ප්ලේටෝ මත - 3 | සිළුමිණ

ප්ලේටෝ මත - 3

එක් තැනෙක ප්ලේටෝ අදෙයිමෙන්තුස් අමතා මෙසේ කියයි: ‘ මගේ සෙනෙහෙබර අදෙයිමෙන්තුස්, ඔබත් මාත් කතා ලියන්නේ නෑ. රාජ්‍යයක් අරඹනවා පමණයි. රාජ්‍යයක් අරඹන අය කවියකු විසින් ලිවිය යුතු කතාව කුමක්ද කියා දත යුතුවා මෙන් ම ඔවුන් නොලිවිය යුත්තේ මොනවා ද කියා ද දත යුතුයි’

මෙයින් ප්ලේටෝගේ අභිමතාර්ථය පැහැදිලි ය. ඔහුට අවශ්‍ය වන්නේ යහපත් පාලනයක් සහිත රාජ්‍යයකි. දෙවියන්ට නිගරු කරන කවීන්ගෙන් එබඳු රාජ්‍යයකට විය හැක්කේ අනර්ථයක් ම ය.

ප්ලේටෝ කියන පරිදි දෙවියෝ අසමසම ය. ඔවුන් අතින් වැරදි සිදු නොවේ. (වර්තමානයේ වෙළෙඳ දැන්වීම්වල ඇතැම් භාණ්ඩ සඳහා ද විශේෂණයක් ලෙස යොදා ගැනුනත් ‘අසමසම’ යනු බුදන් උදෙසා පමණක් යෙදෙන විශේෂණ පදයක් ලෙස පුරාතන සිංහල සාහිත්‍යයේ දැක්වේ.) ප්ලේටෝ ඍජුව ම නොකියතත් දෙවියන් යනු කිසිවකුට සමාන කළ නොහැකි ‘යහපත’ ය යන ආස්ථානයේ සිටි බව පැහැදිලි ය.

‘ යහපත වන දෙවියන්ට - පොදුවේ එසේ විය යුතුය කියා කියන්නේ වී නමුත් - සැම දෙයකට ම වගකිව නොහැකි ය. මිනිස් දිවියේ ඉතා සුළු කොටසකට පමණක් දෙවියන් වග කියනවා විය හැකි නමුත් විශාල කෙටසකට දෙවියන්ගේ වගකීමක් නොමැත. අප තුළ ඇත්තේ යහපතේ අංශූමාත්‍රයක් පමණක් වන නමුත් නපුරේ අති විශාල ප්‍රමාණයක් ඇත. ඒ අනුව දෙවියන් යනු යහපත ම ය කියා ආරෝපණය කරන අතර නපුරට වග කියන්නේ කවුරුන් දැයි සොයා ගත යුතු ය.’

(ඉහත සඳහන් කෘතිය - 117 පිට)

එසේ පවසන්නට පෙර ප්ලේටෝගේ අදහස මෙසේ ය: ‘අපට දෙවියන්ගේ යුද්ධ හෝ සංග්‍රාම හෝ ගැන කතන්දරවලට හෝ කතා න්‍යාසවලට හෝ අවසර දිය හැකි නෑ. ඒවා මුළුමනින් ම අසත්‍යයි. අපගේ දූරදර්ශී පාලකයන්ට ඒ කළහකාරී තත්ත්ව විශ්වාස කරවන්නට අවශ්‍ය නම් ඒ නපුරේත් නපුරුකමයි. ඔවුන්ගේ සළු පිළිවල යෝධයන්ගේ යුද්ධවල දර්ශනවලින් සැරසිලි කරන්නට හෝ දෙවියන්, විරුවන් සහ ඔවුන්ගේ මිතුරන් මෙන්ම ඥාතීන් අතර ඇතිවන විවිධ සහ බොහෝ කළහ ගැන කතන්දර ඔවුන්ට කියා දෙන්නට අප ස්ථිර වශයෙන් ම ඉඩ දිය යුතු නෑ. විලෝම වශයෙන් කිසිම පුරවැසියෙක් අනුන් හා දබර කිරීම පව්කාර වැඩක් නිසා එසේ නොකළ යුතු ය කියා අවධාරණයෙන් බල කොට කියා දිය යුතු නම්, අපගේ වැඩිහිටි ස්ත්‍රීන් සහ පුරුෂයන් එබඳු අවසානයක් නැති කතන්දර දරුවන්ට මුල් අවධියේ දී කියා දිය යුතු අතර, ඒ දරුවන් වැඩුණු පසු සමාන කතන්දර කියා දෙන ලෙස අපගේ කවීන්ට බල කර කිව යුතු ය. හේරා සිය පුතණුවන් විසින් බැඳ දමනු ලැබූ බව හෝ සිය මවට පියා විසින් පහර දෙනු ලබන අවස්ථාවේ ඇයගේ උදව්වට ආ හෙපස්ටස්ට පියා විසින් පහර දී දෙව්ලොවන් පන්නා දමන ලද බව හෝ අනෙකුත් දෙවිවරුන් අතර සටන් ගැන හෝ කියැවෙන හෝමර්ගේ අනෙකුත් කතන්දර - ඒවා කවරාකාර නිර්මාණ හෝ උපහැරණ කතන්දර හෝ වුවත් නැතත් - අවසර නොදිය යුතු ය. දරුවන්ට උපහැරණ කතාව කුමක්ද එසේ නොවන්නේ කුමක් ද යන්න තෝරා බේරා ගත නොහැකි ය. එම වයසේ දී මනසට ඇතුළු වන දෑ වෙනස් කිරීම හෝ මනසින් උපුටා දැමීම හෝ අපහසු ය. එම නිසා ඔවුන් මුල් අවස්ථාවේ සවන් දෙන කතන්දර නිවැරදි සදාචාරමය බලපෑම සහිත ඒවා වීම ඉතාම වැදගත් ය.’

