විලා­සි­තා­මය මානව දයා­ව­කින් ඔබ්බට... | Page 2 | සිළුමිණ

විලා­සි­තා­මය මානව දයා­ව­කින් ඔබ්බට...

මානවයා තුළ මානව දයාව ඉස්මතු විය යුත්තේ ස්වකීය පාර්ශ්වකරුවන් වෙත - එනම් මිනිසුන් වෙත පමණක් ම ද යන කුකුස, මානව හිමිකම් හා මානව දයාව ගැන කෙරෙන බරසාර කතාබහ සංවාද, ලිපිලේඛන දකින-කියවන අප තුළ වරින් වර අවදි ව නැගෙයි. අප පෙනී සිටිය යුත්තේ අපගේ ම පාර්ශ්වකරුවන් වෙනුවෙන් පමණක් නම් සිංහල මිනිසා සිංහලයා වෙනුවෙන් අවි අත දැරීමත් ද්‍රවිඩ මිනිසා, ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් හා මුසල්මානුවා මුසල්මානුවන් වෙනුවෙන් සටන් කිරීමත් සාධාරණීකරණය කිරීමට ය, අපට සිදුවන්නේ.

‘මම මර බියෙන් ගැහෙමින් සුසාන භූමිය තුළට වදිමි. සඳඑළියේ සොහොන් කොත් අතරින් රිංගායමින් ආදාහනාගාරයේ සීතල සිමෙන්ති පොළොව මත දිග ඇදෙමි. මහත් වූ සුවයක් මගේ සිතටත්-ගතටත් දැනෙයි. මිනිසුන් සුසාන භූමිවලට දක්වන හුඹස්බිය මට තේරුම් ගත නොහැකි ය. මිනිසුන්ගේ කෲර ප්‍රහාරයෙන් ගැලවීම සඳහා මා සැමවිටම දිව එන්නේ සුසානයේ මළවුන් වෙතට ය. අප කිසිදු බියක්, සැකක් ඇති කර ගත යුතු නොවන්නේ මළ මිනිසාට ය. මළ මිනිස්සු බොරු නොකියති. බොරු නොකරති. ඔවුන් කිසිවකු බිය ගන්වන්නේ හෝ ඝාතනය කරන්නේ හෝ නැත. මිනිසාගේ අතිමහත් වූ නොදන්නාකම, නොතේරුම්කම, අඥානකම මැනවින් ප්‍රකට කරන්නේ මළමිනියකට ඔහු දක්වන මේ අනියත බියයි. අනෙකා ගැන, අනෙකාගේ දුක් වේදනා ගැන අබමල් රේණුවක තැකීමකින් තොරව සභ්‍යත්වය හා උරුමය ගැන පාරම්බාන එකම සතා නම් මිනිසා ය. අනුන්ගේ මිනීවල මත ප්‍රීතිසාද පවත්වමින්, දයාව-කරුණාව හා ෙමෙත්‍රීය ගැන කතාකරන්නට තරම් දැඩි හා චපල සිතක් ඔහු සතු ය. මා එසේ කියන්නේ ඔවුන් ආගමික හා ජාතික උත්සව අවස්ථාවලදී උත්සවකාරීව සතුටු වන්නේ වීථි සුනඛයන් වන අප බිහිසුණු ලෙස බිය වද්දමින් ම වන නිසා ය. ඒ වෙඩිහඬ, රතිඤ්ඤා හඬ විසින් දෙදරවා හරිනු ලබන්නේ අපේ කන්අඩි නොව හදවත් බව ඔවුහු ඉතා හොඳින් දනිති.‘

ඉහතින් දැක්වෙන්නේ සුනඛයකු වස්තු විෂය කොටගනිමින් මා ලියූ කෙටිකතාවක ආරම්භක ඡේදයයි. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් මේ කතාව කියන්නේ වීථි සුනඛයෙකි. මේ කෙටිකතාව සඳහා මට උත්තේජනය සැපයුවේ පසුගිය අලුත් අවුරුදු සමයක පුවත්පත්වල පළ කර තිබූ එක්තරා ප්‍රචාරක දැන්වීමකි. බියපත්, ඉතා අසරණ වීථි සුනඛයකුගේ මුහුණ ද සමගින් එහි ලියැවී තිබූ ලොකු අකුරුපෙළ මගේ මතකයේ පැළපදියම් වූයේ ගලේ කෙටූ අකුරු සේ ය.

