සිතු­ව­මට සජීව බව දුන් තෙළි­තුඩ | Page 2 | සිළුමිණ

සිතු­ව­මට සජීව බව දුන් තෙළි­තුඩ

 

 පාසල් වියේදී චිත්‍රකරණයට පිවිස එයම සිය ජීවන වෘත්තිය කැර ගනිමින් මේ රටේ සුවහසක් චිත්‍ර කතා ලෝලීන් අතර වෙසෙස් සලකුණක් තැබූ ජ්‍යෙෂ්ඨ ශිල්පියකුට අද අපි ‘පැහැසර හමුවට’ ආරාධනය කළෙමු. පනස් පස් වසරක් පුරාවට චිත්‍රකතා එකසිය හැත්තෑවකට අධික ප්‍රමාණයක් සිය තෙළිතුඩින් නිමවා මුද්‍රිත මාධ්‍යයෙන් පාඨකයන්ට තිළිණ කළ එමතු ද නොව, විහාර බිතිසිතුවම්, පෝස්ටර්, මුද්දර නිර්මාණ, ග්‍රන්ථ කවර, වෙසක් තොරණ නිර්මිතයේ ද සිය ප්‍රතිභාව සලකුණු කළ ‍ඔවුහු නම්

බන්දුල හරිස්චන්ද්‍රයෝ ය.

 

• උපන් දිනය?

1940 මැයි 24

• උපන් ගම?

පාණදුර - කෙසෙල්වත්ත

• ‍උප්පැන්නයේ නම?

දොම්පගේ බන්දුල හරිස්චන්ද්‍ර පීරිස්

• දෙමවුපියෝ්?

විලියම් පීරිස් පියා, ගර්ලින් පීරිස් මව.

• සහෝදර සහෝදරියෝ්?

අයියා විජයපාල. නංගි බ්‍රියට්‍රිස්.

• අකුරු කළේ?

පාණදුර කෙසෙල්වත්ත ශ්‍රී ජිනධර්මදූත විද්‍යාලය.

• පාසල් අධ්‍යාපනයෙන් පසුව?

හේවුඩ් එකේ දෑ අවුරුදු චිත්‍ර පාඨමාලාවක් හදාරනවා.

• චිත්‍ර කරණයට පිවිසෙන්නේ ඉන් පසුව?

අපෝ න‍‍ෑ! පාසල් යන කුඩා අවධියෙහි මා චිත්‍රකරණයට පිවිසෙන්නේ.

• ඒ කියන්නේ?

තුනේ හතර පන්තිවල සිටියදී පවා මා චිත්‍රකරණයේ යෙදී සිටියා. නමුත් මා හත්වැනි පන්තියට පැමිණියාට පසුව විශේෂ සිදුවීමක් වුණා.

• මොකක්ද ඒ?

අපේ පාසල හදලා පරිත්‍යාග කළ දානපතියගේ ඡායාරූපයක් අපේ පන්තියේ එල්ලා තිබුණා. ගුරුතුමිය වෙනත් විෂයක් උගන්වන අතරේ මා අර ඡායාරූපය මගේ අභ්‍යාස පොතේ පිටුවක සිතුවමට නැඟුවා.

• ඉන් පසුව?

මෙය දුටු ගුරුතුමිය මේ සිතුවමද රැගෙන මා විදුහල්පතිතුමා හමුවට රැගෙන ගියා.

• ‍‍ඔහු ඔබට දඬුවම් කළා?

නෑ! ඔහුත් පුදුමයට පත් වුණා. එතන තමයි මගේ ගමනේ ආරම්භය.

• පුදුමයට පත් වුණ විදුහල්පතිතුමා ඔබට මොනවද කිව්වේ?

ඔහු මට ලිපියක් දී කිව්වා එච්.බී.පී. ජයවර්ධන කියන මහත්තයාව හමුවෙන්න කියා.

• ඔහු කොහෙද? කවුද?

ඔහුත් පාණදුර කෙසෙල්වත්තේ එවකට තිබූ ජාතික කලා පෙරමුණේ භාණ්ඩාගාරික‍. එහි සභාපති වෙලා හිටියේ මාපලගම විපුලසාර හිමි.

