ගුප්ත මිනිසාගේ අමුතු කියවීම | Page 2 | සිළුමිණ

ගුප්ත මිනිසාගේ අමුතු කියවීම

එදා මෙදා තුර විද්‍යාව විසින් මනුෂ්‍ය වර්ගයාට අත්පත් කර දෙනු ලැබූ දෑ බොහෝ ය. මිනිසාගේ භෞතික ජීවිතය සැපවත් කිරීම, පහසු කිරීම සම්බන්ධයෙන් විද්‍යාව දායක වී ඇති අවස්ථා සලකන විට, කලාවට, ආගමට හෝ කිසිදු දර්ශනයකට ඊට අලගු තැබීමට හෝ හැකිවී නැති බව පිළිගත මනා ය. එහෙත් ‘විද්‍යාව’ යනු ගවේෂණයකි. විද්‍යාත්මක සත්‍යය ප්‍රත්‍යක්ෂයක් ලෙස අප පිළිගන්නා අතරම සත්‍යය සාපේක්ෂ වන බව ද අපි දැන සිටිමු. විශ්වය තේරුම් ගැනීමට විද්‍යාත්මක දැනීම මෙන් ම ආධ්‍යාත්මික අවබෝධය ද අත්‍යවශ්‍ය බව ගැලීලියෝගේ සිට අයින්ස්ටයින් දක්වා බොහෝ විශිෂ්ට විද්‍යාඥයන්ගේ පිළිගැනීම වූ අතර ‘ලෝකයේ කිසිවක් අහඹු ලෙස සිදුවන්නේ, යැයි තමන්ට විශ්වාස කළ නොහැකි බවට ඇල්බට් අයින්ස්ටයින් කළ ප්‍රකාශය ද මේ පරිවර්තකයා සිය පෙරවදනින් හුවා දක්වයි.

මහපොළොව කම්පා වෙතත් කඳුවැටි මහ මුහුදට කඩා වැටෙතත් සත්සමුදුර ගුගුරා කැළඹෙතත්, එයින් නැ‍ඟෙන රළ වේගයෙන් කඳුවැටි සැලෙතත් අපට කිසිවිටක බියක් නැත එක් ගංගාවක් ඇත.

බයිබලය ගීතාවලියේ 46 වන ගීතිකාවේ එන ‘එක් ගංගාවක් ඇත’ යන මේ පදපෙළ, තමා ලියූ නවකතානුසාරී චරිතකතාවට සාකල්‍යයෙන් ම සුදුසු යැයි සිතූ රචකයා වන්නේ තෝමස් සුග්රූ (Thomas Sugrue) ය. ඔහු ඒ පොත නම් කළේ There is a River කියා ය. ඒ අපදානයේ කතානායකයා වූයේ එඩ්ගාර් කේසි (1877-01945) නම් වූ මෑතකාලීන, අමෙරිකානු ජාතික දිවැස්ලාභියා ය. මේ චරිතාපදානයට වඩාත් සාහිත්‍යයික මුහුණුවරක් ගෙන දෙමින් එය සිංහල භාෂාවට පරිවර්තනය කළ කේ. ඒ. එන්. පෙරේරා නම් වූ සූර පරිවර්තකයා පොත නම් කර ඇත්තේ ‘බලන් සඳ ඒ නදිය’ ලෙස ය.

මේ ග්‍රන්ථනාමය එඩ්ගාර් කේසිගේ චරිතාපදානයට (විශේෂයෙන් ඔහුගේ හෙළිදරවු කිරීම්වලට) කොතරම් නම් උචිත වන්නේ ද යන්න මැනවින් හඳුනාගන්නේ හොඳ සිහිකල්පනාවෙන් යුතුව මේ පොත කියවන පාඨකයා ය. සාමාන්‍යයෙන් අප එඩ්ගාර් කේසි ගැන අසා ඇත්තේ ස්වයං මෝහනයට නතු වෙමින් තමා වෙත පැමිණි රෝගීන්ට, රෝගවල සුලමුල පවසා රෝග සුවකිරීමට ගුප්ත ක්‍රමෝපායක් අත්හදා බැළූ, අභිචාර විධි සමඟ ගනුදෙනුවක යෙදුණු එක්තරා පුද්ගලයකු ලෙස ය. ඒ අනුව වැඩිදෙනකු සිතූයේ එය දෙවියකු, භූතයකු හෝ වෙනත් එවැනි අදෘෂ්‍යමාන බලවේගයක මෙහෙයවීමෙන් සිදු වූවකි යි කියා ය. එහෙත් ‘බලන් සඳ ඒ නදිය’ කියවන්නාට හමුවන්නේ එවැනි පුද්ගලයකුගේ ජීවිත කතාවක් හෝ කියවීම් හෝ නොවේ. නවකතාවක ස්වරූපයෙන් ඇරඹෙන මේ අපූරු අපදානය නිමාවට පත්වන්නේ පාඨකයාගේ නෙතට, මෙතෙක් නොදුටු විරූ ඉසව් ගණනාවක් දර්ශනය කරමිනි.

