
රූපා ඉදිරිපත් කරන කරුණු ඇය පෙළගස්වන්නේ ඉතිහාස කෘතියක දැක්වෙන අයුරින් නොවේ. ඇය පාදක කරගන්නා පුද්ගල චරිත හා සිදුවීම් මඟින් ඒවා එකින් එක ප්‍රධාන චරිතය ඔසොවා තබයි. ඒ අනුව සිය ප්‍රධාන චරිතය වූ ධර්මපාල ක්‍රියාදාම රටාව වෙනත් චරිතයන්ගේ ක්‍රියාකාරිත්ව නිසා වඩාත් බැබළීමට ඇය ලක් කරයි.
‘සෝබන මාලිගා’ එදා අනගාරික ධර්මපාලයන් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් මෙරට බුදු දහම නොසලකා හැරීමට එරෙහිව ගම් නියම් ගම් සංචාරය කිරීමට යොදාගත් වාහනයේ නාමයයි. අනගාරික ධර්මපාලයන්ගේ ජීවන තොරතුරු ඇසුරු කරමින් සිය අලුත් ම නිර්මාණය කතුවරිය අපට ඉදිරිපත් කරයි. ඇයට අනුව එය නවකතාවකි. එහෙත් එහිදී තමන් අනගාරික ධර්මපාල චරිතයේ සිදුවීම් සමඟ බද්ධ කරමින් සිය පරිකල්පනයට අනුව චරිත හා සිදුවීම් ද මෙහිදී නිර්මාණය කර ගනියි. ඒ අනුව මෙය මුළුමනින් ම ධර්මපාල චරිතය කියා කීමට ද හැකි නොහැකි ආස්ථානයක පාඨකයා රඳවනු ලබයි.
ධර්මපාලයන් පිළිබඳව තුලනාත්මක ව ශාස්ත්‍රීය විභාගයකට යොමු වන්නේ සරත් අමුණුගමයන් සිය ආචාර්ය උපාධි නිබන්ධනයට ධර්මපාල කාර්යභාරය ගැන කළ විග්‍රහයේදී යැයි මම සිතමි. එහිදී ඔහු ධර්මපාල මෙරට ආගමික පුනරුදයේ විගමන ප්‍රධානියෙකුගේ භූමිකාවට පත් කරයි.ඉන්පසුව වෛද්‍ය ගුණදාස අමරසේකරයන් ධර්මපාලයන් පිළිබඳව තුලනාත්මකව දේශපාලන හා සාමාජයීය විග්‍රහයන් කිරීමට කළ උත්සාහයක් ලෙස ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදියෙක් ද’ දැකිය හැකිය.
වර්තමානය වෙද්දී ධර්මපාල චරිතය දෙස මෙරට පිරිස් බලන දෘෂ්ටිය විවිධ වෙස් ගනිමින් පවතියි. ඒ අතර සමහරුන්ට ඔහු තවමත් සිය පියාගේ දේශීය ව්‍යාපාරය දියුණු කිරීමට අන් අයුරකින් කළ සහායකි ඔහුගේ ජාතික සටන. තවත් අයට අනුව ඔහුගෙන් බැටකෑ භික්ෂු හා ඊනියා රදල මුදලි මුහන්දිරම්ලාට අනුව පොට්ටනි කාරයෙකි. ඒ අතර ඇතැම් වත්මන් පශ්චාත් නූතන වාදීන් යැයි කියා ගන්නා සමහරුනට අනුව ඔහු සමකාමියෙකි. මේ ‘සමකාමි’ ලේබලය අද බොහෝ ප්‍රසිද්ධ චරිතවලට වර්තමානයේදී අලවනු ලබන ඉතා පහසු වචනයකි. එය අලවනු ලබන්නා බොහෝ විට සිතනු ඇත්තේ තමන් යමක් නිර්භයව කීවා කියා ය. කෙසේ වෙතදු මෙවන් ඇතැම් නර්මාලාප නිසා වර්තමානය වෙද්දී බොහෝ බලවත් චරිතයන් සේ ම සිදුවීම් ද සුළු ගුණාකාරයක් බවට පත් කරමින් තිබේ. එබැවින් මෙවැනි පාඨ කෙරේ වත්මන් සමාජය බොහෝ ගැඹුරින් සිතිය යුතු කාලය පැමිණ තිබේ. එය එසේ නොවන්නට මේ රට සමාජය ලොම් හැළී ගිය, වසර ගාණක් පැරණි යුරෝපයේ පිළුණු මතවාද මත මෙරට ඉදිරියට ආ යුතු සමාජය හකුළුවා දැමීමකි. එය සංස්කෘතියක ඇතැම් මහා ගුණාංග චූල බවට පත් කොට නිෂේධනීය කරන පොදු සමාජ දේහයට ගිනි තැබීමකි.
