පරි­සර සංර­ක්ෂ­ණය වෙනු­වෙන් බල­ශක්ති කළ­ම­නා­ක­ර­ණය | Page 2 | සිළුමිණ

පරි­සර සංර­ක්ෂ­ණය වෙනු­වෙන් බල­ශක්ති කළ­ම­නා­ක­ර­ණය

බලශක්ති හා බලශක්ති ප්‍රභවය සේම ඉතා වැදගත් කොට සැලකිය යුතු අංගයකි, බලශක්ති කළමනාකරණය. අපට අවශ්‍ය විදුලි බලය මොනයම් ක්‍රමවේදයෙන් ලැබුණ ද, එය නිසි කළමනාකරණයට යටත් නොවන්නේ නම් ඒ සෑම තැනකදීම සිදු වනුයේ පරිසර හානියකි. අනවශ්‍ය විදුලි පහනක් හෝ නිවා දැමීමෙන් ඔබ නිරතුරු පරිසර සංරක්ෂණයට දායක වූ බව දැන සිටියා ද? පැරණි විදුලි උපකරණ වෙනුවට නවීන උපකරණ භාවිතයට මාරු වීම, අඩු දාරිතාවයකින් දීප්තිමත් වන LED වැනි දේට මාරුවීම කාලෝචිත ක්‍රියාවකි.

පරිසරය යනු අප අවට ඇති අවකාශය බව අප කුඩා අවධියේ දී ඇතැම් තැනෙක දී උගත්තෙමු. නමුත්, අප අවට ඇති, ගස්වැල්, ඇළදොළ, ගංගා සාගර, කඳු පර්වත පමණක් නොව පෘථිවි අභ්‍යන්තරයේ සිට අනන්ත විශ්වය තෙක් ම පැතිරුනු සියලු ජීවී අජීවී වස්තූන්ගේ එකතුවෙන් පරිසරය නිර්මාණය වී ඇති බව වැඩිහිටියන් ලෙස හඳුනාගත යුතු ය. පරිසරය විෂයයක් ලෙස උගත්ත ද, ඒ හා සම්බන්ධතාවය පවත්වා ගන්නේ කෙසේදැයි කිසිවිටෙකත් ඉගැන්වීමක් නැත. මිහිමත ජීවත්වන සියලුම ජීවීන් දැන හෝ නොදැන පරිසරය හා බද්ධ වී සිටිති. මෙහි ද අන් සියලු ජීවීන් පසෙක ලා මිනිසා විසින් පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම කෙබඳුදැයි විමසා බලමු. සිරස්ව ගිය සෘජු කය මුදුනත මොළය පිහිටි “මිනිසා” මිහිමත ජීවත්වන බුද්ධිමත් ම සත්වයා වන නිසා තමා ඇතුළු සියලු ජීවීන්ගේ යහපැවැත්ම පළමුව ඔහු විසින් තහවුරු කළ යුතු වේ. එසේම පරිසරයට සෘජුවම බලපෑම් කරන්නේ ද මිනිසා නිසා, පරිසරය රැකීම ද මිනිසාගේ පරම යුතුකම වේ. ආහාර, නිවාස, ඔෟෂධ ආදිය පමණක් නොව ජීවත්වීම සඳහා අවශ්‍ය පිරිසිදු වාතය, ජලය පවා නොමිලයේ ම සපයන ස්වාභාවික පරිසරය දේවත්වයෙන් සැලකිය යුතු වුව ද, ආර්ථික වාසි තකා මහා පරිමාණයේ දැව සංහාරය, වාසස්ථාන හා ගොවිතැන් කටයුතු සඳහා කැලෑ එළිපෙහෙළි කිරීම් සේම බලශක්ති උත්පාදනය වෙනුවෙන් ද මිනිසා විසින් කරනු ලබන පරිසර හානි ප්‍රධාන වේ. පරිසරයෙන් අපට ලැබෙනුයේ එපමණක් ද? නැත. ආධ්‍යාත්මික සංවර්ධනයට අවශ්‍ය සාධක මිනිස් මොළ‍යට ලැබෙන්නේ ද මනාව සංරක්ෂණය වූ පරිසරයෙනි. සාහිත්‍ය සෞන්දර්ය වැනි විෂයයන් සඳහා ද සොබාදහමෙන් ලැබෙනුයේ මනා පිටිවහලකි. තව ද වැසිදිය හා බලශක්ති උත්පාදනයට මුලාශ්‍ර ලැබෙන්නේ ද ස්වාභාවික පරිසරයෙනි.