‘බලන් සඳ ඒ නදිය’ පාඨකයා ඉදිරියේ තබන්නේ කිසියම් ප්‍රශ්නාවලියකි. විවිධ පැතිමාන ඔස්සේ විහි දී යන මේ ප්‍රශ්නාවලියේ එන වැදගත් ම ප්‍රශ්නය වන්නේ මිනිස් ජීවිතවල අර්ථය සහ මනුෂ්‍ය පරමාර්ථ විය යුත්තේ කවරේ ද යන්නයි.

දිවැසිවරයකු මෝහන නිද්‍රාවේ ගැලී අනාවැකි කීම, රෝග සුව කිරීම ගැන අසන නූතන මිනිසකුගේ සිතට නැ‍ඟෙන හාස්‍යය මුසු ඍණ ආකල්පය, එඩ්ගාර් කේසිගේ ජීවිත කියවීම් සමඟ ගළපාගත හැකි ද යන ප්‍රශ්නය ගැඹුරින් ම පැනනගින්නේ පරිස්සම් සහගත නිරීක්ෂකයකු තුළ ය. ඇස් පවා හරිහැටි නොපෙනෙන බොරුකාර දිවැසිවරුන්ගේ ප්‍රලාපවලින් හෙම්බත් වී සිටින අපට ‘දිවැසිවරුන්’ යන්න ම වුව මුවගට සිනා නංවනසුළු ය. තවත් පැත්තකින් අපි සත්‍යය හා මිථ්‍යාව පිළිබඳ යම් යම් පූර්ව නිගමනවලට ද එළඹ සිටිමු. ඉන්ද්‍රියගෝචර නොවන කවර සිදුවීමක් හෝ අසන විට දී මෙන් ම අපගේ විශ්වාසයනට අනුකූල නොවූ අලුත් ප්‍රශ්නයක් උද්ගත වන ඕනෑම අවස්ථාවක දී ද අප ප්‍රශ්න කරන්නේ ‘ඒක ඇත්තට ම විද්‍යාත්මක ද?’ කියා ය. ඒ අනුව මේ පොත කියවන්නකුට විද්‍යාව පිළිබඳ කිසියම් මධ්‍යස්ථ අදහසක් තිබීම ද අවශ්‍ය ය.

එදා මෙදා තුර විද්‍යාව විසින් මනුෂ්‍ය වර්ගයාට අත්පත් කර දෙනු ලැබූ දෑ බොහෝ ය. මිනිසාගේ භෞතික ජීවිතය සැපවත් කිරීම, පහසු කිරීම සම්බන්ධයෙන් විද්‍යාව දායක වී ඇති අවස්ථා සලකන විට, කලාවට, ආගමට හෝ කිසිදු දර්ශනයකට ඊට අලගු තැබීමට හෝ හැකිවී නැති බව පිළිගත මනා ය. එහෙත් ‘විද්‍යාව’ යනු ගවේෂණයකි. විද්‍යාත්මක සත්‍යය ප්‍රත්‍යක්ෂයක් ලෙස අප පිළිගන්නා අතරම සත්‍යය සාපේක්ෂ වන බව ද අපි දැන සිටිමු. විශ්වය තේරුම් ගැනීමට විද්‍යාත්මක දැනීම මෙන් ම ආධ්‍යාත්මික අවබෝධය ද අත්‍යවශ්‍ය බව ගැලීලියෝගේ සිට අයින්ස්ටයින් දක්වා බොහෝ විශිෂ්ට විද්‍යාඥයන්ගේ පිළිගැනීම වූ අතර ‘ලෝකයේ කිසිවක් අහඹු ලෙස සිදුවන්නේ යැයි තමන්ට විශ්වාස කළ නොහැකි බවට ඇල්බට් අයින්ස්ටයින් කළ ප්‍රකාශය ද මේ පරිවර්තකයා සිය පෙරවදනින් හුවා දක්වයි.

දර්ශනයත්, විද්‍යාවත්, ගුප්ත අබිරහසක් අතර යම් සබඳතාවක් ඇත්තේ ද යනුවෙන් මෑතකාලීන චින්තකයකු වූ ඕෂෝ (භගවාන් ශ්‍රී රාජ්නිෂ්) ගෙන් ඇසූ ප්‍රශ්නයකට ලැබී ඇති පිළිතුර මෙවැනි ය.

