පිරිත් ගායනයෙහි නාද හැසිරවීමේ පිළිවෙළ ඉතා ලයාන්විත ය. එක වර ගැයෙන සුත්ර කීපයක් එක ම නාද රටාවකින් යුක්ත වුව ද, නාද ලාලිත්‍යයෙන් වර්ණවත් වී ඇති හෙයින් සිත එක් තැන් කොට එක දිගට අසා සිටීමට ද පුළුවන. ගමේ විහාරස්ථානයෙහි පිරිත් පිංකම් මාලාවක් වශයෙන් ඇතැම් කාලවල මාස තුනක් තිස්සේ නොකඩවා ගායනය කෙරෙමින් පවත්වා ගෙන යෑමට තරම් පිරිත් ගායනය වින්දන ශක්තියෙන් යුක්ත ය. පිරිත් ගායනය තරම් දීර්ඝ කාලයක් තිස්සේ නො කඩවා පවත්වා ගෙන යන වෙනත් කිසිම ගායනයක් සිංහල ජනතාව අතර දක්නට නැත.
පිරිත යනුවෙන් හැඳින්වෙනුයේ සත්‍ය වු ගුණ සමුදායක් දැඩි අධිෂ්ඨානයකින් මෙනෙහි කිරීම තුළින් කරනු ලබන ආශිර්වාද පූජාවකි. එහෙයින් පිරිත තුළ අසීමිත බලයක් හා ශක්තියක් ඇති බවත් ප්‍රකාශය වේ.
පිරිත් සඡ්ඣායන්හි නාද ගුණය, ධ්වනි ගුණය, පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. නාදය මාධ්‍ය කොටගත් මිනිසාගේ රසවිඳීමට පමණක් නොව අවබෝධයෙන් තේරුම් ගෙන අභ්‍යාසයෙහි යෙදීමද මෙහි දී සිදුවිය යුතුය. මේ තුළින් ශාන්තියක් ඇති වන බව විශේෂයෙන්ම බෞද්ධයින්ගේ මතයයි. පිරිත් බලෙන් රෝග නැසෙන බව ”සබ්බ රෝග විනාසාය පරිත්තං බ‍්‍රෑහි මංගලම් ” යනුවෙන් පිරිත් දේශනාවෙ දී කරන ආරාධනයෙන් පෙනේ.
මේහි දී විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය වන්නේ පිරිතේ ධ්වනි ගුණය පිළිබඳවයි. ධ්වනි විද්‍යාවේ දී සංගීතමය නාද සතු විශේෂ ගුණාංග තුනක් පිලිබඳව සාකච්ඡා වේ. ස්වරවල ලක්‍ෂණවලින් ද මේවා හැඳින්වේ.
තාරතාව, විපුලතාව, හා ධ්වනි ගුණය වශයෙන් දැක්වෙන්නේ එහි ගුණාංගයි. විපුලතාවය යනු හඬේ සැරයයි. එකම තාරතාවකින් යුත් හඬක් අඩුවෙන් හෝ වැඩියෙන් ශ්‍රවණය වීම පිරිත් සඡ්ඣායනා තුළින් අප අත් විඳ ඇත.
පිරිත් සඡ්ඣායනයෙහි නාද හැසිරවීමේ පිළිවෙළ ඉතා ලයාන්විත ය. එක වර ගැයෙන සුත්ර කීපයක් එක ම නාද රටාවකින් යුක්ත වුව ද, නාද ලාලිත්‍යයෙන් වර්ණවත් වී ඇති හෙයින් සිත එක් තැන් කොට එක දිගට අසා සිටීමට ද පුළුවන. ගමේ විහාරස්ථානයෙහි පිරිත් පිංකම් මාලාවක් වශයෙන් ඇතැම් කාලවල මාස තුනක් තිස්සේ නොකඩවා සඡ්ඣායනය කෙරෙමින් පවත්වා ගෙන යෑමට තරම් පිරිත් ගායනය වින්දන ශක්තියෙන් යුක්ත ය. පිරිත් සඡ්ඣායනය තරම් දීර්ඝ කාලයක් තිස්සේ නො කඩවා පවත්වා ගෙන යන වෙනත් කිසිම සඡ්ඣායනයක් සිංහල ජනතාව අතර දක්නට නැත.
මහා පිරිත එකම නාද රටාවකින් යුක්ත වුව ද, පහත් ස්වරයෙන් ආරම්භ කොට එම නාද රටාව ක්‍රමයෙන් ආරෝහණය වන නාද ස්ථාන මත, පිහිවුවමින් ගායනය අවසන් වන විට ස්වර සප්තකය පසු කර යෑමට තරම් උච්ච ස්වරයකට පමුණුවනු ලැබේ.
