
නිදහස ලැබීමෙන් පසු දශක හතක් තුළ අපට හැකි වූයේ පහළ මැදි ආදායම් මට්ටමට ළඟාවීමට පමණි. එනම් අප රටේ කිසිදු රජයකට සැලකිය යුතු මට්ටමේ ආර්ථික සංවර්ධන කාර්යයක් ඉටුකර දීමට නොහැකිකි වීමයි. ආර්ථික සංවර්ධනයට වඩා අප රට යොමු වූයේ ආගම, සම්ප්‍රදාය, ජාතිකත්වය, සමාජවාදී පිළිවෙත් යනාදිය රැකගැනීමටයි. මෙතැන් සිට සංවර්ධිත රටක් බවට පත්වීමට නම් කාර්මිකරණයේත් කෘෂිකාර්මික අංශයේත්, අපනයන අංශයේත් විප්ලවයක් සිදුවිය යුතුය.
1948 පෙබරවාරි 04 වැනි දින අප රට උදම් ඇනූ හේතු දෙක තුනක් විය. ඉන් පළමුවැන්න නම් ඉංග්‍රීසින්ගෙන් නිදහස ලබා ගැනීමයි. දෙවැන්න නම් අපරටේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් හා පරිපාලන ක්‍රමවේදයක් ස්ථාපිත වී තිබීමයි. තුන්වැන්න නම් ඒක පුද්ගල ආදායම අනුව මනින කළ ආසියාවේ ආර්ථික දියුණුව අතින් අප රට ජපානයට පමණක් දෙවැනි තැනට පත්වී තිබීමයි. එහෙත් ගෙවී ගිය වසර හැත්තෑව තුළ අප ලද නිදහසෙන් නිසි ප්‍රයෝජන ගෙන ආර්ථිකය නිසි ලෙස හැසිරවීමට සමත් වූයේද යන්න ගැන නැවත හැරී බැලීම පිණිස මේ ලිපිය යොමු කරනු ලැබේ.
ඉහළ ඒක පුද්ගල ආදායමක් සහිත රටක් ලෙස ආරම්භ කළ ගමන දශක හතක් ගතවූ පසු ළඟා වී තිබෙන්නේ සතුටු දායක තත්ත්වයකට දැයි අප අපගෙන්ම ඇසිය යුතුය. අපට පසුපසින් සිටි දකුණු කොරියාව, තායිවානය, හොංකොං, සිගප්පුරුව, මලයාසියාව, තායිලන්තය හා මාලදිවයින් යනා දී බොහෝ රටවල් 1980 පමණ වන විටම අප රටේ ආර්ථික සංවර්ධන මට්ටම අබිබවා ගියේය. එමෙන්ම ඉන්දුනීසියාව, ඉන්දියාව, පාකිස්තානය, වියට්නාමය යන රටවල් කාර්මික නිෂ්පාදනය අතින් ද ආර්ථික වර්ධන වේගය අතින් ද වේගයෙන් ඉදිරියට පැමිණියේය. එපමණක් ද නොව ආසියාවේ දුප්පතා ලෙස කලක් හැඳින්වූ බංගලිදේශය ද කාර්මික හා ආර්ථික වර්ධනය අතින් වර්තමානයේ දී වේගවත් ගමනක් ආරම්භ කර තිබේ.
