සිංහලේ රජකම අහෝසි කළ ඩොයිලිගේ කුමන්ත්‍රණය | Page 2 | සිළුමිණ

සිංහලේ රජකම අහෝසි කළ ඩොයිලිගේ කුමන්ත්‍රණය

දහඅට වැනි සියවසේ අවසන් කාලය පමණ වන විට උඩරට රාජධානියේ රාජ්‍යත්වය හෙවත් රජුගේ බලය එතරම් ශක්තිමත් නොවූ කාලයක් විය. රාජාණ්ඩුව ශක්තිමත් එකක් නොවීය. ඒ වෙනුවට රදළ බලය ශක්තිමත් වී තිබුණි. පෙර රජවාසල රාජ සභාවේ මෙන්ම, මහා නායක හිමියන් ඇසුරේද හැදී වැඩුණු අනාගත රජෙකුට, පාලනය කරන ආකාරය පිළිබඳව මනා දැනුමක් තිබිණි. මහනුවර රාජධානියේ රජ කළ රාජාධි රාජසිංහ මිය යන විට ඔහු‍ගේ අනුප්‍රාප්තිකයා ලෙස හැඩගස්වා තිබුණේ මුත්තුසාමිය. ඒ අනුව මුත්තුසාමිට රජකම පිළිබඳව පුහුණුව ලැබී තිබිණි. රජෙකු පත් වනවිට රාජ ධර්ම කියාදීමේ කාර්යය පුරෝහිත හා සංඝනායක හිමියන්ට පැවරී තිබිණි.

 

1815 දී ඉංග්‍රීසි පාලකයන් සමඟ උඩරට දේශපාලන ප්‍රධානීන් අත්සන් කළ ‘උඩරට ගිවිසුම‘ හා ඉන් පසුව, 1818 දී ඉංග්‍රීසි පාලනයට එරෙහිව හට ගත් ජාතික නිදහස් අරගලය ගැන කොතෙකුත් සඳහන්ව ඇත. එහෙත් එයින් වසර 200ට පසුව අද රටේ පවතින දේශපාලනය ද එදා මෙන්ම අර්බුදයක ගිලී ඇති බව හඳුනාගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද? ඉතිහාසයේ පිටු නැවත නැවත පෙරළෙන බව සනාථ කරමින් සිදුවන දේ අවබෝධයෙන් දැකීමට එකල සහ මෙකල සංසන්දයෙන් සාකච්ඡා කිරීම වැදගත්ය. ඒ ගැන විමසමින් ඉතිහාසය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය එම්. යු. ද සිල්වා මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මෙම කරුණු ඉදිරිපත් කරමු.

කාලය පිළිබඳව හැදෑරීමේදී ලේඛකයන් ප්‍රධාන මූලාශ්‍රය වශයෙන් ජෝන් ඩොයිලිගේ ලිපි ලේඛන භාවිත කරනුයේ සාපේක්ෂව වෙනත් මූලාශ්‍රවල හිඟකම නිසාය. එහෙත් ඔහු ඉදිරිපත් කරන කරුණු හා ඔහුගේ චරිතය ගත් විට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් පෙන්නුම් කරන බව සැලකිය යුතුය.