එබැවින් එකම නාද රටාවකින් උපදින ඒකාකාරී බව නැති වී යයි. ශ්‍රාවකයාගේ සිත ඇද බැඳ තබා ගැනීමත් රසය කුළු ගැන්වීමත් එ මඟින් සිදුවේ.
පිරිත් සඡ්ඣායනය සමුහ ගායනයක් වශයෙන් මනා සංවිධානයෙන් ද යුක්ත ය. මුල සඡ්ඣායනය සඳහා කලින් නියම කර ගත් පරිදි කට හඬ එකිනෙකට ගැලපෙන සඡ්ඣායනයෙහි සමත් භික්‍ෂූන් වහන්සේ දෙ නමක් පත් කර ගනු ලැබේ. අත්වැල් ගායනය සඳහා පිරිස වැඩි වු තරමට ගායනය ප්‍රබල වේ.
අංග සම්පුර්ණ පිරිත් සඡ්ඣායනයක් තුළ ඇත්තේ එකම නාද රටාවක් පමණක් නො වේ. යුග පිරිත්, සුත්‍ර දේශනා, හමාර දේශනා ආදි වශයෙන් ගත් කළ එකිනෙකට වෙනස් වු නාද රටාවලින් රස වින්දනයෙහි විවිධත්වය ඇති කරනු ලැබේ. එම නිසා පිරිත් සඡ්ඣායනය කිසියම් ඒකාකාරී නාද රටාවක් තුළ රැඳී නො සිටින බව පෙනී යා යුතුය. ආටානාටිය සඡ්ඣායනය අවශ්‍ය තැන අර්ථාන්විත ලෙස භාව නිරූපණය කෙරෙන කඨෝර ස්වාභාවයකින්, යුක්තව ද සඡ්ඣායනය ශෛලිය විසින් හසුරුවනු ලැබේ.
එකිනෙකට සමීප ව හෝ දුරස්ථව හෝ පිහිටි නාද යුගලයක් එකකින් අනෙකට ස්පර්ශ කරමින් ලෙලවීම යුගල නාද ලාලිත්‍යය යි. පිරිත් සඡ්ඣායනයෙහි මෙම යුගල නාද ලාලිත්‍ය ප්‍රයෝග ඉතා පැහැදිලි ලෙස දක්නට ලැබේ. රෝග නිවාරණය සඳහා පිරිත් දේශනා කිරීම පෙරදිග බෞද්ධ සමාජයේ පුරාණයේ සිට ම දක්නට ලැබෙන්නකි. පරිත්‍රාණ (සංස්කෘත ) පරිත්ත (පාලි ) පිරිත් (සිංහල) යනුවෙන් අදහස් වනුයේ විපත්වලින් මුදවා ගැනීම, අපේක්‍ෂාව, රැකවරණය යන්න සේ සැලකේ. පිරිත් සඡ්ඣායනය පිළිබඳව පරාක්‍රම බාහු රජතුමාගේ විශේෂ ගෞරවාදයක් ඇති වු බව පොත පතේ සදහන් වේ. එයට හේතුවක් නම් ඔහු කුස තුළ සිටිය දී ඔහුගේ මෑණියන් වු රත්නාවලි බිසවට මෙම පිරිත් ගායනයෙන් විශාල ශාන්තියක් ලැබුණු බවය.
හින්දු ආගමේද ප්‍රධාන ග්‍රන්ථයක් වන භගවත් ගීතාවේ ද එක් ආරක්‍ෂක දර්ශනයක් පරිත්ත ශබිදයෙන් අදහස් කළ බව චුල්ල වග්ගයේ සඳෙහන් පරිත්ත ශබිදය සමඟ සැසඳීමෙන් පැහැදිලි වෙන බව කියවේ.
වේද සාහිත්‍යයේ සඳහන් පරිදි පරිත්ත යනු හුදු යාඥා හා ගීතිකා විශේෂයක් වුවද බුදු සමයේ එම අදහස් ඉක්මවා යන සත්‍ය ක්‍රියාවක් මෙන් ම මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතයට ගැනෙන බව දක්වයි. අධ්‍යාත්මික වශයෙන් ගොඬ නැඟෙන චිත්ත පාරිශුද්ධත්වය පදනම් කර ගත් ගුණ සමුදායකින් දුකට හා බියට පත් වුවන්ට ආරක්‍ෂාව ලබා ගත හැකිවු අතර එසේ අභ්‍යන්තර ගුණ සමුදායෙන් බැඳී, වෙළී, ගැටී, දේශනා කළ සුත්‍ර, පිරිත් සුත්‍ර නමින් හැඳින්විය.
