චරිත කතා පෙර­හරේ බර්ට්‍රන්ඩ් රසල්ලා, මාලන් බ්‍රැන්ඩෝලා හා අපි....? | Page 2 | සිළුමිණ

චරිත කතා පෙර­හරේ බර්ට්‍රන්ඩ් රසල්ලා, මාලන් බ්‍රැන්ඩෝලා හා අපි....?

කිසියම් පුද්ගලයකුගේ සැඟවුණු ජීවිතය ගැන හරියට කියන්නට දන්නේ ඔහුගේ නි‍ෙවසේ බිත්ති හා උළුවහු ය. නැතහොත් සයනයක කොට්ට මෙට්ට ආදිය ය. එහෙත් ඒවාට කතා කරන්නට බැරිය. එහෙයින් සැබෑ ජීවන පුවතක් නිර්ව්‍යාජ ලෙස ලියා ත‍ැබීමට නම් මුලින් ම සාකච්ඡා කළ යුත‍්තේ අදාළ පුද්ගලයාගේ නිවැසියන් සමඟ ය. ඔහුගේ ‍‍හෝ ඇයගේ බිරිය හෝ සැමියා, දූ දරුවන් මෙන්ම නි‍ෙවසේ දැසිදස්සන් ආදීහු ද මෙහි ලා ප්‍රමුඛ සුදුසුකම් ලැබුවෝ වෙති.

 

ඉහළ මධ්‍යම පාන්තික නිවෙසක (දේශපලනඥයෙකුගේ) වෙසෙන නව යොවුන් මෙහෙකාරිය හා වියපත් මෙහෙකරුවා, ගෙහිමියන් නි‍ෙවසේ නැති අවස්ථාවක දී වි‍ඩියෝ දර්ශන නරඹමින් සිටිති. ඔවුන් එසේ ආශාවෙන් බලාසිටින්නේ සිය හාම්පුතාගේ ‘චරිතකතාව’ හා අදාළ ග්‍රන්ථයේ දොර‍ට වැඩුම් උත්සවයේදී පටිගත කෙරුණු දර්ශන පෙළකි. චරිතකතා‍ව ලියා ඇත්තේ එක්තරා මාධ්‍යවේදියෙකි.

පාදපීඨය (Podium) වසාගත් නේකවර්ණ මල් අතරින් පෙනෙන කථිකයාගේ මුහුණ දෙස බලාසි‍ටින මුත් ඔහුගේ සෑම වදනක්ම ඔවුනට නොවැටහෙයි. එහෙත් සිය හාම්පුතාගේ චරිත ශුද්ධිය ගැන, ඔහුගේ ශීක්ෂණය ගැන, ශීලය ගැන දිගින් දිගට ම කියවෙද්දී මෙහෙකාර දැරියගේ මුහුණේ සෝපහාසී සිනාරැල්ලක් ඇඳී යනු මහලු මෙහෙකරුවා දකියි. ඔහු ඊට හේතු විමසයි. ප්‍රශ්නය මඟහැර යන දැරිය අවසානයේදී කියා සිටින්නේ හාම්පුතා ඇතැම් රාත්‍රීයාමයන්හිදී අවතාරයක් මෙන් තමාට අතවර කිරීමට පැමිණි බව ය.

ඒ වූ කලී මෑතකදී ප්‍රකාශයට පත් වූ ‘චරිතාපදානය’ නම් වූ කෙටි කතාවක සාරාංශයයි. (මෙම කෙටිකතාව සංගෘහිත ව ඇත්තේ මා ලියු ‘සරස්වතී උකටලී ව’ නම් වූ කෙටිකතා සංග්‍රහයෙහි ය.) මේ කෙටිකතාව ලිවීම සඳහා මට උත්තේජනය සැපයුණු අවස්ථා බොහෝ ය.

ලංකාවේ පළ වන බොහෝ චරිතකතා අපට කියවන්නට ලැබෙයි. ඒ බොහොමයක් දේශපාලනඥයන්ගේ චරිතාපදාන ය. පැවිදි පඬිවරුන්, බුද්ධිමතුන්, උගතුන්, කලාකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන්නන්ගේ චරිත කතා ද ඒ අතර වෙයි. ඒ ඇතැම් කතාවක් ලියැවී ඇත්තේ ස්වයංලිඛිත චරිතාපදාන වශයෙනි. කිසිවකුගේ ජීවිතය පිළිබඳව වෙනත් පුද්ගලයන් විසින් ලියනු ලැබු අවස්ථා ද ඒ අතර වෙයි. මේ බොහොමයක් අවස්ථාවලදී ලියැවී ඇත්තේ අදාළ පුද්ගයාගේ ශක්‍යතා, ප්‍රබලතා හා යහගුණ ඉස්මතු වන සේය. ඒවා සාකල්‍යයෙන් ම සමාන වන්නේ ‘උතුම් වූ ගුණධර්මයට මනුෂ්‍ය චින්තය යොමු නොකරන්නා වූ එක ද පොතක් වත් අප විසින් නොලියන ලදී යන පියදාස සිරිසේන සුරීන්ගේ අවධාරණයට ය. (මෙය සඳහන් වන්නේ 1926 වසරේ දී පළවු සුචරිතාදර්ශය නවකතාවේ සංඥාපනයෙහි ය).