‘ඔබේ විනෝදය අපේ භීතියයි’

මෙසේ කී පමණින්, මේ දැන්වීම පළ කළේ ෙපෟද්ගලික ආයතනයක් ද? රාජ්‍ය නොවන සංවිධානයක් ද? එහි අරමුණු කවරේ ද? ආදි වශයෙන් ඉමක් කොනක් නැති ප්‍රශ්න වැලක් මතුවන්නට ඇති ඉඩකඩ බොහෝ ය. ඒ කිසිවක් අපට අදාළ වන්නේ නැත.

ඊතලයක් මෙන් අපගේ හදවත් පසාරු කළේ මේ දැන්වීමට පෙනී සිටි අහිංසක සුනඛයාගේ සෝබර මුහුණ ම ය. ඒ වදන් ඔස්සේ විදාරණය වූ සත්ත්ව අවිහිංසාවේ ගැඹුරු පණිවිඩය අප තුළට ගැඹුරින් ම කාවැදුණ බව මෙසේ සටහන් කර තබන්නේ ඒ නිසා ය.

සෑම උත්සව අවස්ථාවකදී ම පාහේ (දැන් දැන් ආගමික ශාස්තෘෘන්ගේ ජන්ම දිනයන්හි පවා) රතිඤ්ඤා, වෙඩි පුපුරවන්නට මිනිසුන් යොමු වන්නේ කවර අරමුණක්, කෙබඳු සංතුෂ්ටියක් සාක්ෂාත් කරගැනීමට දැයි මම බොහෝ විට කල්පනා කර ඇත්තෙමි. තවමත් මට ඊට සරිලන සාධාරණ පිළිතුරක් සොයා සපයා ගත හැකි වී නැත. මෙකල වෙසක් පෝය දිනයන්හිදී පවා දන්සලක් හෝ තොරණක් විවෘත කරන්නට පැමිණෙන දේශපාලනඥයා හෝ ව්‍යාපාරිකයාගේ සම්ප්‍රාප්තිය සටහන් කිරීමට මහා ශබ්ද පූජාවක්, වෙඩි වරුසාවක් නිකුත් කෙරෙනු ඇසෙයි. කන්අඩි පුපුරවන සුලු මේ මහා ශබ්ද තිරිසනාට කෙසේ වෙතත් මිනිසාට ලබා දෙන වින්දනය, ප්‍රමෝදය කුමක් දැයි මා අනේකවාරයක් සිතා බලා තිබේ. මෙකල ඉතා උස්හඬින් මුදාහැරෙන මෙගා වේගරිද්ම සංගීත එක්තරා ශබ්ද දූෂණයකි යි කීව ද ඊට කිසියම් රිද්මයක් ගැබ් කර ඇති බව සැලකිය යුතු ය. එහෙත් උන්හිටිහැටියේ පුපුරා යන වෙඩිල්ලක ඇත්තේ කවර නම් රිද්මයක් ද? ඉන් කවර නම් වින්දනයක් ලැබෙන්නේ ද යන්න කොයි අතටවත් සිතාගත නොහැකි ය.

මිනිස් හා සත්ත්ව ඝාතන සඳහා යොදා ගැනෙන උණ්ඩයක කාලකණ්ණි හඬ මිනිසුනට කන්කළු විය හැකි නොවේ.

සුනඛයෝ ගිනිකෙළිවලට බිය වෙති. රතිඤ්ඤා හඩ, වෙඩි හඬ අසා බිය වැද දිවයන අතරේ ඔවුහු බොහෝ අනතුරුවලට මුහුණ දෙති. විශේෂයෙන් ම මේ අවදානමට මුහුණපාන්නේ වීථි සුනඛයන් ය. සුනඛයාට ස්වභාවයෙන් ම ශබ්ද දරා සිටීමේ අපහසුතාවක් පවතින බව මිනිස්සු දැන සිටිති.

