“ශ්‍රී ලාංකේය අභිමානය රකින ජාතික ‍කොඩිය” | Page 2 | සිළුමිණ

“ශ්‍රී ලාංකේය අභිමානය රකින ජාතික ‍කොඩිය”

ශ්‍රී ලංකික ජනතාව වසර 443ක පමණ පැවැති අධිරාජ්‍යවාදී වහල් පාලනයෙන් මිදී නිවහල් දේශයක අභිමානවත් වැසියන් කොටසක් බවට පත්වුයේ 1948 පෙබරවාරි 04 දින බැව් ඔබ අප කවුරුත් දන්නා කරුණකි. එනම් 1505 සිට ලන්දේසි, පෘතුගීසි හා ඉංග්‍රීසි යන ජාතීන්ගේ පාලනයට නතුව පැවති කාලය නිමවී අදට (2018.02.04) පුරා වසර 70 ක් පිරේ. ඉතින් ඕනෑම රටක ජාතික මෙවන් වූ අභිමානවත් මොහොතක් නැතහොත් දිනයක් සැමරීමේදී නිරායාසයෙන්ම සිහියට නැගෙන්නේ ඒ රටේ අනන්‍යතාව හුවා දක්වන වැදගත් සාධකය ඒ අතර ජාතික ගීය, ජාතික ධජය පමණක් නොව එරටේ වැසියන්ගේ මාතෘ භාෂාව ද ඉතා වැදගත් වේ.

මේ අනුව කල්පනාකොට බලන කල අද දවසේ අපට අපේ “ජාතික කොඩිය” ගැන යමක් නොලියාම බැරි තරම් යැයි සිතේ. ඊට හේතු කාරණා බොහෝය. ජාතික ධජය යනු යම් රටක එක් භාෂාවක් කථා කරන ජනතාවකගේ සංකේතයක් නොවේ. එය මුළු මහත් රටේම වෙසෙන ජනයාගේ ජාතික සංකේතයකි. අපේ දිවයින දෙස කල්පනා කොට හිතුවහොත් එය උතුරටත් දකුණටත් නැගෙනහිරටත් බස්නාහිරටත් නොව රටේ මැදටත් එකසේ වලංගුය. එසේ නම් මෙවන් වූ වැදගත් මොහොතක අපේ “ජාතික ධජය” හෙවත් “සිංහ කොඩිය” මවුබිමේ ස්වාධීනත්වයේ ද ජනතා එක්සත්බවේ ද සංකේතයක් බැව් සටහන් කළ හැකිය. මෙයින් ද්වනිත වන ප්‍රධානතම කාරණය නම් “ජාතික කොඩියට ගරු කරන්න. ඉන් ඔබ ඔද වැඩී යනු ඇත”. යන්නයි. මෙසේ බලන කළ අප අපේ ජාතික ධජය නිවැරදිව භාවිතා කරන්නේද? නැතිනම් එය භාවිතා කරන්නේ කෙසේද ? යන්න ගැන කථා කිරීම වැදගත් යැයි සිතේ. ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන විවිධ අවස්ථා කොතෙකුත් අප දැක ඇත. එහෙත් එය නිවැරදි ලෙස ප්‍රදර්ශනය කොට තිබේද? යන්න අද දවසේ යළිඳු සාකච්ඡා කළ යුතුව ඇත. මා එසේ කීවේ අප දැන හෝ නොදැන ජාතියට මේ තුළින් කරනු ලබන හානිය නැතිනම් අවමානය දිනෙන් දිනම වැඩිවන බැව් අද දවසේ බොහෝ දෙනාගේ කථාබහට ලක් වී ඇති බැවිනි. ඇතැම්විට අලංකාරය සඳහා සැරසිල්ලක් ලෙසින් ද යොදගනු දැක ගත හැකිය. කොටින්ම කිය‍න්නේ නම් තම දියණියගේ වැඩිවිය පැමිණීමේ (මල්වර) උත්සවයට ද ජාතික කොඩිය ගෙදරට එන පාර හරහා එල්ලා තිබෙනු දැකගත හැකිවේ. එමෙන්ම ඇතැම් විට සිංහයා උඩුයටිකුරු වී සිටිනු ද පෙනේ. එපමණද නොවේ ඇතැම් පදික වෙළෙඳුන් මේවා අ‍ෙලවි කරන විට මඟ දෙපස යනෙන අයගේ පා දුවිල්ලෙන් වැසී යන තරමට බිම දමා අලෙවි කරන සැටි ද දැකිය හැක.