නිදහස ලබන සමයේ දී තේ, රබර් හා පොල් පදනම් අපනයන ආර්ථිකයක් එක් අතකින් ද වී හා අාහාර භෝග නිෂ්පාදනය පදනම් යැපුම් කෘෂිකාර්මික ආර්ථිකයක් අනෙක් අතින් ද අප රටේ දක්නට ලැබුණි. ආහාර නිෂ්පාදනයේ මන්දගාමී ස්වරූපය නිසා ආහාර ද්‍රව්‍ය ආනයනය කෙරෙහි යොමුවී වෙළෙඳ ශේෂ ගැටලූවට ද රට මුහුණපා සිටි අවදියක බලයට පැමිණි ඩී.අැස්. සේනානායක අගමැතිතුමාට මුහුණ පෑමට සිදුවූ මූලික අභියෝගය වූයේ සහලින් රට ස්වයංපෝෂිත කිරීමයි. වැඩිවන ජනගහනයට ආහාර සැපයීම සඳහා ගල්ඔය ව්‍යාපාරය වැනි දැවැන්ත ව්‍යාපාර මෙන්ම දීර්ඝ කාලීන සැලසුමක් ලෙස මහවැලි යෝජනාක්‍රමය කෙරෙහි යොමුවීම ඔස්සේ කෘෂිකාර්මික සංවර්ධනයක් සාක්‍ෂාත් කරගැනීම ඒ අනුව මූලික සංවර්ධන ක්‍රියාමාර්ගය විය. ඉන් පසුව බලයට පැමිණි ඩඩ්ලි සේනානායක හා ශ්‍රීමත් ජෝන් කොතලාවල ද ඒ මඟම ගෙන වගා සංග්‍රාමයකට යොමුවිය.
බලයට පැමිණි එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක රජය කෘෂිකාර්මික සංවර්ධන පිළිවෙතට වඩා කාර්මික සංවර්ධනය කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීය. ඒ අනුව ආනයන ආදේශන ආර්ථික පිළිවෙතෙහි පිහිටා ආනයන ආදේශන භාණ්ඩ නිෂ්පාදනය සඳහා කාර්මික කලාප පිහිටුවීම, අත්කම් හා ගෘහ කර්මාන්ත කෙරෙහි ජනතාව යොමු කිරීම, යනා දී ක්‍රියාමාර්ග ඔස්සේ කාර්මික සංවර්ධනය සඳහා යොමුවිය. එකළ සමාජවාදී අදහස් එම රජය තුළ මුල්බැසගෙන තිබුණු බැවින් කම්කරු සුබසාධනය, ආදායම් ව්‍යාප්ති විෂමතා අවම කරගැනීමේ ආදායම් ප්‍රතිව්‍යාප්ති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විදේශීය සමාගම් ජනසතු කිරීම, මෙන්ම රාජ්‍ය සංස්ථා පිහිටුවීම ඔස්සේ රාජ්‍ය අංශය බලවත් කිරීමේ ක්‍රියාමාර්ග ගනු ලැබීය. මෙම ආර්ථික පිළිවෙත 1956 සිට 1965 දක්වාම පැවතිණි.
1965 දී බලයට පැමිණි ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට කාර්මික අංශයත්, කෘෂිකාර්මික අංශයත්, සේවා අංශයත් වශයෙන් ආර්ථිකයේ සෑම අංශයක්ම එකවර සංවර්ධනය කරීමේ අභියෝගයට මුහුණ පෑමට සිදුවූවා පමණක් නොව සමාජ සංවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය යනාදී කාර්යයන් ද සිය සංවර්ධන ප්‍රතිපත්තිය තුළට ගෙන ඒමට සිදුවිය. එහිලා ඔහු මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීම, රාජාංගනය වැනි වාරිමාර්ග ක්‍රම ආරම්භ කිරීම, අපනයන විවිධාංගිකරණය, සංචාරක කර්මාන්තය, අපනයන සැකසුම් කලාප යෝජනාව, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ශ්‍රී ලංකා ආධාර කණ්ඩායම පිහිටුවීම වැනි දුරදර්ශි කාර්යයන් රැසක් හඳුන්වා දී ආර්ථිකය පණ ගන්වා අප රටේ ඉහළම ආර්ථික වර්ධනය වූ සියයට 8.8ක ආර්ථික වෘද්ධි සීග්‍රතාව වාර්තා කිරීමට සමත්විය. සිය දීර්ඝ කාලීන පිළිවෙත් තට්ටුමාරු දේශපාලනයෙහි සිරවී ගිය අතර හඳෙන් හාල් ගෙනවිත් දීමට තමාට හැකියාවක් නැති බව කීමට අවංක වූ ඩඩ්ලි වාමාංශික උන්නතිකාමී දේශපාලනය හමුවේ 1970 දී පරාජය විය.