වෙනත් ආගමික සඡ්ඣායනා ක්‍රමවල දක්නට නොමැති තවත් විශේෂ ලක්‍ෂණයක් ලංකාවේ පිරිත් සඡ්ඣානයේ පවති. එය නම් හඬ තල හෙවත් ශ්‍රැතියේ වෙනස් වීමයි. සමුහයක් විසින් ගායනා කිරීමෙන් නාද සංකලනයක් නිපදවීමෙන් ශ්‍රවණ රසයක් මෙන්ම ධ්වනි ගුණයකින් සමන්විත වු සඡ්ඣායනාවක් ලෙස පිරිත හැඳින්වේ.
මිනිසාට සිය දෛනික ජීවිතයේ දී මුහුණ පෑමට සිදුවන විවිධ උවදුරු, බාධක, ලෙඩ රෝග, වසංගත, අමනුෂ්‍ය භය, ආදී සියල්ල මැඩලීමට සමර්ථ සුවිශේෂී ශක්තියක් හා බලයන් සහිත සුත්‍ර සංග්‍රහයක් ලෙස චතුභාණවර පාළිය සැලකේ. ( විමලරත්න හිමි, බෙල්ලන්විල- 1994-පිට-34 )
සුත්‍ර ලියා ඇත්තේ පාලි භාෂාවෙනි. නුතනයේ දී මෙය සිංහල භාෂාවට පරිවර්තනය කර සජ්ඣායනා කිරීමද සිදුවේ. සමහර සුත්‍ර ගද්‍යයෙන් හා පද්‍යයෙන්ද රචනා කොට තිබේ. මේවා අතර ප්‍රධාන වශයෙන් මහා මංගල සුත්‍රය, රතන සුත්‍රය, කරණීය මෙත්ත සුත්‍රය, දම්ම චක්ක පවත්තන සුත්‍රය, පරාභව සුත්‍රය, මහා සමයම සුත්‍රය, ධජග්ග සුත්‍රය, මිත්තානි සංඝ සුත්‍රය, කසීභාරද්වාවි සුත්‍රය, අංගුලි මාල සුත්‍රය, සීවලී පිරිත, වට්ටක පිරිත ආටානාටිය වැනි සුත්‍ර 22 ක් පමණ අතරින් අවශ්‍යයෙන්ම යොදා ගැනේ. රතන සුත්‍රය, මහා මංගල සුත්‍රය, මිත්තානි සංස වැනි සුත්‍ර පද්‍යයෙන් ද මෙත්තානි සංස සුත්‍රය, ධම්ම චක්ක පවත්තන සුත්‍රය, ගිරිමානන්ද සුත්‍රය, සච්ච විභාංග යන සුත්‍ර ගද්‍යයෙන් ද, මහා සමයම සුත්‍රය, කසීභාරද්වාජ සුත්‍රය, පරාභව සුත්‍රය, ආයානාටිය ඇතුළු සුත්‍ර ගණනාවක්ම ගද්‍ය පද්‍ය මිශ්‍රණයෙන් ද බැඳ ඇත.
පිරිත් සඡ්ඣායනාවල විශේෂ ලක්‍ෂණය වන්නේ ගීතස්සර ගායනයෙන් මිදීමයි. අද පිරිත් සඡ්ඣායනකට සවන් දෙන්නා ඉන් මානසික සුවයක් හා වින්දනයක් ලබන අතර එය අවබෝධකින් ලබන වින්දනයක් මෙන්ම සඡ්ඣායනා කර්ණරසායන නිසා ලබන වින්දනයකි.
නුතන ලෝකයේ මනෝ චිකිත්සාව සඳහා යොදා ගන්නා ප්‍රබල මාධ්‍යයක් ලෙස සංගීතය සැලකේ. එක් එක් සංස්කෘතීන්ට අනුකූලව නිෂ්පත්තිය ලබන සංගීත කාණ්ඩ තුළින් මානසික සුවය ලබා දීමට අවශ්‍ය පහසුකම් සැලසීම සංගීත විද්‍යාවේ පරමාර්ථයක් වී ඇත. මෙහි දී විශේෂයෙන් ධ්වනි ගුණය මුලික වේ. මෙහි දී පිරිත් සඡ්ඣායනා උවමනාවෙන් ශ්‍රවණය කිරීමද, අහඹු ලෙස ශ්‍රවණය කිරීම ද, ශ්‍රවණය කර නැති වීමද සාකව්ඡා කෙරුණී. මෑත දී කරන ලද පර්යේෂණයකට අනුව ධ්වනි තරංග ශ්‍රවණය කිරීම නිසා තමාට අත්වන මානසික සුවය පිළිබඳව ද අවධානය යොමු කෙරුණි. මෙහි දී වැඩිපුර පිරිත් ශ්‍රවණය කරන පිරිස හා ඔවුන්ගේ ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව ලැබුණු ප්‍රතිචාර මත පිරිත් සඡ්ඣායනා තුළින් සත්‍ය වශයෙන් ලැබෙන මානසික සුවය වටහා ගැනුණි. පිරිත් සඡ්ඣායනාව උවමනාවෙන් අසන පිරිස අධ්‍යාත්මික විශ්වාසය ද පදනම්ව කළ බව කිව හැකිය. කිසිදු පිරිත් සඡ්ඣායනාව නොකළ පිරිසක් ද විය.
