මණ්ඩ­ල්රාළ කෙනකු නොවී මහා­චා­ර්ය­ව­ර­යකු වූ හිතු­ව­ක්කා­රයා | Page 2 | සිළුමිණ

මණ්ඩ­ල්රාළ කෙනකු නොවී මහා­චා­ර්ය­ව­ර­යකු වූ හිතු­ව­ක්කා­රයා

ආණ්ඩුවක් වෙනස් කිරීම එකී ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයය. ප්‍රජාතන්ත්‍රවාදය යනු එම සමාජයේ ජීවත්වන ප්‍රජාව විසින් සකස් කරගත් පාලනය හෙවත් පුරවැසි පාලන අවකාශයයි. පාර්ලිමේන්තු ක්‍රමයත් සමඟ එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වෙයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව මේ වනවිට මෙරට ක්‍රියාත්මක වන්නේ මිශ්‍ර ඡන්ද ක්‍රමයකි. එනම් සමානුපාත ක්‍රමයේත්, ඒකළ ක්‍රමයේත් මිශ්‍රණයකි. මේ මිශ්‍රණය ගැන හොඳ නොහොඳ කිවීම කෙසේ වෙතත් අපට කිව හැක්කේ ආණ්ඩු වෙනස් කිරීමෙන් පමණක් රටක් වෙනස් කළ නොහැකි බවය. එය සිදුකළ යුත්තේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදීය මිනුම්වලට අනුකූලව යමින් රටක් තුළ ජීවත්වන පුරවැසියා සාධනීය වෙනසකට බඳුන් කිරීමෙනි. ආගම පෞද්ගලික වන්නාක් සේම සියලු ආගමකට පොදු වන්නාවූ සාමාජයීය දේව ධර්ම ආරක්ෂාකරන්නට එකී සමාජය පෙලඹිය යුතුය. එවිට දේශපාලනඥයා තැනෙන්නේ එම සමාජ සංයුතිය තුළිනි. එසේනම් රටේ හතරවැනි ආණ්ඩුව වශයෙන් මෙකී සමාජ සංයුතිය සාධනීය තලයකට ගෙන ඒම සඳහා මූලිකත්වය ගතයුතුව තිබේ. එවැනි ප්‍රජාවක් නිර්මාණය කිරීම එහි ප්‍රමුඛ අධ්‍යාශය වෙයි. සමාජ සංස්ථාව දුර්වල වෙමින් පවතින්නේ යැයි අඳෝනා නගමින් සිටිනවාට වඩා හා එසේ දුර්වලවූ ස්ථාන වාර්තා කිරීම හැර ගැඹුරු හැසිරීමක් පූර්ව වශයෙන් ජනමාධ්‍ය සතුවන්නේය. ඒ අනුව පත්තර මහගෙදර වන අප උත්සහ ගන්නේ එකී අඳෝනාව වෙනුවට පහනක් දල්වන්නටය. සියලු අඳුර එකී පහනෙන් එළිය නොවුණද එවන් සහස් ලක්ෂයක් පහන් දල්වන්නට එය නිමිති කරගත හැකිය. එකී සද් අරමුණෙන් යුතුව ස්වකීය ජීවිත වෙනස් කරගත් අපූරු මිනිසුන් සම්බන්ධයෙන් නව වසරේ සිට විශේෂාංගයක් ආරම්භක කළෙමු. මේ හැරවුම ඒ වෙනුවෙනි.

ඔහු එම්. ඕ. ඒ. ද සොයිසාය. වෘත්තියෙන් විශ්‍රාමික මහාචාර්යවරයෙකි. මෙරට දේශපාලන විද්‍යා විෂයේ දැනට සිටින විශිෂ්ටතම බුද්ධිමතා ලෙස සැලකෙන්නේද ඔහුය. අන්ත දරිද්‍රතාවෙන් ඇරඹි අද සාර්ථක එකක් වන ඔහුගේ ජීවිතය තුළ ප්‍රධාන හැරවුම් කීපයක් පිළිබඳව අප මෙම විශේෂාංගය යටතේ සාකච්ඡා කරනු ලැබේ.

මා කිසිදු කාරණයක් හේතුවෙන් ජීවිත කාලය පුරා තවත් කිසිවකුගේ ජීවිතයට මැදිහත් වී නැත. ඒ හා සමරූපීව මම මගේ ජීවිතයට තවත් කිසිදු පුද්ගලයකුටද බලපෑම් කරන්නට ඉඩනොදෙමි. එහෙත් මම නීතිය සඳහා පමණක් අනුගතය. අන්කිසිවකට මා අනුගත වන්නේ නැත. සත්‍ය, යුක්තිය ලෝකය පාලනය කළ යුතුය.

