
ජෝර්ජ් ඕවල්ගේ ‘ගොවිපළේ පෙරළිය‘ ගැන කතා කළ නිසාම තව-තවත් බොහෝ දේ මතකයට එන්නට විණි. සතුන්ගේ සහ අපේ සම්බන්ධය අද-ඊයේ පටන් ගත් එකක් නො වේ. එයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි.
මිනිසුන් ගැන කියන්නට වඩාත් පහසු ම හා සුදුසු ම ආදේශකය සතුන් වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හා සත්ත්ව ක්‍රියාකාරකම් අතර වන යම් යම් සමානකම් නිසා ය. උපහාසය, විවේචනය අවැසි තැන විවිධ උපක්‍රම ඒ දේවල් අතික්‍රමණය කිරීම සඳහා නිර්මාණකරුවා යොදා ගනී. එය අතිශය සාර්ථක වන අවස්ථා මෙන් ම නොවන අවස්ථා ද වෙයි.
සත්ත්ව ලෝකයේ චරිත තෝරා ගෙන මනුෂ්‍ය ලෝකයේ අය උදෙසා කතන්දර ලිවීම, ලෝක සාහිත්‍යයේ ඉපැරණි නිර්මාණ රීතියක් බැව් විෂ්ණු ශර්මන්ගේ පංච තන්ත්‍රයත්, බෞද්ධ ජාතක කතාවලින් සෑහෙන සංඛ්‍යාවකුත් විමසන කල පෙනී යයි. ඊසොප්ගේ කතා ඊට නිදර්ශනයකි. ඊසොප් ක්‍රි.පූ. සවන සියවසේ ග්‍රීසියේ විසූ වහලකු යැ යි ඉතිහාසය කියන මුත්, ඔහුගේ අපූරු කතා සියල්ල අසංකීර්ණ බුද්ධියේත්, නිවහල්, නිදහස් චින්තනයේත් අග්‍රඵලයකි; නිර්මාණාත්මක ප්‍රවේශයේ කැටපතකි. ඊසොප් නමැති වහලා පුංචි කතන්දර ගොන්නකින් මුළු ග්‍රීක ජනතාවගේ ම හෘදය අභ්‍යන්තරයත් මොළයත් කූරු ගෑමට සමත් වූයේ ග්‍රීසියේ මහා විප්ලවවාදියා යැ යි බුහුමන් කරන සොක්‍රටීස් නමැති දාර්ශනිකයා බිහි වීමට ශත වර්ෂයකටත් කලිනි.
ජාතක කතා ඉතිහාසයේ වැඩි ම ජාතක කතා ප්‍රමාණයක් බිහි වී ඇත්තේ සත්තු රූපක ලෙස භාවිත කරමිනි. අතිප්‍රසිද්ධ සත්තිකුම්බ ජාතකය, නළපාන ජාතකය, නන්දිවිසාල ජාතකය මීට නිදසුන් කිහිපයක් පමණී. භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා සිව්වනක් පිරිස ගැඹුරු ධර්මය අවබෝධ කර ගත්තේ මේ සරල උදාහරණ ඔස්සේ ය. යක්කඩුවේ නායක හාමුදුරුවන් වහන්සේ ‘වනකතා‘ පොත් පෙළ ලියූයේ පංචතන්ත්‍රය ඇසුරෙනි. මෙනයින් බලන කල අපේ සාහිත්‍ය පුරාම සතුන් නිර්මාණ සඳහා යොදා ගැනීම බහුල ව සිදු වූවකි.
මුනිදාස කුමාරතුංගයන්ගේ ‘හීන් සැරය‘ ඕනෑම කෙනකු කියැවූ පොතකි. එය ‘හීන් සැරය‘ කියා නම් කළාට මහ සැරයකි. ළමයින් අරමුණු කර ගෙන ලියූවත් එහි වැඩි අරුත් නිරුත් ගැනෙන්නේ, තේරෙන්නේ වැඩිහිටි පරපුරට ය.
‘ඇයි දන්නේ නැද්ද? අලින්ගේ අපේ කෙරුම් නොවැ‘
ගෝණහාමි ඇසූ ප්‍රශ්නයකට එහෙම පිළිතුරු දෙන්නේ කටුසුහාමි ය.
එහෙම ගෝණහාමිට කියන කටුසුහාමි අලියාගේ මූණට ම ඇසූ මේ ප්‍රශ්නය නිසා අලිහාමිට අසූහාර දහසට ම යකා නැග්ගේ ය.
“හඃ හඃ හා දුටු කල්. ආයුබෝවන් රාළහාමි. කොහොමද හාමිනේගේ සැප සනීප“
යකා වැහුණු අලි රාළහාමිගේත් නොසණ්ඩාල කතා කියන කටුසුහාමිගේත් සටන කෙළවර වූයේ අලියාගේ හොඬවැලට කටුස්සා රිංගා ගැනීමෙනි. හීන්සැරය, මහ සැරයක් වූයේ එසේ ය. අපේ දරුවන්ට උගන්වන සාහිත්‍යයේ පවා සත්තු ප්‍රමුඛ චරිත වූයේ එපරිද්දෙනි.
චිරන්තන සාහිත්‍යයේදී කටුස්සා පිළිබඳ ප්‍රශ්නය කතා කරන්නේ ‘කකණ්ටක ප්‍රශ්නය‘ ලෙස ය. මේ ජාතක කතාවේදී මියුලු නුවර රජ කළ වේදේහ රජුගේ ප්‍රධාන පුරෝහිතයා වූයේ මහ බෝසතාණන් වූ මහෞෂධ පණ්ඩිතයන් ය. රජ්ජුරුවන් උයනට ගිය අවස්ථාවේ තොරණ මුදුනේ සිටි බොහොඬා බිම් වැද හොත්තේ, රජ්ජුරුවන්ට සේවය කිරීමට යැ යි පණ්ඩිතයා රජුට පහදා දෙයි. ඒ නිසාම දෙවියැට සමාරක් අගනා මස් දිනපතා ම බොහොඬාට දෙන්නට ඒ අනුව තීරණය වෙයි. ප්‍රශ්නය මතු වුණේ පොහෝ දින මස් ලබා ගැනීමට රාජපුරුෂයන්ට නොහැකි වූ විට ය. මස් සොයාගත නොහැකි වූ නිසා දෙවියැට සමාරක් වූ රත්‍රන් මැදින් විද හුයෙන් අමුණා බොහොඬාගේ කර බැඳි රාජපුරුෂයෝ රජ අණ වෙනත් ආකාරයකින් ඉටු කළහ. රජතුමා උද්‍යානයට යන විට තමන්ටත් රජුට මෙන් ම වස්තු ඇතැයි මානයෙන්, බොහොඬා තොරණින් බසින්නේ නැත. මේ සියුම් උපහාසය හීන් සැරයේත් සියුම් ව රඳවා ඇතැ යි සිතෙන්නේ මේ වරින් වර කියැවූ සියල්ල එක්තැන් කර බලද්දී ය.
එහෙම බලද්දී සාහිත්‍යයට සතුන් කොතරම් පාදක කරගෙන ඇත්තේ ද යන්න වෙන ම සිතිය යුතු කාරණයකි. ඔබටත් වාරණයක් අතික්‍රමණය කරන්නට සිතුණොත් මේ උපහැරණ ප්‍රයෝජනවත් වෙතැ යි සිතෙන නිසා ම ලියා තැබුවෙමි.