අධ්‍යා­පන ගැට­ලු­වට බුදු­ද­හ­මෙන් විස­ඳු­මක් | Page 2 | සිළුමිණ

අධ්‍යා­පන ගැට­ලු­වට බුදු­ද­හ­මෙන් විස­ඳු­මක්

ගැටලු නිරාකරණය කිරීම තමයි අධ්‍යාපනය කියන්නේ. දරුවෙකුට උපන් දවසේ සිට ගැටලු එනවා. උපන් දරුවා මවුකුසෙන් බිහිවුණ තැන සිට දරුවාට සෙනෙහස දක්වන කෙනෙක් සිටිනවා. ඒ කවුද ? යන වග දරුවා හඳුනා ගන්නවා. ඇත්තටම මේ තමන්ගේ අම්මා කියන බවක්, ඒ දරුවා දන්නේ නැහැ. ඒ වචනයවත් දරුවා දන්නේ නැහැ. යමෙක් නිතරම තමා ළඟට පැමිණීම පිළිබඳ ගැටලුව දරුවාට තිබෙනවා. එයාගේ සුවඳ දැනෙනවා. එයා නිතරම අඬන විට ළඟට එනවා. එය ගැටලුවක්. උපන් දවසේ සිට පැමිණෙන එවැනි දේ ගැටලුයි. අධ්‍යාපනය කියන්නේ එවැනි ගැටලුවලට උත්තර සෙවීමයි.

මහාචාර්ය පාතේගම ඤාණිස්සර ස්වාමීන් වහන්සේ කවිය, ගීතය, ධර්ම සන්නිවේදනය සහ උසස් අධ්‍යාපනය ශිෂ්‍යයන්ට ලබාදෙන භික්ෂුන් වහන්සේ නමක් හැටියට ප්‍රකට යි. උන්වහන්සේ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා යි. දැනට ග්‍රන්ථ පනහක් පමණ රචනා කර ඇති උන්වහන්සේ බුදුසමය සහ අපරාධ විද්‍යාව යන ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය පසුගිය දා රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය. මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන්ගේ නවතම ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය බුදුසමය සහ අධ්‍යාපන විද්‍යාවයි. අධ්‍යාපනයෙහි තිබිය යුතු ගුණාත්මක බව පිළිබඳව උන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි.

 

• බුදුසමය සහ අධ්‍යාපන විද්‍යාව යන ග්‍රන්ථය රචනා කිරීමේ අරමුණ කුමක්ද?

මගේ නවතම ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය බුදුසමය සහ අධ්‍යාපන විද්‍යාවයි. වර්තමාන සිංහල සමාජය තුළ පවතින අධ්‍යාපන චින්තනමය අර්බුදයට බුදුසමයෙන් විසඳුමක් ලබාගත හැකි බව පෙන්වීම එහි අරමුණයි. ශ්‍රී ලංකාව තුළ වර්තමානයෙහි භාවිතවන අධ්‍යාපනය, බටහිර අධ්‍යාපන සංකල්පවලට අනුව සකස් වුණ විධික්‍රමයක්. ලෝකයේ පහළ වුණ අධ්‍යාපන චින්තකයන්, අධ්‍යාපන දාර්ශනිකයන්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් විසින් දරුවෙකුට ලබාදිය යුතු අධ්‍යාපනය කුමක් ද? කියලා තීන්දු කරනවා. විශේෂයෙන්ම ළමා අධ්‍යාපනය පිළිබඳව කතා කරන විට “පියාජී” වැනි අධ්‍යාපනඥයන් අමතක කරන්න බැහැ.

වර්තමාන ලංකාව තුළ භාවිත වන්නේ බිනේයි, කෘසෝ, බේකාඩ් යන චින්තනයන්ගෙන් සකස්වුණ අධ්‍යාපන ක්‍රමයක්. නමුත් එම අධ්‍යාපන සංකල්පත්, වර්තමානයේ භාවිත වන අධ්‍යාපන විධික්‍රමත්, අතර ලොකු ගැටුමක් තිබෙනවා. අපේ වර්තමාන අධ්‍යාපන විධික්‍රම සකස්වීමේ දී අධ්‍යාපන දාර්ශනික චින්තකයන්ට එහා ගිය සංකල්ප බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තිලෝගුරු නාමයෙන් ද, අප හඳුන්වනවා.