උත්සව සමයේදී ගිනිකෙළි හේතුවෙන් තුවාල ද සමඟ රෝහල්ගතවන මිනිසුන්ගේ සංඛ්‍යාව ගැන වෛද්‍යවරු සාක්ෂි දරති. එහෙත් දිගින් දිගට ම ගිනිකෙළි සෙල්ලම සිදු වෙයි.

රතිඤ්ඤා හඬ, වෙඩිහඬ සුනඛයන්ට කරන අහිතකර බලපෑම වැනි නොවැදගත් සොච්චම් කතා සඳහා පත්තර පිටු මිඩංගු කළ යුතු ද යන ප්‍රශ්නය මෙහිදී මතුවිය හැකි ය. ඒ ගැන කිසිවක් ම නොකියා (ඊට පිළිතුරක් වශයෙන්) මෙහිදී අප සටහන් කර තබන්නේ විසිවන සියවස අගභාගයේ කොළඹ එල්ෆින්ස්ටන් රඟහලෙන් මතු ව නැගුණ එක්තරා හඬක් පිළිබඳ පුවතකි.

ලෝක ජල දිනය නිමිත්තෙන් මෙම රඟහලේ එදා පැවැති උළෙලක ප්‍රධාන ආරාධිතයා වූයේ එවකට අගමැති ව සිටි රණසිංහ ෙප්‍ර්මදාස මහතා ය. මනා ලෙස සැකසූ වේදිකාවත්, දර්ශනීය ලෙස සැරසූ ශාලාවත්, බැලූබැල්මට ම සිත්ගන්නාසුලු වූවේ ය.

මේ අතර වේදිකාවට අතුරා තිබූ බුමුතුරුණේ කොනක් යාන්තමින් නැවී තිබුණ ද උත්සව සංවිධාකයන්ගේ දෑස්වලට හෝ එය යොමු වී තිබුණේ නැත. මේ ඇදය එකඑල්ලේ ම පෙනුණේ අග්‍රාමාත්‍යවරයාට ය. එය පෙන්වා දුන් අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේ ය.

”දැං මෙතන ඉන්න හැමෝටම හිතෙන්න බැරි නෑ රටේ අගමැතිට වෙන වැඩ නැද්ද කියල. මේ අගමැතිකම අරං ඉන්නේ කාපට්වල ඇද-කුද හරිගස්සන්න ද කියල. හැබැයි එක දෙයක් මතක තියා ගන්න. මහ නැව් ගිලෙන්නෙ, මූදුබත් වෙන්නේ පොඩි හිල්වලින්.”

වෙඩි පුපුරන හඬ ගැන මෙන් ම මානව දයාව සම්බන්ධයෙන් ද අපට කියන්නට ඇත්තේ මේ කතාව ම ය. මෙහිදී අපගේ ඉලක්කගත අරමුණ වන්නේ මානව දයාව අලුතින් ව්‍යවච්ඡේදනය කිරීම ය. මිනිසා සතු විය යුතු අත්‍යාවශ්‍ය ගුණාංගයක් වෙතත් මානව දයාව ඕපපාතික ව පහළ වන්නේ නැත. අතුරු පලයක් ලෙසින් හෝ එය හටගන්නේ ළතෙත් ගුණය නුසුන් වූ හදවත් තුළ ය.

මානවයා තුළ මානව දයාව ඉස්මතු විය යුත්තේ ස්වකීය පාර්ශ්වකරුවන් වෙත - එනම් මිනිසුන් වෙත පමණක් ම ද යන කුකුස, මානව හිමිකම් හා මානව දයාව ගැන කෙරෙන බරසාර කතාබහ සංවාද, ලිපිලේඛන දකින-කියවන අප තුළ වරින් වර අවදි ව නැගෙයි.

අප පෙනී සිටිය යුත්තේ අපගේ ම පාර්ශ්වකරුවන් වෙනුවෙන් පමණක් නම් සිංහල මිනිසා සිංහලයා වෙනුවෙන් අවි අත දැරීමත් ද්‍රවිඩ මිනිසා, ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් හා මුසල්මානුවා මුසල්මානුවන් වෙනුවෙන් සටන් කිරීමත් සාධාරණීකරණය කිරීමට ය, අපට සිදුවන්නේ. එහෙත් මානව දයාව යැයි කියන්නේ අතර මගින් පටන්ගැනීමක් හා අතරමගින් නතරවීමක් නොවේ.

