මූක­ළන් වු තාරු­ණ්‍යය | Page 2 | සිළුමිණ

මූක­ළන් වු තාරු­ණ්‍යය

වැස්සි මුකළන් වු විට කිරි ගැනීමට නොහැකි වන බව ගම්මු කියන කතාව. මුකළන් වීම යනු බැදි වැදීමයි කාලයක් ලණුව කඩාගෙන සිතුමනාපයේ හැසිරි නැවතත් ලණුවකින් ගැට ගැසුවද එළදෙනගෙන් සිදු විය යුතු කාර්යයය හෙවත් කිරි ලබා ගැනිමට නොහැකි වු විට මුකළන් වු සතකු ලෙස එම සතා හඳුන්වනු ලබයි .මුකළන් වන්නේ ලණුවෙන් ගිලිහුණූ කලය. එබැවින් ලණුව කඩා ගත් හරකා මුකළන් වීමට පෙර නැවතත් ලණූව දැම්ම කළ යුතුය. විනය කියන්නෙත් එක්තරා විදියක අපි දාගන්න ලණුවක් විනයක් තියෙන විට වැඩ කිරීම පහසු වෙනවා වගේම තීරණ ගැනිමට අනුන්ට සවන් දීමට වගේම නව අදහස් මවන්නත් තාක්ෂණයේ උපරිම ප්‍රයෝජන ගන්නත් හැකි වෙනවා.

අරමුණක් නැති කම කියන්නේත් රැඩිකල් කියන්නෙත් එකක් නොව දෙකක් බව සමහරුන්ට තේරෙන්නේ නෑ. ඒකට හේතු ව අපේ තරුණයො ගොඩක් දේවල් අල්ලගෙන ඉන්නේ වැරදි කොන් වලින්. සමහරක් දෙවල්වල මතුපිට තියෙන දේ විතරයි අල්ලගෙන තියෙන්නෙ. හිපි සංස්කෘතිය කියන්නේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ පැවැත්ම පිළිබඳව ඇතිවු දාර්ශනික මතවාදයක් සමඟ පැනනැඟුණු සංස්කෘතියක්. ඒ වගේම බොහීමියානුවෙක් නිර්මාණය වන්නෙත් අභ්‍යන්තරිකව මිනිසුන් පැවැත්ම ප්‍රශ්න කරන විට.

රටක ජීවනාලිය වෙන්නේ තරුණයින්. මේ නිසා සෑම විප්ලවයකම පෙර ගමන්කරුවො වුණේ තරුණයා. තරුණ්‍ය ගින්දර වගේ කියන්නේ ඒ නිසා. ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියල කිව්වත් තාරුණ්‍යයත් එක්ක සෙල්ලම් කරන්න එපා කියල නම් කවුරුවත් කියල නෑ. ඒ නිසාද කෙහෙද අපේ තරුණයො තම තරුණ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. වෙනත් කොනෙක් තමන්ගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරනවට වඩා තමන්ම තමන්ගේ ජීවිතය විනයට අනුගත නොකළහොත් ඇති කර ගන්න විනාශය බරපතළයි .

අවදානමක් අරගෙන ඉලක්කයක් වෙත යන එකෙයි අවදානමක් අරගෙන බයික් එකක වේගෙන් යන එකෙයි අවදානම දෙකක්. එකක් ජීවිතේ ජවයත් ශක්තියත් මැන බලන එකක් වුණාට අනිකෙන් මැන බැලෙන්නේ වාහනයේ ජවය හා ශක්තිය.

අපේ කටිටිය වාහනවල ජවය පෙන්නන්න ගිහින් ජව සම්පන්න ජීවිතේ විනාශ කර ගන්නවා. සමහරක් සේවාවල නිෂ්පාදන අර්තයෙන් නොවේ, අපි භාවිතා කරන්නේ. ත්‍රීවිලර් රථය නිර්මාණය වන්නෙ අඩු මුදලට ප්‍රවාහණ කටයුතු කර ගැනිමට උවද අපේ රටේ දී ලක්ෂ පහක් වටින ත්‍රීවිලර් එකකකට තව ලක්ෂ එකහමාරක් විතර වියදම් කරනවා සුදු යකඩ බාර් සෙටප් ස්ටිකර් වගේ දේවලට. අන්තිමෙදී දකින්න ලැබෙන්නේ සෙටප් එකක් හයි කරපු ත්‍රීවීලර් එකක් වෙනුවට ත්‍රීවිලර් එකක් හයි කරපු සෙටප් එකක්.