මේ වචන තුන මතක තබාගන්න. දන්නා, නොදන්නා සහ දැනගත නොහැකි. මිනිස් මනසට දැනගන්න ලැබුණ දේ තමයි දන්නා දේ. විද්‍යාව තමයි දන්නා. දෙවැනි ප්‍රපංචය තමයි නොදන්නා දෙය. ඒ පසුව හෝ ඉක්මනින් හෝ දැනගන්නා දෙය. තුන්වන ප්‍රපංචය තමයි දැනගත නොහැක්ක.

(ඕෂෝ සංවාද - ජීවිතයට ඉඩදෙන්න - ජෝ සෙනෙවිරත්න)

කේසි වාර්තාවලට අනුව ඔහු ලබාදුන් කියවීම් දෙවර්ගයකි. මුල් කියවීම් හැඳින්වෙන්නේ ‘ශාරීරික කියවීම්’ ලෙස ය. සෙසු කියවීම් හැඳින්වෙන්නේ ‘ජීවිත කියවීම්’ වශයෙන් ය. මේ සියල්ල ලේඛනගත කළ ලිපිගොනු සුරක්ෂිතව තබා ඇත්තේ Association for Research and Enlightment Inc (පර්යේෂණ හා බුද්ධි පර්යේෂණ සංගමය) හි ය.

එඩ්ගාර් කේසිගේ ප්‍රතිකාර ක්‍රම රෝගීන් මෙන් ම වෛද්‍යවරුන් ද විස්ම පත් කළ අතර ඔහුගේ රෝග විනිශ්චයන් වෛද්‍ය විශේෂඥයන් පවා ව්‍යාකූල කළ අවස්ථා තිබේ. වෛද්‍යවරුන් විසින් අවමානයෙන් බැහැර කරනු ලැබූ ඔහුගේ ඇතැම් රෝග නිර්ණයන්හි නිරවද්‍යතාව පසුකලෙක දී සනාථ වී ඇත්තේ වෛද්‍ය විද්‍යාවේ ඇතැම් පිළිගත් සිද්ධාන්ත පවා ප්‍රශ්නකාරී කරමිනි. වෛද්‍ය විද්‍යාවේ විවිධ ගුරුකුල නියෝජනය වනසේ ඇලොපති (Allopathie), හෝමියෝපති (Homeopathic), ස්වාභාවාත්මක (Naturopathic) හා අස්ථි පිරිමැදීම (Osteopathic) ආදී සියලූ වෛද්‍ය ක්‍රමවේද සුසංයෝග කරමින් ඔහු අමුතුම ආකාරයේ ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කළේ ය. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව රැල්ලක් මෙන් නැ‍ඟීසිටිමින් විරෝධය පළ කළේ කේසිගේ මේ අහඹු සම්මිශ්‍රණයන් පිළිබඳව ය.

සැබැවින් ම එඩ්ගාර් කේසි උගත් මිනිසකු වූයේ නැත. ඔහු ඉතා නිහතමානීව, අහිංසකව තමා හමුවට පැමිණි සියල්ලන්ට ම තමා පිළිබඳ සත්‍යය හෙළි කළේ ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොලත් මේ අහිංසක, කෙසඟ තරුණයා පරීක්ෂා කිරීමට, ඔහුගේ කියවීම්වල ඇත්ත නැත්ත විමසීමට විවිධ විද්වතුන් ශාස්ත්‍රඥයන්, වෛද්‍ය විශේෂඥයින් යොමුවී ඇත්තේ අති අමානුෂික ක්‍රියාමාර්ග පවා අනුගමනය කරමිනි. මෝහන නිද්‍රාවේ ගැලී සිටින අවස්ථාවක දී ඇල්පෙනෙත්ති කටුවලින් ඇනීම හේතුවෙන් වරක් ඔහුට පාදයේ නියපොත්තක් ද අහිමි වී තිබිණ. අවදි වූ පසු මහත් වේදනාවකින් පෙඵණු එඩ්ගාර් කේසි කෙරෙහි දයාවන්ත වූ ඔහුගේ ආදරණීය බිරිය ගර්ට්රූඞ් සැමියාගේ මෝහන නිද්‍රාවට තහංචි යෙදීමට පවා කල්පනා කර ඇති බව සඳහන් වෙයි.