රූපා ශ්‍රියානි ඒකනායක සිය ‘සෝබන මාලිගා’ තුළට ඇතුළු වීමේදී මේ සියලු දේ කෙරෙහි යහපත් චින්තනයකින් සිටි බව පෙනේ.
චරිත කතාවක්, නො එසේ නම් ජනප්‍රිය චරිතයක් ඇසුරෙන් ලියන විට නිර්මාණකරුවකුට අභියෝග කීපයකට මුහුණ පාන්නට සිදුවෙයි. එහිදී මූලික වශයෙන් කරුණු දෙකක් සඳහන් කළ හැකි ය.
1. එම ප්‍රධාන භූමිකාව එලෙසින් ම විග්‍රහ කරමින් අර්ධ ඉතිහාස කෘතියක් කිසියම් ප්‍රහර්ෂයකින්, ආශ්වාදයකින් යුතුව වීර රසයට ගන්වා නිර්මාණය බිහි කරන්නේ ද?
2. එම චරිතය දෙස විමසුම් ඇසින් බලමින් එම මතවාදයන්, ගැටුම්, චින්තනය හා සිදුවීම් කිසියම් තුලනාත්මක විග්‍රහයකට ඔවුන් කරනවාද?
මෙහිදී පළමු පියවර ඉතා පහසු ය. එහෙත් දෙවන පියවර දැළිපිහියෙන් කිරි කමින් අතුරේ යෑමකි. ප්‍රසිද්ධ සිදුවීමකට හෝ චරිතයන්ට අයිතිවාසිකම් කියන නිදිගත් හිමිකරුවන් රැසකි. ඔවුන් අවදිවන්නේ එම සිදුවීමට හෝ චරිතයට අවැඩක් වීමේදී හෝ තමන් හිතනවාට වඩා යහපතක් වීමේදී ය. රූපා අසීරු වුව ද දෙවන මඟ තෝරා ගන්නීය. එය සැබෑ නිර්මාණකරුවකුගේ ආවේෂයයි. රූපා ‘සෝබන මාලිගා’ තුළ හැසිරෙන්නේ එහි හිමිකාරිය වශයෙන් නොවේ. නරඹන්නියක ලෙසිනි. විටෙක ඇයගේ මේ සෙය්යාව තමන් වෙතට එල්ලවිය හැකි චෝදනාවන්ගෙන් බේරීම සඳහා කරනු ලබන්නක් ද? එය එසේ නොවන බව ඇය එම කරුණු අමතක නොකිරීමෙන් මෙන් ම මගහැර නොයෑමෙන් ද පෙනේ. සිය ප්‍රධාන චරිතය ඉතා කර්කශ ලෙස මෙරට සාමාන්‍ය ජනයා වෙත ආමන්ත්‍රණය කරනු ලැබූවෙකි. ඔහු මෙරට බොහෝ ගම්බද මිනිසා අවදි කරනු ලැබුවේ එවන් උණුසුම් ලෙස රළු පරලු ඇමතීම්වලිනි. මෙයට බලපාන්නට ඇති කරුණු දෙකකින් එකක් පිළිබඳ ඇය ඕල්කට් ඇසුරෙන් අපට කියයි.