1 හැරවුම

අප ජීවත් වුණේ කරදිය බඩට වන්නටය. හරියටම කියන්නේ නම් බලපිටිය ආසන්නයේය. මට අදද අමතක කළ නොහැකි ලෙස පුංචිම සන්ධියේ දී අපි අවතැන් වූයෙමු. ඒ අප ජීවත්වූ වැල්ලබඩ නිවස මුහුදු රකුසාට බිලිවූ හෙයිනි. ඒ නිසා කුඩා කාලයේදීම අපට හරිහමන් ගෙයක් කියා සුරක්ෂිත නිවස්නයක් අහිමිවිණි. එතැන් පටන් මමත්, මල්ලීත්, නංගීත් මාපියන් සමඟ උන්නේ පුංචි නිවසකය. මම එකල්හි ජීවිතයේ කිසිදු බරක් පතලක් නොතිබුණු විනෝද බර දරුවෙක් වීමි. කොලු කුරුට්ටන් සමඟ මුහුදු වෙරළට ගොස් ක්‍රීඩා කිරීම මගේ ඇබ්බැහිය විය. යන්තමින් අවුරුදු 11ක් පමණ වද් දී මට ජීවිතය පිළිබඳ පළමු හා ගැඹුරු පාඩම කියා දුන්නේය. ඒ නිවස මුහුදට ගසාගෙන ගියාට වඩා දරුණු භූකම්පනයක් ලෙසිනි. ඒ මගේ ආදරණීය අම්මා ජීවිතයෙන් සමුගැනීමයි. මහ පොළොවක් සේ සියලු බර දරා සිටි, අපව ආදරයෙන් රැකගත් අම්මා කාටත් නොකියාම, අපව තනිකර තනියම තනි ගමනක් ගියාය. මම, මල්ලී හා නංගී තාත්තා සමඟ කුඩා නි‍ෙවසක තනිවුණේ එලෙසිනි. ඉහළින් නිල් අහසත්, පහළින් නිල් මුහුදත්, වම් පසින් ගාළු පාරත් මට තිබූ එකම සවිය විය. එහෙත් මවගේ වියෝවත් සමඟින් එදා මා පුංචි සන්ධියේ ඇතිකළ කම්පනය අදටත් මගේ හදවත ගැඹරේ ගලක කෙටූ ඉරි මෙන් නොවෙනස්ව ඇඳී තිබේ. අම්මා අපෙන් අනියමාර්ථයේ සමුගත්තේ ඇයිදැයි අදද මම නොදනිමි. එහෙත් එකී ප්‍රකම්පනය නම් මම තවමත් අත්විඳිමි.

 

2 හැරවුම

තාත්තා කුඩම්මා කෙනකු ගෙනාවේය. අපව බලා කියා ගන්නටත් ඔහුගේ තනිකම පලවාහරින්නටත් එය හේතුවන්නට ඇත. කෙසේ නමුත් ඇගේ පැමිණීමෙන් අනතුරුව නි‍ෙවසේ වැඩිමහලු දරුවා වශයෙන් මම තවමත් හිතුවක්කාරයෙක් වීමි. නාහෙට අහන්නැති දඩබ්බරයකු වූ මම කළේ මිතුරන් සමඟ කෙළිදෙළෙන් දඩබ්බර කමින් හැකිතාක් කටයුතු කිරීමය. දින පහම පාසල් ගියෙමි. එසේ ගොස් ඇති තරම් කට්ටි පැන්නෙමි. එහෙත් ඉරිදාට ලැබෙන සම්බුවටනම් තරයේ එකඟ නොවීමි. එසේ එදිනට වැල්ලට ගොස් සෙල්ලම් කරනවා වෙනුවට දහම් පාසල් යන්නයැයි තාත්තා මට අණ කළේය. එයටනම් මම තාත්තා ඉදිරියේත් හිතුවක්කාරී වීමි. එයට ප්‍රතිචාරය වූයේ පියාගෙන් හිමිවන ගුටි පූජාවකට මුහුණදීමය. ඇති තරමට ඔහු මට තැළුවේය. ඉන් අනතුරුව දහම් පාසලට ඇදගෙන ගියේය. එසේ ගොස් දහම් පාසලේ හාමුදුරුවන් ලාවද මට තැලෙව්වේය. පියාගේ උවමනාව මා යහපත් මිනිසකු කිරීමය. එහෙත් සිදුවූයේ මට ආගම එපාවී යාමය. එහෙයින් මම නිර්ආගමිකයෙක් වීමි. අදටත් මා එසේමය. එයට ඉවහල් වූයේ කුඩා සන්ධියේ මා ලද අමිහිරි අත්දැකීමය.

