
ලෝකය සහ සත්ත්වයා යනු කිසිවකුගේ මැවීමක් නොවන්නේ යැයි විශ්වාස කරන අය ඒ වෙනුවට මහා පිපිරුම්වාදය වැනි ප්‍රවාද ඉදිරිපත් කරති. එහෙත් ඔවුනට එය ඔප්පු කළ නොහැකිය. එහෙයින් එය ද විශ්වාසයකට හෝ ඇදහීමකට හෝ වැඩි දෙයක් නොවේ. මෙකී අන්ත දෙකටම නොවැටුණු වඩාත් ප්‍රායෝගික මනුස්ස කොට්ඨාසයක් ද ලොව පවතී. ඔවුහු නම් ජනකතාකරුවෝ වෙති.
කතන්දර හැදීම ද කතන්දර කීම ද යන දෙක ම කලාවකි. මෙහි ඉතිහාසය බොහෝ දුර ඈතට විහිදෙයි. මුල් ම මනුස්ස වරිගය තම සිතැඟි කියා පෑමට මුලින් ම ප්‍රයෝජනයට ගත්තේ ශබ්දය හෙවත් කටහඬ විය යුතු ය. ' උං ඌං ස්ලප් සලප් .. ග්ලබ් ග්ලබ් ..' යන මේ ශබ්ද කිහිපයේ කිසි අරුතක් කිසිවකුට එක්වරම වටහා ගැනීම අසීරු විය හැකිය. මීට වසර තිහකට පමණ පෙර ජර්මන් රටෙන් පැමිණ සිටි වාග් විද්‍යා මහාචාර්‍යවරයකු විසින් පවත්වන ලද වැඩමුළුවකට සහභාගී වීමට මට අවස්ථාව ලැබිණ. ' උං -ඌං - ස්ලප් -සලප් .. ග්ලබ් - ග්ලබ් ..' යන ශබ්ද කිහිපයට ඔහු මෙසේ අරුත් දුන්නේය. (උං = මට / ඌං = අර / ස්ලප් සලප් = වතුර / ග්ලබ් ග්ලබ් = බොන්න ඕනේ .) ආදී මිනිසා තම මුවින් නිශ්චිත ශබ්ද රටාවක් නිපදවා ගත්තේ ද ඒ එක් එක් ශබ්දයට නිශ්චිත අරුතක් ආරෝපණය කැර ගත්තේ ද සොබාදහමේ පැවති නාද රටා අනුකරණය කිරීමෙන් යැයි අර ජර්මන් ජාතික වාග් විද්‍යා මහාචාර්යවරයාගේ උපකල්පනය විය. ඔහුට අනුව වතුර සඳහා ' ස්ලප් සලප් ' යන ශබ්දය යොදා ගැනුණේ ජලය කැලතෙන නාදය අනුවයි. ඒ ජලය පානය කිරීමට වුවමනා බැව් කීමට ' ග්ලබ් ග්ලබ් ' යන නාදය තෝරා ගෙන ඇත්තේ උගුරෙන් පහළට වතුර ගලාගෙන යත්දී උගුරෙන් නික්මෙන නාදය අනුවලු. . 'උං ' යන කෙටි නො උස් ශබ්දය තමා හෙවත් මම යන්න හැඟවීමට ද 'ඌං ' යන දිගට ඇදෙන උස් ශබ්දය තමාගෙන් බාහිරව පවතින දෙයක් හෙවත් 'අන්න අර' යන අරුත දීමට ද යොදා ගෙන ඇත්තේලු. ඒ එසේ නම් දූරාතීතයේ පටන්ම ආදී මිනිසා සොබාදහමට අනුගතව එහි නාද රටා නිර්මාණාත්මක ලෙස තම සිතැගි කියා පෑමට යොදා ගෙන ඇති අකාරය කෙතරම් අපූරු ද? ඒත් මෙහි ඊටත් වඩා අපූරු වන්නේ තමා ප්‍රත්‍යක්ෂයෙන් නො දන්නා වූ මානව භාෂාවේ මූලාරම්භය මෙසේ වී යැයි පහදා දීමට අර ජර්මන් මහාචාර්‍යවරයා විසින් ගොතන ලද කතන්දරය හෙවත් ප්‍රවාදයයි. ඒ අනුව අපට පෙනෙන්නේ නූගතුන් විසින් කතන්දර ද උගතුන් විසින් ප්‍රවාදයන් ද ගොතනු ලබනු බවයි.