වෛද්‍ය විද්‍යාවේ මුලකුරු හෝ දැන හඳුනා නොසිටි එඞ්ගාර් කේසි මෝහන නිද්‍රාවේ දී භාවිත කළ භාෂාව, ඒ වදන් වෛද්‍ය විශේෂඥයන් පවා මවිත කරවන සුලු විණ. ඒ කියවීම් සටහන් කර ගැනීමට ලඝු-යතුරු ලේඛකයින් බොහෝ විට අසමත් වූයේ ඒ බස දුෂ්කර, පාරිභාෂික, තාක්ෂණික වචනවලින් පිරී තිබූ නිසා ය. බොහෝවිට එය පැටලිලි සහිත, දීර්ඝ වාක්‍ය ආකෘතිවලින් යුක්ත වූ සහ සමුච්ච නිපාත, නිපාතපද, අව්‍යශබ්ද හා සර්වනාම බහුල භාෂා විලාශයක් ම විය.

මෙම සිරුරේ ස්නායු පටකවල තිබෙන ධවල පදාර්ථවලට (white matter) බරපතළ හානියක් ... අනුවේගි හා මස්තිස්ක ස්නායු පද්ධතිය (Sympathetic & Cerebrospinal Nervous system) අතර පැවතිය යුතු සම්බන්ධතාවයේ අඩුවක් තිබෙන බව... සත්ථවන පෘෂ්ටියේ පටකයක ඉරීමක් සිදුවී තිබෙන බව... අපට පෙනෙනවා.

(බලන් සඳ ඒ නදිය - පරිවර්තනය: කේ.ඒ.එන්. පෙරේරා - 267 පිටුව)

කේසි විසින් මුල්කාලයේ දී ලබාදුන් කියවීම් ඔස්සේ මරණාසන්න රෝගියකු වෙනුවෙන් නිර්දේශ කර ඇති පහත සඳහන් උපදෙස්, මෙතරම් නිරාකූල ලෙස ලබා දී ඇති වෙනත් වෛද්‍ය වාර්තාවක් සොයාගත නොහැකි තරම් යැයි පොතේ කතුවරයා පවසයි.

‘‘සිරුරට සාමාන්‍ය සහනයක් ලබාදීමට නම් හිස සහ බෙල්ල සම්බාහනය කළ යුතුය. නමුත් ඉහත සඳහන් කළ සංස්කරණ මගින් බලාපොරොත්තු වන්නේ එම කොටස්වල පිහිටි ඉන්ද්‍රියයන් ප්‍රති සැකසුම් කිරීම නොව ආමාශ්‍ය හිස් කිරීම සහ ප්‍රතාන උත්තේජනය කිරීම මගින් ආමාශ්‍යෙය් නිපදවන ගැස්ට්‍රික් යුෂය පහළට ගලායාමට සලස්වා ආහාර උගුරට ඒම වැළැක්වීමය.

‘‘මෙම සංස්කරණ ක්‍රියාවලිය අවසාන වී විනාඩි විස්සක් තිහක් පමණ ගත වූ පසු ඇල්කරොයිඩ් සංයෝගය ලබා දීම ආරම්භ කරන්න. එක වර වැඩි ප්‍රමාණයක් ගිලීමට උත්සාහ නොකළ යුතුය. තෙල් ගැල්වීම හා නිර්දේශිත අනෙකුත් ප්‍රතිකාර විධිමත්ව කරන්නේ නම් සිරුර දුර්වලය කියා හෝ සිරුරට ලබාදෙන ආහාර පෝෂ්‍ය පදාර්ථ පත්තියම් නොවන්නේ යයි කියා හෝ සිත කලබල කර ගැනීමෙන් වැළකී සිටින්න. ‘‘ඇල්කරොයිඩ් ද්‍රාවනය ලබාදීමෙන් පසු මිදි යුෂ පානය පටන් ගන්න. (මිදි යුෂ ලබා ගත යුත්තේ නැවුම් මිදි ගෙන ඒවා මිරිකා ගැනීමෙනි. පැලැස්තරය සඳහා යොදාගත් මිදි නොවේ.* මිදි යුෂ හොඳින් පෙරාගත යුතුය. සීනි හෝ වෙනත් රසකාරක කිසිවක් ඊට මිශ්‍ර නොකළ යුතුය.