• ඔබ ජයවර්ධන මහත්තයා හමුවුණා?

කැටයම් කලාවට දක්ෂ ලයනල් කියලා පාසලේ යාළුවෙක් එක්ක ගිහින් මං ඔහු හමුවුණා.

• ඔහු ඔබට උදව් කළා?

ඔව්! අපි සෙනසුරාදට ජයවර්ධන මහත්තයගේ ගෙදරට ගිහින් චිත්‍ර වැඩ කළා. චිත්‍ර ඉගෙන ගත්තා.

• ඒ කාලේ කවුද ජනප්‍රිය චිත්‍ර ශිල්පීන්?

මොටාගෙදර වනිගරත්න, ආරියවංශ වීරක්කොඩි, ජයසිරි සේමගේ වගේ අය.

• ජයවර්ධන මහත්තයා ළඟ චිත්‍ර ඉගෙනීමෙන් පසුව?

ඒ පන්තියට ළමයි වැඩි වුණාට පසුව පන්තිය දෙකට කඩලා එක පන්තියකට උගන්වන්න මාව දැම්මා.

• ඔබ ‍එතකොට පාසල් සිසුවෙක්?

ඔව්! අවුරුදු පහළොවේ ඉඳන් විසිතුන දක්වා ජාතික කලා පෙරමුණේ වාර්ෂික චිත්‍ර තරගයෙන් ප්‍රථම ස්ථානය පිට පිටම නව වතාවක් දිනුවේ මම.

• ගෙදර උදවිය හෝ අහල පහළ කවුරු හරි බලපෑව ද චිත්‍රකරණයට?

නෑ! එහේම කවුරුත් බලප‍ෑවේ නෑ. මගේ තාත්තා වඩු කාර්මිකයෙක්. ඔහු කැටයම් ඇඳල කපනවා නම් මා දැක තිබෙනවා.

• ඉතිං‍! මේ පන්තියට උගැන්වීමෙන් පසු?

යසපාල කියල මහත්මයෙක් යෝජනා කළා අපි පාණදුරේ පන්තියක් දාමු කියලා.

• ඒ කොයි වර්ෂයේද?

1962 පානදුරේ ලලිත කලායතනය ආරම්භ කරලා මා චිත්‍ර ඉගැන්නුවා. මුදුන්කොටු මහත්තයා (ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවගේ පියා) සංගීතය උගැන්නුවා.

• පසුව?

චිත්‍ර පන්තියට ළමයි වැඩිවෙන විට පන්තිය දෙකට කඩලා එක පන්තියකට තවත් ගුරුවරයෙක් දැම්මා.

• කවුද ඒ ගුරුවරයා?

ලංකාදීප පත්‍රයේ ‘සමාජ සමයං’ ඇඳපු හෙන්රි තෙන්නකෝන්’. ඔය කාලේ මටත් හිතුණා චිත්‍ර කතාවක් අඳින්න.

• ඔබ වැඩේ පටන් ගන්නවා?

ඔව්! වීදිය බණ්ඩාර කියල චිත්‍ර කතාවක් කොටස් දෙකකට ඇඳල හෙන්රි තෙන්නකෝන්ට පෙන්නුවා.

• ඔහු මොනවද කළේ?

තෙන්නකෝන් මාව ලේක්හවුසියට එක්කගෙන ගිහින් ජයවිලාල් විලේගොඩ මහතාට හඳුන්වල දුන්නා. ඔහු මගේ චිත්‍ර කතාව බලලා ‘දිනමිණ’ කර්තෘ තුමා ළඟට එක්කගෙන ගියා.

• කර්තෘතුමා මොකද කිව්වේ?

අපට තිබෙන හොඳම සාහිත්‍ය තමයි ජාතක පොත. ඒකෙන් කතා කීපයක් ඇඳගෙන එන්න කිව්වා.

• එතකොට ඔබේ වීදිය බණ්ඩාර කතාව?

නෑ! එය ඵල වුණේ නෑ!

කර්තෘතුමා කිව්ව විදිහට මා ජාතක පොතෙන් කතා කීපයක් ඇඳගෙන ආවා.