උන්වහන්සේ කළ ඉගැන්වීම් වර්තමාන පාසල් දරුවන්ට ඉගැන්වීමේ ක්‍රමවේදයක් වශයෙන් කෙසේ සකස් කළ හැකි ද? යන ප්‍රශ්නයට මෙම ශාස්ත්‍රීය පර්යේෂණයෙන් පිළිතුරක් ලබාදු‍න්නා. බටහිර අධ්‍යාපන සංකල්පවලට වඩා එහා ගිය ඊ‍ට වඩා මිනිස් මනස, ළදරු මනස , ළමා මනස, වැඩිහිටි අධ්‍යාපනය, යන සංකල්ප බුදුසමයේ භාවිත කර ඇති ආකාරය මෙම පර්යේෂණ තුළින් පැහැදිලි වෙනවා. බෞද්ධ සුත්‍ර ධර්ම අධ්‍යයනය කළ විට එම අධ්‍යාපන විධික්‍රම, අධ්‍යාපන සැලසුම් ක්‍රම, ළමයාගේ වයස අනුව, බුද්ධියේ මේරීම අනුව ලබාදිය යුතු සංකල්ප, ප්‍රත්‍යාවර්ථ හැකියාව ආදී හැකියාවන් උපයෝගී කරගෙන අධ්‍යාපනය ලබාදිය යුතු විධික්‍රමය සකස් විය යුත්තේ කෙසේ ද ? කාලීන සමාජ අධ්‍යාපන අර්බුදය විසඳාගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අන්තර්ගත වන කරුණු මොනවා ද? කියන කාරණාව පැහැදිලි කිරීම ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියෙහි අරමුණ යි. අධ්‍යාපනය නම් , දැනුම, ආකල්ප, කුසලතා යන ක්ෂේත්‍රවල හැකියාවන් ලබා‍ගත යුතු ය. කියන කාරණාව අපේ පැරණි අධ්‍යාපන ක්‍රමය තුළ පැවතුණ “ගුණ නැණ බෙලෙන්” යන වචනය තුළ අන්තර්ගත වුණා.

නමුත් වර්තමාන අධ්‍යාපනය තුළ, දැනුම, ආකල්ප, කුසලතා, කියන අදහස තිබෙනවා. එය ක්‍රමානුකූලව දියුණුවීමත් සමඟ නිපුණතාවය පිරි අධ්‍යාපනයක් යන සංකල්පය ගොඩනැඟුණා. දැනුම, ආකල්ප, කුසලතාවලට අමතරව, ප්‍රායෝගිකව පුහුණුවීම් එකතු වී තිබෙනවා. එය මෑතක දී එකතුවීමට පෙර සිටම ක්‍රි.පු. 6 වන සියවසේ පහළ වුණ බුදුරජාණන් වහන්සේ ලෝකයට නිපුණතාවය පිරි අධ්‍යාපනයක් ලබන්නේ කෙසේ ද? එම අධ්‍යාපනය සකස්විය යුත්තේ කෙසේ ද? යන ආකාරය පැහැදිලි කර තිබෙනවා.

වර්තමානයේ තිබෙන්නේ විෂය කේන්ද්‍රිය, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක්. ලෝකයේ ඉල්ලන්නේ ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනයක්. ලෝකයට අවශ්‍ය ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනයක්. ලෝක මානව අවශ්‍යතා සන්සිඳවීමට සුදුසු අධ්‍යාපන විෂය අධ්‍යාපන විශේෂඥයන් සකස් කිරීම ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනයේ අරමුණයි. බෞද්ධ අධ්‍යාපන‍යේ තිබෙන්නේ ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනයක් මිස, විෂය කේන්ද්‍රීය අධ්‍යාපනයක් නොවෙයි. විෂය විශේෂඥයන් පිරිසක් ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ බිහිවන්නේ.

ලෝකයට අවශ්‍ය කරන ශිල්පීය විශේෂඥයන් පිරිසක්. වර්තමානයට අවශ්‍ය එම පිරිසයි. ලංකාවේ අධ්‍යාපනයෙන් කලා උපාධිධාරින් බිහිකළත්, එම පිරිස් රටේ ඵලදායිතාවත් සමඟ පෑහීමක් වන්නේ නැහැ. එම අර්බුදයට විසඳුම බුදු දහමෙහි තිබෙනවා කියන අදහස මෙම පර්යේෂණ තුළින් ඔප්පු කළා. කාලීන සමාජයට, කාලීන ලෝකයට අත්‍යවශ්‍ය සංකල්ප කිහිපයක් මෙම පර්යේෂණයෙන් පැහැදිලි කිරීමට උත්සාහ කළා.