(ඉහත සඳහන් කෘතිය - 116 පිට)

හෝමර් හෙළා දකින ප්ලේටෝ ‘හෝමර්ට හෝ අනෙකුත් කවියකුට මෙබඳූ තකතීරු වැඩ කරන්නට ඉඩ නොහැරිය යුතු යැයි පවසයි.

දෙවියන් ගැන ලියන අයෙක් වෙතොත් ඔහු ‘දෙවියන් යනු යහපතේ පමණක් ප්‍රභවයය’ යන ආස්ථානයේ පිහිටා ලිවිය යුතු බව ප්ලේටෝ පෙන්වා දෙයි.

හෝමර්ගේ ඉලියඩ් සහ ඔඩිසි කාව්‍යවලින් උධෘත විශාල සංඛ්‍යාවක් සහ ඊස්කීලස්ගේ නයෝබි නාට්‍යයෙන් ද උද්ධෘත ගෙන හැර පාමින් ප්ලේටෝ දෙවියන් විවේචනය කිරීම හේතුවෙන් ඒවා අවර ගණයේ කෘති බව ප්‍රකාශ කරයි.

කාව්‍ය සහ නිර්මාණාත්මක ප්‍රබන්ධ පන්ති තුනකට ඇතුළත් කළ හැකි බව ප්ලේටෝ පෙන්වා දෙයි. පළමුවන වර්ගය නිරූපණය හෙවත් චිත්‍රණය (representation) පමණක් ඇති ට්‍රැජඩි සහ කොමඩි ය. දෙවැන්න කවියා ස්වීය පුද්ගලභාවයෙන් පෙනී සිටිනා ඒවා ය. උදාහරණ ලිරික් කාව්‍ය (lyric poetry) වේ. තුන් වැන්න මේ දෙ ආකාරය ම උපයෝගි කැර ගන්නා කාව්‍යයි. උදාහරණ වීර කාව්‍ය (epic poetry) ය.

ඉහත සඳහන් ලීගේ පරිවර්තනයේ representation යන පදය යොදා ඇත්තේ ප්ලේටෝගේ mimesis යන්නට තත්සම ලෙසිනි. ඇතැම් පරිවර්තනයක යොදා ඇති ඉංග්‍රිසි පදය initation වේ. එහි සිංහල පරිවර්තනය අනුකරණය සරල ලෙස ගැනේ. ඊට තනි ඉංගිරිසි පදයක් ද ඇති බවක් නොපෙනේ. ඇතැම් තැනෙක trivial imitation ලෙස සඳහන් ය. එයින් කියැවෙන්නේ නොවැදගත් නොඑසේනම් සරල අනුකරණයක් ය යනුයි. ලීගේ The iD iDepublic පරිවර්තනයේ 370 පිටුවේ එන ‘කලාවේ න්‍යාය’ නම වන කොටස ආරම්භ කරන්නට පෙර පරිවර්තක මෙබඳු සටහනක් යොදයි.

‘තුන්වන කොටසේ ආඛ්‍යයිකා කාව්‍යයට විරුද්ධ ලෙස නාට්‍යාකර කාව්‍යය විස්තර කරනුවස් “නිරූපණය” (representation) ලෙස යොදා ගන්නා ලද ග්‍රීක වචනය mimesis, සමස්තයක් වශයෙන් සියලුම කලාත්මක නිර්මාණ ගැන සාකච්ඡා කරන විට යොදා ගැනෙන අතර මෙහිදී “දුර්බෝධ අනුකරණය” (unintelligent immitation) ලෙස යොදා ගැනේ. චිත්‍ර ශිල්පියා සහ කවියා යන දෙදෙනාගේ ම නිශ්පාදන ජීවිතයේ අනුකරණ වන, ද්වීතීය සත්තාව (secondaryeqality) වන අතර චිත්‍ර ශිල්පියාට හෝ කවියාට තමා අනුකරණය කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ව අවබෝධයක් නොමැත. පින්තූර සහ කවි දෙවැනි තීරුවේ, අතාත්වික සහ ජීවිතය ගැන අපට කිසිවක් නොපවසන දේ ය.’

මෙයින් පැහැදිලි වන්නේ ප්ලේටෝ භාවිත කළ mimesis යන ග්‍රීක වචනය ඉංගිරිසි පරිවර්තකයන් විසින් අවස­්ථාවෝචිත පරිදි යොදා ගෙන ඇති බවයි.

Comments