එතැන් පටන් ඇරඹි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සත් අවුරුදු පාලනය හුදෙක් යොමු වූයේ සෝවියට් මොඩලයේ කොමියුනිස්ට්වාදී ආර්ථික ක්‍රමයක් කෙරෙහිය. මිල පාලනය, බෙදාහැරිම හා පාරිභෝජන පාලනය, ව්‍යාපාර හිමිකම් පාලනය යනා දී අනේකවිධ පාලනක්‍රම ප්‍රිය කළ එම රජය රාජ්‍ය ඒකාධිකාරී ව්‍යවසාය ක්‍රමය ස්ථාපිත කරනු පිණිස ව්‍යාපාර, වතු, හා කුඹුරු ජනසතු කිරීමේ අණපනත් ගෙන ආවේය. සුළු කර්මාන්ත හා ආනයන ආදේශන නිෂ්පාදනය කෙරෙහි මෙන්ම ආහාර ආනයනය දැඩි ලෙස පාලනය කිරීමට යොමු වූ රජයට අනපේක්ෂිත ගැටලු තුනකට ද මුහුණ පෑමට සිදුවිය. ඉන් පළමුවැන්න නම්1971 ජේවීපී කැරැල්ලයි. දෙවැන්න 1972 ලෝක තෙල් අර්බුදය වූ අතර තුන්වැන්න වූයේ නියඟය හා ආහාර අර්බුදයයි. මහවැලි ව්‍යාපාරයේ ආරම්භක ව්‍යාපෘතිය වන පොල්ගොල්ලේ වේල්ල ඉදිකොට සුදුගඟට ජලය ගෙනයාමට එම රජය සමත් වුවද සමස්තයක් ලෙස එහි ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක වූයෙන් 1977 දී අන්ත පරාජයට පත්විය. ඒ වන විට නිදහස ලැබී තිස් වසරක් ගෙවී ගොස් තිබුණ ද 1948 දී අමෙරිකානු ඩොලර් 100 පමණ වූ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 270 ඉක්මවා නොතිබුණි. මේ වන විටම ඉහත සඳහන් කළ බොහෝ රටවල ආර්ථිකය බෙහෙවින් දියුණුවට පත්ව තිබුණි.
1977 දී පත් වූ රජය දේශපාලනය, ආර්ථිකය, සමාජක්‍රමය, ජාත්‍යන්තර සම්බන්ධතා, ආර්ථික ප්‍රමුඛතා යනා දී සෑම අංශයකම එකවර ප්‍රබෝධයක් හා ප්‍රතිසංස්කරණ රැසක් අපේක්ෂා කෙළේය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ද නව රජයට ලබා දෙන ලදී. ඊට හේතු වූයේ ඒ වන විට පැවැති අඩු ආදායම් තත්ත්වය, රැකියා හිඟය, විනිමය හිඟය, ආහාර හිඟය, දරිද්‍රතාව යනා දී වශයෙන් මුල් බැසගෙන තිබූ බොහෝ ගැටළුය. විධායක ජනාධිපති ක්‍රමය, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විවෘත ආර්ථික ක්‍රමය, ධනවාදී ආර්ථික පදනම, පෞද්ගලික ව්‍යවසාය ක්‍රමය, ජනසතුක්‍රමය හා ව්‍යාපාර පවරාගැනීමේ පනත් අහෝසි කිරීම, රාජ්‍ය ව්‍යවසාය හකුළවාලීම, අපනයනාභිමුඛ කර්මාන්ත සංවර්ධනය, මහවැලි ව්‍යාපාරය කඩිනම් කොට පංච මහා ජලාශ නිමවා ආහාර නිෂ්පාදනය හා ජාල විදුලි බලය නිපදවීම, අපනයන සැකසුම් කලාප බිහිකිරීම, මහකොළඹ ක්‍රමය ඇතිකොට විදේශ ආයෝජන දිරිමත් කිරීම, ආගමන විගමන නීති ලිහිල් කොට විදේශ රැකියා දොර විවර කිරීම, නිවාස සංවර්ධන ව්‍යාපෘති හඳුන්වා දීම, කුලය හා නිළය පදනම් වැඩවසම් සමාජ ක්‍රමය ධනය හා හැකියාව පදනම් නවීන සමාජ ක්‍රමයක් දක්වා පරිවර්තනය කිරීම, පළාත්පාලන ක්‍රමය නව මගකට ගෙනවිත් ප්‍රාදේශීය ලේකම් හා ප්‍රාදේශීය සභා පිහිටුවීම, ජනසවිය හා මහපොළ වැනි සමාජ සේවාවන් ක්‍රියාත්මක කිරීම, යනා දී දහසක් කාර්යයන්ට උර දීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා ඔහුගේ අනුප්‍රාප්තික ආර්. ෙප්‍ර්මදාස ජනාධිපතිවරයාට හැකි විය.
