මිහිකතට නිදහස දෙන “වස විස නැති ගොවිතැන” | Page 2 | සිළුමිණ

මිහිකතට නිදහස දෙන “වස විස නැති ගොවිතැන”

වස විස නැති ගොවිතැන රටේ ප්‍රවර්ධනය කිරීම යනු ලාබ ලැබීම පමණක් එකම අරමුණ කරගත් ගොවීන්ගේ වකුගඩු අකර්මණ්‍ය කරන, ගොවි පවුල් ණයකරුවන් බවට පත් කර සියදිවි හානිකරගන්නා තැනට පත් කරන, ලාබයම සිහිනය කරගත්තවුන් පරාජය කිරීම සඳහා කරන අරගලයකි. අනෙක් අතට, මිහිතලය සුවපත් කිරීමේ එකම මඟ එයය.

“ශ්‍රී ලාංකික නම් වස විස නැත“ යන උද්ධෘතය වෙනුවෙන් කටයුතු කරමින් සිටින “වස විස නැති ධාර්මික ගොවිතැන“, නිදහස ලබා හැත්තෑ වසක් ගෙවන දා මාතෘභූමියට සැබෑ නිදහස උරුමකර දීම වෙනුවෙන් කැපවී සිටී. රසායනික වස විස යොදා මිහිකත හඬවමින් වැව් ගංගා ඇළ දොළ හරහා ගලායන ජලය අද මානව පරිහරණයට නුසුදුසු තරම්ය. සොබාදහමින් ලැබුණු අපූරු උරුමයන් නොසලකා හරිමින් ලාභ පරමාර්ථයන් මුදුන්පමුණුවා ගැනීම පමණක් ඉලක්ක කරගැනීම නිසා ගොවිබිම් අද කාන්තාරකරණය වෙමින් තිබේ. ගොවිතැනේ අර්බුදය අද ලෝ තලයම ගිලගෙන ඇත. එහෙයින් මිහිමාතාව හඬවන විනාශකාරී කෘෂිකාර්මික සංවර්ධන ඉලක්ක, අද අති භයංකර පාරිසරික දේශගුණික විපර්යාසයන්හි මූල හේතුව වී තිබේ.

අනෙක් අතට රජරට ගොවි ජීවිත ශීඝ්‍රයෙන් බිලි ගනිමින් තිබෙන වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග ගණනාවක මූල බීජය ජලය හා මිශ්‍රව පවතින ආසනික්, කැඩ්මියම්, ඇලුමිනියම් වැනි බැර ලෝහවල අධික සාන්ද්‍රණයන්ය. විශේෂයෙන්ම ගොවි බිම්වලට යොදන රසායනික පොහොරවල අඩංගු කැඩ්මියම් නිසා අද ගොවි මහත්වරු ගිලනුන් බවට පත්වී සිටිති. මහපොළොව ගැන සංවේදී නොවූ තාක්ෂණික මිනිසාට මඟහැරුණු සොබාදහමේ මිහිරිතම හඬ අද ළතෝනියක් බවට පත්ව ඇත්තේ නියං, ගංවතුර, සුළි කුණාටු තත්ත්වයන් රටේ සුලබ කරවමිනි.

ලාබයම පමණක් පැතූ මිනිසාට මිහිකත ගයන නැළවිලි ගීය කන් නොවැකුණි. කාලාන්තරයක් තිස්සේ පීඩනයට නොසලාහැරීම්වලට මුහුණදුන් මහපොළව වියළිව ගොස්, ඛාදනය වී මිනිසාගේ පැවැත්ම හමුවේ අද වියරුවෙන් මෙන් ක්‍රියා කරති. විටෙක මිහිකත උණුසුම් වී ජීවත්වීම අභියෝගයට ලක් කරන අතර තවත් විටෙක අධික ශීතලෙන් සොබාදහම ගල්ගැසී සිටියි. මහපොළව හා තරගයක යෙදුණු සොබාදහම හා අසංවේදී වුනු මිනිසුන්ගේ පැවැත්ම අභියෝගයට ලක්කරමින් ගෝලීය අර්බුදයක් වශයෙන් අද දේශගුණික විපර්යාසයන් සියල්ලන්ගේම අවධානයට පාත්‍රවී තිබේ.

