
ඔහු සමානත්වය අගය කළ ‘පොදු’ මිනිසෙකි. මොන තරම් උසස් තානාන්තර දැරූවද පොළවේ පය ගසා ජීවත්වීම ඔහුගේ ජීවන ප්‍රතිපත්තිය විය. අටලෝ දහමට අනුව සිතීමට හුරු වීම නිසා ම ජීවිතයේ දී මුහුණ දෙන සියලුම ආකාරයේ අභියෝගයන් දෙස උපේක්ෂා සහගතව බැලීමට ඔහු පුරුදුව සිටියේ ය. බුදු දහමෙන් ලැබුණු ආභාසය ඒ සඳහා ඔහුට දායක වූවාට සැක නැත. සෑම විටම ඔහුගේ මුහුණෙන් දිස් වූ ශාන්ත බව මානසික දියුණුව පෙන්වන කැඩපතක් වැනි විය.
දෙසැම්බර් 31 වැනි දිනට යෙදී ඇති දේශබන්ධු ඇලෙක් රොබට්සන් මැතිඳුන්ගේ 15 වැනි ගුණ අනුස්මරණය වෙනුවෙනි.
මනස පිළිබඳවත්, මනසෙහි ගැබ්ව ඇති අද්විතීය ශක්තිය පිළිබඳවත් එතුමා නිරන්තරයෙන් ම තම දැනුම බෙදා දුන්නේ ය. අප විසින් හඳුනා ගැනීමට උත්සුක නොවැනි එහෙත් අප සතු මහා බලය චිත්ත ශක්තිය බවත්, එවන් ශක්තියක් වැඩි දියුණු කර ගැනීමට අපට ඇති හොඳම මාර්ගය බුදු දහම බවත් එතුමා කියා දුන්නේ ය. බටහිර මනෝ විද්‍යාවට ප්‍රවේශ විය නොහැකි සියුම් ස්ථානයන් ස්පර්ශ කරමින් භෞතිකත්වයේ ‘පුහු’ බව එතුමා ලොවට හෙළි කළේ ය. එනිසාම එතුමා අපට අනගි ජාතික සම්පතක් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ සටහන ලියැවෙන්නේ දේශබන්ධු ඇලෙක් රොබට්සන් නම් ඒ මහා ප්‍රාඥයා ගැන ය.
ඇලෙක් රොබට්සන් මහතා දැයටත්, විශේෂයෙන් බුදු දහමටත් සිදු කළ අනුපමේය සේවාව අගය කරමින් වප් මස 30 වැනි දින විශේෂ සමරු මුද්දරයක් නිකුත් කෙරේ. දැයේ වාසනාවට බිහිවූ මේ පඬිරුවනගේ අසූපස් වැනි උපන් දින සැමරුමත්, අභාවප්‍රාප්ත වී වසර 10 ක් සැපිරීම වෙනුවෙන් වෙන ගුණ සැමරුමත් හේතු කොට ගෙන එවැනි ගුණ ඇගයීමක් කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවකි.
ඇලෙක් රොබට්සන් මහතා ගම්පොළ දී උපත ලැබුවේ වුව ද ‘ස්කොට්ලන්ත’ ජාතිකයෙකි. ඉතා චතුර ලෙස සිංහල සහ ඉංග්‍රීසි භාෂා කතා කිරීමට හැකියාවක් තිබූ ඔහුට පාලි, සංස්කෘත හා ලතින් භාෂා ගැන ද ඒ හා සමාන දැනුමක් තිබුණි. බෞද්ධ දර්ශනයට අදාළව ලියැවුණු වැදගත් පොත් කිහිපයක්ම ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම අප රටට දායාද වූයේ ඔහුගේ මේ හැකියාව නිසාම ය.
ඔහු සමානත්වය අගය කළ ‘පොදු’ මිනිසෙකි. මොන තරම් උසස් තානාන්තර දැරූවද පොළොවේ පය ගසා ජීවත්වීම ඔහුගේ ජීවන ප්‍රතිපත්තිය විය. අටලෝ දහමට අනුව සිතීමට හුරු වීම නිසා ම ජීවිතයේ දී මුහුණ දෙන සියලුම ආකාරයේ අභියෝගයන් දෙස උපේක්ෂා සහගතව බැලීමට ඔහු පුරුදුව සිටියේ ය. බුදු දහමෙන් ලැබුණු ආභාසය ඒ සඳහා ඔහුට දායක වූවාට සැක නැත. සෑම විටම ඔහුගේ මුහුණෙන් දිස් වූ ශාන්ත බව මානසික දියුණුව පෙන්වන කැඩපතක් වැනි විය. බුදු දහම ගැන දොඩමලු වීමට දුගී දුප්පත් පැලක්, රජ මැඳුරක් ඔහුට එක හා සමානවිය. බුදුදහම ප්‍රචාරය සඳහා ඔහු රට රටවල සංචාරය කළේ ය. පසු කලකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කෙරුණේ ද බුදු දහම ප්‍රචලිත කිරීම උදෙසා ඔහු කළ කැප වීම අගය කිරීමක් වශයෙනි. බුද්ධ ශාසන ‘සුප්‍රීම් කවුන්සිලය’ නියෝජනය කිරීමට තෝරාගත් එකම සහ පළමු ගිහියා වීමේ භාග්‍යය ලැබුවේ ද මේ නිසාම ය.