• එය පල වෙනවා?

ඔව්! මගේ පළමු චිත්‍ර කතාව ඵල වුණේ 1962 දිනමිණ පුවත්පතේ‍. ඒ ‘සුලසා’ ජාතකය සෑම සඳුදා දිනකම කතාවක් ඵල වුණා.

• ඔබට ඒ සඳහා ගෙවීමක් කළා?

ඔව්! රුපියල් හතයි පණහක් ගෙව්ව. ඉන් පසුව සිළුමිණටත් අඳින්න ලැබුණා.

• ලංකාවේ මුල් ම චිත්‍රකතා පත්‍රය ව‍ූ ‘සතුට’ට.

මුල් ම කාලයේ සම්බන්ධ වෙන්නේ නෑ. පසුවයි මා එයට සම්බන්ධ වෙන්නේ.

* වෙනත් අයගේ රචනාවලටත් ඔබ චිත්‍ර කතා ඇඳ තිබෙනවා.

ඔව්! ටී.බී. ඉලංගරත්න, ඊරියගොල්ල, සෝමවීර සේනානායක.

* එදා මෙදා තුර ඔබ පාඨකයින්ට තිළිණ කළ චිත්‍රකතා සංඛ්‍යාව?

එකසිය හැත්ත‍‍ෑවකට වැඩියි ඒ අතර ජාතක කතා හැටක් ද තිබෙනවා.

* පොත් කවර?

සියයකට අධිකයි.

* පුරා වසර දහසයක් ඔබ ලේක්හවුසිය ආයතනයට සේවය කළා?

ඔව්. 1962 සිට 1978 දක්වා.

* ඉවත් වෙන්නේ?

මල්ටි ‍ෆැක්ස් ආයතනයෙන් ආරාධනයක් බාරගෙන මා ඉවත් වුණා. එහිදී මට පෙරට ව‍ඩා ඉහළ වැටුපක් ලැබුණා.

* එහිදී ඔබේ ජීවන සහකාරියත් මුණ ගැහෙනවා?

ඔව්. ඒ 1980.

* ඔබ උපදින්නේ 1940. විවාහ වෙන්නේ 1980 දී. විවාහයට එතරම් කාලයක් ගත වෙන්නේ ඇයි කියල මම ඇහුවොත්?

අපි ඉතාමත් දුප්පත් මිනිස්සු. මගේ පවුලේ බර උසුලාගෙන යා යුතුව තිබුණේ මටයි.

* ඒ කියන්නේ?

මගේ පියා මා කුඩා අවධියේම මිය ගියා. අයියා සිටියේ ලෙඩ ගානේ. අම්මා අපිව ලොකු මහත් කරන්න විශාල දුකක් වින්දා.

* ඇය දිරිය මාතාවක්?

සත්‍ය වශයෙන් ම! පසුව නංගීව දීග දෙන්න අම්ම අයියා බලා ගැනීම මා සතුටින් කළා. විවාහයක් ගැන කල්පනා කළේ නෑ.

* අම්මවත් ඔබට ඒ බව සිහිපත් කළේ නැද්ද?

මොකද නැත්තේ. දිනක් මගේ මව දෙනෙතේ කඳුළු පුරව ගනිමින් මගෙන් ඉල්ලීමක් කළා‍.

* මොකක්ද ඒ?

පුතේ මට නිදහසේ මැරෙන්න ඕන‍ෑ. උඹ මේ ලෝකේ කවද හරි තනිවෙනවා. ඒ නිසා විවාහයක් කැර ගනින් කිව්වා.

* ඔබට මොකද හිතුණේ?

ඒ කතාව මා සලිත කළා. මා සිටියේ මහණ වෙන්න හිතාගෙනයි.

* මහණ වෙන්න සිටි කෙනාට මල්ටි පැක්ස් ආයතනයේදී අනාගත සහකාරිය හමුවෙනවා.

ඔව්! ඇයත් චිත්‍ර ශිල්පිණියක්. නම කුසුම් මංගලිකා. ගම මහනුවර. ඇය ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන දහයක් දැනට පවත්වා තිබෙනවා.