දයා කරුණාව සියලු සප්‍රාණික ජීවීන් කෙරෙහි එක සමානව ම නොවෙතත් කිසියම් ප්‍රමාණයකින් හෝ පතුරුවා හැරීමට මිනිසා අසමත් වන්නේ නම් එය මිනිස්කම ලෙස හඳුනාගැනීමට අසීරු ය. තිරිසන් සතුන් පිළිබඳ ළතෙත් ගුණයෙන් තොර වූවකුට මිනිසුන් කෙරෙහි සැබෑ දයාවක් කරුණාවක් වගා-දිගා කර ගත හැකි යැයි අදහන්නට අපට නොහැකි වන්නේ ඒ අනුව ය. මස් පිණිස තිරිසන් සතකු ඝාතනය කිරීමේ හැකියාව ලැබූවකු තුළ මනුෂ්‍ය ඝාතනයක යෙදීමේ හැකියාව ඒ සම්භාවිතාව ඉහළ අගයක් ගන්නා බව විශ්වාස කරන්නට ඕනෑම කෙනෙකුට සිදුවෙයි.

සැබෑ මානව හිතවාදියා යනු සමස්ත ජීව පද්ධතියට ම කරුණාව දක්වන්නා යැයි අප කියන්නේ ආගමික මතවාදයක් උළුප්පා දැක්වීමට නොවේ.

ඉවුම්-පිහුම් සඳහා සත්ත්ව මාංස කැබලි කරන ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් පෙනී යන කරුණ වන්නේ සතුන්ගේ හදවත්, අතුණුබහන්, අක්මා, අස්ථි සියල්ල, සියලූ ආකාරයෙන් තමන්ගේ ශරීරාභ්‍යන්තරයට අනුරූප වන බව ය. සිතන්නට, විමසන්නට පුරුදු-පුහුණු කළ මනසක් ඇත්තකු තුළට මේ වැටහීම් කාන්දු වන්නේ නිරායාසයෙන් ම ය. එවැනි සිතක සත්ව හිංසනයේ යෙදෙන්නට පෙළඹීමක් හටගැනෙන්නේ නැත.

මානව දයාව, සංහිඳියාව, ජාතීන් අතර සමානාත්මතාවය, පරිසර හිතකාමය ආදිය මෙකල ඉතා ඉක්මනින් සමාජය පුරා විසිර-පැතිර යන ඉතා ආකර්ෂණීය මාතෘකා ය. ඒවා සමාජයට කාන්දුවන්නේ භූමිතෙල් දෝරේ ගලායන ආකාරයට ය. මේ මාතෘකා ඔස්සේ ඕනෑම කෙනෙකුට ප‍්‍රගතිශීලිත්වයක්, වීරත්වයක් ආරෝපණය කරගැනීමට ද පුළුවන.

මෙහිදී අවධාරණයෙන් පැවසිය යුත්තේ සැබෑ මෛත්‍රී කරුණාව යනු එවැනි විලාසිතාමය මානව දයාවක් හෝ පරිසර හිතකාමයක් හෝ නොවන බව ය. තමා, මහා පරිමාණ පරිසරයේ කුඩා ඒකකයක් පමණක් බව මිනිසාට ඒත්තු යන්නේ ස්වයං ආවර්ජනීය ව, ස්වයං විවේචනාත්මක ව විමර්ශනයක යෙදුණු දාට ය. අප ජීවත් වන්නේ මිනිසා හැරුණුවිට සත්ත්ව ලෝකය, ජල ලෝකය හා ශාඛ ලෝකය ලෙස නම් කළ හැකි මූලික සාධක තුනකින් සමන්විත ලොවක බව තේරුම් යන්නේ එවිට ය. මානව දයාව ළඟ නැංගුරම් ලන්නට මිනිසාට නොහැකි වන්නේත් ඒ අනුව ය.