ඌන සංවර්ධිත රටක් ලෙස වසර 30ක් එකතැන පල්වෙමින් අනාගතයක් නොදකිමින් පැවැති අප රටේ ආර්ථිකය නව ජවයක් ඔස්සේ නැගෙනහිර ආසියාවේ දියුණු රටවල තත්ත්වයට පත්කිරීමේ අභිලාෂයෙන් පමණක් නොව ක්‍රමවේද ඔස්සේ ජයවර්ධන-ප්‍රේමදාස යුගයේ දී ගත් ප්‍රයත්නයට අවාසනාවන්ත ලෙස බාධා පැමිණියේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ජේවීපිය විසින් දියත් කරන ලද යුද්ධ දෙකකට මැදි වූ රට ආර්ථික වශයෙන් තීරණාත්මක ලෙස ඉදිරියට යාමට අපොහොසත් විය. විවෘත හා නිදහස් ආර්ථික ක්‍රමය ඔස්සේ එකළ රැකියා සුලබ වීම, ආහාර අතින් ස්වයංපෝෂිත වීම, කාර්මික ඉපයුම් දියුණුවීම, විනිමය ආදායම් වැඩි දියුණු වීම, ඒක පුද්ගල ආදායම ශීඝ්‍රයෙන් ඉහළ යාම පමණක් නොව පරිපාලන, මුල්‍ය, සේවා, ව්‍යාපාරික, කොටස් වෙළඳපොල, අධ්‍යාපනය යන සෑම සියලු අංශවලම කැපීපෙනෙන සංවර්ධනයක් එකළ ඇතිවුව ද අප රට ආර්ථික වශයෙන් පෙරට යෑමට ලැබුණු අවසන් අවස්ථාව යුද වාතාවරණය තුළ ගිලිහී ගිය බව පෙනේ.
දිගු කාලයක් විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ විවෘත ආර්ථිකය ක්‍රමයටත්, යුද්ධයටත්, ජේවීපී භීෂණ සමයේ දී සිදුවූ මිනිස් ඝාතනවලටත් එරෙහිව දියත් කරන ලද බල අරගලයෙන් පසුව 1994 දී නව රජයක් පිහිටුවා ගන්නා ලද අතර ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යුද්ධය වෙනුවට සාමයත් විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරකුත් ලබා දීම කෙරෙහි කැප වුවද යුද්ධයේ නිමාවක් හෝ ආර්ථික ප්‍රබෝධයක් හෝ සාක්ෂාත් කරගත නොහැකි විය.
සංවර්ධන ව්‍යාපෘති ලෙස එකළ සැලකිය යුතු වැඩසටහන් ක්‍රියාත්මක නොවූ අතර පෞද්ගලිකකරණය හා ආර්ථිකය තව දුරටත් ලිබරල්කරණය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් ආර්ථිකය මැදි වර්ධන වේගයක් පවත්වා ගැනීමට සමත් විය. වසර 11ක් ඇවෑමෙන් 2015 දී බලයට පැමණි මහින්ද රාජපපක්ෂ ජනාධිපතිවරයා වසර හතරකින් ඊළාම් යුද්ධය ජයග්‍රහණය කොට ආර්ථිකය සංවර්ධන මාවතට යළි යොමු කිරීමට ක්‍රියා කළේය. 2010 න් පසු කැපීපෙනෙන ලෙස ආර්ථික වර්ධන වේගය ඉහළ ගිය අතර ආර්ථික වර්ධන වේගය සියයට අට ඉක්මවා ගිය අවස්ථා මෙන්ම සාමාන්‍ය අගයක් ලෙස සියයට හය ඉක්මවූ වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකියාව ලැබුණි. රැකියා සුලබ වීම, ආදායම් ඉහළයාම, සංචාරක කර්මාන්තයේ දියුණුව, ඉදිකිරීම් හා අධිවේගී මාර්ග, ජලාශ, වරාය හා ගුවන් තොටුපළ යනා දී නව යටිතල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම එකළ ආර්ථිකයේ කැපීපෙනන ලක්ෂණ විය.