සමහරු බොන්න ගියාම තැනැක් නැ, නොතනක් නෑ, වෙලාවක් නෑ. කවුරු උනත් කමක් නෑ ඕන එකෙක් එක්ක බොනවා .බොනවා ව්තරක් නොව පරිසරයත් විනාශ කරල වටේ පිටේ මිනිස්සුන්ටත් ඉන්න බැරි විදයට කුණු හරුපත් කියනවා. බැලුවම ලංකාවේ ගොඩක් තරුණයො බොන්නේ විකාර වෙන්න මිසක් සතුටට නොවෙයි. පාරවල් දිගට අරක්කු කාලේ කුප්පි භාගේ බොතල් පමණක් නොව බියර් කෑන් පොලිතින් ඇසුරුම් විසිරිලා තියෙන්නේ අපේ මුකළන් වෙච්ච තරුණයන්ගේ අතින්ම තමයි.

උතුරු කොරියාවේ තරුණයෙක් අමෙරිකාව වැනි බලවතකු සමඟ කරට කර ඉන්නවා. බොහෝ රටවල දේශපාලනයේ ද් තරුණයින් ඉදිරියට ඇවිත් තියෙනවා අලුත් මතවාද දර්ශනයන් සහ වැඩ පිළිවෙලවල් සමග. අද්‍යාපනය විතරක් නොව නව දැනුම තාක්ෂණය නව නිර්මාණ නිසා තාරුණ්‍යය වෙනස් වෙන යුගයක නවිනත්වය වැඩෙන්නේ මිනිසුන්ට ඇති අවස්ථාවනුත් වැඩි කරමින්. මේ නිසා හැකියාව දක්ෂතාවය උනන්දුව තියෙන් ඕනෑම අයෙකුට වෙනදට වැඩියෙන් අවස්ථා නිර්මාණය වෙමින් තියෙනවා. ඒත් අපි මේ අවස්ථාවන් කොපමණ ප්‍රමාණයක් භාවිතා කරනවාද යන්න ගැටලුවක්.

තරුණියින් නව තාක්ෂණය තුළින් දැනුවත් වන පුමාණයට සාපේක්ෂව රටක් සංවර්ධනය ඉහළ යන බව සාමාන්‍ය සත්‍යයක් වුණත් අපේ රටේ තරුණයින් විනොදාස්වාදවලින් එහාට ගිය තාක්ෂණීක මෙවලම් පරිහරණයක් පිළිබඳව අවබෝධයක් නැති පිරිසක් වෙලා. ඒ නිසා තාක්ෂණය අවභාවිතය ඉහළ ගිහින්. දැනුම හා තොරතුරු සන්නිවෙදනය ට බිහිකරපු අන්තර්ජාලයෙන් අපි සන්නිවේදනය කරන්නේ බීපු මත්පැන්, කාපු හෝටල් නාපු ඇළවල් වගේ දෙවල්.

දශක කීපයකට කලින් ග්‍රහකයින් විතරක් වූ අපි දැන් සන්නිවේදකයන් බවට පත්කරන්නට සන්නිවේදන තාක්ෂණය දියුණු වෙලා තිබියදී අපි සන්නිවේදනය කරන්නේ මොනවාදැයි නැවත නැවතත් ප්‍රශ්න කරන්න වෙනවා. බිලියනයක් විතර තියෙන වෙබ් අඩවිවලින් කීයකින් අපි දැනුම ගන්නවද කියල දෙවරක් හිතන්න වෙනවා. තොරතුරු සාක්ෂරතාවය කියන්නේ තොරතුරුවලට පිවිසීමට අපිට ඇති දැනුම. එහෙත් අපි අපේ සාමාන්‍ය දෙයකදී උවත් තොරතුරුවලට පිවිසෙන්නේ කලාතුරකින්. ඒ වෙනුවට පැය ගණන් පේෂ්බුක්වල නාන කන බොන අඳින ගලවන දර්ශන හුවමාරු කර ගන්නවා.

මේ යුගය අන් කවරදාටත් වඩා තාරුණ්‍යයට අභියෝගාත්මකයි. අද තරුණයා ගේ හැසිරීම අනිවාර්යෙන් හෙට රටේ අනාගතය තීරණය කරනවා. මේ නිසා තාරුණ්‍යයට විචාරශිලිත්වය අවශ්‍යම වෙන. ඒ නිසා යමක් කරන්නට පෙර ඇයි? කියන ප්‍රශ්නය කීපවරක් අහන්න. උත්තරයක් ආවොත් කරන්න. ඒක තමයි හොඳම විචාරශිලිත්වය. විචාරශිලිත්වය නිර්මාණය වන්නේ විනය තුළින් කියන එක අමතක කරන්න එපා.

 

Comments