මිනිස් පරිභෝජනය සඳහා මාංස නිෂ්පාදනය, මේ වන විට ලෝකයේ කර්මාන්තයක් බවට පත් වී ඇති බව සැබෑ ය. බෞද්ධ (එසේ යැයි කියාගන්නා) ශ්‍රී ලංකාවේ ද දෛනිකව දහස් ගණනින් සත්ත්ව ඝාතන සිදුවන බව ද නිබොරු ය. මෙහිදී අපගේ විශේෂ අවධානය යොමු වන්නේ සත්ත්ව ඝාතනය හෝ මාංස භක්ෂණය පිළිබඳව ම නොවේ.

සතත්ව ඝාතනය සඳහා යොදාගැනෙන අතිඅමානුෂික ක්‍රියාකාරකම් කෙරෙහි ය. එක්තරා ගව ඝාතකාගාරයක පොලූ (හෝ පොරෝ) පහර කා වැතිර සිටි අසරණ ගවයින්ගේ දෑස්වලින් කඳුළු ගුලි කඩා හැළෙමින් තිබූ බවත් ඔවුන් එකවර මරා නොදමන්නේ ඇයි දැයි ඇසූ විට ඝාතකයා දුන් අති අමානුෂික පිළිතුරත් මෑතකදී මා දැනගත්තේ ප‍්‍රකට පරිසරවේදියකු වෙතිනි. ඝාතකයා ඔහුට සිනාසෙමින් කියා ඇත්තේ ‘අපි අනිත් වැඩ ටික ඉවර කරලා එනකොට මේගොල්ලා මැරිලා’ යි කියා ය. (සත්තව ඝාතකාගාරවලදී ක්‍රියාත්මක වන මේ අතිඅමානුෂික ක්‍රියා වෙනුවෙන් හඬක් නැගීම මානව හිතවාදීන්ගේ කාර්යභාරයේ වපසරියෙන් ඔබ්බෙහි පවතින්නක් දැයි පුදුම සිතෙන්නේ මෙවිට ය.)

අප ජීවත්වන්නේ තාක්ෂණික යුගයක ය. ජාත්‍යන්තර වාදී සමාජයක ය. අතීත රාජ්‍යපාලන කාලවකවානු මෙකල අප සලකන්නේ (සාමාන්‍යයෙන්) නොදියුණු පාලන ක‍්‍රම පැවැති යුග ලෙස ය. සත්ත්ව ඝාතනයට වැටබැදෙන ‘මාඝාත’ නීතිය එකල ක්‍රියාත්මක වූයේ මේ නොදියුණු බවේ එක්තරා ලක්ෂණයක් ලෙසින් යැයි කෙනෙකුට කිව හැකි ය.

කෙසේ වුව ද මේ රටේ වාර්තාගත මුල් ම අභයභූමිය වූයේ ක්‍රි. පූ. 240 දී පමණ දේවානම්පියතිස්ස රජු විසින් ප්‍රකාශයට පත් කළ මහාමේඝවන නොහොත් මහමෙව්නාව ය. මහසෙන්, මහපැරකුම්බා වැනි රජුන් විසින් පවා ස්ථාපිත කරන ලද අභයභූමි මේ රට තුළ එකල ස්ථාපිතව පැවතුණ බව අපි දැන සිටිමු. මේ රටේ වැසියන් එදා ගවමස් නොකෑවේ යැයි (එදා හෙළදිව) කෘතියෙන් ප්‍රකාශ කර සිටින්නේ රොබට් නොක්ස් ය. අප වඩාත් ශිෂ්ට සම්පන්න මිනිසුන් වූයේ නොදියුණු යුගයේ ද දියුණු යුගයේ ද යන්න විමසීම පසෙක තබා වඩාත් සභ්‍ය වූත් දයාබර වූත් මිනිසුන් වෙසෙන අනාගත ලෝකයක් ගැන උපකල්පනය කරමින් ආතර් සී. ක්ලාක් නම් වූ විද්‍යාඥයා ලියූ කෙටිකතාවකින් (කෙටිකතාවකින් ම ආරම්භ වූ) මේ ලිපිය සමාප්ත කිරීම ය, අපගේ අරමුණ වන්නේ. The food of the Gods (දෙවියන්ගේ කෑම) නම් වූ ඒ කෙටිකතාවේ සාරාංශගත කළ කොටසකි පහතින් දැක්වෙන්නේ. (මේ කෙටිකතාවේ ප්‍රාත්‍ර වර්ගයා ජීවත්වන්නේ මීට අවුරුදු 500 කට පසු උදාවන ලෝකයෙහිය)