මෙවන් වටපිටාවකදී මිහිකත සුවපත් කරන වෑයම අපගේ විලාසිතාව බවට පත්වූවේ කෙසේද? ඒ අප සොබාදහමේ ගොවිතැන ගැන නැවත කියවීමක් සිදුකිරීමෙනි. රෝගී වූ මහපොළොව සුවපත් කිරීම අදිටන කරගත්තෝ කවුරුන්ද ඔවුන් මිහිකතට වස පෙවීමට තිත තබනු ඇත. රසායනික කෘෂිකර්මාන්තයේ නාමයෙන් ගොවිබිවලට අපමණක් වස පෙවූ ගොවිපුතුන්ට මිහිකත නළවා ගැනීමේ වගකීම පැටවී තිබුණි. සිය ගොවිබිම් සොබාදහමේ නියමයන්ට සමගාමීව වැඩිදියුණු කරගන්නටත් එමගින් ජාතියට බත සපයා, නීරෝගී ජාතියක් තැනීමේ ගෞරවනීය වරය ලබා ගැනීමටත් අනගි අවස්ථාවක් ඒ අනුසාරයෙන් ඔවුන් උරුමකර ගති. ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ඒ ගොවිපුතුන්ගේ අද කතාව, ලබන්නාවූ හැත්තෑවැනි නිදහසට නව අරුතක් සමඟ මහපොළොවට නීරෝගී සුවය ගෙනාවේය. එදා මෙදා තුර අපේ රටේ වස විස නැති ගොවිතැනේ යෙදුනේ පාරම්පරික දේශීය වී වගා කළ ගොවීන්ය. හරිත විප්ලවයේ නාමයෙන් වැඩි අස්වනු බීජ ගොවීන්ගේ අතට පත්වුණි. එම වැඩි අස්වනු බීජ සඳහා වැඩි වැඩියෙන් යෙදවුම් භාවිත කිරීම අනිවාර්යක් විය. ඒ අනුව අවසානයේ ඒවා “වැඩි යෙදවුම් බීජ“ බවට පත්විය. වැඩි අස්වැන්න, වැඩි ලාභය යන ප්‍රෝකඩාකාරී තේමාවට ගොවීන් ලුහුබඳවමින්, කෘෂි වස විසට ගොවිභවතුන් ඇබ්බැහි කරවීමට 1950 දී හරිත විප්ලවය ගත් උත්සාහය මහපොළොවේ සාරත්වයට මරුපහරක් එල්ල කළේය.

නමුත්, වස විස නැති ධාර්මික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමෙන් වැඩි දියුණු කළ දෙමුහුන් බීජ නැතහොත් වැඩි අස්වනු බීජ, කෘෂි රසායන විස නොයොදා වගා කරන උපායමාර්ගික විධික්‍රමය රටට හඳුන්වා දුන්නේය. මේ දක්වා දේශීය වී වර්ගයන් කාබනිකව ගොවීන් සුළු පිරිසක් රටේ වගා කළද වැඩි යෙදවුම් බීජ කෘෂි වස විස නොයොදා වගා කිරීම ආරම්භ කිරීමත් සමඟ ගොවිතැනේ පෙරළියක් ඇතිවිනි. වස විස නැති ගොවිතැන මාතෘභූමියට සැබෑ නිදහසේ සුවයද උරුම කරදීමේ ප්‍රාතිහාර්යය පෑමට හැකිවූවේ ඒ ආකාරයෙනි. ඊට අනුරූපව අද ලෝකය පුරා වස විස නැති ආහාර නිෂ්පාදනය සහ ආහාර භුක්තිවිඳීම පිළිබඳ රැල්ල අප රටේ හමායන්නට ඉඩහසර විවර කරමින් ගොවීන් තම ගොවිබිම්වලට කෘෂි රසායන විස ප්‍රතික්ෂේප කරන්නට විය. එමෙන්ම දහස් ගණන් රටවැසියන් තමන්ගේ බත්පතට විස නොයෙදූ, කෘත්‍රිම රසකාරක නොයෙදූ, සැබෑ රසය හොයන්නෝ බවට පත් වන්නට විය.

ධාර්මික ගොවිතැනේ දී නවීන විද්‍යාත්මක දැනුම ගොවිතැනේ සම්ප්‍රදාය හා සම්මිශ්‍රණය කොට තිබේ. එනම්, සොබාදහමේ ගොවිතැන යනු අතීත දැනුම, නව දැනුම බවට පත් කරන වැඩපිළිවෙළක් නොවේ. ඒ නම් ලෝකයේ නවීන තාක්ෂණික ඥානයට, කාබනික ගොවිතැන යටත් කරවන්නට ගත් උත්සහයකි. ඒ අනුව, වාණිජ ගොවීන්ට ලාබ හොයන්නටත් සිය ජීවිකාව කරගත් රජකමටත් ඔබින ගොවිකම සොබාදහමේ ස්වාභාවයට යා කොට පරිසරහිතවාදියකු ලෙස සිතන්නටත් ගොවිපුතුනට ඉඩහසර ලබාදීමකි. මෙයින්, සුවපත් වූ මහපොළොව නිසාවෙන්, නිදහසේ සුවඳ අප වෙත ගලා එන්නේ පොළවේ නැවුම් බව සමඟිනි. මිහිමත සියලු සත්ත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කෙරුන, වස විස නොතැවුරුණු ඇළ දොළ ගංගා ඇති පිවිතුරු සාගරයකින් වට වුනු මාතෘභූමිය මේ එන නිදහසේ අරුණළු භාරගන්නේ මහත් අභිමානයෙන් හා ගර්වයෙන් විය යුතුය.