විශේෂයෙන්ම අද බොහෝ උත්සව පවත්වනු ලබන පාසල්වල ගුරුභවතුන්ට ද ජාතික ධජය නිසිලෙස නිසි තැන යෙදීමට අවබෝධයක් නැත. දිස්ත්‍රික් කොඩි , ප්‍රාදේශීය කොඩි මෙන්ම පාසල් කොඩි සමඟින් එල්ලා තබන ආකාරය දුටු විට ජාකික ධජයේ සිංහයාට කථා කළ හැකි නම් බොහෝ දේ කියනු නියතය. එසේනම් මෙය නිවැරදිව භාවිතා කරන අයුරු මඳක් විමාස බලමු.

ජාතික කොඩිය ප්‍රදර්ශනය කළයුතු වන්නේ ජාතික දිනයේදී හෝ රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික වශයෙන් වැදගත්වන දිනයන්හිදී ය. තවද අපේ සියලුම රාජ්‍ය උත්සවවලදී ප්‍රදර්ශනය කළ යුතු වේ. එය කුමන අවස්ථාවක ප්‍රදර්ශනය කළ ද ඊට ඉහළම ගෞරවය හිමිවන ආකාරයට සුදුසු ස්ථානයක පැහැදිලිව පෙනෙනසේ සවිකළ යුතුවේ. සෑම විටම ජාතික ධජය එසවීම මෙන්ම පහත් කිරීම ද ඉතා සංයමයෙන් හා ගෞරවාන්විතව කළ යුතු වන අතර එය ඔසවා තැබිය යුතු වන්නේ කොඩියේ සිරස් තීරු දෙක කොඩි ගස දෙසින් සිටින ලෙසට ය. සියලුම උත්සවවලදී ජාතික කොඩියට ප්‍රමුඛ ස්ථානය දියයුතුවන අතර වෙනත් කිසිඳු කොඩියක් ඊ‍ට ඉහළින් ඔසවා නොතැබිය යුතු වේ. එනමුත් වෙනත් ජාතියකට අයත් කොඩියක් නම් එය ජාතික කොඩි ගසට සමාන උසකින්ම ඊට වම්පසින් සිටුවිය හැක.

අප හට බොහෝ විට ගොඩනැගිලිවල ද ජාතික කොඩි ඔසවා තබා ඇති සැටි දැකගත හැකිය. එවන් අවස්ථාවලදී එය නැවත පහත් කරනතුරු රාත්‍රී කාලය තුළ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කළ යුතු වේ. ආගමික කොඩි ජාතික කොඩි සමඟ ප්‍රදර්ශනය කරනු ලබන අවස්ථාවලදී සමාන උසකින් තැබිය හැකිය.

තවද වෙනත් විවිධ වූ ‍කොඩි සමඟ හා ධජ පතාක සමඟ ජාතික කොඩිය ඔසවා තබන වි‍ටදී එය සියල්ලටම මැදින් තැබිය යුතු වේ. එමෙන්ම කොඩි ගස් කීපයක් යාව පිහිටි නම් ජාතික කොඩිය එසවීම මුලින්ම කළ යුතු වන අතරම එය පහත් කිරීම ද අවසානයට කළ යුතු වේ. වෙසෙසින්ම ගොඩනැගිලි සඳලුතල ආදියෙහි ජාතික කොඩිය සවිකිරීමේදී එය තිරස් අතට නොව කොඩි කණුවේ මුදුනේම එල්ලා අංශක 45 ක කෝණයක් ඇතිවන පරිදි සවිකළ යුතු වේ.