අපේ රටේ ප්‍රධානීන් මෙවැනි ආකාරයෙන් කටයුතු කළ යුතු බව අවබෝධ කරවීම මෙය පොතක් ලෙස පළ කිරීමේ අරමුණයි. අධ්‍යාපන ඇමතිවරුන්ට, අධ්‍යාපන බලධාරීන්ට, ජාතික අධ්‍යාපන ආයතනයට, විෂය මාලා සංවර්ධනය කරන පිරිසට, පාසල් අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන්ට මෙය මහඟු අත්පොතක්. විදුහල්පතිවරුන්ට අත්‍යවශ්‍ය පොතක්. වර්තමාන කාලීන අධ්‍යාපන ගැටලුවට බෞද්ධ විසඳුම් සොයාගෙන යන මෙම ග්‍රන්ථය සමාජයට දිය යුතු බවට කල්පනා කළා.

මෙම ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථය කිරීමට හේතුව පැහැදිලි කරන විට මට හිතුන දෙයක් තමයි අධ්‍යාපනයේ දී ම‍නෝවිද්‍යාව අත්‍යවශ්‍ය බව. ඒ පිළිබඳව පැහැදිලි කරනවනම්?

අධ්‍යාපනය ලබාදිය යුත්තේ සිතට මිස ගතට නොවෙයි. මනසට අධ්‍යාපනය ලබාදෙන ගුරුවරයා කෙනෙකුගේ අතට නොදෙන, නොපෙනෙන මනසට ලබාදෙන දෙයක් ලබාදීමේ දී දිය යුත්තේ කාට ද? ඔහුගේ මනස කොහොම ද? මෙය ලබාගන්නාගේ තේරුම් ගැනීමේ හැකියාව කොහොම ද? වටහාගැනීමේ හැකියාව කොහොම ද? අවබෝධවීමේ හැකියාව කොහොමද? විෂය කරුණු ලබාදිය යුතු පිළිවෙළ කුමක්ද ? ආදී කාරණා බොහොමයක්, ගුරුවරයා විසින් සිතිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන විට ඒ දේශනාව ශ්‍රවණය කරන පුද්ගලයාගේ මනස පළමුවෙන්ම තේරුම් ගත යුතුයි. එය තේරුම් ගැනීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තිබුණා.

පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, පරචිත්ත විජානන ඥානය යන ඥාන තුළ අන්තර්ගතව පැවතුණා. වර්තමාන ගුරුවරයා වුණත්, ලබාගත යුතු ඥාණ තුනක්. එම ළමයාගේ අතීතය කොහොම ද? එම ළමයාගේ දෙමවුපිය තත්ත්වය කොහොම ද? එම දෙමවුපියන්ගේ මානසික තත්ත්වය කොහොම ද? එම දරුවා අනාගතයේ කෙබඳු තැනකට යැවිය යුතු ද? කියන අරමුණ ගුරුවරයා තුළ තිබිය යුතුයි. එම අරමුණ තිබිමට ගුරුවරයාට මනෝවිද්‍යාව පිළිබඳ පැහැදිලි වැටහීමක් තිබිය යුතුයි. මනෝවිද්‍යාව පිළිබඳව පැහැදිලි වැටහීමක් නැති ගුරුවරයකු‍ට උගන්වන්න බැහැ.

ඒ වගේ ගුරුවරුන් ඉගැන්වුවාට ශිෂ්‍යයන්ට මතක හිටින්නේ නැහැ. ධාරණය වන්නේ නැහැ. ඔබට සිටි ගුරුවරුන් අතරින් අදටත් කී දෙනෙක් මතකයේ රැඳී තිබෙනවාද ? ඔබ කෙතරම් වැඩිහිටි වුවත්, ඇතැම් ගුරුවරුන් ඉගැන්වු විෂය කරුණු ඔබට තවම මතකයි. එසේ වීමට හේතුව කුමක්ද ? ගුරුවරයෙකුට අත්‍යවශ්‍ය සාධකය මනෝවිද්‍යාවයි. මනස හඳුනාගැනීමයි. එම කාරණය බුදුරජාණන් වහන්සේ ඉතා මැනවින් ඉටුකර තිබෙනවා.

