බණ විකි­ණු­වොත් හරිද? | Page 2 | සිළුමිණ

බණ විකි­ණු­වොත් හරිද?

කාලයකට පස්සේ මේ ලේඛකයා මුණගැහුණු මිත්‍රයෙක් “බණ ටිකක් විකුණපං” කියන යෝජනාව කළා. “මම උඹ ලියන ඒවා කියවනවා. උඹ කියන දේවල් ඇත්ත. ඒත් ඒ ඇත්තෙන් ඇති වැඩේ මොකක්ද? දැන් මිනිස්සුන්ට ඕන ඒ අයගේ මොකක් හරි ඉන්ද්‍රියක් පිනවා ගන්න. ඉතින් ඒ කාරණේ හිතේ තියාගෙන ලියපං. එහෙම කරනවා නම් අපේ මිනිස්සුන්ට ඕන දේත් වෙනවා. උඹේ මල්ලත් පිරෙනවා.

උඹ බණ දහම් ඉගෙනගෙන තියෙනවා. දැන් අපේ සිංහල මාර්කට් එකේ ධර්මයට හොඳ ඉල්ලුමක් තියෙනවා. මිනිස්සු සෑහෙන්න අසහනයෙන් ඉන්නේ. දේශපාලනේ කචල්. ක්‍රිකට් කචල්. ගෙවල්වලත් කචල්. ළමයි හරියට ඉගෙනගන්නවා ද නැද්ද කියන එක ගැන සුවර් එකක් නෑ. ගෑනු උයන්න කැමැති නෑ. උයන එකත් මහ වදයක්. උයනවා කියලා මොනවා උයන්න ද? හැම දා ම එක ම දේ. කන්න ගියාමත් එහෙමයි. උයන ඒවා කන්නත් බෑ. කඩෙන් ගේන ඒවා කන්නත් බෑ. ඉඳලා හිටලා මගුල් ගෙදරක ගිහිල්ලා මළ ගෙදරක ගිහිල්ලා ෂොට් එකක් දාගත්තොත් ඇරෙන්න බීලා ප්‍රශ්න අමතක කරන්න ඉඩකුත් නෑ. ඉතින් මේ දේවල් යන්තමින් හරි අමතක කරන්න පුළුවන් මාර්ගය තමයි ධර්ම

දැන් මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් බණ ටිකක් විකුණපං!”

“පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිළි කරලා පොතක් ලියන්න මම හිතාගෙන ඉන්නවා. ඒත් ඉතින් ඕවා විකුණන්න බෑ” කියලා මේ ලේඛකයා කිව්වා.

“ඔන්න ඕකනේ උඹට වෙලා තියෙන්නේ. උඹේ හිතේ තියෙන්නේ ම අපේ එවුන්ට තේරුම්ගන්න බැරි මොකක් හරි මගුලක් කරන පැලෑන් විතරයිනේ. ඔළුව අවුල් කරගෙන ඉන්න එවුන්ට පටිච්ච සමුප්පාදය කියලා දෙන්න උඹට පිස්සු ද? දැන් ඉන්න අපේ එවුන්ට තුන් පාරක් තුන් සරණේ කියද්දි හිතාගන්න බෑ දැන් කියන්න ඕන දුතියම්පි ද තතියම්පි ද කියලා. ඔළුව එක තැනක නෑ. ඒ හින්දා උන්ට තේරෙන පොඩි දෙයක් ගැන හිතපං. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වගේ සරල දෙයක් ගැන හිතපං

“අනිත්‍ය , දුක්ඛ, අනාත්ම කියලා කියන්නේ සරල දෙයක් නෙවෙයි. ඒක තමයි අපිට නොතේරෙන ම දේ. ඒක තේරුම්ගියා කියලා කියන්නේ නිවන් අවබෝධ වුනා කියන එකනේ” කියලා මේ ලේඛකයා කිව්ව

“ඕක තමයි අවුල. ඕක තමයි අවුල. මිනිස්සුන්ට නිවන් දකින්න ඕන නෑ. ඒ අයට ඕන පිනවීම.ඔය දේවල්වලට අදාළ කරුණු කාරණා ටිකක් අග මුල මාරුකරලා කියපං. වැඩිය හිතන්න එපා.”