බෞද්ධ සංකල්පය අනුව රජවරු පහළ වී ඇත්තේ සමාජ තුළ ඇති වූ සදාචාරාත්මක පිරිහීම නිසාය. ඒ පිරිහීම ඉවත් කිරීමට පොදු එකඟතාවයෙන් රජකු තෝරා ගැනීමෙන් මහාසම්ත සම්ප්‍රදාය බිහි විය. සමාජයේ හොඳ රජෙක් පහළ වන්නේ සමාජයේ වාසනාව අනුවය. ඒ අනුව මුහුකුරා ගිය රාජාණ්ඩුවක කාර්යභාර්ය කොටස් තුනකි. ඒ; ධර්ම, අර්ථ හා කාම යනුවෙනි. 'ධර්මය' යනුවෙන් හඳුන්වන්නේ සර්වලෝකී, සර්වදේශී උතුම් සමාජ සිරිත්-විරිත් එකතු වූ සාම්ප්‍රදායික සම්මුතියකි. එය සමාජයෙන් සමාජයට දවසින් දවස වෙනස් වෙමින් වර්ධනය වෙමින් පැවත ආවකි. මෙය ඉතිහාසඥයන් විසින් පෙර සිරිත යනුවෙන් හඳුන්වා ඇත. 'අර්ථ' යනුවෙන් දක්වා ඇත්තේ වෙළෙඳාම, ගොවිතැන, කර්මාන්තාදිය නගා සිටුවීම මඟින් මහජනතාවගේ ජීවන ක්‍රමය වැඩි දියුණුකර සංවර්ධනය කිරීමය. 'කාම' යනුවෙන් හඳුන්වා ඇත්තේ සෞඛ්‍ය, සාමය සතුට සහජීවනය සමව පවත්වාගෙන යෑම තුළින් සාහිත්‍ය, කලා ශිල්ප, නිර්මාණාදිය මඟින් ජනතාවගේ චින්තන ශක්තිය දියුණු කිරීමය.

මේ සියල්ල මෙරටේ රාජ්‍යත්වයට පත් වන ඕනෑම රජ කෙනකුගේ මූලික කාර්යවේ. මේ ධර්ම පැවතීමට නම් රටේ සාමය පැවතිය යුතු විය. එසේම සාමය තහවුරු කිරීමට රජු කටයුතු කළ යුතුය. මේවාට විරුද්ධ වූවන් සමාජ විරෝධීන් වූ අතර, ඔවුන් අල්ලා දඬුවම් පැමිණ විය යුතුය. එවැන්නන් ගැන රජතුමාට තොරතුරු සැපයූ දිවයින පුරා ක්‍රියාත්මක වූ චරපුරුෂ ජාලයක් පැවැති බව පැරණි මූලාශ්‍රවල සඳහන් වේ. එසේම මේ සඳහා රජු ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන දණ්ඩ නීති සංග්‍රහයක්ද විය. එය සමාජ සම්මුතිය පවත්වාගෙන යාමට ආධාර විය. මේවා කාලයක් තිස්සේ ගොඩනැඟුණු සම්මුතීන් සමුදායකි. රජු විසින් අනුගමනය කළ යුතු වූ පෙර සිරිත් සම්ප්‍රදාය මෙය විය.

රජුගේ මූලික කාර්යය වූයේ නොලියවුනු මෙම සම්මුතීන් හා සිරිත්-විරිත් නොකඩවා පවත්වා ගැනීමය. එමෙන්ම රජු බුදුදහමේ ප්‍රධාන අනුග්‍රාහකයා ද විය. යථෝක්ත සම්ප්‍රදායන් කෙතරම් හොඳින් ක්‍රියාත්මක වූයේද යත් එය මිනිසුන් විසින් හඳුනා ගන්නා ලද්දේ දේවභාෂිත වශයෙනි. මේවා නොසලකා හැරියහොත් දේව උදහසට ලක්වේ යැයි ඔවුහු විශ්වාස කළහ. ඒවා කඩ කළ හොත් රටට නොයෙකුත් විපත් මෙන්ම ආක්‍රමණ ද ඇති වේ යැයි විශ්වාසය විය. සමකාලීන ලෝකයේ අනෙක් රජවරු හා බලන කල සියලු බලතල තිබූ රජෙක් වුවත් මේ ධර්මතා ඉක්මවා ගොස් ක්‍රියා නොකළෙන් රජු ජනහිතකාමී ඒකාධිපතියක් විය. රජුට මේ කාර්යය ඉටු කිරී‍මේදී උපදෙස් දීමට ඇමතිවරු ද සිටියේය. ඔවුන් රජුට කළ යුතු හා නොකළ යුතු දේ මොනවාද යන්න පැහැදිලි කර දී ඇත. එසේම රජු කිසියම් නව කාර්යයක් සිදු කිරීමට යන විට භික්ෂූන් වහන්සේ සමඟද සාකච්ඡා කර ඇත. තනි මතයට කටයුතු කර ඇති බවක් නොපෙනේ. සිංහල රජෙක් රාජ්‍යත්වයට පත් වන විට අභිෂේක මංගල්‍යයක් සිදු වෙයි. එහිදී පුරෝහිත බමුණා සහ සංඝනායක හිමියන් මේ ගැන රජුට මතක් කර දීම සිදු කරයි.