 

3 හැරවුම

කුමන හෝ හේතුවක් නිසා මම පාසලේ පැවැති වාර විභාගවල දී පන්තියේ පළමුවැනියා වීමි. හැලහැප්පිලි මැද සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින් සමත්වීමි. උසස් පෙළට ඇතුළත් වූයේ කලා අංශයෙන් බව මතකය. ඒ කලාව පමණක් ඉගෙනීමට අපේ පාසලේ පහසුකම් පැවැති හෙයිනි. එකල පාසලේ ප්‍රසිද්ධ කියමනක් තිබුණේය. ඒ සොයිසාට වඩා සොයිසාගේ තාත්තා පාසල් පැමිණෙන බවය. එසේ සිදුවූයේ මා පාසලේ දී කළ දඩබ්රකම් වෙනුවෙන් පියා නිරතුරුවම ගුරුවරුන්ගෙන් කැඳවුම් ලැබ පාසලට ආ හෙයිනි. මේ හේතුවෙන් මා සම්බන්ධයෙන් පාසල තුළ තිබුණේ අයහපත් ප්‍රතිරූපයකි. උසස් පෙළ ලියූවද එසමයේ අපට පාසල් එන්නට අවසර තිබුණේය. කුමක් හෝ දඩබ්බර ක්‍රියාවක් නිසා මා හට පාසල හතර මායිමටවත් පැමිණීම තහනම් කෙරිණි. ඉනික්බිතිවද කාලය ගලාගෙන ගියේ රැල්ල වෙරළේ හැපෙන්නාක් මෙන්ය. සති කීපයකින් උසස් පෙළ ප්‍රතිඵල පැමිණෙන බව ගුවන් විදුලි ප්‍රවෘත්ති විකාශයෙන් අසන්නට ලැබුණේය. පසුදින උදාසනම විදුහල්පති අණ නොතැකූ මම ප්‍රතිඵල දැන කියාගැනීම සඳහා පාසලේ ප්‍රධාන කාර්යාලයට පැමිණියෙමි.

‘මොකද තමුසෙ? මොකටද ස්කෝලෙ ආවෙ?‘ විදුහල්පතිතුමා මගෙන් ප්‍රශ්න කළේය. එවිට නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ තවත් ගුරුවරුන් කීපදෙනෙකුම සිටියේ කාර්යාලයේය.

‘සර් ප්‍රතිඵල බලන්න?‘ මම කීවෙමි.

‘ප්‍රතිඵල? තමුසෙ ප්‍රතිඵලවල මොනව බලන්නද අයිසෙ? ඔහේ විභාගය පාස් වෙලා තිබුණොත් අර ගොඩබිමේ තියෙන ඉර හෙට ඉඳලා මුහුද පැත්තෙන් පායාවි.‘ විදුහල්පති තුමා අත දිගුකරමින් කීවේය. ඒ කතාව අනුමත කරමින් සෙසු ගුරුවරුද හිස සැලූහ. එවිට නියෝජ්‍ය විදුහල්පතිතුමාද කතාවට එක්විණි.

‘තමුසෙ දන්නවද අමරසිරි. තමුසෙ වගේ මිනිහෙකුට කරන්න තියෙන්නේ රස්සා දෙකයි. එකක් තමයි බලපිටියේ මුහුදු යන ඔරුවක මණඩල්රාළ කෙනකු වෙන එක. එහෙම නැත්නම් අද හෙටම කොළඹ ගිහින් ‘ලෝටස් ඊටර් ‘කෙනෙක් වෙනවා. එතකොට කාටහරි වාහනයක් කාරිය නවත්තලා දීලා ගතමනාවක් සොයාගන්න පුළුවන් වෙයි.‘ ඔහු කීවේ සෙස්සන් සිනහ ගස්සමිනි. මගේ දෙනෙතින් කඳුළු කඩා පැන්නේය. මම හැඬුම් අතරින් විදුහල්පතිවරයාට හා නියෝජ්‍ය විදුහල්පතිවරයාට පිළිතුරු දුන්නෙමි.