(බලන් සඳ ඒ නදිය - පරිවර්තනය: කේ.ඒ.එන්. පෙරේරා - 580-581 පිටු)

දැඩි ආගමික භක්තියකින් යුතු මිනිසකු වූ එඩ්ගාර් කේසි තමා හමුවට එන රෝගීන්ගෙන් මුදල් අය කළේ නැත. පසුකලෙක වර්ජිනියා වෙරළේ කේසි ආරෝග්‍යශාලව පිහිටුවීමේ දී එහි නඩත්තුව උදෙසා යම්කිසි මුදලක් අයකිරීමේ අවශ්‍යතාව සම්පත් දායකයන් විසින් පෙන්වා දෙනු ලැබූ අවස්ථාවේ පවා ඒ සඳහා ඔහු එකඟ කරගත හැකිවී ඇත්තේ පෙරැත්තයෙනි. කුඩා කළ සිට ම යන යන තැන බයිබලය රැගෙන යෑමේ පුරුද්දක් ඔහු සතු විය.

ඔහු සියලූ කටයුතු මෙහෙයවූයේ දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලද්දේ ය යන විශ්වාසයෙහි පිහිටා ය. එහෙත් හදිසියේම ඔහු තුළ තමාගේ ම කියවීම්, තමාගේම හඬ පිළිබඳ විචිකිච්ඡාවක් පහළ කරවනසුලූ අවස්ථාවක් උදාවී තිබිණ. ඒ, දර්ශනය හා අධිභෞතික විද්‍යාව ගවේෂණය කරන්නකු වූ ආතර් ලැමර්ස් නමැති ධනවත් මුද්‍රණ ශිල්පියකු ඔහුගෙන් ඉල්ලා සිටි අසාමාන්‍ය කියවීමකින් අනතුරුව ය.

නීරෝගී පුද්ගලයකු වූ ලැමර්ස්ට අවශ්‍ය වූයේ රෝගියකු හෝ රෝගයක් පිළිබඳ කියවීමක් නොවේ. අධ්‍යාත්ම විද්‍යාව, ගුප්ත ජ්‍යොතිෂ්ශාස්ත්‍රය, අධිමානසික බලය වැනි දෑ කෙරෙහි බලවත් ලෙස උනන්දුවක් දැක්වූ ඔහු ඒ හා සම්බන්ධ ප්‍රශ්න රාශියක් එඩ්ගාර් කේසි වෙත ඉදිරිපත් කළේ ය. ඒ සියල්ලෙහි යථා ස්වරූපය කියවීමක් තුළින් තමාට පැහැදිලි කරගත හැකි නොවේ දැයි ඔහු විමසා සිටියේ ය. කේසි අන්දමන්ද විය.

දෙවියන් වහන්සේ බයිබලය හරහා පරම සත්‍යය එළිදරවු කර තිබිය දී විශ්වයේ රහස් සොයා ගැනීම උදෙසා තමා මාධ්‍ය කොට ගැනීම සාතන්ට අඬගැසීමක් මෙනි, ඔහුට දැනුණේ. එහෙත් කෙසේ හෝ කියවීම මෙහෙය වීමට ලැමර්ස් සමත් වූවේ ය. මෝහන නිද්‍රාවෙන් අවදි වූ පසු ඔහු එඩ්ගාර් සමඟ කළ සාකච්ඡාව මෙවැනි ය.

‘‘ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය පිළිබඳව අප දරන අදහස්වල කිසියම් වරදක් තිබෙන බව පේනව.’’ ඔහු කීවේය. අප හිතා ගෙන සිටින ආකාරයේ බලපෑමක් එහි නැහැ.’’

එඩ්ගාර් සිනාසුණේය. ඔහුට ලොකු සහනයක් දැනුණි.

‘‘ඒත්, මෙහි දී ඉතා වැදගත් දෙයක් අප නොසලකා හැර තිබෙනවා. ලැම්ර්ස් කියන්නට විය.

‘‘ඒ මොකක්ද?’’ එඩ්ගාර් ඇසුවේය.

‘‘පුනර්භවය’’

.....

‘‘ඔය කියන්නේ ඉන්දියාවේ මිනිස්සු විශ්වාස කරන ආකාරයේ දෙයක්ද? පුනර්භවයද?’’ ඔහු ඇසුවේය.

ලැමර්ස් හිස සැලූවේය.

(බලන් සඳ ඒ නදිය - පරිවර්තනය: කේ.ඒ.එන්. පෙරේරා - 332-333 පිටු)

කෙසේ වුව ද ඒ රාත්‍රි කාලයේ දී එඩ්ගාර් කේසි නගරය හරහා ගලායන ගඟ දෙසට ඇවිද ගියේ ය. සරත් සඳ කිරණෙන් ගඟ දිය දිළිසෙමින් තිබිණ. ඔහු ගඟ හරහා වැටුණු පාලම දිගේ ගඟ මැද දක්වා ම ඇවිද ගියේ ය. පාලමේ කොන්ක්‍රීට් ඇන්දට බරවී අහස දෙසත් ගඟ දිය දෙසත් මාරුවෙන් මාරුවට නෙත් හෙළුවේ ය. ඔහු එතැනින් නික්මුණේ විපර්යාසයක බර දරාගෙන ය. මේ විපර්යාසය ඔස්සේ කිසියම් අවබෝධයක් කරා ළඟාවෙමින් සිටි ඔහු තමාගේ අත්දැකීම් පවුලේ සාමාජිකයන් සමඟ ද බෙදාහදා ගැනීමට යොමුවූයේ ය.