එහෙත් දහඅට වැනි සියවසේ අවසන් කාලය පමණ වන විට උඩරට රාජධානියේ රාජ්‍යත්වය හෙවත් රජුගේ බලය එතරම් ශක්තිමත් නො වූ කාලයක් විය. රාජාණ්ඩුව ශක්තිමත් එකක් නොවීය. ඒ වෙනුවට රදල බලය ශක්තිමත් වී තිබුණි. පෙර රජවාසල රාජ සභාවේ මෙන්ම, මහා නායක හිමියන් ඇසුරේද හැදී වැඩුණු අනාගත රජෙකුට පාලනය කරන ආකාරය පිළිබඳව මනා දැනුමක් තිබිණි. මහනුවර රාජධානියේ රජ කළ රාජාධි රාජසිංහ මිය යන විට ඔහු‍ගේ අනුප්‍රාප්තිකයා ලෙස හැඩගස්වා තිබුණේ මුත්තුසාමිය. ඒ අනුව මුත්තුසාමිට රජකම පිළිබඳව පුහුණුව ලැබී තිබිණි. රජෙකු පත් වනවිට රාජ ධර්ම කියා දීමේ කාර්යය පුරෝහිත හා සංඝනායක හිමියන්ට පැවරී තිබිණි.

එහෙත් රාජාධි රාජසිංහගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හට මේ අවස්ථාව ලැබුණේ නැත. එනිසා ඒ වන විට රජුගේ රාජකීය අධිකාරිය නිසි ආකාරයකින් පැවතියේ නැත. ඔහු රජ වූයේ පිළිමතලාවේගේ මැදිහත් වීමෙනි. ඔහුට රජවාසල හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව පලපුරුද්ද තිබුණේ නැත. එමෙන් ම රජුට ළඟම ඥාතිත්වයක් තිබුණේ ද නැත. ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍යත්වයට ගෙන ඒමෙන් පිළිමතාලව අපේක්ෂා කළේ රජවීම සඳහා ඔහු තුළ පැවති ලාලාසාව මුදුන් පමුණුවා ගැනීමය. නමුත් මේ වන විට රදළයන් උත්සාහ කළේ සිංහල රාජ්‍යත්වයක් ඇති කිරීමටය.

ශ්‍රී වික්‍රම රාජසිංහට එල්ල වූ එක් චෝදනාවක් වූයේ ඔහු ද්‍රවිඩයකු යන්නය. එහෙත් ඔහු වඩුගයෙකු විය. වඩුගයින් යනු දෙමළ ජාතිකයින් නොවේ. වඩුග යන්නෙහි අදහස උත්තර දේශීය යන්නය. මුස්ලිම් ආක්‍රමණ හමුවේ වඩුගයින් ඉන්දියාවේ දකුණු ප්‍රදේශවලට පැමිණ පදිංචි වී ඇත. මොවුන් ලංකාවට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ රජ පවුල සමඟ ඇති කරගත් විවාහ සම්බන්ධතා මතය. දෙවන රාජසිංහ සමයේ සිට මේ සම්බන්ධතා පැවතී ඇත. මෙරට රජ පවුලට සුදුසු කුමරියක් නායක්කාර් වංශික පවුල්වලින් සරණපාවා ගැනීම සිදු විය. අවසන් සිංහල රජුගෙන් පසුව රජ පැමිණි නායක්කාර් වාංශිකයන් සියලුදෙනාම බෞද්ධාගම වැළඳ ගත් අය වේ.