‘සර්. ගොඩබිම පැත්තෙන් පායන ඉර මම විභාගය පාස් වුණත් නැතත් මුහුද පැත්තෙන් පායන්නේ නෑ. ඒක කවදාවත් සිද්ධ නොවෙන දෙයක්. අනික් කාරණය මම බෝට්ටුවක මණ්ඩල්කාරයෙක් වුණොත් මුලින්ම අල්ලන මාළු තොගයේ තියන ලොකුම මාළුවා අරගෙන සර්ව බලන්න එනවා. අනෙක මම ලෝටස් ඊටර් කෙනෙක් වුණොත් කොළඹ දී සර්ව හම්බවුණොත් ටැක්සියක් නවත්තලා දීලා ඒකෙ බිලත් මමම ගෙවනවා.‘ යැයි කියා කඳුළු මැදින් ගෙදර ආවෙමි. ‘අම්මා නැති අපට බඩගිනි වෙන්න එපායැයි මට නොහිතුණා නොවන්නේ අදටත් ඒ සිද්ධියෙන් මා කම්පිතවන හෙයිනි. පසුදා මම පාසලට නොගොස් තැපැල්කාරයා එනතුරු ගේට්ටුව ළඟට වී බලා සිටියෙමි. ප්‍රතිඵල පැමිණි බවට ඔහුගෙන් ලැබුණු තොරතුරකට අනුව මම එදා කාර්යාලයට ගියෙමි. අවඥා සැලකිලි මැද ප්‍රතිඵල ලැයිස්තුව පරීක්ෂා කළ විදුහල්පතිතුමාගේ හා නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ ඇස් උඩ ගියේය. ඔවුන් කියූ කිසිවක් සිදුනොවී මම විභාගය සමත්ව සිටියෙමි.

 

4 හැරවුම

දැන් මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්මි. එවකට කෙසඟ ශිෂ්‍යයකු වූ මා සහභාගිවන පළමු දේශනය පැවැත්වූයේ සිංහල විෂය අරභයාය. එය මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍ර විසින් පවත්වනු ලැබුණේය. ඔහුගේ ඉගැන්වීම් රටාව වේදිකා තලය මත හැසුරුම් ස්භාවය මගේ සිත්ගත්තේය. ‘මටත් මෙවැනි කථිකාචාර්යවරයෙක් වෙන්නට ඇත්නම්‘ විදුලියක් සේ හැඟීම් මාත්‍රයක් මා සොයා පැමිණ එසැණින් මැකී ගියේය. එදිනම රාත්‍රියේ විශ්ව විද්‍යාලයේ නැවතීමේ ශාලාවේ ආහාර ගැනීම සඳහා නව සිසුන් සමඟ එහි උගන්වන ආචාර්යවරුද පැමිණ සිටියහ. ඔවුන් සිටියේ ආහාර ගන්නා ශාලාවේ මධ්‍යයේ අපට වඩා ඉහළින් පිහිටුවා ඇති මේසයක් අරාය. අපි පහළ සිට ආහාර ගත්තෙමු. එදින රාත්‍රියේ මා තුළ යළිත් දොළක් පහළ වුණේය.

‘මේ වගේ ළමයි වට කරගෙන අර මැද මේසයේ ඉඳගෙන කෑම ගන්න තියෙනවා නම් මමත් කැමතියි.‘ මම සිතුවෙමි. ඒත් එය හුදු සිතිවිල්ලක් පමණි. ඒ එතරම් ගැඹුරු ලෙස කිසිවක් ජීවිතයට ගැනීමට මා කොහොමත් හුරුවී නොසිටි හෙයිනි. කෙසේ නමුත් අවසානයේ දේශපාලන විද්‍යාව විශේෂ උපාධිය හැදැරීම සඳහා පළමු වසර අවසානයේ මා ලබා තිබූ ප්‍රතිඵල ප්‍රමාණවත් විය. ඒ අනුව 29 දෙනෙකුගෙන් සමන්විත දේශපාලන විද්‍යා විශේෂ උපාධිය හදාරණ පළමු කණ්ඩායමේ මම ද සාමාජිකයෙක් වීමි. මෙසේ උගෙන අවසන් විභාගයටද අපි පෙනී සිටියෙමු. විභාගය ලියා සිටින මට ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර අප විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් කැඳවීමක් ලැබුණේය. එයින් කියැවුණේ මෙතෙක් ඔවුන් බැලූ ප්‍රශ්න පත්‍රවලට අනුව වඩා සාර්ථක ලෙස පිළිතුරු ලබා දී ඇති ශිෂ්‍යයා මා බවය. ප්‍රතිඵලවලට අනුව මම පළමුවැනියා වූ අතර දෙවැනි පෙළ ඉහළ සාමර්ථ­්‍යයකට හිමිකම් කීවෙමි. පසුව කෙටි කලකින්ම සහකාර කථිකාචාර්ය ධූරය අතහැර මා ඉහළ වැටුපකට බැංකු රස්සාවට ගියේ හුදෙක්ම ආර්ථිකය සලකාගෙනය.