දේශපාලන ”වෙනසක්” සඳහා යොමුවූ ශ්‍රී ලංකා සමාජය 2015 දී රාජපක්ෂ පාලනය පරාජය කළේය. ආර්ථිකය තුළ අධික ලෙස ගොඩනැඟුණු පවුල් බලය, අධික චීන ආයෝජන, ණයබර, වංචා හා දූෂණ, අධික දේශපාලන බලය හා විපක්ෂයට හිස එසවීමට තිබුණු අපහසුව යනාදිය ඊට බලපෑ හේතු අතර කැපීපෙනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පෙරටුකොට ගත් එක්සත් ජාතික පක්ෂ සභාග ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම, ජනාධිපති බලතල කප්පාදු කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, පුද්ගල නිදහස තහවුරු කිරීම යනාදිය මේ වෙනස ඔස්සේ අපේක්ෂා කරන ලදී. ඉතිහාසය තුළ එජාප ආණ්ඩු විසින් ආර්ථික සංවර්ධනය සාක්ෂාත්කර ගැනීමට සමත් වූ බැවින් ආර්ථික මෙහෙයුම මුළුමනින්ම එජාපයට පැවරුණු නමුදු එම ඉතිහාසයට සමච්චල් කරමින් මෙවර ආර්ථිකය බරපතළ ලෙස පසුබෑමට ලක් විය. නව රජය බලයට පත්වන විට සියයට හය ලෙස පැවැති ආර්ථික වර්ධන වේගය 2017 අවසානයේ දී සියයට 3.3 දක්වා පහළ ගියේය. රැකියා සැපයුම අඩුවීම, ආදායම් සීමාවීම, අපනයන වර්ධනය නොවීම, වෙෙළඳ ශේෂයේ හිඟය පුළුල් වීම, ණයබරතාව ශී ඝ්‍ර ෙයන් ඉහළ යාම, ජිවන වියදම ඉහළ යාම, කොටස් වෙළෙඳපොළ පිරිහීම, විදේශ ආයෝජන අඩුවීම, දේශපාලන අස්ථාවරත්වය පමණක් නොව බදුබර හා සමාජ අසහනය මෙකළ අත්දැකීමට සිදුව තිබේ.
පසුගිය වසර 70 තුළ අප රටේ සම්පත් මෙන්ම විදේශීය සම්පත් ද ඔස්සේ ඩොලර් 4000ක් පමණ වන ඒක පුද්ගල ආදායමක් උපයා ගැනීමට හැකිවී තිබේ. මෙය වසරකට ඩොලර් 55ක් වැනි අගයකි. පසුගිය දශක හත තුළ අප රටේ ආර්ථික ප්‍රතිපත්තිවල තට්ටුමාරු ක්‍රමය හේතුවෙන් ඒකායන ආර්ථික පිළිවෙතක පිහිටා ක්‍රියාකිරීමට නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස කලින් කලට එකිනෙකට වෙනස් ආර්ථික ක්‍රම හඳුන්වා දීම සිදුවූ අතර ආර්ථික වර්ධනයට එමගින් බාධා පැමිණුනි. ආර්ථික වර්ධනයට වඩා සමාජ සංවර්ධනය කෙරෙහි යොමුවීම නිසා රජයේ වියදම ඉහළ ගියේය. වියදම් පියවීම පිණිස බදු අයකර ගැනීම වැඩිකිරීමට සිදුවිය. එය පාරිභෝජනයටත්, නිෂ්පාදනයටත් අහිතකර ලෙස බලපෑවේය. කෘෂි අපනයනවල සිට කාර්මික අපනයන වෙත සාර්ථක ලෙස යොමුවීමට අපොහොසත් වීම නිසා කාර්මික සංවර්ධනයටත්, විදේශ විනිමය ඉපයීමටත් බාධා