එතුමන් විසින් රචනා කරන ලද ‘Is Nibbana Extinction’ (නිර්වාණය ශුන්‍ය ධර්මයක් ද) හා (Nibbana Happiness Supreme’ (නිවන පරම සැපත වේ) යන නිබන්ධන ද්විත්වය කියවීමට මට හැකියාවක් ලැබුණි. බහුතරයක් බෞද්ධයන්ට ද යථාවබෝධයක් නැති විෂයයන් වන නිර්වාණය පිළිබඳව බුදු දහම ගැන මනා අවබෝධයක් නැති අෙයකුට වුව ද කියවා තේරුම් ගත හැකි විලාසයකින් ඔහු මහා විස්තර කිරීමක් ඒවායින් සිදු කොට තිබේ. නිර්වාණය පිළිබඳව මට හමුවූ ඉතාමත් ම පැහැදිලි විස්තරය මෙය යැයි පූජ්‍ය පරවාහැර වජිරඥාන හිමියන් එම නිබන්ධන ගැන සඳහන් කළේ එබැවිනි.
නිවන පිළිබඳව කුකුසක් ඇති වූ වච්චගොත්ත පරිබ්‍රාජකයන් බුදුන් හමුවී නිර්වාණයෙන් පසු බුදුන්ට කුමක් සිදුවේ දැයි දැන ගැනීමට උත්සාහ කළේ ය. එහිදී ඇවිළෙන ගින්නක් උපමාවට ගනිමින් එය නිවී නැති වී යෑම නිදසුන් කොට කරන ලද පැහැදිලි කිරීම රොබට්සන් මහතා නිවන විස්තර කිරීමට මනා ලෙස යොදා ගෙන තිබුණි. නිර්වාණය යනු පූර්ණ ශුන්‍ය තත්ත්වයක් යැයි සමහරෙක් තුළ පවතින අනවබෝධය නිවැරදි කිරීම වස් එතුමන් විසින් විවිධ මූලාශ්‍රය ඇසුරෙන් හොඳින් කරුණු ඉදිරිපත් කොට තිබේ. එවැනි ගැඹුරු විෂයයක් විස්තර කිරීමේදී පවා ඔහු තම ලියැවිල්ලේ මුල් භාගය වෙන් කරන්නේ කොයි කාටත් තේරුම් ගත හැකි සරල විග්රහයක යෙදීමට ය. එහිම පශ්චිම භාගය ඔහු විසින් යොදා ගනු ලබන්නේ සංකීර්ණ විෂය කොටස් අනුසාරයෙන් බුද්ධිමත් අයවලුන් විසින් අධ්‍යයනය කළ කරුණු විස්තර කිරීමට ය. මේ සමතුලිත බව රැක ගැනීමෙහිලා ඔහු දක්ෂ ලේඛකයෙකි.
මිනිස් සිත අභ්‍යන්තරයේ අගුළු වැටී හිරවී තිබෙන බලවත් ශක්තිය ගැන සුප්‍රකට විද්‍යාඥ ජේ.බී. රයින් සිදු කළ පර්යේෂණ පිළිබඳව රොබට්සන් මහතා හොඳින් හදාරා තිබුණි. රයින් හෝ වෙනත් කිසිදු මනෝ විද්‍යාඥයෙක් මනසෙහි සැබෑ ස්වභාවය පිළිබඳව නිශ්චිත විග්‍රහයක් කොට නැතැයි ප්‍රසිද්ධියේ අභියෝග කිරීමට ඔහු නොපැකිලුණි. එසේ කිරීමට ඔහුට හැකියාව ලැබුණේ බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වෙන මනසේ ස්වභාවය පිළිබඳ ගැඹුරු සංකල්පයන් හොඳින් ඇසුරු කොට තිබූ බැවිනි. ලොව පහළ වූ දක්ෂතම මනෝ විද්‍යාඥයා බුදුන් වහන්සේ බව එතුමා පුන පුනා අවධාරණය කළේ එබැවිනි.
ඇලෙක් රොබට්සන් මහතා වැනි විද්වතුන් රටකට බිහි වන්නේ කලාතුරකිනි. එතුමන්ට නිවන් සුව අත්විය යුතු බව සැබෑය. එෙහත් ඔහු නිවන් දක්නා ජාති දක්වා අප රටේ ම උපදිවා යැයි පතමි.