මාස හතරක් ගත වුණත්, චුල්ල පන්තක හාමුදුරුවන්ට එක ගාථාවක්වත් කට පාඩම් කරගැනීමට බැරි වුණා. උන්වහන්සේට කටපාඩම් ශක්තිය නැති නිසා මහණකමෙනුත් එළවා දැම්මා. මහණකමටත්, නුසුදුසු බවට ප්‍රකාශ කළ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ මතක නොහිටන මනස වටහාගත් බුදුරජාණන් වහන්සේ මතක නොහිටන කරුණු අවබෝධ වන ආකාරයට ධර්මය දේශනා කළා. එම දේශනාව අවසානයේ චුල්ලපන්තක හාමුදුරුවන් රහත්භාවයට පත්ව මනෝමය රූප මවන්නන් අතර අග තනතුරු ලැබුවා.

එක් වතාවක් ශ්‍රවණය කිරීමෙන් වචන හැටදාහක් කටපාඩම් කළ හැකි ශක්තිය ආනන්ද හාමුදුරුවන්ට තිබුණා. මතක නොහිටන චුල්ලපන්තක හාමුදුරුවන් රහත්වෙලා අවුරුදු ගණනාවක් ගත වෙලත්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාටත් පසුවයි ආනන්ද හාමුදුරුවන් රහත් වුණේ. මිනිස් මනසෙහි තිබෙන හැකියාවන් සහ මිනිස් මනසෙහි මානසික ශක්තිය වෙනස් බව පෙන්නුම් කෙරෙනවා. එම මානසික වෙනස්වීම තුළ වරදක් නැති වුණත්, එම මානසික වෙනස කුමන ආකාර ද? යන වග අවබෝධ කරගෙන රටට අවශ්‍ය ආකාරයට වෙනස් වන මනසවල් ගොඩනැගීම මනෝ විද්‍යාවෙන් සිදු කළ හැකියි.

එම නිසා මනෝවිද්‍යාව ගුරුවරයෙකුට අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් පැහැදිලි වෙනවා. වර්තමාන අධ්‍යාපනය තුළ අධ්‍යාපන පීඨ සංකල්පය තිබෙනවා. වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන විද්‍යා පීඨ සංකල්පය හඳුන්වා දුන්නා. එම අධ්‍යාපන විද්‍යා පීඨ සංකල්පය ගුරුවරයෙක් නිර්මාණය කිරීමට සුදුසු ම ස්ථානය බව වර්තමානය වන විට තේරුම් ගෙන තිබෙනවා. අගමැතිතුමා එදා දුරදර්ශීව සිතූදෙයෙහි ප්‍රතිඵල අද ලබනවා.

ගුරුවරයාට මනෝ විද්‍යාව අවශ්‍යයි. ගුරුවරයාට පුහුණුව අවශ්‍යයි. යන සංකල්පය අධ්‍යාපන විද්‍යාපීඨ හරහා ලංකාවට පැමිණි දෙයක්. ඊට පෙර උගන්වන ගුරුවරුන් පුහුණු කළා. විද්‍යාපීඨ සංකල්පත් සමඟ පුහුණු කළාට පසුව උගන්වන්න යොමු කළා. ඒ වගේ වැදගත් අධ්‍යාපන අවස්ථා පසුකර තිබෙනවා.

ඒවා තවත් වර්ධනය කර ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැර වෙනත් කිසිම ආගමික සම්ප්‍රදායික පිහිටක් ලැබෙන්නේ නැහැ. නුතන පංතිකාමර අධ්‍යාපනය තුළ මනෝවිද්‍යාව භාවිත නොවන තැන් තිබෙනවා. 7 , 8, 9 වසර දරුවෙකුගේ මොළය මෝරන කාලය නිසා දරුවන් අලුත් අදහස්වලට යොමුකළ හැකි කාලයක්. එම වකවානුව ළමයෙකුගේ මනස පිබිදෙන කාලයයි. නමුත් අපේ රටේ 7, 8, 9, ශ්‍රේණිවල යල්පැනගිය, ඇල්මැරුණු අධ්‍යාපන ර‍ටාවක් තිබෙනවා.