“මේක දැකල ඕල්කොට් උන්නැහෙ කීවලු, ඉස්සරහින් ඉන්නේ මිනිස්සු නෙමේ, අල ගෝණි ටිකක් කියල හිතාගෙන කතා කරන්නය කියල.” (58 පිටුව)
එම යෙදුම දෙයාකාර අර්ථ ගනියි. ඉදිරියෙන් සිටින්නේ අප්‍රාණික දෙයක් සේ සිතා කතාව පුහුණු වන්නේ බියක් නැති ලෙසට ය. එහෙත් එහිදී ගස් ගල් වලට සේම අල ගෝණිවලට ද විරුද්ධ දෙයක් කිව හැකි ය. එසේ නම් ධර්මපාලයන්ට හැමදාම තමන් ඉදිරියේ සිටියේ අල ගෝණි ද? ඔහු ඒ සා ලෙසින් කර්කශ වූද රළු වූ ද වාග් විලාසයක් ගත්තේ ඔවුන්ට නොතේරෙන නිසා ද? එයින් ජනිත වන අනික් කරුණ වන්නේ, මේ වනවිට මෙරට බහුතරයක් ජනතාව බ්‍රිතාන්‍ය පාලනය ඉදිරියේ හැසිරී ඇත්තේ, අල ගෝණි වශයෙන් ම නොවේද යන්නයි. මෙයට අමතරව ඔහුගේ වාග් විලාසය ගැඹුරින් නිරීක්ෂණය කිරීමේදී මතුවන සමාජ විද්‍යාත්මක සාධකයක් ද දැකිය හැකි ය. ධර්මපාල යුගය වෙද්දී මේ රට ලන්දේසීන්ට ද පෘතුගීසීන්ට ද අර්ථ වශයෙන් යටත්ව සිටියේය. ඉන්පසු බ්‍රිතාන්‍ය විසින් මුළු රටම අල්ලා ගනු ලැබීය. යටත් විජිත මානසිකත්වය විසින් ආම් බාම් කළ සිංහල මිනිසා ඉහළින් දෙන අණට කටයුතු කරන්නට හුරුව සිටි බව පෙනේ. එම පරිසරය මත ධර්මපාලයන්ට සිදුවූයේ ඔවුන්ට තේරුම් යන හා දැනෙන ආකාරයට ආමන්ත්‍රණය කිරීමට ය. එනිසා ඔහුගේ වදන් රළු විය. උච්චස්වර විය. වේගවත් විය. එහෙත් එය ඔහුට ඉන් ඇති වූයේ යහපත වූ බව කතුවරිය මෙහිදී සාධනය කරයි.
“ගමේ බාසාවෙන්නේ එතුමා කතා කරන්නේ... මී හරක්... ගොන්න තඩි, වල් අලි... මෝඩ සිංහලයෝ කිය කියා... උඹල වැනසෙන්න එපා... මේ පරසිරිත් කර තියාගෙන කිය කියා බණින කොට අපේ මිනිසුන්ගෙ පපුවට වදිනවා. එක්කෙනෙක්වත් එතුමා එක්ක ආරෝවක් කරනවා මං දැක්කේ නෑ. කටවල් ඇරගෙන ඇස්ගෙඩි දල්වාගෙන එතුමා දිහා බලන් හිටියා මිසක්.” (58 පිටුව) ධර්මපාල චර්යාව පිළිබඳ තත්කාලීන සමාජ ප්‍රතික්‍රියා ඇය සමාජ ස්තර තුනක් මඟින් ඉදිරිපත් කරන්නීය.
“මේ අයිසෙ අර සාටකකාරයා සුද්දන්ට බණින්නේ මොකද? සුද්දා හින්දා නෙමෙයිද මේව ඇදගෙන දුවල කීයක් හරි හොයා ගන්නේ.”
“පිස්සු තමා... අපේ සිංහල අයට පිස්සුම තමායි. සුද්දන්ට බණින එකාල පන්නල දාන් නැතුව” (රික්ෂො කරුවන් 23 පිටුව)
“උන්නැහෙට මොකද මං අං තට්ටුවක් නෙමෙයි ඊටත් වැඩි දෙයක් ඔළුවෙ ගහගෙන හිටියට” (ගමේ මධ්‍යම පාංතිකයන් 31 පිටුව)
දෙවන ස්තරය ලෙස ඇය දකින්නේ බෞද්ධ භික්ෂුන් ය.