“අග මුල මාරුකරලා කියන්නේ කොහොම ද? ත්‍රි ලක්ෂණය පැහැදිලි කරන ක්‍රම තියෙනවා. මුල් සූත්‍රවලත් අටුවාවලත් ඒවා තේරුම්කරලා දීලා තියෙනවා. ඒ දේවල් සරල විදිහට කියන එක කළා ම හරියි කියලායි මම හිතන්නේ. කතාකරන විදිහට සරල භාෂාවෙන්නේ මම ලියන්නේ. ඉතින් මට පුළුවන් සූත්‍රවල, අටුවාවේ තියෙන ඒ කාරණා සරල විදිහට පැහැදිලිකරන්න. අග මුල මරුකරලා කියන ක්‍රමයක් ගැන නම් මම දන්නේ නෑ. ඔය කියන ඒවා කළොත් නැති අවුලුත් ඇතිවෙලා තමයි නවතින්නේ” මේ ලේඛකයා තමන් පිළිගන්න දේ කිව්වා.

“තියෙන දේ දැන් ලක්ෂ කෝටි වාරයක් කියලා තියෙනවානේ. මිනිස්සුන්ට ඕන අලුත් දෙයක්. උඹ කියපං අනාත්ම ගැන අටුවාවල කියන කතා වැරැදියි කියලා. ඒවා ලියලා තියෙන්නේ බමුණෝ කියලා කියපං. ඊට පස්සේ උඹේ ඔළුවට එන මොන මොනවා හරි ටිකක් ලස්සනට කියපං. මිනිස්සුන්ට අහන්න ඕන ඒ වගේ දේවල්.

තව නැගලා යන එකක් තමයි භාවනාව. හැබැයි ඔන්න ඔය ආනාපාන සති, සමථ, විපස්සනා, පිළිකුල් වගේ ඒවා ගැන කියවා කියවා ඉන්න එපා. අලුත් ටෙක්නික් එකක් දෙකක් ගැන කියපං. මිනිස්සු ආසයි ඔය භාවනාවට මොනවා හරි කිරණ ටිකක් ශක්ති ටිකක් පටලවලා කියනවා නම්. ලෙඩ ටිකකුත් පටලවාපං. දැන් අපේ පොරවල් වැඩියෙන් ම කැමැති මාතෘකාවක් තමයි ලෙඩ.”

“ඔය කියන අපරාධ වැඩ කරන්න මට නම් බෑ. අනිත් එක මට පුළුවන් ද බණ කියන්න යන්න. මම ගිහියෙක්. හාමුදුරුවරුනේ බණ කියන්නේ. නිකම් විකාර කතා කියන්නේ නැතුව හිටපං” මේ ලේඛකයා තරහෙන් වගේ තමන් ගේ අදහස කිව්වා.

“හාමුදුරුවරු විතරක් නෙවෙයි බණ කියන්නේ. අර කාලයක් ගාල්ලේ පැත්තේ පොරකුත් බණ කිව්වේ. මිනිස්සු ගෙවල්වල බණ ඉවෙන්ට් සංවිධානය කරනවා. ඊට පස්සේ උඹ ව ඒ ඉවෙන්ට්වලට වඩම්මවා ගනියි. අනුරාධපුරේ මේ වැඩේ කරපු කට්ටියක් ගැන මම දන්නවා. මේ මාසේ එක ගෙදරක. ලබන මාසේ තව ගෙදරක. එන අයට කන්න බොන්න දෙන රාජකාරියත් තියෙන හින්දා වැඩේ නැගලා යනවා. උඹට තියෙන්නේ ඒ වගේ තැන්වලට ගිහිල්ලා මොනවා හරි දෙසලා කීයක් හරි කඩාගෙන එන්න.‘‘

උඹට ඕන ම නම්, ස්වාමීන්වහන්සේ කෙනෙක් ව ගෙනියන්නත් පුළුවන්.”

“නිකම් පවුකාර කතා කියන්නේ නැතුව හිටපං” මේ ලේඛකයාට උවමනා වුනේ කතාව නවත්තන්න.

“යකෝ සිවුරු දාගත්ත නළුවෝ වගේ කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒ අතරින් ටිකක් හැඩ වැඩ තියෙන, කඩවසම්, හොඳ ලස්සනට කතා කියන්න පුළුවන් කෙනෙක් තෝර ගත්තම හරි. ඒ විදිහට තෝරාගත්ත කෙනා ගේ උපදේශකයා විදිහට ඉඳගෙන දවස ගානේ මොනවා හරි ගුලි ටිකක් අඹර අඹර දෙන වැඩේ භාරගන්න එක විතරයි. ගතමනාව බෙදාගන්න විදිහක් කතා කරගනිං. ඊට පස්සේ උඹට අපේ සිරි ලංකාවේ විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ වුනත් හිතේ හැටියට රවුම් ගහලා එන්න පුළුවන්. සල්ලි වැක්කෙරෙනවා.”