1950 ගණන්වලින් පසු අපේ රටේ රසායනික භාවිතය ක්‍රමයෙන් ඉහළ ගොස් පසුගිය වකවාණුවේදී ඒවා ප්‍රමාණය ඉක්මවා භාවිත කරඇති බව නොරහසකි. රසායනික පොහොර කුඹුරු පසට යෙදීමේදී, දීර්ඝ කාලීනව යොදන යෙදවුම් වැඩි කිරීමට සිදුවීම නියතියකි. එහෙයින් ගොවියා තම ගොවිබිමට යොදන රසායනික පොහොර ප්‍රමාණය අදියරින් අදියර වැඩි කරයි. ඊට සමගාමීව ඔවුනට ඒ සඳහා දැරීමට වන වැය අදියරින් අදියර ඉහළ යනු ඇත.

නමුත් කාබනික පොහොර කුඹුරට යෙදීමේදී තත්ත්වය වෙනස්ය. අදියරින් අදියර පොහොර ගොවිබිමට යෙදීමේදී යොදන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වනු ඇත. ඒ අනුව, කාබනික පොහොර නිෂ්පාදකයින්ට දිගුකාලීනව අධික ලාභ ලබන්නන් බවට පත්වීමේ අවදානමක් තිබේ. ඊට ප්‍රතිවිරුද්ධව රසායනික පොහොර නිෂ්පාදකයින්ගේ ලාභ ලැබීමේ සිහිනය අහස උසට නඟින බව පෙනේ. මේ තත්ත්වය යටතේ වස විස නැති ගොවිතැනේදී ගොවිබිමේ යෙදවුම්වල නිෂ්පාදකයා ගොවිභවතුන්ම විය යුතුය. ගොවිතැන හරහා ලාභ ලැබීමේ හෝ ගොවීන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමේ මෛත්‍රී සහගත උපායමාර්ගය එයය.

ඒ අනුව, වස විස නැති ගොවිතැන රටේ ප්‍රවර්ධනය කිරීම යනු ලාබ ලැබීම පමණක් එකම අරමුණ කරගත් ගොවීන්ගේ වකුගඩු අකර්මන්‍ය කරන, ගොවි පවුල් ණයකරුවන් බවට පත් කර සියදිවි හානිකරගන්නා තැනට පත් කරන, ලාබයම සිහිනය කරගත්තවුන් පරාජය කිරීම සඳහා කරන අරගලයකි. අනෙක් අතට, මිහිතලය සුවපත් කිරීමේ එකම මඟ එයය. දේශීය නිෂ්පාදකයින් දිරි ගන්වමින් ගමේ අරාජිකත්වයට වැට බඳිමින් ගම්මුන් ව්‍යවසායකයින් බවට පත්කරවමින් විශ්වයම සනහන සොබාදහමේ ගොවිතැන සැබැවින්ම ආශ්චර්යයකි. එමඟින් මිහිතලයේ හෙට දවස සුරක්ෂිත වනු ඇත.

මාතෘභූමියේ සියලු ජීවීන්ට මරු කැඳවන රසායනික වල්නාශකයක් වන “ග්ලයිෆොසේට්” තහනම් කිරීම ස්ථාපිත වන්නේ ඒ වෙනුවෙනි. ඊට අනුරූපව ගොවීන් අද මහපොළොව නොතළා අස්වැන්න නෙළන්නට හැඩගැසී ඇත්තේය. අනෙක් අතට හිතුමතේ ගෙමිදුලේ මල්පැළයේ සිට ගෙවත්ත දක්වාත් එතැනින් කුඹුරු යාය දක්වාත් හිතුමතේ ඕනෑතරම් පොළොවට වැක්කෙරූ රසායනික පොහොර සහනාධාරය නැවැත්වීමට වගකිවයුත්තෝ කටයුතු කර තිබේ. ඒ වෙනුවට, මුදල් සහනාධාරය ලබාදීම කොතෙක් සහනයක් වූවේද යත් නිස්කාරනේ තවත් නම් මිහිකත විසට ගොදුරු වන්නේ නැත.

1950 වසරේ සිට 2015 වසරේ මුල්භාගය දක්වා රටේ ස්වාභාවික ගොවිතැනේ අන්ධකාර යුගය විය. එතැන් සිට කාබනික ගොවීන් තනා ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරවීමටත්, නිවැරැදි පෝෂණ ගුණයෙන් යුත් ආහාර භුක්තියට රටවැසියා මෙහෙයවීමත් සිදු කරමින් කෘෂි වස විසෙන් රට නිදහස් කර ගැනීමට පියවර තැබුණි. වස විසෙන් වැනසූ මහපොළොවේ ළතැවිල්ල අපට කලින්ම ඇසුණි. වස විස නැති ධාර්මික ගොවිතැන යනු මහපොළොවත්, මුළුමහත් ජාතියත් නීරෝගී කරගැන්මේ උදාරතර මෙහෙයුමයි.

පවිත්‍ර රූපසිංහ

Comments