මෙරට රදළයින්ට තිබූ එක් ගැටලුවක් වූයේ තමන්ට තිබූ තැන හෙවත් තත්ත්වය අන්‍යයකු විසින් පැහැරගෙන තිබේ යැයි යන හැඟීමය. මෙය ඔවුන් තුළ ස්වෙච්ඡාවෙන් ඇති වූ සිතුවිල්ලකට වඩා කිසියම් ආකාරයකට ඔවුන් තුළ ක්‍රමයෙන් වගා කළ සිතුවිල්ලක් යැයි සිතිය හැකිය. කෙසේ වෙතත් මේ ගැන වූ අතෘප්තිය ඔවුන් තුළ බලපැවැත්විණි. එසේ නමුත් රජු සමාජ විරෝධී දෙයක් කිරීමට පෙළඹුනේ නැත. රදළ ප්‍රභූන් සම්‍යප්‍රයෝගයෙන් රජුට බලපෑම් කළේය. මේ කාලය වන විට ඉංග්‍රීසීන් ඕලන්දයින් පරදා මෙරට වෙරළබඩ ප්‍රදේශ අත්පත් කරගෙන තිබිණි. ශ්‍රී වික්‍රම රාජසිංහගේ රාජ පදවි ප්‍රාප්තියද බ්‍රිතාන්‍ය රජු විසින් පිළිගත් අතර, උඩරට රජු හා සාමකාමීව කටයුතු කරන ලෙස සිය නිලමක්කාරයින්ට ඔවුන් උපදෙස් දී තිබිණි. ඒ වන විට බ්‍රිතාන්‍යය ප්‍රංශය හා සංග්‍රාමයට පැටලී තිබූණු සමයකි.

මෙකල ඉංග්‍රීසීන්ට කොළඹ - ත්‍රිකුණාමලය යා කරමින් ගොඩබිම් මාර්ගයක් තනා ගැනීමට අවශ්‍ය කර තිබිණි. එය රජුගේ බල ප්‍රදේශය හරහා කළ යුතු විය. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණි උඩරට නියෝජිතයින් අතර, පිළිමතලාවේ ප්‍රධාන විය. මෙම සාකච්ඡා යන අතර තුර, (1800 පෙබරවාරි 5 දින) රජු ඉවත් කර තමන්ට බලය ලබා දෙන්නේ නම් මේ සියල්ල දෙන බව පිළිමතලාවේ ප්‍රකාශ කර තිබුණි. එහෙත් ඒ වන විට බ්‍රිතාන්‍යයන් අනුගමනය කළ පිළිවෙත නිසා නෝර්ත්ට එය කළ නොහැකි විය. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නියෝගය වූයේ රජු සමඟ සාමයෙන් කටයුතු කළ යුතු බවය. කෙසේ වෙතත් පිළිමතලාවේ දිගමට මේ සම්බන්ධව නෝර්ත්ගේ ලේකම් වූ විලියම් බොයිඩ් සමඟ ලිපි හුවමාරු කර ගෙන ඇත. මේ කාලය වන විට සත්කෝරලය අයත් වූයේ පිළිමතලාවේටය.

පිළිමතලාවේ රජකම තමන්ට ලබාගැනීම අපේක්ෂා කළද බ්‍රිතාන්‍යයන්ට මෙරට රාජ්‍යය අයත් වනවාට කැමති වූයේ නැත. 1803 පළමු උඩරට ආක්‍රමණය අවස්ථාවේදී එයට පසුතලය හැදුවේ ඔහු වුවද, මුත්තුසාමි රජ කළ අවස්ථාවේදී පිළිමතලාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පැත්ත ගත්තේය. එය කිසියම් උපක්‍රමයක් දැයි සැක සහිතය. පසුව මේ තත්ත්වය වෙනස් වූයේ ඉංග්‍රීසීන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය නිසාය. මේ වන විට ජෝන් ඩොයිලි මෙහි සැබෑ ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කරමින් තිබිණි. ඔහු සිංහල භාෂා ප්‍රවීණත්වය ලබාගෙන සිටියේ දකුණේ සුප්‍රකට භික්ෂුවක වූ කරතොට හිමියන් වෙතිනි. මේ හැකියාව යොදා ගනිමින් ඔහු උඩරට පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා විවිධ ආකාරයේ චරපුරුෂයින් මෙහෙයවිය. මේ චරපුරුෂයින් අතර භික්ෂූන් වහන්සේලා, රදළ නායකයින්, රජයේ ඉහළ නිලධාරීන්, ඇතැම් කුලවල ජනතාව මුස්ලිම් වෙළෙන්දන් ආදීන් කැපී පෙනිණි. මේ පිරිසට විවිධ තෑගි බෝග ලබාදීමටද ඔහු කටයුතු කර තිබේ. මේ අතර විශේෂයෙන් පිළියෙල කරන ලද මදිරා ද වේ.