මානව ශිෂ්ටාචාරය තුළ අතීතයේ, දඩයම් යුගයේ සිට විවිධ අවධීන් පසුකරමින්, තාක්ෂණික යුගය කරා පිවිසි නුතන මිනිසා තම සුඛ විහරණය පිණිස ස්වාභාවික සම්පත් මෙකළ උපරිමයෙන් බුක්ති විඳිමින් සිටිති. සමාජයේ යම් යම් වෙනස්කම් වලට බඳුන්වන විට මිනිසා ඊට අනුගත වීම සාමාන්‍ය තත්ත්වයකි. සමස්ත මිනිස් සමාජයම ගෝලීයකරණයට ලක්වෙමින් පවතින අතර, ශ්‍රී ලංකිකයින් ද ඊට අනුගත නොවන්නේ නම් එය සමාජ ප්‍රගමනයට බාධාවකි. නො එසේනම් වානරයා හා පරිණාමය වූ මිනිසා අතර වෙනසක් දැකිය නොහැක. මෙකී වෙනස්කම් යටතේ මිනිසා අනෙක් සියලු ජීවීන් අබිබවා යමින් බෙ‍ාහෝ දේ පරිවර්තනය කරනු ලබයි. අනාදිමත් කලක සිට පැවත එන ගවයා තවමත් තණකොළ උලාකන අතර, මිනිසුන් දිනෙන් දින තම ආහාර රටාව වෙනස් කරමින් ජීවිතයේ රස මුසු තැන් සොයා යති. බුද්ධියේ ප්‍රභාව එය නම් මිනිසත්කම යනු බුද්ධිය මෙහෙයවීමයි. මිනිසාට පමණක් උරුම වූ අමිල බුද්ධිය සියුම් ලෙස ක්‍රියාවේ යොදවන්නේ නම් අනාගත පරිසර පද්ධතිය යහපත් එකක් ම වනු නො අනුමානය. එහෙත් බොහෝ විට සිදු නො වන්නේ ද එයමය. දියුණු සමාජය තුළ මිනිසා හට සුඛෝපබෝගී ජීවිතයක් අත්‍යවශ්‍ය ය. නවීන යන්ත්‍ර සුත්‍ර, බල මෙවලම්, වායුසමනය, විද්යුත් උපාංග කාර්ය බහුල සමාජය තුළ බහුලව භාවිතා වේ. මේ සඳහා මුලිකව බලශක්තිය අවශ්‍ය වේ. අද වන විට මුළු ලොවම බලශක්තිය උදෙසා කරනා නොනිමි අරගලය හේතුවෙන් පරිසරයට එක්වන අහිතකර වායු නිසා මිනිසා ඇතුළු සමස්ත පරිසරයට ම බලපෑම් කරනු ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ ද බලශක්තිය සංරක්ෂණය තුළින් කොතරම් දුරට පරිසර හානි වළකාලිය හැකිදැයි විමසීම වේ.

යම් සමාජයක මානව චර්යාවන් හා භෞතික සම්පත් දියුණු වූ පමණින් එය දියුණු රටක් ලෙස උපකල්පනය කිරීම අර්ථ විරහිතය. පානිය ජලය මුදලට ගනිමින්, පිරිසිදු වාතව ආනයනය කරමින් සැපවත් ජීවිතයක් ගත කළ හැකිමුත් එය සොබාදහමේ මුලික සිද්ධාන්ත වලට පවා පටහැනිව යාමකි. එසේ ම එම සියලු සැපයන් තාවකාලික වේ. කාර්මික කරණයෙන් පසුව එළඹි තාක්ෂණික යුගයේ දී බලශක්ති අවශ්‍යතාව සමාජයට දැඩිව දැනෙනා අතර ඒ සඳහා විසඳුම් සෙවීමේ දී සමස්ත ලෝකයම නව මං සොයා යමින් සිටියෙදී, එක් එක් රටවල් වෙන් වෙන් වශයෙන් ද ඊට පිළියම් සොයනු පෙනේ. මුල් ‍යුගයේදී ඊට බාහු බලය ( කාය ශක්තිය) යොදාගත් අතර, ඉන්පසුව වහල් සේවය, වාෂ්ප බලය ආදියට ක්‍රමයෙන් මාරු වූහ. එයින් ද තම අවශ්‍යතාවය පිරිමසා ගත නොහැකි තැන ජල විදුලිය. ඉන්ධන බලයෙන් හා න්‍යෂ්ටික, ගල්අඟුරු බලාගාර සේම සුළං විදුලි බලාගාර හා සුර්ය තාපය මඟින් බලශක්ති උත්පාදනයට මිනිසා යොමු විය.