දැන් මේ ස්වදේශිකයන්ගේ චරිතාපදාන කියවන අතරේ විදේශිකයකුගේ චරිතාපදානයක් කියවු සැණින් බරපතළ වෙනසක් අපට හැ‍ඟෙයි. ඒ බොහෝ විට ඔවුන් ජීවිතයේ ගැඹුරු පත්ලට කිමිදෙන නිසා ය. හදවත හා ගැඟීම් අවුස්සමින් හා අතීතයේ වැරදුණු තැන් කරළියට නගමින් බරපතළ ස්වයං විවේචනයක යෙදෙන මේ මිනිසුන් අසංස්කෘතික සත්ත්වයන් දැයි සිතෙන තරමට ම ඔවුහු තමන්ගේ ජීවිතය නිරුවත් කරති.

මේ අනුව සිතා බලන විට නැගෙන ප්‍රශ්නය වන්නේ අපේ රටේ චරිත කතා ලියන පිටස්තරයන් බොහෝ විට ඒවා ලියා ඇත්තේ දුරින් සිට බලා ද යන්නයි. පුද්ගලයකුගේ අභ්‍යන්තර ජීවිතයේ සැඟවුණු රහස් අනාවරණය කිරීම නොකළ යුත්තකැයි ඔවුන් සිතුවේ ද ? නැතහොත් එවැනි හෙළිදරවු කිරීම් හේතුවෙන් සංස්කෘතික ප්‍රශ්න උද්ගතවනු ඇතැයි බිය වුයේ ද? නැතහොත් සංස්කෘතික සත්ත්වයකු තුළ අනිවාර්යයෙන් පැවතිය යුතු යැයි විශ්වාස කෙරෙන ‘විළිබිය’ ඊට මුල් වුයේ ද ? එහෙත් අභ්‍යන්තර ජීවිතය සඟවා තබා මතුපිටින් ලියවෙන කතාවකට ‘චරිත කතාවක්’ යැයි කිව හැකි ද?

මේ විමසීම ඒ පිළිබඳව ය. විදේශීය චරිතකතා වශයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ සුපිරි නළු මාලන් බ්‍රැන්ඩෝගේ හා ලොව විශිෂ්ටතම සිනමාකරුවකු ලෙස සම්භාවනාවට පාත්‍ර ව සිටි ඉංග්මාර් බර්ග්මාන්ගේ චරිත කතා ය. මාලන් බ්‍රැන්ඩෝ ‘අම්මා මට දියාදුන් ගී’ හා ‘මැජික් ලන්තෑරුම’ නම් වූ මේ චරිත කතා දෙකෙහි ම පරිවර්තකයා එම්. ඩී. මහින්දපාල ය. (මාලන් බ්‍රැන්ඩෝගේ ස්වයංචරිතාපදනය ලියැවී ඇත්තේ රොබට් ලින්ඩ්සේ ද සමඟ හවුලේ ය.)

කිසියම් පුද්ගලයකුගේ සැඟවුණු ජීවිතය ගැන හරියට කියන්නට දන්නේ ඔහුගේ නි‍ෙවසේ බිත්ති හා උළුවහු ය. නැතහොත් සයනයක කොට්ට මෙට්ට ආදිය ය. එහෙත් ඒවාට කතා කරන්නට බැරිය. එහෙයින් සැබෑ ජීවන පුවතක් නිර්ව්‍යාජ ලෙස ලියා ත‍ැබීමට නම් මුලින් ම සාකච්ඡා කළ යුත‍්තේ අදාළ පුද්ගලයාගේ නිවැසියන් සමඟ ය. ඔහුගේ ‍‍හෝ ඇයගේ බිරිය හෝ සැමියා, දූ දරුවන් මෙන්ම නි‍ෙවසේ දැසිදස්සන් ආදීහු ද මෙහි ලා ප්‍රමුඛ සුදුසුකම් ලැබුවෝ වෙති.