පිළිමතලාවේ වැනි රදළයන් උඩරට රාජ්‍යත්ව ලබාගැනීම සම්බන්ධව කුමන්ත්‍රණකාරී පිළිවෙතක් අනුගමනය කළ අතර, ඩොයිලි ඒ මාර්ගයෙන් රාජ්‍යත්වය දියකර හැරිමට සැලසුම් සකස් කළේය. ඒ සඳහා චරපුරුෂයින් යෙද වූ ඩොයිලි, පහත රටින්ද ඒ සඳහා පුද්ගලයින් සම්බන්ධ කරගත්තේය. මේ අය ලවා විවිධ මත උඩරට පුරා පතුරුවා හැරීමට ඔහු කටයුතු කළේය. රටවැසියා රජුට විරුද්ධ පිරිසක් නොවූව ද ඔවුන් රජුට විරුද්ධ වන තත්ත්වයට පත් කළේ බොරු ප්‍රචාර මඟිනි.

1803 ඉංග්‍රීසීන්ව යුද්ධයෙන් පරදා කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සෙංකඩගල නගරය සංවර්ධනය කළේය. වෙහෙර විහාර සාදා නගරය දියුණු කළේය. කිරිමුහුද (බොගම්බර වැව), නුවර වීදි සැකැස්ම, රජ මල්වත්ත, වළාකුළු බැම්ම... ආදී දේ තැනීමේදී ඒ සඳහා රාජකාරී සේවා ක්‍රමය භාවිත කළ නිසා ඇතැම් ජන කණ්ඩායම්වලට දැඩි පීඩා එල්ල විය. මේ අවස්ථාව රජුට විරුද්ධ මතයක් ගොඩනැඟීමට ඩොයිලි උපක්‍රම යෙදුවේය. ඊට ඇහැලේපොළ හා එක්නැලිගොඩ දායක කර ගැනීමට ඔහුට හැකි විය. ඔවුන් නගරාලංකරණ ක්‍රියාවලිය නිසා මිනිසුන්ට ඇති වූ යම් යම් කරදර රජුකෙරෙහි විරෝධාකල්ප ගොඩනැගීමට යොදාගත්තේය.

මේවායේ අරමුණ වූයේ රටවැසියා රජු කෙරේ කලකිරීමට සැලැස්වීමය. එසේම ඉංග්‍රීසීන් උඩරට රදළයින් අතර රාජසිංහ විරෝධී ආකල්ප ඇති කළේය.

රදළයන් හැම දෙනාටම පාහේ රජකම ගැන බලාපොරොත්තු ඇති කළ අතර, ඒ අනුව රදළයින් එකිනෙකා කෙටවීමද සිදු කළේය. ඉංග්‍රීසීන්ගේ චරපුරුෂ කාර්යයේ යෙදී සිටි පහතරැටියන්ට උඩරටට ඒමට පහසු වූයේ කඩයිම් ආදිය ඉවත් කරදැමීම නිසාය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ නෙරපා රජවීම සඳහා පිළිමතලාව ඉංග්‍රීසීන් සමඟ සිදු කළ කුමන්ත්‍රණය හෙළිවීමෙන් පසුව පිළිමතලාව 1810 දී රජු විසින් මරාදමනු ලැබීය. ඉන්පසුව ඒ තැන ඇහැලේපොළ විසින් නියෝජනය කළේය. ඔහු රජකම ගැනීමට ඉංග්‍රීසින්ගේ උදව් තදින් අපේක්ෂා කළ අතර, තමන්ගේම රජුට එරෙහිව කැරළි නැංවීමට ද කටයුතු කළේය.