වර්තමානය වන විට බලශක්ති ක්ෂේත්‍රය මෙවැනි බලාගාර ආශ්‍රිව ක්‍රියාත්මක වන අතර, නව සොයා ගැනීම් හා අත්හදාබැලීම් තව දුරටත් ක්‍රියාත්මක වේ. බලශක්ති උත්පාදනයේ දී වඩා සාර්ථක හා පරිසර හිතකාමී ක්‍රමය නම් ජලවිදුලි බලාගාර වේ. නමුදු විවිධ හේතුන් නිසා වැසි වනාන්තර විනාශ වීමෙන් හෝ කිරීමෙන් ජල පෝෂක පරිසර පද්ධති නොමැති තැන එය තවදුරටත් සංකල්පයකට සීමා කිරීමට අපට සිදු වී තිබේ. ඉන්ධන දහනයෙන් බලශක්තිය ලබා ගැනීමේ දී වැඩි පිරිවැයක් දැරීමට සිදු වන අතර, පරිසරයට එක්වන කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් අපද්‍රව්‍ය ප්‍රමාණය ද ඉහළ අගයක් ගනු ඇත. ගල් අඟුරු බලාගාර හා අනෙකුත් නවීන ක්‍රමවේදයන් ගේ අතුරුඵල තත්ත්වයන් ද මීට සමාන වේ. හොඳම පාරිසරික බලය බෙදන රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව 39 වන ස්ථානයේ පසුවන නමුත් සුළං විදුලි බලාගාර බලශක්ති උත්පාදනයෙහිලා අප රට භූමී පිහිටීම අනුව එතරම් සාධනීය මට්ටමක නොපවතී. එම නිසා සුර්ය බලශක්තිය වෙත යොමු වීම මී‍ට හොඳම විකල්පයක් ලෙස හැඳින්විය හැකිය. වසර පුරාම හෙ‍ාඳින් හිරු එළිය පතිත වන ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනයට සුර්ය බලශක්තිය මනා ලෙස ගැළපෙන බව දිගුකාලීන පර්යේෂණ මඟින් තහවුරු වී තිබේ. මහත් ඵලදායි හිරු එළිය නිකරුණේ අපතේ හැරීම අපරාධයකි. එයින් නිසි ප්‍රයෝජනය ලබමු. මේ සඳහා රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික යන සියලු අංශයන්ගේ සහාය ලැබිය හැකිය. තව ද සුර්ය පැනල මඟින් ජාතික විදුලි සැපයුම ශක්තිමත් කිරීම සඳහා පස් අවුරුදු සැලසුමක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව විදුලි බල හා පුනර්ජීව බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. “ ඔබ පිපුණු මලක් දැක ඒ වෙනුවෙන් ආශාව දැඩිව ගියමුත් මල නෙළා නොගන්න. සැබෑ පරිසර ප්‍රේමය නම් එයයි. එහෙත් වැසිදිය, හිරු එළිය, සුළඟ නිකරුණේ මුදා නොහැර ජීවිත යහපත වෙනුවෙන් යොදවන්න.”

බලශක්ති හා බලශක්ති ප්‍රභවය සේම ඉතා වැදගත් කොට සැලකිය යුතු අංගයකි. බලශක්ති කළමනාකරණය. අපට අවශ්‍ය විදුලි බලය මොනයම් ක්‍රමවේදයෙන් ලැබුණ ද, එය නිසි කළමනාකරණයට යටත් නොවන්නේ නම් ඒ සෑම තැනකදීම සිදු වනුයේ පරිසර හානියකි. අනවශ්‍ය විදුලි පහනක් හෝ නිවා දැමීමෙන් ඔබ නිරතුරු පරිසර සංරක්ෂණයට දායක වූ බව දැන සිටියා ද? පැරණි විදුලි උපකරණ වෙනුවට නවීන උපකරණ භාවිතයට මාරු වීම, වැඩි වෝල්ටීයතාවයෙන් යුතු විදුලි බුබුළු වෙනුවට අඩු දාරිතාවයකින් දීප්තිමත් වන LED වැනි දේට මාරු වීම කාලෝචිත ක්‍රියාවකි. අපගේ ආකල්පයන්හි වෙනසක් මඟින් බොහෝ බලශක්ති කළමනාකරණය කොට ගත හැකිය.