තවද රජය විසින් වරින්වර ප්‍රකාශයට පත්කරනු ලබන ශෝක දිනයන්හිදී ජාතික ධජය අඩකුඹු කිරීම ද නිවැරදිව කළ යුතුය. එනම් පළමුව කොඩිය කොඩි ගසේ මුදුනටම ඔසවා මොහොතකින් එය ‍කොඩි ගසේ මුදුනේ සිට මනින විට 1/3 ක උස ප්‍රමාණයට පහත් කළයුතු වන අතර දවස අවසානයේදී එය පහත් කිරීමට පෙරද එය යළි ඉහළටම ඔසවා පහත් කළ යුතුවේ. තවත් අපේ බොහෝ අයට වරදින තැනක් ගැන සොයා බලමු. එනම් ජාතික කොඩිය කථිකවේදිකා පිටුපස එල්ලා තබන විට කරන වැරදි අපමණය. එනම් නිවැරසි ලෙසට නම් කථිකයා සභාවට මුහුණලා සිටින විට ඔහුට දකුණින් තිබෙන පරිදි කොඩි ගසක හෝ පිටුපස බිත්තියටත් හේත්තුවනසේ ඔහුට ඉහළින් ඔසවා තැබීය යුතු වේ. කිසි විටෙකත් ජාතික කොඩිය බිම නොතැබිය යුතු අතර පෙරහර ආදියේද ගෙ‍නයන විට තිරස් අතට සිටිනසේ රැගෙන නොයා යුතුය. එසේම ‍කොඩිය කිසිවෙක් හෝ කිසිවක් සඳහාවත් පහත් නොකළ යුතුය. තවත් අපේ අතින් සිදුවන වරදක් නම් කොඩිය එසවීම නිවැරදිව සිදු නොකිරීමයි. එනම් එය එසවීමේදී කොපුවෙන් මිස සැලෙන පැත්තෙන් සිටින සේ නොකළ යුතුය. උත්සව අවස්ථාවලදී ප්‍රධාන අමුත්තා සීරුවෙන් සිට කොඩිය එසවිය යුතුවන අතර ඒ මංගල මොහොතේදී සියලු දෙනා හුනස්නෙන් නැගිට දුම් බීම, කෑම ගැනීම, කථා කිරීම, සිනාසීම හෝ වෙනත් කිසිඳු ක්‍රියාවක ‍නොයෙදී සීරුවෙන් සිටිය යුතුය. තවද සංඛ නාද මඟුල් බෙර වාදනය හැර කිසිඳු සංගීතයක් ඒ අවස්ථාවේදී නොපැවැත්විය යුතු අතර කොඩිය එසවීමෙන් අනතුරුව ජාතික ගීය වාදනය හෝ ගායනය කළ හැකිය. ඒ අවස්ථාවේදී හිස්වැසුම් පැළඳ සිටින්නේ නම් ගලවා ගත යුතු වේ.

බොහෝ විට අප කිලිටි වී ගිය ඉරී පොඩිවී ගිය නැතිනම් වැරැහැලි වූ ජාතික ‍කොඩි ඔසවා තබා ඇති අයුරු දැක ඇත. එහෙත් එය කිසිසේත්ම කළ යුතු නොවේ. එය මහා අගෞරවයකි. එසේම එය වෙනත් වර්ණ රෙදි වලින් සැරසිලි නොකළ යුතු වේ.

කිසි විටෙකත් එය ඇඳුමක් හෝ ඇඳ ඇතිරිල්ලක් නැතිනම් සීලිමක ආවර්ණයක් වශයෙන් භාවිතා නොකළ යුතුමය. එය අ‍පේ ජාතියටම කරනු මහා නිගාවකි. මල්ලක්, බඳුනක් වශයෙන්ද එසේමය. මා මෑතකදී එක් ඡායාරූපයකින් යම් ජාතික ධජයක ‍ෙකාටස් දෙකක් තිසරපටක් ලෙසින් සකසා ඇඳ සිටි අයුරු දුටිමි. ඉන් එම රට ජාතිය ගැන කෙසේ වෙතත් ඔවුන්ගේ සංස්කෘතිය ගැන නම් හොඳටෝම වැටහී ගියේය. අපේ රටේත් ඇතැම් ක්‍රීඩා උත්සව වලදී තරුණ පෙළ ඇතැම්විට ජාතික ධජය ප්‍රදර්ශනය කරණු ලබන ආකාරය ගැන නම් කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකිය. එසේ නම් රටක ජාතියක මේ මහා ගෞරවය අභිමානය කියාපාන මෙවන් සංකේත නිවැරදිව භාවිත කළ යුතු නොවේද?

ඌව පළාත් නියෝජ්‍ය පෝස්ට් මාස්ටර් ජනරාල් 

 

Comments