දේශීය වශයෙන් ලියැවී ඇති චරිත කතා බොහොමයක (විශේෂයෙන් ප්‍රබල දේශපාලනඥයන් අරබයා) මේ ආකාරයේ සාකච්ඡා, ප්‍රශ්න කිරීම් සිදු වී ඇද්ද යන්න සැකයකි. ගත්කරුවන්, ශාස්ත්‍රඥයන් ආදීනගේ ස්වයංලිඛිත චරිතාපදානයන්හි වුව ද ජීවිතය හාරා පාරා ඇත්තේ මඳ වශයෙනි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘උපන්දාසි‍ට’, මහචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’, කේ. ජයතිලකයන්ගේ ‘පුංචි පැළේ ගස වෙනා’වැනි චරිතාපදානයන්හිදී ද ඔවුනගේ අභ්‍යන්තර ජීවිතය නිරාවරණය වන්නේ කුඩා පදාසයක් පමණි. ස්වකීය ජීවන වපසරිය අතරතුර නිරත වූ කිසියම් ශාස්ත්‍රීය සේවාවක් ‍හෝ නිර්මාණාත්මක කාර්යයක් පිළිබඳව මිස පුද්ගලබද්ධ යථාව (රහස් ජීවිතය) හෙළිදරවු කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු නැතැයි ඔවුන් සිතා ඇති සේ ය. ප්‍රශ්නය කුමක් වුවත් සිත පතුල කැණ බලමින් සියල්ල ගොඩනගන්නා මිනිසකුගේ චරිතාපදානයක් කියවන පාඨකයා ලබන්නේ නවකතාවකින් ලැබිය හැකි අපූරු වින්දනයකි. එවැනි ස්වචරිතාපදාන බටහිර රටවල සාහිත්‍යාංගයක් ලෙස පිළිගනු ලබන්නේ බොහෝ කලක සිට ය.

අවංක ස්වචරිතාපදාන අපගේ වැනි රටවල නොලියවෙන්නේ රටේ ප්‍රමාණයම නිසා නොව සංස්කෘතික පසුබිම නිසා ය යන මතයට සාධක වැඩි යැයි මහැදුරු සරච්චන්ද්‍රයන් සිය ස්වයංචරිතාපදානයේ පෙරවදනින් අවධාරණය කරයි. ‘විනිවිදිමි අඳුර’ නම් වූ කෘතියෙන් ජී. බී. සේනානායකයන් ජීවිතයේ තතු මඳ වශයෙන් හෙළි කරමින් මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා අදාළ ඉඟියක් පෑමට තරමක් දුරට යොමු වී ඇතැයි වැඩිදුරටත් පවසන සරච්චන්ද්‍රයන් ඒ සමඟ ම කියා සිටින්නේ තම චරිතයේ දුර්වල තැන් හෝ තමාට සිදු වූ අභාග්‍යසම්පන්න අවස්ථා ද ඕනෑවට වඩා හෙළි කළහොත් තමාගේ සතුරන් තමාට ගැරහීම සඳහා ඒවා ආයුධ කරගනු ඇතැයි ලේඛකයා පැවැසු බව ය. (මෙය සඳහන් වන්නේ ද ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියේ පෙරවදනෙහි ය)

එකී මෙකී ‍නොයෙක් ප්‍රශ්න අතරේ ස්වයංවාරණයක් පනවා ගනිමින් අඩු පාඩු හකුළාගෙන සිටින අප මෙන් නොව මාලන් බ්‍රැන්ඩෝලා, බර්ග්මාන්ලා අභියෝග මගහරිමින් තම ඇතුළාන්ත සත්‍යය කරළියට නගමින් ජීවිතය නම් මේ යැයි හුවාදක්වති.

‘මම පාසලේ සිටි නරකම ළමයින්ගෙන් කෙනෙක් වීමි’ යි සිය ස්වචරිතාපදානයෙන් පවසන බ්‍රැන්ඩෝ තවත් වරක කියා සිටින්නේ ‘බොහෝ පන්තිවලින් මා පලවා හරිනු ලැබු බැවින් නිතරම මා ගත කළේ ශාල‍ාවේ’ යි කියා ය.

ප්‍රසිද්ධියත් සමඟ ම මිනිසුන්ට මුහුණ පාන්නට සිදුවන අවාසි සහගත තත්ත්වයන් ඔහු ලැයිස්තුගත කරන්නේ ගැඹුරු චින්තන පසුබිමක් ප්‍රකට කරමිනි. ‘අපි සියලු දෙනාම අඩු - වැඩි වශයෙන් ප්‍රදර්ශනකාමී පුද්ගලයෝ වෙමු’ යි සෘජුව ප්‍රකාශ කරන බ්‍රැන්ඩෝ එය වැඩිදුරටත් විස්තර කරන්නේ මෙසේ ය.

මම අහිංසකයෙක් නොවෙමි. මා ද දේවල් කරන්නේ මුදල් සඳහායි. මා කමකට නැති චිත්‍රපටවල පෙනී සිටියේ මුදල් නිසයි. මේ ග්‍රන්ථය ද මා රචනා කරන්නේ මුදල් නිසයි.