“මචං, මම කිව්වේ උඹට යමක් කමක් හොයාගන්න පුළුවන් මාර්ගයක් ගැන. ඒ වෙනුවෙන් යමක් කරන එක උඹේ වැඩක්.

දෙමව්පියෝ ළමයින්ට අවවාද අනුශාසනා කරද්දි ළමයි දන්නවා අම්මලා තාත්තලා කියන දේවල් හරි කියලා. ඒත් ඒවා පිළිපැද්දට උන්ට ඕන ජොලිය ලැබෙන්නේ නෑ. මහ මිනිස්සුත් එහෙම තමයි. උඹ ලියන ඒවා හරි කියලා ඒවා කියවන මහ එවුන් දන්නවා. ඒවා වර්ණනා කරලා ලියන වචන දෙක තුනේ උත්තරත් උඹට ලැබෙනවා ඇතිනේ. ඒත් උඹ කියන ඒවායින් මිනිස්සුන්ට ඕන ජොලිය ලැබෙන්නේ නෑ. ඒකට අදාළ අයගේ ඉන්ද්‍රය පිනවාගන්න බෑ.

ඒත් මේ බණ බිස්නස් එක එහෙම එකක් නෙවෙයි. මේ බණ විකෘති වෙච්ච තරමට තමයි ඒවා අහන අයට ජොලියක් දැනෙන්නෙ. ජොලි වෙන තරමට තමයි උන් සල්ලි විසිකරන්නේ.

අනිත් එක තමයි මේ වගේ වැඩ ලෝං ටර්ම් කරන්න ලෑස්තිවෙන්න එපා. අවුරුද්දක් දෙකක් ඇතුළත ගේම ඉවරකරන්න බලන්න ඕන. වැඩි ම වුනොත් අවුරුදු පහකින් ගේම ඉවරකන්න ඕන.”

“කියන්නේ බොරු කියලා මිනිස්සු තේරුම්ගන්නවා?” මේ ලේඛකයා ඇහුවා.

“මිනිස්සුන්ට ඒවා ඇත්ත ද බොරු ද කියලා තේරුම්ගන්න ඕනකමක් නෑ. ඒත් ඒ වෙද්දි තව අලුත් කෙනෙක් ෆීල්ඩ් එකට ඇවිල්ලා. මිනිස්සු කැමැති අලුත් එකා පස්සේ යන්න. එතකොට උඹේ බිස්නස් වැටෙනවා. ඒ හින්දා කරන දෙයක් වැඩිම වුනොත් අවුරුදු පහක් ඇතුළත කරලා ඉවර කරගන්න ඕන.” යාළුවා කියාගෙන ගියා. මේ ලේඛකයා දිගට ම අහගෙන හිටියා.

“මිනිස්සු ඉන්නේ අවුලක. උඹත් ඒ ගැන නිතර ම ලියනවානේ. ඒත් මේ අවුල ලිහන්න අපිට බෑ. උඹ මේක ලිහන්න හදනවා. මට උඹ ගැන දුකයි මචං. මේක ලිහන්න බෑ. මම ආයෙත් කියන්නම්. මේක ලිහන්න බෑ!

“අපේ මිනිස්සු නරක නෑ. මෝඩත් නෑ. ඒත් අවුලේ ඉන්නේ. වතුර බොරවෙලා තියෙන්නේ. ඉතින් මේ බොරවෙච්ච වලේ මාළුවෙක් දෙන්නෙක් බාගන්න එවුන් ඕන තරම් ඉන්නවා. මම කොච්චර කිව්වත් උඹ මේකට එකඟ නැති බව මම දන්නවා. ඒත් මේක තමයි ඇත්ත.” යාළුවා කතාව අවසන් කළා.

යාළුවා කියපු මේ කතාව ඇත්ත බවට සැකයක් මේ ලේඛකයා ගේ හිතේ නෑ. ඒත් අපේ ඉරණම මේක ම ද? අපිට ගැලවෙන්න පුළුවන් මාර්ගයක් ඇත්තේ ම නැති ද?

 

Comments