 

5 හැරවුම

මම හදිසියේ බැංකු රස්සාවෙන් ඉවත්වීමි. එයට හේතුව එය මහා අකාරුණික ඇල්මැරුණු රැකියාවක් යැයි මට හැඟී යෑමය. මම එම තීරණයට එළඹෙද්දී මට කිසිදු වෘත්තීය සුරක්ෂිතතාවක් නොතිබිණි. හිටි අඩියේ ඉල්ලා අස්වීම ලියා දී දඩ මුදලකටද යටත්ව බංකු සේවා ගිවිසුමෙන් ඉවත්වී මම කිසිදු නිනව්වක් නොමැතිව පේරාදෙණිය යන බසයකට ගොඩවුණෙමි. මාතුළ තිබුණේ සුවිශාල අපේක්ෂා භංගත්වයකි. මගේ සිත පෙරාදෙණියෙන් ගලා බස්නා මහවැලි ගඟ මෙන් අඳුරු පෙනුමක් ගත්තේය. එහි පත්ලක් සොයාගැනීමට නොහැකියැයි මට හැඟිණි. මම එදින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිවාස පිහිටි කොටසට ගොස් මගේ පීඨාධිපතිවරයාගේ නිවසේ දොරට තට්ටු කළෙමි. ‘සර් මම සොයිසා.‘ යැයි කියා හඳුන්වා දුනෙමි.

‘මොකද සොයිසා?‘ ඔහු ඇසීය.

‘මම අස්වුණා සර්. මට ආපහු කැම්පස් එකේ රස්සාවකට එන්න ඕනෑ.‘ මම කීවෙමි.

ඔහු මගේ මෙම තීරණය විවේචනය කර පසුව කෙසේ හෝ විශ්වවිද්‍යාලයේ අනියම් කථිකාචාර්යවරයකු වශයෙන් බඳවා ගන්නට කටයුතු කළේය. එයින් ඉක්බිතිව නොබෝ කලකින්ම මම යළි විශ්වවිද්‍යාලයේ ස්ථිර කථිකාචාර්යවරයෙක් වූයෙමි.

 

6 හැරවුම

පොල්ගොල්ල වේල්ලෙන් මා විසිකර දැමූ පොඩිකළ සිගරැට් තොගයට විස්සේ පැකට්ටුවක් හා තවත් අටක් ඉතිරි පැකට්ටුවක් තිබුණා මතකය. එවැනි තීරණයකට මම එළඹියේ මගේ පුතාගේ පළමු උපන්දිනය එදිනට යෙදී ඇති හෙයිනි. වසර දහයක් සටන් කර වෛද්‍ය විද්‍යාවට පින්සිදුවන්නට මගේ ජීවිතයට උරුම වුණු මහා වස්තුව පුතාය. ඔහු වෙනුවෙන් මා සිහිවටනයක් ලෙස තීරණාත්මක යමක් කැපකළ යුතුය. අධිකව දුම්වැටි පානයට ඇබ්බැහිව සිටි මා ඔහු වෙනුවෙන් එදා දුම්වැටි පානය අත්හැරීමි. එදා අතහැරි ඒ පුරුද්දෙන් මෙදාද මා නිදහස්ය.

 