“හේවාවිතාරණ උන්නැහැල හින්දම හොඳයි... නැත්නම් කාට ද මේ රටේ ඕව පෙන්නන්න පුළුවන්...? ඕවට වියදම් කරන්නේ බූදලේ සල්ලි ද? එහෙම නැත්තං බෞද්ධයන් ගෙන් හිඟා කන සල්ලි ද? දන්නෑ?” (390 පිටුව)
“ධර්මපාල උන්නැහේ දැන් හාමුදුරුවන්ට මඩ ගහන්න පටන් අරගෙන... අපි ගම්වලට වෙලා දුස්සීල කං කොරනවය.... පඩික්කම් පුරෝනවය කියලා... ආං ඒවට තමා අපි විරුද්ධ.” (විහාරාධිපති හිමි නමක් 393 පිටුව)
තුන්වන ස්තරය ලෙස අපට දැකගත හැක්කේ කොළඹ බොදු උගත් සිංහල පරපුරයි.” “සරසවි සඳරැස” මුල් කරගෙන ඔවුහු ධර්මපාලයන්ට දෝෂාරෝපණය කළහ. බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ඔහු සිරකර තබන ලෙසත් දැන්වූ බව ද කියවෙයි.
රූපා ඉදිරිපත් කරන කරුණු ඇය පෙළගස්වන්නේ ඉතිහාස කෘතියක දැක්වෙන අයුරින් නොවේ. ඇය පාදක කරගන්නා පුද්ගල චරිත හා සිදුවීම් මඟින් ඒවා එකින් එක ප්‍රධාන චරිතය ඔසොවා තබයි. ඒ අනුව සිය ප්‍රධාන චරිතය වූ ධර්මපාල ක්‍රියාදාම රටාව වෙනත් චරිතයන්ගේ ක්‍රියාකාරිත්ව නිසා වඩාත් බැබළීමට ඇය ලක් කරයි. එම ක්‍රියා විස්තර කිරීමේදී ඇය දක්වන හසළතාව ඉහළය. විටෙක මේ තමන් කියවන්නේ ඉන්දියාවේ දී රචනා වූ නිර්මාණයක පරිවර්තනයක් ද කියා සිතෙයි. ඒ තරමට ඇය කල්කටාව ද බරණැස ද අපගේ නෙත් ඉදිරියේ ප්‍රාදුර්භූත කරවන්නීය.
ධර්මපාල ක්‍රියාදාම නිරන්තර අරගලයේ අතරින් ගලා යන ‘හුග්ලි’ මෙන් ම ‘ගංගා’ නදියේදී ‘දුර්ගා’ නගරයේ ද පසුබිම මැද ගලා යන දිලිප් හා ආලෝකා අතර ප්‍රේමය බෙහෙවින් ගැඹුරු සංවාදයකි. එය විටෙක එම ගංගා වල සිසිලස සේම කෝවිලක සැහැල්ලුව ද ‘දුර්ගා’ නගරයේ ගාලගෝට්ටි ද මෙන් හැප්පෙමින්, තෙරපෙමින් ගලා යයි. ඒ අතර දිලීප් මඟින් ලංකාවේ ජාතික ව්‍යාපාරය ද ආලෝකා මගින් ඉන්දියාවේ ස්වරාජ්‍ය සටන ද කිසියම් ජාත්‍යන්තර සමීපතාවක් කතාවට ළං කරයි. එම ළං කිරීම අතර ධර්මපාලයන්ගේ එංගලන්තයේ මෙන් ම ඇමෙරිකාවේ චිකාගෝ දෙසුම් ද පාඨකයාට නැවුම් අත්දැකීම් ඒ පැරණි සිදුවීම් මතින් ලබාදෙන්නේ කතුවරියගේ පරිකල්පනයේ ඉම් මායිම් බොහෝ දුර දිවෙන බැවිනි. එහිදී ඇය දක්වන ඉවසිලිවන්ත භාවයක්, පක්ෂග්‍රාහී නොවීමක්, තුලනාත්මක භාවයත් නිසා ධර්මපාල චරිතය ලබන ආලෝකය අතිමහත්ය. එහෙත් දිලිප් නම් වූ බරණැස මවකට ද සිංහල පියෙකුට ද දාව උපන් චරිතය ධර්මපාල කෙරේ දක්වන ආසක්ත භාවය විටෙක සීමාව ඉක්මවා යන සුළු ය. එය රූපා විසින් සාධාරණීය කරණය කරන්නේ ඇයගේ බ්‍රාහ්මණ පෙම්වතිය ද ඉන්දීය ජාතික ව්‍යාපාරය නිරන්තරයෙන් ම හිස මත තබාගෙන යන තැනැත්තියක කිරීමෙනි. එහෙත් එහිදී ඔවුහු දෙදෙනම විරාගික රාගීහු ය.
