයටත්, අත්තම්මාටත් බෙහෙවින්ම ආදරය කරයි. ජයනෙත්තිගේ සිතේ සතුට පිටාර ගලා යන්නේ දරුවන් ගේ පුරා දුවන පනිනකොට දරු සුවඳ පරිසරය පුරා තැවරී ඇති බැවිනි. දරුවන් ආපසු නොයන්නේ නම් මැනැවැයි ඔහුට සිතේ. ළසඳා මැණිකේගේ ශරීරය වැලඳගෙන තිබු කැක්කුම්, පිපුරුම් මුළුමනින්ම දුරුවං වී ඇත. “උඹලෑ අම්මා අද තිරිහන් වෙලා මයෙ ලොකු පුතේ” කියමින් නිමල්සේන දිහා බැලුවේ ඔහුටත් ඒ සතුට දැනේවි යන හැඟීමෙනි.

කවීන්ට තම මිත්තණිය සහ ලොකු අත්තා තනිකර දමා යා නොහැකිය. එහෙත් තම දෙමාපියන්ගේ බලපෑමට අවනත විය යුතුයි. අලුත් අවුරුද‍්ද වෙනුවෙන්, මාපියන් වෙනුවෙන් දරුවන්ගේ යුතුකම් අවසන් කළ නිමල්සේන මවගෙන් හා පියාගෙන් සමුගෙන වාහනයට ගොඩවුයේ විශාල බරක් හිසින් බිම තැබුවක් වැනි සැහැල්ලු සිතකිනි.

හීන් සුළඟක් දොරකඩ සමන් වැලේ පිපුණු සමන් මල් සුවඳ තවරාගෙන ජයනෙත්තිගේ සතුට පිරුණු සිතෙහි සතුට තීව්‍ර කරමින් හමා යද්දී කවීන් වාහනයෙන් බිමට බැස ඉක්මන් ගමනින් මිත්තණිය වෙත පැමිණ කනට කර රහසින් යමක් කොඳුරා සිනා මුවින් ආපසු වාහනයට ගොඩ වුයේ තම පියාගේ නොපහන් මුහුණ නොබලමිනි. කවීන්ට වාහනයේ කවුළුවෙන් සතුටු සිනා පිරුණු අත්තම්මාගෙත්, ලොකු අත්තාගෙත් මුහුණු ටික දුරක් යන තෙක් පැහැදිලිව පෙනුණි.

ළසඳා මැණිකේ තම මුනුපුරා ක‍ෙන් තැබු පණිවිඩය ජයනෙත්තිට කීවේ සතුටකිනි. ජයනෙත්ති වහ වහා ළසඳා මැණිකේගේ කාමරයේ කොට්ටය යට තිබුණු කඩදාසි කවරය ගලවා බැලුවේ සතුට සමපාත වු කුතුහලයකිනි. එහි කවීන්ම නිර්මාණය කළ අවුරුදු සුබ පැතුමක්ද, කුඩා ලිපියක්ද, රුපියල් විස්සක්ද තිබුණි. සුබ පැතුම් බුලත් කොළයක් දෑතත් හා මිනිස් රූප දෙකක් සිතුවම් කර තිබුණි.

“අත්තම්මා හා ලොකු අත්තාට සුබ අලුත් අවුරුද්දක් වේවා. මම රස්සාවකට ගියාම ලොකු අත්තයි අත්තම්මයි බලාගන්ට මෙහේ එනවා. මේ සල්ලිවලින් අත්තම්මට මොනවා හරි අරන් දෙන්ට. මේ කවීන් පුතා.”

ළසඳා මැණිකේ අවුරුදු සුබ පැතුම පපුවට තුරුලු කරගෙන මහ හයියෙන් අඬා වැටුණේ, කවීන් ලොකු මහත් වී පැමිණෙන තෙක් තමා ජීවත්ව නොසිටින නිසා නොවේ. “මයෙ රංකැටි පුතාගෙ පුංචි හිතට අපේ තනිකම කොපමණ උරාගත්තා” දැයි කියමිනි.

Comments