(අම්මා මට කියාදුන් ගී - 184 පිටුව)

විවිධ වූ සංශයන් ඔස්සේ ජීවිතය ගවේෂණය කරන මේ ජනකාන්ත නළුවා, විටෙක සිය අදහස් උදහස් ලේඛනගත කරන්නේ චින්තකයකු සේය.

ප්‍රස්දිධිය යන්න එක්තරා ආකාරයකින් මා විනාශ කළේය. එය අතහැර දැමීමට ඕනෑම විටෙක මම සුදානම්ව සිටියෙමි. මා ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූ පසු නැවත කවරදාවකත් ඉලිනොයිස් හි ලිබර්ටිවිල් හි ‘බඩ් බ්‍රැන්ඩෝ’ වීමට මට නොහැකි විය. මට ජීවත් වීමට බලකෙරුණේ ව්‍යාජ ජීවිතයකි.

(අම්මා මට කියාදුන් ගී - 183 පිටුව)

සෑම දෙයකම ‘හොඳ නරක’ කියා දෙයක් ඇතැයි ද ඒ අතර මැද කිසිවක් නැතැයි ද සිතා සිටි තමාගේ ඒ අතීත ක්‍රියාකාරකම් දෙස පසුහැරී බලන්නට බ්‍රැන්ඩෝ යොමු වන්නේ පසු කලෙක ය. අසාධාරණයට ලක්වූ ජන කොටස් වෙනුවෙන්, කළු මිනිසුන් හා යුදෙව්වන් වෙනුවෙන්, යුදෙව් සංවිධාන වෙනුවෙන් ඔහු බොහෝ අරමුදල් ප්‍රදානය කරයි. එසේ වුවද පසු කලෙක යුදෙව් ප්‍රශ්නයේ තවත් පැත්තක් දකින බ්‍රැන්ඩෝ පශ්චත්තාපී ව කියා සිටින්නේ ‘ අහිංසක පලස්තීන ජාතිකයන් මරා දමමින් ඊශ්‍රායෙල් ර‍ාජ්‍යය ගොඩනැගීමට උත්සාහ කරමින් සිටි යුදෙව් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා සැලකිල්ලට නොගෙන මම යුදෙව්වන්ට‍ පක්ෂපාතිත්වය පළ කළෙමි’ යි කියා ය. තමා තුළ මුල් බැසගෙන තිබු අදහසක් වුව ක්ෂණිකව වෙනස් කිරීමට පසුබට නොවන බ්‍රැන්ඩෝ වාර්ගිකත්වය පිළිබඳ ඓතිහාසික සාධක සැලකිල්ලට ගනිමින් ඉනික්බිතිව මෙසේ ද සඳහන් කරයි.

තරුණයකුව සිටි සමයේ ‘ඊශ්‍රායෙල් රාජ්‍යය’ වෙනුවෙන් අරමුදල් එක් රැස් කිරීමට සහාය වන අවධියේ මා විස්මයට පත් කළේ සාමාන්‍ය ජර්මන් ජාතිකයින් යැයි සිතිය හැකි අය පවා අහිංසක යුදෙව් දරුවන් බුරුතු පිටින් මැෂින් තුවක්කු වෙඩි ප්‍රහාරයට ලක් කිරීම හෝ ඔවුන් දස දහස් ගණනින් ගෑස් කුටි තුළට ගාල් කිරීම හෝ කළේ කෙලෙසද යන්නයි. මිනිසකුට එරෙහිව තවත් මිනිසෙකුට එසේ කටයුතු කළ හැකි දැයි යන්න කිසිසේත් මට විශ්වාස කළ නොහැකි විය. එහෙත් අපට, තමන්ගේ වර්ගයා වෙනුවෙන් එයටත් වඩා දේ කළ හැකි බව කල් ගතවද්දී මට වටහා ගත හැකි විය. ‘සතුරු ආකල්ප’ යන්න වසර බිලියන ගණනක් තුළ සිදු වු පරිණාමීය ක්‍රියාවලියේ දී පවා වෙනසක් නොදුටු සංකල්පයකි.

(අම්මා මට කියාදුන් ගී -485 පිටුව)

මාලන් බ්‍රැන්ඩෝගේ නිදහස් චින්තනය වඩාත් මුවහත් වන්නේ වයස අවුරුදු 70 දීය. දැන් තමාට මහත් වූ සැහැල්ලුවක්, නිදහසක් දැනෙන බවක් මේ වයසේදී ඔහු කියයි. ‘අන් අය සමඟ මා සැසඳීම දැන් මම අතහැර දමා සිටිමි’ යි කියන ඔහු තවදුරටත් කියා සිටින්නේ ‘මිනිසුන් මා ගැන දරුණු අසත්‍ය ප්‍රචාර ගෙන යන විට ද දැන් මම ඒවා ගණනකට නොගනිමි’ යි කියා ය.

මතු සම්බන්ධයි.

 

Comments