තවත් විටෙක අරගලය ඉදිරියේ මුනිවත රකින්නෝ ය. එය එසේ නොවීමට ඔවුහු විවාහ පත්වී අරගලයට සහාය නොදක්වන්නේ ඇයි ද යන්න පාඨක මනස තුළ ලියලන ගැටලුවක් වෙයි. එම ගැටුම ද ගැටුමක් නොවී දියත් වන්නේ ජීවිතය හරහා හමා යන සුළං හා දූවිලි මෙනි. ධර්මපාල චරිතයේදී එම ලක්ෂණ විටෙන් විට මතුවන්නේ ඔහුගේ සටන බුද්ධගයාව ම සීමා කිරීමෙනි. එහෙත් ඔහුට එරෙහිව ඒ සඳහා ලංකාවෙන් නැඟෙන ප්‍රශ්න කතුවරිය ඉදිරිපත් කිරීමෙන් තබා එය දැන සිටි බව ඇය අපට දනවන්නීය.
කෙසේ වුව ද ධර්මපාල චරිතය සැබෑවටම අධ්‍යයනය කළ යුතු චරිතයක් බව ඇය හඬගා කියයි. ඔහු ජාතික හැඟීමෙන් සේවය කළේ බුද්ධාගම ගැන පමණක් කතා නොකරමිනි. ඔහු සිංහල බස ගැන පමණක් ම කතා නොකළේ ය. ඔහු ක්‍රිස්තු දහමේ ද, මුස්ලිම් ධර්මයේ ද හින්දු ආගමේ ද යහපත් දේ නිර්භයව ප්‍රසිද්ධියේ නිදසුන කරගත්තේ ය. එසේම සිංහල, දෙමළ, මුස්ලිම් වරුන්ට නිසි ගෞරවය දුන්නේ ය. ලංකාවේ සිංහලයා ගැන කතා කරන්නට අද සිටින්නේ පොන්නම්බලම් රාමනාදන් පමණැකැයි ඔහු එදා කීවේ ය. ඔහු මේ රටේ නායකයා වී සිංහල ජාතිය හා බුද්ධාගම සුද්දාගෙන් බේරාගත යුතුව ඇතැයි කීවේ ය. (445 පිටුව) එසේ නම් සංහිඳියාව ගැන අද කතා කරන ඊනියා ඇන්.ජී.ඕ. කරුවන් සේ ම, අනුන්ගේ උප කොන්ත්‍රාත්තු කර තබාගෙන සිටින ඇතැම් ලුම්පත් නව්‍යවාදීන්ට ධර්මපාල චරිතය ‘සමකාමි’ චරිතයක් ද යන්න ගැන සෙවීමට වඩා දුර දිග ගිය කශේරුවක් සහිත මිනිහෙක් වූ බව ‘සෝබන මාලිගා’ වෙන් රූපා ශ්‍රියානි ඒකනායක අපට කියා දෙයි.
චම්මින්ද වෙලගෙදර