අප රටේ ස්වාභාවික සම්පත ද එවැන්නකි. සදාහරිත වනාන්තර, දිය ඇලි පිරිසිදු වාතය, නිරායාසයෙන්ම ලැබෙනා නිසා අපට එහි නිසි වටිනාකම අද නොදැනුණත්, මේවා ක්‍රමයෙන් විනාශ වී ගිය දි‍නක මෙහි අගය අපට හොඳින් දැනෙනු ඇත. ඛේදයකි. එවිට අප ප්‍රමාද වැඩිය. අප රටේ ඇති ස්වාභාවික පරිසරයේ වැදගත්කම මැදපෙරදිග හෝ යුරෝපයේ සංචාරය කළ අයෙකුගෙන් විමසන්න. සැබවින් ම අප උපතින් ම පුණ්‍යවන්තයන් බව ඔබට එවිට වැටහේ. පරිසරයට සැබවින් ම ආදරය කරන්නා ටොෆි චොකලට් දවටනයක් හෝ පරිසරයට මුදාහරිනු ‍ෙනාලබයි. ස්වභාවික පරිසරයේ සමතුලිතභාවය නොඑසේනම් ජෛව විවිධත්වය සඳහා මිනිසා සේම සියලු ජීවීන් සේම අජීවී වස්තුන් ද එකසේ වැදගත් බව සිහි තබා ගනිමු. එදිනෙදා භාවිතයේ දී නැවත භාවිතයට ගත හැකි, පරිසර හිතකාමී ගමන් මලු, දවටන භාවිතා කරමු. වැඩුණු ශාඛ ආරක්ෂාව පිණිස කඩදාසි භාවිතයේ දී ද නැවත නැවත භාවිතයට දායක වෙමු.

මොහොතක් සිතන්න - පිපාසය කොතරම් අසහනයක් ද? මෙහි පිරිසුදු ජලය දිව ඔසුවකි. “ජලය” ලෙස අප හඳුනාගෙන ඇති මුලද්‍රව්‍යය මිහිමත නොතිබුණේ නම්, මිනිස් හැසිරීම් හා තිරිසන් සතුන් අතර වෙනසක් නොවේ. එසේ ම අපගේ එදිනෙදා කටයුතු කෙසේ වෙතත් සමස්ත ජීවීන්ගේ පැවැත්ම කෙබඳු විය හැකි ද? මෙම ජල සම්පත වෙනුවෙන් ඉදිරියේදී රට රටවල් අතර යුද වැදීම් සිදු නොවෙතැයි කාටනම් කිව හැකිද? අතීත ශ්‍රී ලංකාවේ පැවති ජල උල්පත් බොහෝමයක් පරිසර හානි හේතුවෙන් මේ වන විටත් සිඳී ගොසිනි. දැනට පවතින ජල උල්පත් ආරක්ෂාකොට නොගතහොත් නුදුරේ දී ම, ඛනිජ තෙල් පෝලිමේ න්‍යාය ජලය වෙනුවෙන් ද පවතිනු නිසැකය. අතීතයේ සි‍ට ම මිනිසාගෙන් පරිසරයට හානි සිදු වුව ද, අද මෙන් එදා එතරම් ගැටලු පැන නො නැගිනි. තම අවශ්‍යතාවයකට ඉඳහිට ගසක් දෙකක් කපා ගත්තේ පොරවකිනි. වර්තමානයේ දී යන්ත්‍ර සුත්‍ර මඟින් පැයක් තුළ මහා වනස්පතීන් දහසක් වුව නසනු හැකිය. එසේ ම මිනිසාගේ නොනිමි ආශා නිසා වැලි ජාවාරම්, බොරලුපස් කැපීම් නිසා අනාගත පරපුරට ජීවත් වීමට රටක් ඉතිරිවේද?