7 හැරවුම

මා කිසිදු කාරණයක් හේතුවෙන් ජීවිත කාලය පුරා තවත් කිසිවකුගේ ජීවිතයට මැදිහත් වී නැත. ඒ හා සමරූපීව මම මගේ ජීවිතයට තවත් කිසිදු පුද්ගලයකුටද බලපෑම් කරන්නට ඉඩ නොදෙමි. එහෙත් මම නීතිය සඳහා පමණක් අනුගතය. අන් කිසිවකට මා අනුගත වන්නේ නැත. සත්‍ය, යුක්තිය ලෝකය පාලනය කළ යුතුය. විශ්ව විද්‍යාලයේ ලද ශිෂ්‍යත්වයකට විදෙස් ගතවූ මගේ පුත්‍රයා නේපාල ජාතික තරුණියක හා විවාහ වීමට කැමති යැයි දැනුම් දුන්නේය. එදා මා දරා සිටි ලෝකය සුනු විසුනුවී ගියේය. නිය පිටින් පහරක් නොගසා, හැකි සැමවිටම ආදරය ලබාදෙමින් උගතකු වන්නට නිදහස් අවකාශයක් ලබාදුන් පුතා දැන් සියලු දේ නොසලකා සිය ජීවිතයේ තීරණාත්මක මොහොතක හිතුවක්කාරී තීරණයකට එළැඹ සිටී. මට මතක් වුණේ මහැඳුරු සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ තවත් එක් අවස්ථාවකි. සිංහබාහු විවරණය කරන්නේ පිතු සෙනෙහෙස පුතු හද තුළ නොමැතිවීම ස්වභාවික තත්ත්වයක් ලෙසය. සැබැවින්ම එය යතාර්ථයකි. දරුවන් යනු ස්වාධීන, ස්වායත්ත ජාතියකි. අවසන ප්‍රතිපත්තිය ඉදිරියට පැමිණි හෙයින් මම පුතුගේ තීරණයට මුවින් නොබැණ නිහඬ වීමි. පුතා තමන් තෝරාගත් නේපාල ජාතික යුවතිය හා විවාහ වූයේය. එහෙත් ඇය කොතරම් අපූරු ගතිගුණ ඇත්තියකදැයිද දැන් මට හැඟේ. සැබැවින්ම ඈ අපේම දියණියක බඳු නොවේදැයිද දැන් මට වැටහී ඇත. අනෙකාගේ කැමැත්ත අබිමුව බලතල නොපාමින් නිහඬව සිටීමට මා පුරුදු පුහුණුවී තිබීම කෙතරම් අපූරුදැයි අද මට ජීවිතය තුළ එය සනාථ කරවා තිබේ.

 

8 හැරවුම

ජීවිතය සම්බන්ධයෙන් මට කිසිදු සුවිශේෂී අභිප්‍රායක් තිබුණේ නැත. පැමිණෙන සිදුවීම්වලට අනුව මම ජීවත් වූයෙමි. සුවිශාල අපේක්ෂා කිසිවක් මා සතුනොවීය. එහෙයින් අද මියගියද, හෙට මියගියද ජීවිතය සම්බන්ධයෙන් මා තුළ කිසිදු අනියත බියක් ඇත්තේ නැත. එහෙත් දැන්නම් මම ජීවිත්වීමට දැඩි ලෙස ආශා කරමි. එකී වෙනස මාතුළ ඇතිකළේ මගේ මිනිබිරිය විසිනි. ඇය මා ජීවිතයට තබා බැඳ තිබේ. ඇය අතහැර දැන් මට මියයෑම වුව දුෂ්කරය. එහෙත් යථාර්ථය යම් දිනෙක පිළිගත යුතුමය. ඒ සඳහා මම සූදානම්ය. එහෙත් දැන්ම නොවේ. හැකිතාක් කල් ඈ වෙනුවෙන් ජීවිතය ගෙවාලමිනි. එය මගේ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ­්‍යයක් යැයි දැක්විය හැකිය.

 

නිගමනය

මගේ ජීවිතයෙන් ගත හැකිව ඇති ලොකුම දෙය ජීවිතය සම්බන්ධයෙන් අනියත අපේක්ෂා තබා නොගැනීමය; කළහැකි දේ කළ යුතු අවස්ථාවේ දී සිදුකිරීමය. තීරණ ගැනීමේ දී නොබියව තීරණ ගැනීමේ අධිෂ්ඨානයය. අභියෝග හමුවේ නොසැලී සිටීමය. මම කුඩා සන්ධියේ අත්දුටු මගේ මවගේ වියෝව ගැන අදද කම්පා වෙමි. එහි කිසිදු වෙනසක් නැත. කෙසේ නමුත් මා සමාජයෙන් ඉල්ලන්නේ එක දෙයක් පමණි. ඒ නීතියට ගරු කර ජීවත් වීමේ අවශ්‍යතාවය; අන්කිසිවකු මතවත් අනියමාර්ථයේ තම බලපෑම් එල්ල නොකිරීමය. එය මගේ ජීවිතයෙන් ගත හැකි එකම පාඨයැයි මම විශ්වාස කරමි.

 

 

Comments