ලෝකය සහ සත්ත්වයා හට ගත්තේ කෙසේද යනු බයිබලයට අනුව සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ මැවීමකි. ඒ පිළිබඳ කතා පුවත ප්‍රකටය. අනෙක් අතින් එය ආගමික විශ්වාසයකි. මේ මැවුම්කාර සර්ව බලධාරී දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්පය හින්දු ඉස්ලාම් සහ තවත් ආගමික ග්‍රන්ථයන්හි වෙනත් ස්වරූපයෙන් දක්නට ලැබෙයි. පුරාණ ග්‍රීක පුරාවෘත්තයන් හි ලෝක සම්භවය පිළිබඳව හමුවන කතන්දර තුළ දේව කතා කොතෙකුත් දක්නට ලැබෙයි. චීන මිසර අරාබි සහ අප්‍රිකානු ජනකතා අතර ලෝකය සහ සත්ත්ව සම්භවය පිළිබඳව විවිධාකාර කතන්දර පවතී. මේ සෑම කතාවකම පොදු ලක්ෂණ වෙයි. ආගමික විශ්වාසය සහ භක්තිය ප්‍රමුඛ වන අතර ඒවා තුළ වූ නිර්මාණාත්මක සාහිත්‍යමය රස ගුණ දෙක ද කැපී පෙනෙයි. විශ්වයේ නිර්මාණය පිළිබඳව නූතන විදුහුරුවන් අතර ඉතා ජනප්‍රිය වී තිබෙන්නේ මහා පිපිරුම්වාදයයි. එය විද්‍යාත්මක උපකල්පනයක් ලෙස පෙනෙන මුත් යට කී පුරාවෘත්තයන්හි එන ආගමික විශ්වාසය සහ මේ මහා පිපිරුම්වාදය අතර වැඩි වෙනසක් ද නැති බැව් පෙනෙයි. මොකද මහා පිපිරුම්වාදය යනු වාදයක් ම වනු මිස නියත නියාමයක් ලෙස ඔප්පු කළ දෙයක් නොවන හෙයිනි. එහෙත් එය කතන්දරයක් නොව ප්‍රවාදයකි. සොබාදහමේ සංසිද්ධි පිළිබදව හේතු ප්‍රත්‍යයක් නිශ්චිතව පෙන්විය නොහැකි සෑම විටෙකම පාහේ පුරාතනයන් එකී අඩුව පුරවා තිබෙන්නේ ගුප්ත ඇදහීමක් හෝ ආගමික විශ්වාසයක් මගිනි. ඒ මගම යමින් විදුහුරු නූතනයන් ද හේතු ප්‍රත්‍යයක් පෙන්විය නොහැකි සෑම විටෙකම එකී අඩුව පිරවීමට උපකල්පනයන් හෝ ප්‍රවාදයන් හෝ නිර්මාණය කර ඇති බව පෙනෙයි. එහෙත් මේ උපකල්පන සහ ප්‍රවාද වඩාත් දියුණු විද්‍යාත්මක චින්තනයට සමීප වන අතර මුලින් කී දේව කතා මිථ්‍යාවන් විය හැකි නොවේදැයි බොහෝ අය තර්ක කරති. ලෝකය සහ සත්ත්වයා යනු කිසිවකුගේ මැවීමක් නොවන්නේ යැයි විශ්වාස කරන අය ඒ වෙනුවට මහා පිපුරුම්වාදය වැනි ප්‍රවාද ඉදිරිපත් කරති. එහෙත් ඔවුනට එය ඔප්පු කළ නොහැකිය. එහෙයින් එය ද විශ්වාසයකට හෝ ඇදහීමකට හෝ වැඩි දෙයක් නොවේ.
මෙකී අන්ත දෙකටම නොවැටුණු වඩාත් ප්‍රායෝගික මනුස්ස කොට්ඨාශයක් ද ලොව පවතී. ඔවුහු නම් ජනකතාකරුවෝ වෙති. සරල සුගම විනෝදාත්මක කතන්දර ගෙතූ ඔවුන් තත්කාලීන සිදුවීම් පමණක් නොව මහා දාර්ශනික ප්‍රස්තුත පවා තම කතන්දර තුළ විෂය වස්තු කොට ගත්තේ ඔහුනට ආවේණික සරල ප්‍රබන්ධ ආකෘතිය එලෙසම රැක ගනිමිනි. එහෙයින් සෑම ජනකතාවක් තුළම සැඟවුණු තවත් කතාවක් තිබීම බොහෝ විට දකින්නට ලැබෙයි.