එඞ්ගාර් කේසිට හා ගර්ට්රුඩ්ට දරුවන් දෙදෙනකු වූ අතර ඔවුන් හියු ලින් හා එඩ්ගාර් එවන්ස් නම් වූවේ ය. කේසි, තමාගේ ජීවිත කියවීම් පිළිබඳ අලූත් කතාව තම වැඩිමහල් පුතු හියු ලින්ට කීවේ ඉතා සාමකාමී ලෙස පවුලේ සාමාජිකයින් රාත්‍රී ආහාර අනුභව කරමින් සිටි අතරතුර ය. ‘පුනර්භවය’ පිළිබඳ තොරතුරු ඉතා පරිස්සමින් හා ඉවසිල්ලෙන් යුතුව පැවසූ අවස්ථාවේ ව්‍යාකූලත්වයට පත් වූ හියු ලින් චෝදනාත්මකව කීවේ ‘ඔය කියන කිසි දෙයක් ඔබ ඉරිදා ඉස්කෝලෙදි මට උගන්නලා නැහැ’ කියා ය.

‘ඔය කතා ඇත්තද? ඔබ ඒවා විශ්වාස කරනවද? ඔය කියන දේවල් බයිබලයේ සඳහන් කරලා තියෙනවද?’ යි යළි ඔහු ප්‍රශ්න කළේ ය.

මේ සියලූ කරුණු කාරණා විශ්වාස කළ හැකි ද නැද්ද යන්න තමාට ද නිශ්චිතව ප්‍රකාශ කළ හැකි නැතැයි එඩ්ගාර් කේසි කීවේ ය. එහෙත් කියවීම්වලින් පැහැදිලි වන තොරතුරු සත්‍ය බවත් තර්කානුකූල බවත් යළි පෙන්වා දීම සඳහා පිය-පුතු දෙදෙනා අතර හුවමාරු වූ දෙබස මෙවැනි ය.

‘‘පුනර්ජන්මය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියල මට වැටහෙන්නේ නැහැ.’’ හියු ලින් කීවේ ය.

‘‘මට තේරෙන්නෙත් නැහැ.’’ එඩ්ගාර් පිළිතුරු දුන්නේය. ‘‘ඒත්, අප නිවැරදි යයි විශ්වාස කරන එහෙත් අපට නොවැටහෙන බොහෝ දේවල් තිබෙනවා. සාපේක්ෂතා වාදය පිළිබඳව අයින්ස්ටයින් පළ කර තිබෙන අදහස් මම විශ්වාස කරනවා. නමුත් මට ඒක තේරුම් ගන්න බැහැ. පරමාණු තිබෙන බව මම විශ්වාස කරනවා. ඒත්, ඒ ගැන මට දැනීමක් නැහැ. ඔබට ඒ පිළිබඳ දැනීමක් තිබෙනවද?

(බලන් සඳ ඒ නදිය - පරිවර්තනය: කේ.ඒ.එන්. පෙරේරා - 366 පිටුව)

හියු ලින් සිටියේ නොමඳ වික්ෂිප්ත ස්වභාවයකින් යුතුව ය. අනතුරුව ඔහු පියාණන් වෙත යොමු කළේ තවත් පැනයකි.

‘එහෙම නම් ඇයි ජේසුස් වහන්සේ ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් කරුණු කියා දී නැත්තේ? ඇයි උන්වහන්සේ පුනර්ජන්මය පිළිබඳව උගන්වන ලෙසට ගෝලයින්ට අනුශාසනා නොකළේ?’

එඞ්ගාර් කේසි මෙහි දී තම පුතුට පිළිතුරු සැපයුවේ මතෙව්ගේ සුබ අස්නේ සඳහන් ජේසුස් වහන්සේගේ ප්‍රකාශනයකිනි.