චන්ද්‍රයා ඇතුළු අනෙකුත් ග්‍රහලෝක ජනාවාස කිරීමේ කාර්යයේ ගැටලු රාශියකට මුහුණ දීමෙන් අනතුරුව 21 වැනි සියවසේ ජීව රසායනඥයෝ ජලයේ, වාතයේ සහ පාෂාණවල අඩංගු මූලික අමුද්‍රව්‍ය යොදාගනිමින් ඕනෑම ආහරයක් සංශ්ලේෂණය කරන ක්‍රමවේදය සොයාගනිති.

මේ වන විට ඔවුහු පෙර නොවූ විරූ ආහාර විවිධත්වයකින් ද සමෘද්ධිමත් ව සිටිති. එය සදාචාරාත්මක දියුණුවක් ද වන බව ඔවුනගේ විශ්වාසය ය. ‘අපි තවදුරටත් පණතියන සතුන්ව ඝාතනය කරන්නේ නෑ’ යි ඔව්හු අභිමානයෙන් පවසති.

‘මස්මඩුව, ඝාතකාගාරය වැනි පිළිකුල දනවන ආයතන පොළොවෙන් තුරන් වී ගිහින්’ යැයි උදම් ඇනීමට ඔවුනට පුළුවන. ඒ සමගම ඔවුන් කියා සිටින්නේ ‘සාහසික අය වුණත් අපේ මුතුන් මිත්තන් (මෙකල ජීවත්වන අප) මේ තරම් අශිෂ්ට දෙයක් සිද්ධ වෙන්න ඉඩඇරල ඇස්-කන් පියාගෙන සිටියයි කියන එක විශ්වාස කරන්නන් බැරි තරම්’ යි කියා ය. වසර 500කට පෙර විසූ ආදිවාසීන් (අප) මාංස භක්ෂණයේ යෙදීම ඔවුන් තුළ පිළිකුල දනවන සුලුය. ජනප්‍රිය අවන්හල්වල මෙන්ම ධවල මන්දිරයේ (ඇමෙරිකානු ජනාධිපති නිල නිවස) භෝජන සංග්‍රහ පිළිබඳව ද ලියැවී ඇති සියවස් 5කට වඩා පැරණි මෙනුපත් කියවන, ඔවුන් කියා සිටින්නේ ඒවා ව්‍යවච්ඡ්දන (මිනී කපන) කාමරයක් ගැන කෙරෙන කතාබහට සමාන වන බවය. වාතය, ජලය, හුණුගල්, ගෙන්දගම්, ආදිය සංශ්ලේෂණය කොට නිපදවුණ අළුත් ආහාරයක් හඳුන්වා දෙමින් මෙහිදී කතාකරන මහාපරිමාණ ව්‍යාපාරිකයෙක් කතාව ආරම්භයේදී තමා යොදාගත් ‘මාංස භක්ෂක’ නම් වූ පුරාතන වචනය වඩාත් පැහැදිලි ලෙස නිර්වචනය කරන්නේ මෙසේ ය.

ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් නම් වූ අද්විතීය ලංකා පුත්‍රයාගේ උපතින් සියවසක් සපිරුණේ මෑත දිනකදී ය. මේ විද්‍යාඥයාගේ මානුෂීය උපකල්පනයන් මෙසේ විශද වන්නේ අප මුලින් කී (වචනයෙන් නොකී) එක්තරා ම්ලේච්ඡත්වයක් පිළිබඳව ය. කෙසේ වුව ද එතුමන් උපකල්පනයක කළ ඒ අනාගත ලෝකය පිළිබඳ යම් යම් සංඥා එළි දැන්-දැන් දැල්වෙන්නේ උපතින් (නාමික වශයෙන්) බෞද්ධයන් නොවූවන්ගෙන් ම (බෞද්ධ නොවන ආයතන ද ඇතුළුව) වීම තරමක් පුදුමසහගත ය.

