ජීවත් වීමේ මිල | Page 3 | සිළුමිණ

ජීවත් වීමේ මිල

පසුගිය සතියේ තෝල්ස්තෝයි කියවා ගැන්මෙන් පැරණි භාරතයටත්, බමුණන්ගේ මතවාදවලටත් එබිකම් කළ අපි ඒ භාරතයේ ම ‘පුංචි දෙවියකු ගැන පිටු තුන්සිය ගණනක් ලියා’ සාහිත්‍ය ලෝකය ආක්‍රමණය කළ අරුන්දතී රෝයි ගැන කතා නොකළහොත් අඩුවක් වෙතැයි සිතමු.

අරුන්දතීගේ දෙවියා අපූරුම තාලයේ දෙවියෙකි. God of small things ලියා ලෝක පූජිත වූ මේ සුන්දර කුඩා ගැහැනියගේ දෙවියා වේලුතා නම් පරවන් කුලයට අයත්, කුලවතුන් විසින් ස්පර්ශ නොකළ යුතු යැයි සම්මත කුලහීන ඉලන්දාරියෙකි. මේ අස්පර්ශිත තරුණයාගේ හැඟීම් ගැන ලියා ඈ 1997 වසරේ බුකර් සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය. කියවා නැත්නම් කියවා ගනු මැනවි, මේ කෘතිය ‘සුළු දෙය ඇසුරු කළ දෙවියා‘ නමින් එල්. බී. ෙහ්රත් විසින් සිංහලට නඟා තිබේ.

මේ කෘතියේ සෑම අකුරක් පුරා ම දිවෙන සත්‍යයක් වෙයි. එනම්, ස්පර්ශ නොකළ යුතු අය ස්පර්ශ කරන වේලාවක් හා එකී ස්පර්ශයෙන් කෙනකු කිලිටි නොවන වේලාවක් ද එන බවයි.

ස්පර්ශය කිලිටි වන්නේ තමාට අවැසි නොවන තැනදී ය. තමාට අවැසි තැනදී ඕනෑ ම කුලහීන ස්පර්ශයක් නොකිලිටි කර ගන්නට ඒ කිලිටි කරන්නෝ දනිති. අරුන්දතී කියන්නේ මේ පරම සත්‍යය ගැනයි.

අම්මු නම් ක්‍රිස්තියානිකාර කුල කත හා ප්‍රේමයෙන් වෙළෙන වේලුතාගේ එකී ප්‍රේමය සටහන් කරන පරිච්ඡේදය ලේඛිකාව නම් කරන්නේ ‘Cost of living’ කියා ය. ඇත්තෙන් ම එය ජීවන වියදමක් ම වූ බැව් ඇය සටහන් කරන්නේ ඒ ජීවන වියදම ජීවත්වීමේ මිල බවට පත්වූ අයුරු කියමිනි. වේලුතා විසින් ඒ ජීවත්වීම සම්බන්ධ මිල ගෙවනු ලැබූයේ වද හිංසාවලට ලක්වී තිරිසනකු ලෙස මිය යෑමෙනි. ඔහුගේ මරණයට සාක්ෂිකරුවන් සිටියේ නැත. ඒ මිනීමැරුම් නඩුව අසන්නට මේ සමාජක්‍රමය ඇතුළත අධිකරණයක් ද වූයේ නැත. එපමණක් නොව අම්මුගේ ඛේදජනක මරණයේ උල්පත වූයේ ද එකී ජීවත් වීම ම ය. ඇයට ද ජීවන වියදමක් හෙවත් ජීවත්වීමට ගෙවන්නට සිදු වී තිබිණි. එසේත් නැතිනම් අනුරාගය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විණි.

ඒ ස්පර්ශය ගැන කියන රටේ ම සිටින මුල්ක්රාජ් ආනන්ද් ගැන නොකියා කෙසේ ද? ඔහුගේ සුප්‍රකට Untouchable නවකතාව ඒ දයානන්ද සිල්වා විසින් ‘බාඛා’ නමින් සිංහලයට නඟා තිබේ.

අන්ටචබල් නවකතාවේ සෝභිනී නමැති කසළශෝධක දැරිය සිය සොහොයුරා බාඛාට පැමිණිලි කරන්නේ මෙසේය.

“අර මිනිහා... අර මිනිහා... මම එයාගේ කක්කුස්සිය සුද්ධ කරද්දි... අර මිනිහා මට කරදර කරන්න හැදුවා. මම කෑ ගහන්න පටන් ගන්නකොටම එයා කෑ ගහගෙන එළියට ආවා, එයාව කිලිටි කළා කියලා...”

එහි ම එක් අවස්ථාවකදී බාඛාත් සිය පියා ලාඛාත් අතර වන මේ සංවාදය බලන්න.

“අද උදේ උන් මට නින්දා කළා. උන් මට බැන්නා. මම ඇවිදගෙන යනකොට මිනිහෙක් මගේ ඇගේ හැප්පුණා කියලා උෟ මට ගැහුවා. මිනිස්සු මාව වටකර ගෙන බැණ බැණ...”

මේ සියල්ල ම ස්පර්ශයේ ප්‍රශ්න ය. මුල්ක්රාජ් ආනන්ද්ගේ Untouchable හි හින්දු පූජකයා සෝභනීට බලහත්කාරකම් කරන්නට ඇය ස්පර්ශ කරන අවස්ථාවේත්, අරුන්දතී රෝයිගේ God of small things හි අම්මු නමැති කුලකත වේලුතා නමැති පරවන් කුලහීනයා සමඟ රමණය කරන අවස්ථාවේත් නෑල්ලිය යුතු ගැහැනියකත්, නෑල්ලිය යුතු පිරිමියකුත් ඇල්ලිය හැකි තත්ත්වයට පත් වන්නේ ය. ඇල්ලිය යුතු නෑල්ලිය යුතු දේ වර්ග කරන්නේ කෙසේ ද; කාගේ අවශ්‍යතාවට ද?

සෝභනී කෑගසද්දී කුලවතාට සිය කාර්යය ඉටු කරගත නොහැකි වූ විට කිලිටි කිරීම ගැන සෝභනීට ම චෝදනා නඟන්නී ය. අම්මුගේ නැන්දණිය වන බේබි කෝචම්මා වේලුතා නම් පරවන් කුලහීන තරුණයා තම කුලවත් දියණියට බලහත්කාරකම් කළ බව කියමින් පොලීසියට සාක්ෂි දෙන්නී ය.

මනුෂ්‍ය වර්ගයාගේ හෘදයසාක්ෂියේ අභ්‍යන්තරය කියවා ගන්නා මේ අපූරු ලේඛක දෙපළ ම තමා උපන් ඉන්දියාවේ ස්පර්ශිත, අස්පර්ශිත දේ ගැන ප්‍රශ්න කරති. සාහිත්‍යයේ හැටි එහෙමය. එහි පන්ති භේද, කුල භේද නැත. මිනිස් චින්තනය හෘදය සංවේදී කරවීම ම අරමුණ වෙයි. අප, අප දෙස ම හැරී බලවන මේ නවකතා ජීවිතයට එක්කරන පරිධිය කොතරම් ගැඹුරුද? කියවන්න; සොයන්න... මේවා ඔබේ ජීවිතය වෙනස් කරනවා නියතයි.

Comments