පැමිණුනි. විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මුලාශ්‍රය ලෙස මැදපෙරදිග රැකියා පෙරමුණට පැමිණියේය. රැකියා අවස්ථා නිර්මාණය කර ගැනීමට අපොහොසත්වීම නිසා තරුණ අසහනය වර්ධනය විය. දැන් අප මුහුණ දී සිටින්නේ කුමන භාණ්ඩ හා සේවා කුමන ප්‍රමාණයකින් කවුරුන් විසින් නිපදවා කුමන වෙළඳපළවල්වල කුමන මිල ගණන්වලට අළෙවි කොට කොපමණ ජාතික ආදායමක් උපයනවාද, කොපමණ රැකියා ප්‍රමාණයක් බිහිකරනවාද, කොපමණ දේශීය සම්පත් ප්‍රමාණයක් උපයෝජනය කරනවාද, කුමන ඒක පුද්ගල ආදායමක් කරා යොමුවනවාද, මානව සංවර්ධන දර්ශකයෙහි කුමන ස්ථානයකට පිවිසෙනවාද යන ගැටලුය. ඒ සඳහා උචිත ප්‍රතිපත්ති නොවළහා ක්‍රියාත්මක කිරීම අප රට මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයයි.
නිදහස ලැබීමෙන් පසු දශක හතක් තුළ අපට හැකි වූයේ පහළ මැදි ආදායම් මට්ටමට ළඟාවීමට පමණි. එනම් අප රටේ කිසිදු රජයකට සැලකිය යුතු මට්ටමේ ආර්ථික සංවර්ධන කාර්යයක් ඉටුකර දීමට නොහැකිකි වීමයි. ආර්ථික සංවර්ධනයට වඩා අප රට යොමු වූයේ ආගම, සම්ප්‍රදාය, ජාතිකත්වය, සමාජවාදී පිළිවෙත් යනාදිය රැකගැනීමටයි. මෙතැන් සිට සංවර්ධිත රටක් බවට පත්වීමට නම් කාර්මිකරණයේත් කෘෂිකාර්මික අංශයේත්, අපනයන අංශයේත් විප්ලවයක් සිදුවිය යුතුය. මේ සඳහා දේශීය ව්‍යවසායකයන් මෙන්ම විදේශීය ව්‍යවසායකයන් ද සම්බන්ධ කර ගත යුතු අතර දේශපාලනය විසින් අප රට ලෝක නිෂ්පාදන-වාණිජ ක්‍රියාවලියෙහි කොටස් කරුවකු බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ස්ථානීය වාසි සහිත රටක් බවට පත් කිරීමේ අවශ්‍යතාව පැනනැඟී තිබේ. දශක හතක ඌන සංවර්ධිත රටක් ලෙස හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන ගමන් මාර්ගය වැටී ඇත්තේ අන් කිසිවක් ඔස්සේ නොව ලෝක නිෂ්පාදන-වාණිජ ක්‍රියාවලියෙහි සක්‍රීය කොටස්කරුවකු බවට පත්වීමට ඇති හැකියාව ඔස්සේය. ඒ සඳහා සුපුරුදු අභ්‍යන්තරාභිමුඛ චින්තනයේ සිට බාහිරාභිමුඛ චින්තනය වෙත අප රටේ චින්තන ක්‍රමය ද විතැන් විය යුතුය. තවද ලිබරල් ධනවාදී පිළිවෙෙළහි පිහිටා ක්‍රියා කළ යුතුය. සමාජ ආර්ථික විෂමතා දුරලීම කෙරෙහි අවධානය යොමුවිය යුතු වුවද ආර්ථික වැඩපිළිවෙලෙහි ප්‍රමුඛස්ථානය ලැබිය යුතු වන්නේ රටේ නිෂ්පාදන හා වාණිජ ශක්තිය ප්‍රවර්ධනය කරගැනීම කෙරෙහිය.