ඔබත් මමත් පරිසරයේ නිර්මාණයන් වේ. පරිසරය විශ්වයේ හිමිකාරිත්වයට යටත් වේ. මිනිස් ක්‍රියාකාරකම් සඳහා බලශක්තිය අවශ්‍ය වන්නේ යම් සේ ද මිනිස් කය නිර්මාණයේ දී පරිපථයක් ලෙස මොළය වෙත විශ්වය බලය කිරණ ලෙස සපයා දෙපා පොළොව මත ස්පර්ශ වන අයුරින් සම්බන්ධ වී තිබේ. මහා දාර්ශනිකයන්, සෘෂිවරුන් පමණක් නොව සම්මා සම්බුදුවරු පවා මෙම න්‍යාය අනුව බිහිවනු ඇත. “යම් කෙනෙකුගේ මරණය” යනු ඉහත කී මෙම සැප‍යුම විසන්ධි වීම වේ. එය සොබාදහමේ අභිමතය අනුව තීරණය වේ. විශ්වයේ ක්‍රියාකාරීත්වයෙන් ගිලිහී “මළ” බවට පත් වූ රූපය ද පරිසරය ප්‍රතික්ෂේප නොකරන්නේ, එය ස්වාභාවික ක්‍රියාවලිය සඳහා තවදුරටත් අවැසි නිසා ය. භූමිය මත ජීවත්වන මැස්සන්, පණුවන් ආදී බොහෝ ජීවීන්ගේ ජීවිත පැවැත්ම මළ සිරුරක් මඟින් තහවුරු වනු ඇත.

පරිසර‍යේ පිහිට ලැබ පොළොවේ සාරයෙන් ජීවත් වූ මිනිසුන් පමණක් නොව සතුන් පවා “මළ” පසු එලෙසින් ම වළ දැමීම හෝ වනයට දැමීමේ අතීත සිරිත පරිසර හිතකාමී ක්‍රියාවකි. දියුණු යැයි පැවසෙන වර්තමානයේ දී යම් යම් සංස්කෘතීන්ට අනුව කෙනෙකු මළ පසු දින ගණන් කල් තබා ගැනීමට ඔෟෂධ ගල්වා අවසානයේදී තාක්ෂණය උපයෝගී කොටගෙන හෝ වෙනත් ක්‍රමයකින් දවා අළු කිරීම සොබාදහමට පිටුපෑමක් ලෙස සැලකිය හැකිය. සීමා සහිත ජීවකාලයක් නිශ්චිතව ලැබ උපදින බොහෝ ජීවීන්ට මෙන් ම විශ්වයේ මහ මොළකරු වූ මිනිසාටද ඇතැම් ගස්වැල් තරම් හෝ ආයුෂ නොමැති නම්, සොබාදහම විසින් ආහාරපාන ආදිය සපයා පෝෂණය කොට සොබාදහමේ පාලනයට නතු මිනිසා එය අබිබවා යන්නේ කෙසේද? පරිසරය රැක ගනිමින් ඉන් අපගේ ආරක්ෂාව සලසා ගැනීම විනා ඊට එරෙහි වීමට අපට බලය හෝ හැකියාවක් නොමැත.

යෝධ සංවර්ධන ව්‍යාපෘති ලෙස වර්තමානයේ සිදුවන පරිසර විනාශයන් හැමවිටම විශ්ව සාධාරණයට යටත් නොවේ. අප සොබාදහමට කොතරම් සැහැසිකම් කළ ද පෙරළා අපට දඬුවම් කරන්නට තරම් සොබාදම් මාතාව කුරිරු නොවේ. මිනිසා විශ්ව සාධාරණය නොසලකා කටයුතු කරන සැමවිට ම සොබාදහම නොයෙක් ක්‍රම මඟින් අනතුරු අඟවනු ලබයි. මිනිසා එයින් ද අවබෝධ නොලබන තැන සොබාදහමේ ඉවසීම කෙළවර දඬුවම් කරනා අයුරු මෑතක දී සිදු වූ මුහුද ගොඩගැලීම (2004) පස්කඳු නායයාම් (මීරියබැද්ද - 2015, අරණායක- 2016), ගංවතුර (කොළඹ -2016, කළුතර -2017 මඟින් මනාව පෙනී යයි. අප දරුවන් හට කියා දියයුතු වන්නේ මෙම සත්‍යයය වේ. මෙවැනි විපත්වලින් මිදීමට ඇති එකම මඟ සොබාදහමට සැබෑ ආදරය දැක්වීමෙනි. එවිට ස්වාභාවික පරිසරය ආරක්ෂා වන අතර අප සැමැගේ ජීවිත ද සුරක්ෂිත වේ. 

Comments