* කන්ද උඩරට ඒ මනමාලිය හමුවූ හැටි ටිකක් කියන්න?

ඇය චිත්‍ර කතා ඇඳගෙන මල්ටි ෆැක්ස් ආයතනයට එනවා. ඒ එන්නේ ජාඇළ ඇගේ සොහොයුරියකගේ නිවසේ සිට.

* ඉතිං?

ඒ චිත්‍ර කතා මට පෙන්වා අඩුපාඩු විමසනවා. මේ ළමයා දුටු දවසේ මට මගේ අම්මගේ කතාව සිහිපත් වුණා.

* ඒ ආ දිනක ඇයට ඔබේ අදහස කෙළින්ම කිව්වා?

ඔව්!

* ඇය මොකද කිව්වේ?

අපේ අම්මගෙන් අහන්න කිව්වා.

* ඔබ මහනුවරට ගිහින් අම්මගෙන් අහනවා?

නෑ! අම්මා සිටියේ අනුරාධපුරයේ. මා එහි ගිහින් අම්මගෙන් ඇසුවා.

* අම්මා මොකද කිව්වේ?

අනේ පුතේ මම මොකට විරුද්ධ වෙනවද ඔය දෙන්න කැමැති නම් කිව්වා! එහෙත් එක ප්‍රශ්නයක් තිබුණා.

* මොකක්ද?

මෙයාට කසාද බැඳලා දරුවෝ හදන්න හොඳ නෑ කියලා වෛද්‍යවරු කියා තිබුණා.

* හරිම ප්‍රශ්නයක්?

නෑ. අපි එය ප්‍රශ්නයක් කැර ගත්තේ නෑ.

* එහෙනම්?

අපි කසාද බැන්දා. අපේ දුව කුසට ආවහම අප ටිකක් බය වුණත් අපි ජීවිතයට මුහුණ දෙමු කියා තීරණය කළා.

* අභියෝගයක්?

ඔව්! එය ඉතාමත් සුබදායි ලෙස විසඳුණා.‍

* දුව?

සුමුදු කල්පනී! දැන් ඇය විවාහකයි. ඇය විවාහ වී සිටින්නේ පොලිස් නිලධාරි පුතකු සමඟයි. මා ඉතිං බය නෑ.

* අද ඔබේ කල දවස ගෙවෙන්නේ?

සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. එහෙත් මේ රටේ සිටි චිත්‍ර ශිල්පීන් පිළිබඳ කනගාටුවක් අපට තිබෙනවා.

* මොකක්ද කනගාටුව?

බලන්න. දශක ගණනාවක් චිත්‍ර කතාවෙන් මේ රටේ ජනතාවට විශාල වින්දනයක් ලබා දුන් ශිල්පීන් පිළිබඳ කවුද සොයා බලන්නේ කියා.

* ඒ කියන්නේ?

කලා ක්ෂේත්‍රයේ නොයෙක් අංශවල කටයුතු කළ ශිල්ප‍ීන්ට රජය සම්බන්ධ වී යම් යම් සොයා බැලීම් කළත් චිත්‍ර කතා ශිල්පීන් උන්නද මළාද බලන්න කිසිදු බලධාරියකු නෑ.

* ඇගයීමක් සොයා බැලීමක් න‍ෑ?

නෑ! එදා විශාල මෙහෙවරක් කළ චිත්‍ර කතා ශිල්පීන් කලාකරුවන් නොවෙයිද?

* සම්පූර්ණ ඇත්ත?

ඔව්! ඒ කිව්ව දේවල් ලියන්න.

* ඔව්. මා ලියනව මට අවසන් වශයෙන් කියන්න ඔබගේ අද දවස ගෙවෙන්නේ කොහොමද?

ඔබේ පුවත්පතේ පලවෙන චිත්‍ර කතාව අදිනව. වෙනත් වැඩ නැති තරම්. මෑතක් වෙනතුරු චිත්‍ර පන්තියක් කළා. සිසුන් නැති නිසා ඒකත් වසා දැමුවා. ඇයි දැන් සෞන්දර්යයට වැඩිය ළමයින්ට වෙනත් පන්තිනේ.

 

Comments