කිවියර පරාක‍්‍රම කොඩිතුවක්කු පසුගිය දිනෙක සිංහලෙන් පළ කළ ‘නවලොව කවි කිවිඳියන්ගේ කවි’ එකතුව වූ රතුරෝස, නිල්රෝස කෘතියේ එක් කවියක කොටසක් පමණක් මෙහිලා දක්වන්නේ එය ලියා ඇත්තේ එලිසබෙත් බිෂොප් යන අබෞද්ධ බ්‍රසිලියානු ලේඛිකාව වන නිසා ය.

ඇල්ලූවා මං

හද කලඹන යෝද මාළුවෙක්

දැමුවා බෝට්ටුවේ මුල්ලකට

යාන්තමට වතුර තිබුණ

මගේ ඇම කටුව ඇමිණිලා

පෙරළි කළේ නැහැ එයා

දැඟලුවෙත් නැහැ

එයා සැඟවුණ ශක්තිය

අල්ලාගෙන සිටියේ

විරෝධය අස්කරගෙන

ඔහුගේ ඇස්වලට මං

එබී බැලූවා

ඒවා මට වඩා ලොකුය

නොගැඹුරුය කහවන්ය

පායලා ඇත දේදුනු දේදුනු

මම මාළුවා මුහුදට ඇරලූවෙමි.

මේ අප මුලින් ද සඳහන් කළ සතුනගේ හා අපගේ සමාන වූ ශරීරාංග පිළිබඳව සංවේදි වූ මානුෂීය හදවතක් ම නොවන්නේ ද? මේ සංවේදනයෙන් යුතුව කෙටිකතා, නවකතා එළිදක්වා ඇති නාමික බෞද්ධයන් නොවන නිර්මාණකරුවන් ලෝකයේ තව කොතෙක් නම් වේ ද?

මෝස්තර නිරූපණය හා ඇඟලූම් නිෂ්පාදනය පිළිබඳ ලොව පිළිගත් ආයතනයක් වන Gucci සමාගම, ඉදිරියේදී (2018 Summer) තමන්ගේ ආයතනය සතුන්ගේ සම්වලින් හා ලොම්වලින් කළ නිර්මාණ වෙළෙඳපොළට හෝ සංදර්ශන සඳහා හෝ නිකුත් නොකරන බවට ඉතා මෑතකදී නිවේදනය කර ඇති බව විද්‍යා සඟරාවකින් මට කියවන්නට ලැබිණ.

මේ හේතුවෙන් තම සමාගමට ඩොලර් මිලියන 12ක පමණ වෙළෙඳපොළක් අහිමි වෙතත් එය පාඩුවක් ලෙස තමන් නොසලකන බව ආයතනයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ. දිගුකලක් තිස්සේ පරිසරවේදීන්, සත්ත්ව විද්‍යාඥයන් මෙන් ම ප්‍රගතිශීලි මෝස්තර නිරූපිකාවන් හා සැලසුම් ශිල්පී-ශිල්පිනියන් ද මේ සඳහා පසුබිමක් නිර්මාණය කර ඇති අතර මේ පියවර ගෙන ඇති ලෝකයේ එකම ආයතනය Gucci සමාගම නොවේ.

කෙසේ වෙතත් ඔවුන් අනුකරණය කිරීමට නොව තමන්ගේ ම ඇසින් ලෝකය බැලීමටත්, ලාභ-පාඩු මනින එක ම මිම්ම රුපියල් ශතවලට ඔබ්බෙන් ද වන බව හඳුනාගැනීමටත් 2018 දී අපගේ සහෝදර රටවැසියන්ටත් හැකිවේවා! යි 2018 වසර වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඒ හා සමඟින් ඝාතන අපරාධ මෙන් ම වෙඩිහඬ හා රතිඤ්ඤා හඬ ද අවම විය හැකි බව අපගේ විශ්වාසයයි.

 

Comments