1814 දී ඇහැලේපොල, රජුට එරෙහිව කැරැල්ලක් දියත් කළ අතර, එය මර්දනය කිරීමට රජු පියවර ගත්තේය. ඉන්පසුව ඇහැලේපොළ කොළඹට පලාගියේය. මේ කාලය වන විට ඩොයිලිගේ චරපුරුෂ සේවය රජුට එරෙහිව ඉතා දැඩි ලෙස විවිධ ප්‍රචාර සිදුකරමින් තිබුණි. ඇහැලේපොල පවුලේ දරුවන් ඝතනය කිරීම මෙවැනි එක් ප්‍රචාරයකි.

ඇහැලේපොළ කළ රාජද්‍රෝහීකම සම්බන්ධව සිංහල නීතියට අනුව ඔහුගේ අඹුවට දඬුවම් කළ හැකිය. රජු දේව සංහිදී එවැන්නක් සිදු කළ බවත් එහි රැඳී සිට සිනා මුසුව එය බලා සිටි බවත් ප්‍රචාරය කෙරිණි. පසුකාලීනව මේ පිළිබඳව කරුණු රැස්කළ පර්යේෂකයින් විසින් මෙහි අසත්‍යතාව පෙන්වාදී තිබේ. (වැඩි විස්තර සදහා මහාචාර් ගණනාථ ඔබේසේකරයන්ගේ Doom King කෘතිය කියවන්න)

කෙසේ නමුත් රජුකෙරෙහි ජනතාව කුපිතව සිටි මෙම තත්ත්වය සිය වාසියට හරවාගත් ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කිරීමට කටයුතු කළේය. ‘නරුම රජා‘ පන්නා දැමීමට ඩොයිලි හා බ්‍රවුන්රිග් හමුදාව රැගෙන උඩරටට පැමිණෙන බවට ප්‍රචාරයක් දියත් විය. ඒවායින් පෙන්වා දී තිබුනේ උඩරට රජු දුෂ්ටයකු බවත්, ඔහු ඉවත් කිරීම සඳහා ඉංග්‍රීසින් උඩරටට පැමිණෙන බවත්ය. රුවන්වැල්ලේ ප්‍රකාශය තුළ ඇත්තේ රාජ්‍ය අල්ලා ගැනීමට ඉංග්‍රීසීන් පැමිණි බව නොවේ. දුෂ්ටයා පලවා හැරීම පිළිබඳවය.

කිසිදු තැනක රාජ්‍ය අල්ලා ගැනීමක් පිළිබඳව සඳහන් නොවේ. මේ නිසා රදළයින් මෙහි පෙරමුණ ගන්නා ආකාරය දැකිය හැකිය. හමුදාව ඉදිරියෙන් ම ගියේ ඇහැලේපොළය. එසේම ඉංග්‍රීසි හමුදාව ඉතා සංවරශීලී ලෙස හැසිරී ඇති බව වාර්තා අනුව පෙනෙයි.

මේ වන විට උඩරට රජුට ස්ථාවර යුද්ධ හමුදාවක් නොවීය. ඒ වන විට සීමාසහිත අනාරක්සිත භට පිරිසක් පමණක් සිටි බව පෙනේ. දිසාවේවරුන් යටතේ සංවිධානය වන හමුදාව රැස්කිරීම සාර්ථකව කළ හැකි වූ බවක් ද නොපෙනේ. එසේම උඩරටට ඉංග්‍රීසීන් යන විට උඩරට හමුදාව වෙඩි තබා ඇත්තේ උණ්ඩ නොදමා බව වාර්තා වේ. එමඟින් මුලා කර ඇත්තේ රජුවය.

ඉංග්‍රීසීන් මහනුවරට පිවිසෙන විට එම නගරය පාලුවට දමා රජු ආරක්ෂිත ස්ථානයකට ගොස් තිබිණි. රජු ඉන්නා තැන සෙවීමට පසුව පියවර ගෙන තිබේ. ඊට ඩොයිලි, ඇහැලේපොල, එක්නැලිගොඩ සමඟ හමුදාවක් ගොස් ඇත. රජු අල්ලාගත් විට රජුට හා බිරින්දෑවරුන්ට ඉතාම පහත් ආකාරයට සලකා ඇත. කොටින්ම හැඳිවත පවා ඉවත් කර තිබිණි. එසේම රජු නුවර හරහා ගෙන ගියහොත් ජනතාව කලබල වේයැයි සිතා කුරුණෑගල හරහා කොළඹට ගෙන ගොස් තිබේ.