"... ඔන්න එකෝමත් එක කාලයක එකෝමත් එක රටක මහා ගන කැලෑවක් තිබුණා. බෙහෙත් ඖෂයක් හොයා ගෙන ආව මෝඩ ගමරාළ කෙනෙක් ආපහු ගමට යන පාර හොයා ගන්න බැරුව කැලේ අතරමං වෙලා කර කියාගන්න දෙයක් නැතිව බයේ වෙවුල වෙවුලා ඉන්න අතරේ රූස්ස ගහක් ළඟට ගිහිං මෙන්න මෙහෙම කන්නලව්වක් කළා.
' .. අනේ මේ අනුහස් ඇති රුක් දෙව් විමානේ වැඩ ඉන්න මහා පින්වන්ත මහා කරුණාවන්ත මහා බල සම්පන්න රුක් දෙයියනේ ...මේ අසරණ ගැත්තා අතිං නොදැනුවත්කොමට අතින් හිතින් වරදක් දෝසයක් වුණා නම් අනුකම්පා කරලා මට ගමට යන්න පාර පෙන්වන්න ...'
මේ කන්නලව්ව කැළේ මැදින් ගමන් කරමින් හිටිය වෙනත් ගැමියකුට ඇහිලා එතනට ඇවිත් අර ගමරාළගෙන් කිංද මංද වග විස්තර අහලා ඔන්න අර ගමරාළට ගමට යන්න පාර පෙන්වන්න උනංදු පනංදු වුණා. මේක නං රුක් දෙයියංගෙම වැඩක් වෙන්න ඇති කියලා හිතලා ගමරාළ දනින් මුනින් වැටිලා රූස්ස ගහට වැන්දා . ඒ අතරේ අර ගැමියා ඒ රූස්ස ගහෙන් දිග ඉන්නක් කපා ගත්තා. 'මොකද යාලුවේ ඔය රුක් දෙවියන්ගේ විමානේ අතු ඉති කඩන්නේ කියලා ගමරාළ ඇහුවා. ' ..'මේ පොල්ලේ ලොකු බලයක් තියෙනව අපේ ගමනට ඒක උදව්වක් වෙයි කියලා' ගැමියා කිව්වා'
දැං ඉතිං දෙන්නම කැළේ මැදින් යන අතරේ විස කටු ඇති දිය අගලක් හමුවුණා. ගැමියා තමංගේ අතේ තිබුණු දිග පොල්ල දිය අගලට ඔබලා ඒකේ අනිත් කොන අල්ලගෙන එගොඩට පැන්නා ..ඒක නිකං හරියට රිටි පනිනවා වගේ වැඩක්. ඊට පස්සේ ගමරාළවත් ඒ විදිහටම ගොඩට අරගෙන පොල්ල ඇදලා ගත්තා. ' හ්ම් ..ඇත්ත නේන්නං ..පොල්ලේ බලෙන් ඒ මාරකෙත් පැන්නා නොවැ ..' කියලා ගමරාළ කිව්වා. ඔහොම ටික දුරක් යත්දී දඩයක්කාරයෝ කැළේ අටවලා තිබුණු බොරු වළකට ගමරාළ ඇදගෙන වැටුණා. උඩට එන්න විදිහක් නෑ . ඔන්න අර ගැමියා පොල්ල වළට දාලා ඒක අල්ල ගන්න කියලා ගමරාළව ගොඩට ඇදලා ගත්තා. ' හනේ හම්මේ මේ පොල්ල නොතිබ්බානං මං වළේම මියෑදෙනව ..පොල්ලේ බලේ තමා ඉතිං ..' කියලා ගමරාළ පොල්ලට වැන්දා. ඔහොම තව ටික දුර යත්දී කොළ දිවියෙක් ගමරාළගේ ඇගට පැන්නා. මර බය හින්දම ගමරාළ විලාප දෙන්න ගත්තා. අර ගැමියා තමන්ගේ අතේ තිබුණු පොල්ල අරං දෑත බදලා කොළ දිවියගේ ඔළුවට තද පාරක් ගැහුව. ඒක දරා ගන්න බැරිව දිවියා පැනලා දිව්වා. ' හනේ දෙයියනේ මේක නං මහ බලසම්පන්න පොල්ලක්ම තමා අර වන මුර්ගයා බයවෙලා දිව්වා ඉතරක් නොවෙයි ..මගේ ජීවිතෙත් බේරුණා. ' කියලා ගමරාළ ඔන්න ආයේමත් පොල්ලට වැන්දා.