මොවුන් අන්‍ය ආගමිකයින් වීම මෙහි දී පෙන්වාදිය හැකිය. එහෙත් අන්‍ය ආගමික වු අයත් පිරිත් සඡ්ඣායනා ශ්‍රවණය කිරීම නිසා මානසික සුවතාවයක් ලබා ගෙන ඇත.
මෙහි දී අත්‍යාවශයෙන්ම පිරිත් ශ්‍රවණය කරන පිරිස් ඉහළ අගයක් ගත් අතර ඔවුන්ගේ අදහස වුයේ පිරිත් සඡ්ඣායනා ශ්‍රවණය කිරීම තම මානසික පීඩනය අඩු කිරීමට ඉතාම යෝග්‍ය ධ්වනි ගුණයෙන් යුත් ගායනා ශෛලියක් බවයි. ක්‍ෂෙත්‍ර චාරිකා සඳහා දුර පලාත්වලට යන රියදුරු මහතුන් තමා ගමන නික්මීමට ප්‍රථම හා අළුයම් කාලයේ දී විද්‍යුත් නාලිකා මඟින් හෝ කැසට් පට මඟින් පිරිත් සඡ්ඣායනාව ශ්‍රවණය කිරීම පුරුද්දක් ලෙසට සිදු කරන බව ප්‍රකාශ කර සිටී. එහි දී ඔවුන් ඉතා ප්‍රබෝධමත් සිතුවිලි සමඟ තම සේවා කටයුතුවල නිරත වන බව ප්‍රකාශ කළහ.
මෙම පර්යේෂණයේ දී කතෝලික ආගමිකයින් ආගම් බේදයක් නොසලකා පිරිත් සඡ්ඣායනය ශ්‍රවණය කිරීම තුළින් මහත්වු සැනසීමක් අත්විඳීමට හැකි බව ප්‍රකාශ කරයි. මෙහි දී හින්දු ආගමික පිරිස් පිරිත් සඡ්ඣායනය පිළිබඳව එතරම් දැනීමක් නැති බව පැවසු අතර, පිරිත් හා සමාන ස්තෝත්‍ර ගායනා ශ්‍රවණය කිරීමෙන් තම මානසික පීඩනය අවම කර ගන්නා බව ප්‍රකාශ කරයි.
ගැබිනි මව්වරුන් විශේෂයෙන් මෙම පර්යේෂණයේ දී විශේෂිත වු සංසිද්ධීයක් විය. මව්වරුන් තම දරු ගැබ දරා ගෙන සිටීමේ දී ඇතිවන මානසික පීඩාකාරි අවස්ථාවන් සමනය කර ගැනීමට පිරිත් සඡ්ඣායනයන් ශ්‍රවණය කිරීමෙන් විශේෂිත වු මානසික සුවයක් අත්විඳින බව පැහැදිලි කළේයෙ. මවක් දරුවකු ප්‍රසුත කරන අවස්ථාවක දී බෞද්ධාගමික සමාජය තුළ අංගුලිමාල පිරිත ශ්‍රවණය වීමට සලස්සවනු ලැබේ. එමඟින් දරුවා ලැබීමේ දී මවට යම් අපහසුතාවයක් නොදැනෙන බැව් විශ්වාසයයි.
ධ්වනි ගුණය ශ්‍රවණය කිරීම තුළින් ශ්‍රාවකයාට ගෝචර වු ධ්වනි තරංග තම මනස ප්‍රබෝධමත් කිරීමට උත්තේජකයක් වේ. ඒ තුළින් තම එදිනෙදා කාර්ය කිරීමේ හැකියාව ඇතිවේ. නිවරදි අවබෝධය යනු ස්වභාවික පැවැත්ම හෙවත් ජීවිතය සමබරතාවයෙන් තබා ගැනීමය. විශ්ව අවබෝධය ලැබීමය. ඒ තුළින් වැඩෙන ශක්තිය අධ්‍යාත්මික ශක්තියයි. සරල මානසික පීඩාව හසුරුවා ගැනීම හෙවත් කළමණාකරණය යනු ජීවිතය කළමණාකරණය වීමයි. එය කායික මානසික සමබර පැවැත්ම තුළින් අධ්‍යාත්මික සංවර්ධනය කරා යොමු වීමට මඟ පෑදේ. මේ නිසා යහ පැවැත්ම ප්‍රවර්ධනය සඳහා පිරිත තුළින් ලැබෙන්නේ පුදුමාකාර ශක්තියකි. එය විශ්ව ශක්තිය හා එක්ව ජීවිතයට ආශිර්වාදයක් ලබා දෙයි.