ළමයි නාකි කරවනවා. එම කාලය තුළ දරුවන්ගේ මනසට ලොකු වගකීමක් දිය යුතු කාලයක්. ලොකු මතක ශක්තීන් දිය යුතු වුණත්, එවැනි දෙයක් සිදුවන්නේ නැහැ. එම නිසා වර්තමාන අධ්‍යාපනය වුණත් 9 වසරේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සුදුසුයි. 7, 8 වසර නිකරුණේ නාස්තිකරන කාලය තුළ විභාග පවත්වමින්, වෘත්තීය අධ්‍යාපනය පැත්තට, ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනය පැත්තට නැඹුරු කරවීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.

මෙම කෘතිය පළවුණාට පසුව හෝ වර්තමාන අගමැතිතුමා දූරදර්ශී දැනුමක් තිබෙන පුද්ගලයෙක් විදිහට මේවා පිළිබඳ සොයා බලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කරාවි යන විශ්වාසය තිබෙනවා. අධ්‍යාපනය තුළ ම‍නෝවිද්‍යාව මනසට ලබාදෙන දෙයක් මිස අතට හෝ සාක්කුවට ලබාදෙන දෙයක් නොවෙයි. අධ්‍යාපනය මනසට දීමට පෙර මනස පිළිබඳ හැඳින්වීමක් තිබීය යතුයි. ජෝන්ට ලතින් ඉගැන්වීමට පෙර ජෝන් පිළිබඳ ඉගැවිය යුතු බවට බටහිර අධ්‍යාපන සංකල්පවල ප්‍රකාශ වී තිබෙන්නේ බෞද්ධ අධ්‍යාපනයේම දිගුවක් ලෙස මම දකිනවා.

මනස හඳුනාගෙන, ශිෂ්‍යයන්ට උගන්වන ආකාරය, අධ්‍යාපන විධික්‍රමය යටතේ මෙම පර්යේෂණ කෘතියෙහි වෙනම කරුණු කාරණා පැහැදිලි කර තිබෙනවා. එය මනෝවිද්‍යාව පිළිබඳ වැටහීමක් ඇතිකර ගැනීමට හොඳ කාරණයක් හැටියට මම දකිනවා.

• ගැටලු නිරාකරණය කිරීම අධ්‍යාපනය කියලත් කියනවානේ?

හරියට හරි. ගැටලු නිරාකරණය කිරීම තමයි අධ්‍යාපනය කියන්නේ. දරුවෙකුට උපන් දවසේ සිට ගැටලු එනවා. උපන් දරුවා මවුකුසෙන් බිහිවුණ තැන සිට දරුවාට සෙනෙහස දක්වන කෙනෙක් සිටිනවා. ඒ කවුද ? යන වග දරුවා හඳුනාගන්නවා..ඇත්තටම මේ තමන්ගේ අම්මා කියන බවක්, ඒ දරුවා දන්නේ නැහැ. ඒ වචනයවත් දරුවා දන්නේ නැහැ. යමෙක් නිතරම තමා ළඟට පැමිණීම පිළිබඳ ගැටලුව දරුවාට තිබෙනවා. එයාගේ සුවඳ දැනෙනවා. එයා නිතරම. මම අඬන විට ළඟට එනවා. එය ගැටලුවක්. උපන් දවසේ සිට පැමිණෙන එවැනි දේ ගැටලුයි. අධ්‍යාපනය කියන්නේ එවැනි ගැටලුවලට උත්තර සෙවීමයි.

ගැටලු වර්ග දෙකකි. දරුවා වැඩිවියට පත් වන විට කායිකව ඇතිවන වෙනස්වීම කායික ගැටලුයි. තමන් වෙත පැමිණෙන ගැටලුවලට තමන් ලබාදෙන උත්තර මොනවා ද? යන්න මානසික ගැටලුයි.

අපේ සමාජයේ සහජීවනයක් නැහැ. සහජීවනයක් නැත්තේ අධ්‍යාපනයක් නැති නිසයි. සහජීවනය තිබුණා පුද්ගලයාට අනෙකා හඳුනාගෙන ජීවත් විය හැකියි. සහජීවනය නැති පුද්ගලයා‍ට අනෙකා හඳුනාගෙන ජීවත් විය නොහැකියි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් තුළින් ලෝකය බැලීමට නොවෙයි. ලෝක ස්වභාවය තුළින් තමන් දෙස බලා ලෝකය අනුව අනුවර්ථනය විය යුතු බවයි.

 

Comments