ඔයින් මෙයින් ඔන්න දෙන්නම ගමරාළගේ ගමට ආවා. ගෙදරටම ගිහිං ගමරාළව ඇරලපු ගැමියා ආපහු එන්න පිටත් වෙත්දී ගමරාළ අර පොල්ල අල්ල ගෙන කඳුළු පෙරමින් මෙහෙම කිව්වා. ' මේ පොල්ලේ බලේ නොතිබ්බා නං අපි දෙන්නම සුං..' ගමරාළ මේ පොල්ල ගැන ආශාවෙන් ඉන්න බව දැනිච්ච ගැමියා මෙහෙම කියලා පොල්ල ගමරාළටම දුන්නා. ' ඕං හේනං මේ පොල්ල මතක වස්තුවක් හැටියට තමුන්නැහැටම තෑගි දෙන්න මට හිතුණා...' ඒ කතාවෙන් ඇස් අදහගන්න බැරි වුණ ගමරාළ පුදුම වුණා. ' අපොයි ඉතිං මේ පොල්ල නැතිව තමුන්නැහෑ ..අයෙත් මේ කැළේ මැද්දෙන් යන්නේ කොහොමද ..' කියලා ඇහුවා. එතකොට ගැමියා හිනාවෙලා තමන්ගේ ඔළුවට දබර ඇඟිල්ලෙන් තට්ටුවක් දාලා මෙහෙම කිව්වා. ' බලේ තියෙන්නේ ඔය පොල්ලේ නෙවයි මෙන්න මෙතන තියෙන මොළේ ' කියලා. .."
විතාරන්දෙණියේ ජයසේන නම් විශ්‍රාමික ගුරුවරයකු වෙතින් ඇසූ මේ ජනකතාව වඩාත් සමීප වන්නේ ළමා කතන්දර ගණයටය. එමෙන්ම මේ කතාව තරමක් වෙනස් ආකාරයන් ගෙන් රුසියානු චීන සහ යුරෝපීය ජනකතා අතර දකින්නට ලැබෙයි. එසේ ගත් කල මේ කතාව එක් ජන සමාජයකට පමණක් ආවේණික නොවන බවත් පෙනෙයි. එහි විශ්වීය ස්වරූපයක් වෙයි. එහෙත් එකම කතාව තම තමාට ආවේණික ලෙස එක් එක් ජනසමාජ විසින් සංස්කරණය කරනු ලැබ තිබේ. මේ කතාව පමණක් නොව බොහෝ ජනකතාවල විශ්වීය ස්වරූපයක් හෙවත් පොදු නෑ කමක් තිබේ. විශ්වීය හෙවත් සමූහ ජන විඥානය හෝ සමාන්තර චින්තනය යන දෙක බොහෝ ඈත අතීතයේ පටන් ආගමික දාර්ශනික සංකල්ප තලයෙහි ඉතා ප්‍රකටව දක්නට ලැබෙයි. කිස්තු පූර්ව 6 වැනි සියවසේ ආරම්භ වූ බුද්ධිමය විප්ලවය සමාන්තරව එකවර ග්‍රීසීයේත් ඉන්දියාවේත් හට ගත්තේය. ඒ සමගම ආගමික නොවූ ජනකතා නිර්මාණය වීමද මේ කාලයේ කැපී පෙනෙයි. දේව කතා වෙනුවට ප්‍රායෝගික ව්‍යවහාරය මුල්කොට ගෙන නිර්මාණය වූ එවැනි කතන්දර තුළ හුදු සරල සුගම රස වින්දනයට වඩා එතෙක් පැවති විශ්වාස සහ ඇදහීම් හෝ මිත්‍යාවන් ඉතා සියුම් ලෙස සමාජ ජන විඥානයෙන් බැහැර කෙරෙනු ද දක්නට ලැබෙයි. යට කී ' පොල්ලේ බලේ 'නම්' කතන්දරයේ මෙකී ලක්ෂණය ඉතා තදින් ප්‍රකට වෙයි. එසේ ගත් කල පුරාණ ජනකතාකරුවා ඇඟට පතට නොදැනී අපහාස උපහාස දෙකෙන්ම විනිර්මුක්තව කරන ලද මතවාදී විප්ලවය එසේ මෙසේ නොවන බව පෙනෙයි. එබඳු තවත් කතාවක් සමග ලබන සතියේ හමුවෙමු.