මෙසේ පෙබරවාරි 18 වැනිදා රජු අල්ලාගත් පසුව රදළයින්ට සුදුස්සකු ‍තෝරාගැනීම සඳහා අවස්ථාව ලබා දුන් අතර, රදළ නායකයින් අතර එකඟතාවක් නොමැති බව මෙහිදී පැහැදිලිව පෙනීගොස් ඇත. ඒ අනුව අවසානයේදී පෙබරවාරි 27 ඩොයිලි පවසා ඇත්තේ සිංහලයේ රජකම නැති කරන බවත් බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් රජු මෙරට රජු ලෙස ප්‍රකාශයට පත් කරන බවත්ය.

මාර්තු දෙවැනිදා බ්‍රිතාන්‍යයන් විසින් රදළයින් නුවරට කැඳවා ඇත. එහිදී සිදුව ඇත්තේ දුෂ්ට රජු බලයෙන් පහකිරීමට දරළයින් දුන් එකඟතා ගිවිසුමේ ඉංග්‍රීසි හා සිංහල පිටපත් කියැවීමය. ඉංග්‍රීසි පිටපත ලූසිග්නන් විසින් කියැ වූ අතර, සිංහල පිටපත කියවන ලද්දේ ඒබ්‍රහම් හා වෙල්ලස්සේ දිසාව හා මල්ලෑවේ දිසාව විසිනි.

මේ සිදුවීම මහජනයා දැන නොසිටි බවත් ඔවුන්ගේ අවදානයක් මේ කෙරෙහි නොවූ බවත් හෙන්රි මාෂල්ගේ සඳහන් කරයි. එවැනි පියවරවල වගකීම තිබුනේ රදළයින් අතේය. එදින භික්ෂූන් වහන්සේලා පැමිණි බවක්ද නොපෙනේ.

ඉන්පසුව අලුත් පත්වීම් කිරීම සිදු කරන්නේ මාර්තු 3 වෙනිදාය. ඉන්පසුව ඉංග්‍රීසීන් යළිත් ගිවිසුම පිළිබඳව සාකච්ඡා කරනු ලබන්නේ මාර්තු 10 වෙනිදාය. එදින මල්වතු අස්ගිරි හිමිවරුන් කැඳවා ඇත. එදින බ්‍රවුන්රිග් අත්සන් කර ඇති අතර, රදළයින් අත්සන් කිරීම පමා වී තිබේ. සියලු කටයුතු සඳහා මුල් වූ ඇහැලේපොළ, ගිවිසුමට අත්සන් තබා ඇත්තේ මාර්තු 18 වෙනිදාය.

මෙයින් පෙනී යන්නේ උඩරට රදළ නායකයින් අතර රජකෙනකු පත් කර ගැනීම සඳහා එකඟතාවක් නොවූ බවය. එයින් කිසිදු ගැටළුවකින් තොරව කන්ද උඩරට රාජ්‍ය බ්‍රිතාන්‍යයින් සතු විය. අදත් මේ රටේ නායකයින්ට රට වෙනුවෙන් එකතු වී තීන්දු තීරණ ගැනීමට නොහැකිව දෙපිල බෙදී ඔවුනොවුන් විවේචනය කරගනාමින් සිටිති. මෙයට රටත් ජනතාවටත් හිතකර තත්ත්වයක් නොවේ.

සියලු දේශපාලන නායකයින්ගේ අවශ්‍යතාව ජනතාවට රටට සේවය කිරීම නම් මෙවැනි තත්ත්වයන් උද්ගතව ඇත්තේ මන්ද යන්න විමතියට කරුණකි.

(1817 - 18 අරගලය ඇති වීම ගැන ලබන සතියේ)

Comments