මම පැරණි ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරනු පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආවේ ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමට ය. (මතෙව්ගේ සුබඅස්න 5-17)

දීර්ඝ ලෙස කරුණු දැක්වීමෙන් අනතුරුව තමාගේ පියාණන්ට මෙම දිවැස් ශක්තිය ලැබුණු ආකාරය කියවීම්වලින් හඳුනාගැනීමට හියු ලින්ට අවශ්‍ය විණ. ඉනික්බිතිව ඔහුට වුවමනා වූයේ තමා පිළිබඳ, තමාගේ අතීත භව පිළිබඳව දැනගැනීමට ය.

හියු ලින් ගේ ජීවිත කියවීම්වලට අදාළ වාර්තාව ඔහුට පෙන්වනු ලැබීය. එය ලබාගෙන තිබුණේ ඊට දින කිහිපයකට පෙර ය. ඔවුන් බලාපොරොත්තු වූයේ එය ඔහුට නත්තල් තෑග්ගක් ලෙස පිරිනැමීමට ය.

ඔහු එය කියවා බැලූවේ ය. ‘මේ කිසි දෙයක් මට තේරෙන්නේ නැහැ.’ එය කියවා අවසාන වූ පසු ඔහු කීවේ ය. පූර්ව ජන්මයන්වල දී මා මේ වගේ පුද්ගලයින් ලෙස ජීවත්ව සිටියේ නම්, මට මා කවරෙක් දැ’යි කියා හඳුනාගන්නට බැහැ. ඔය කියන කිසිම පුද්ගලයෙක් මා වගේ නෙවෙයි.

’‘ඒ පුද්ගලයින් ඔබ වගේ නොවේ.’’ එඞ්ගාර් පිළිතුරු දුන්නේ ය. එපරිද්දෙන්ම ඔබ මීට දින කිහිපයකට කලින් සෙල්මාවල හිටිය පුද්ගලයා ද නොවේ. මීට පැය කිහිපයකට කලින් දුම්රියෙන් පැමිණි පුද්ගලයා ද නොවේ. මීට ස්වල්ප මොහොතකට පෙර රාත්‍රී භෝජන සංග්‍රහයට වාඩි වූ පුද්ගලයා ද නොවේ.

ඔබේ සිතේ කිසියම් සිතුවිල්ලක් පහළ වන සෑම මොහොතකදීම ඔබේ සමස්ත පෞරුෂයම වෙනස් වෙනවා. සමහර සිතුවිලි හේතුකොටගෙන ඇතිවන වෙනස සුළුයි. සමහර සිතුවිලි නිසා ඇතිවන වෙනස විශාලයි. නමුත් ඒ හැම සිතුවිල්ලක් පාසාම ඔබ වෙනස් වෙනවා.

(බලන් සඳ ඒ නදිය - පරිවර්තනය: කේ.ඒ.එන්. පෙරේරා - 375 පිටුව)

කේසි කියවීම්වලින් ප්‍රකාශමාන වන ආගමික දර්ශනය (ගූඪ ආගම්වල ඉගැන්වීම් සමඟ තුලනාත්මකව විග්‍රහ කිරීමට නම්) වෙනම පොතක් ලිවීමට සිදුවිය හැකි යයි කතුවරයා පවසයි.

ඒ පිළිබඳව මේ පොතේ සටහන් වන්නේ කෙටියෙනි. එය මිනිසාගේ සම්භවය, පැවැත්ම මෙන් ම කිසියම් සැලැස්මකට අනුව ක්‍රියාත්මක වන පරිනාමීය රටාව පිළිබඳව ද සංඥා සපයයි. කෘතිය තුළ සැකෙවින් දක්වා ඇති අභිධර්මයක් වැනි වූ මේ ගැඹුරු විග්‍රහයෙන් ද හකු`ඵවා ගනු ලැබූ සංක්ෂිප්ත අවධාරණ කිහිපයකි මේ.

මිනිසා යනු හැමවිටම ඔහු විසින් කළ කී දේවල්, ඔහු විසින් රැකගත් දේවල්, ඔහුගේ වෛරයට හෝ ආදරයට පාත්‍රවන දේවල් යන මේ සියල්ලේම එකතුවකි. පෘථිවිය මත පවතින ත්‍රිමාන විඥානයකින් සමන්විත ආත්මය ප්‍රකට වන ඔහුගේ සිරුර සැ දී තිබෙන සෑම පරමාණු අංශුවක්ම ඔහුගේ ආත්මයේ ප්‍රතිබිම්බයකි.

ඔහුගේ පෞරුෂයේ පැහැදිලි ප්‍රකාශනයකි. ඔහුගේ චිත්තවේග හා ස්නායු සැකැස්ම, මානසික ශක්තීන්, සාමාර්ථයන්, රුචි අරුචිකම්, භීතීන්, මෝඩකම්, අභිලාෂයන් හා චරිතය යන මේ සියල්ල ඔහු විසින් ස්වතන්ත්‍ර ඉච්ඡාව මෙහෙයවා රැස්කරගත් සියලු සංස්කාරවල සමුච්චිත එකතුව වේ. එය මිහිමත ජීවත්වන ආත්මය වසාගත් සළුවක් වැනි ය. සෑම ආත්මයකටම අදාළ එම සංස්කාර සමුච්චිතය එකිනෙකින් වෙනස් වේ.

(540 පිටුව)

පන්ති කාමර ඉගැන්වීම්වලට අනුකූල නොවීම හේතුවෙන් මෙන් ම වෛද්‍ය විද්‍යාවට ගෝචර නොවීම හේතුවෙනුත් මුල් කාලයේ දී උගතුන්ගේ සදය උපහාසයට පාත්‍ර වූ කේසිගේ කියවීම් හඳුනාගැනීමට, පිළිගැනීමට මෙන් ම ඇතැම් විට ඒවායේ සරණ යෑමටත් පසුකාලීනව ඉඩප්‍රස්ථා විවර වූ අයුරු පරිවර්තකගේ හැඳින්වීමෙන් සංක්‍ෂිප්තව කියැවෙයි.

1910, වසරේ දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත එහි ප්‍රධාන ශීර්ෂ පාඨය මගින් කේසි හඳුන්වන ලද්දේ ‘‘ලොව පහළ වූ අතිශය ගුප්ත පුද්ගලයා’’ හා ‘‘වර්ජිනියා වෙරෙළේ ආශ්චර්යමත් පුද්ගලයා’’(Miracle Man of Virginia Beach) යනුවෙනි. විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයින් ඔහුගේ උපදෙස් හා පිහිට පැතුවේය. ඇමරිකන් ජනාධිපති වුඞ්රෝ විල්සන් පවා ජනාධිපති තනතුරේ සිටිය දී රෝග සුවකර ගැනීමට සහ ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ දී එඞ්ගාර් කේසිගේ මාර්ගෝපදේශකත්වය ලබා ගත්තේය. කේසිගේ ජීවිතය හා සේවය අළලා ඉදිරිපත් කරන ලද අධ්‍යයනයන් හා නිබන්ධන ආචාර්ය උපාධිය සඳහා චිකාගෝ විශ්වවිද්‍යාලය මගින් පළකරනු ලැබීය. කේසි ‘ජර්නල් ඔෆ් ඇමරිකන් මෙඩිකල් ඇසොසියේෂන්’’ නමැති සුප්‍රසිද්ධ ඇමරිකානු වෛද්‍ය සඟරාව මගින් ‘හොලිස්ටික් මෙඩිසින්’’ හෙවත් සාම්ප්‍රදායික හා විකල්ප ප්‍රතිකාර ක්‍රම උපයෝගි කර ගනිමින් සිදුකරන ප්‍රතිකාර ක්‍රමයේ පියා (Father of Holistic Medicine) ලෙස හඳුන්වන ලදී.

වසර ගණනාවක් මුළුල්ලේ තමා, තමා පිළිබඳ, තමාගේ කියවීම් පිළිබඳ විමසිලිමත් නිරීක්ෂණයක යෙදෙන්නට කේසි උත්සාහ කළේ ය.

අවස්ථා කිහිපයක දී කියවීම් මෙහෙය වූ ඇතැම් පුද්ගලයන් තමාගේ කිසිදු අනුදැනීමකින් තොරව නොනිසි දේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා තමා මෙවලමක් කර ගැනීමට උත්සාහ කළේ යැයි ද එවැනි අවස්ථාවල දී ප්‍රකෘතියට ඇස් විවර වූ සැණින් මහත් අසහනකාරී ස්වභාවයක් තමාට දැනී ගියේ යැයි ද ඔහු පවසයි. එහෙත් කෙනෙකුට පිහිටවීම සඳහා ලබා දුන් කියවීමකින් අනතුරුව මෝහන නිද්‍රාවෙන් අවදිවීමේ දී කේසි අත්දැක ඇත්තේ මීට ප්‍රතිවිරුද්ධ වූ ස්වභාවයකි, ප්‍රබෝධයකි.

කෙසේ වුව ද කේසිගේ කියවීම් පිළිබඳව තිතට-නූලට කරුණු පැහැදිලි කිරීමක් කරන්නට මේ වන තුරුම කවර විද්‍යාවක් හෝ සමත් වී තිබේ ද යන්න විවාදාපන්න ය.

කැත්ලීන් ජයවර්ධන

Comments