මඟ දෙපස සිතුවම් මවන සිත්තර පාරාදීසය | Page 2 | සිළුමිණ

මඟ දෙපස සිතුවම් මවන සිත්තර පාරාදීසය

විහාරමහා දේවී උද්‍යානය වසා පැතිරුණු වෘක්ෂ දේවතාවන් සිය අඟපසඟ ලෙළවමින් සරතැසින් දැවෙන ගත සනහලයි. පසුගිය දිනක වර්ෂාධිකව හමා ආ චණ්ඬ මාරුතය හේතුවෙන් මේ පණ ඇති දෙවිවරු ගිලි හී වැටුණහ. ඔවුහු පොළොව මිහිකත තුරුළෙහි සැතපී අවසන් සුසුම් හෙළූහ. කොළඹ නගරය පුරා උසට උසේ ඉදිවන ජේත්තුකාර ගොඩනැඟිලි මොකක්දෝ ජුගුප්සා ජනක හැඟීමක් පමණක් ශේෂ කර සංවර්ධනයේ ආශ්චර්ය මේ යැයි පවසනවාක් වැන්න. සරතැස වියරුවෙන් නළියන කල කිසිදු සිසිලසක් නොගෙනෙන මේ ජේත්තුකාර කොන්ක්‍රීට් වනාන්තරය තුළ සැමට පොදුවේ ආශ්වාදය කළ හැකි කිසිවක් තවත් ඉතිරිව නැති සේය. ඉතිරිව ඇති නම් ඒ, ඉහළ නැඟි නාස්පුඩු සිර කරන දූවිලි වලාවෙන් හා කාබන් දුමාරය පමණය.

මම විහාරමහාදේවී උද්‍යානයේ පදික වේදිකාව දිගේ ආනන්ද කේ. කුමාරස්වාමි මාවත දෙසට ගමන් කළෙමි. රොස්මිඩ් පෙදෙස, බාන්ස් පෙදෙස, වෝඩ් පෙදෙස ආදී යටත් වැසි මනෝභාවය උද්දීපනය කරන නම් අතර ආනන්ද කේ කුමරස්වාමී නාමය මොනතරම් නම් ආශ්වාද ජනකදැයි සිතේ. ‘මධ්‍යකාලීන සිංහල කලා‘ නමැති කෘතිය රචනා කරමින් හෙළ කලාව ජාත්‍යන්තර ලෝකයට ගෙන ගිය ප්‍රාඥයකු පිළිබඳ මතකය අවධි කරන අතර ජාතිවාදී ගෝත්‍රික මනෝභාවය වෙනුවට ලාංකේය ජාතියක් පිළිබඳ හැඟීමක් ද ඒ තුළින් ජනිත කරයි. එසේම තිබියදී පසුගිය රජය සමයේ, මේ මාවතින් ආනන්ද කේ. කුමාරස්වාමි නාමය ඉවත් කර මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රඟහල මාවත ලෙස නම් කළේය. මීට එරෙහිව ස්වාධීන කලාකරුවන් කොතෙකුත් හඬ නැගූවද එය තඹයකට මායිම් නොකළ පාලකයින් සිය දුහුණු භාවය පමණක් නොව ආඥාදයකත්වයේ කෘරත්වය ද මොනවට ප්‍රදර්ශනය කළේය. ඇත්තෙන්ම එය මොනතරම් අමනෝඥ ක්‍රියාවක් ද.

අප සතුව පවතින ජාතික සමගිය ඉස්මතු කළ හැකි අවස්ථා ඉතා විරලය. එසේම සංස්කෘකතිකමය වශයෙන් ජාතික සමඟිය තීවුර කළ හැකි අවස්ථා ද විරලය. එවැනි පසුබිමක් තුළ මෙවැනි දෑ සිදු කිරීම උචිත නොවන්නකි. සෞන්දර්ය පිළිබඳ මෙලෝ විඥානයක් නැති පාලකයින් පත් වන විට ඒ මුළුමහත් සමාජ දේහයම අඳුරු අාගාධයකට ගමන් අරඹන බව ප්‍රත්‍යක්ෂ කාරණයකි. ලෝක මානව සමාජ විසින් ඒ බව කොතෙක් නම් ප්‍රත්‍යක්ෂ කර ඇතිද? කලාසෞන්දර්ය නොමැති සමාජයක හුදු වෛරී මනෝභාවයන් ඇති මිනිසුන් මිස මානව දයාවෙන් පිරිපුන් සෞවන්දර්යකාමී රස මනසක් සහිත මිනිසුන් කෙසේ නම් පැවතිය හැකිද. ඒ අත් වැරැද්ද වත්මන් පාලකයන් විසින් නිවැරදි කරමින් නැවත ඒ මාවත ආනන්ද කේ කුමාරස්වාමි නාමය යටතේ ලියා තැබීම ගැන මුළුමහත් ජාතියේම කෘතඥතාවය හිමි විය යුතුය.

සිතුවිලිවල නිමග්නව ආනන්ද කේ කුමාරස්වාමි මාවත පිය මැන යන විට හමුවන්නේ ජෝන් ද සිල්වා සමරු රඟහලය. කලකට ඉහත ජොන්ද සිල්වා සමරු රඟහලේ රාජ්‍ය නාට්‍ය උලෙළ නරඹා, කැන්ටිමෙන් ප්ලේන්ටියක් බී අප යන්නේ විහාර මහා දේවි උද්‍යානයටය. එදින නැරඹූ නාට්‍යය පිළිබඳව කෙස් පැලෙන තර්ක විතර්ක අතරින් මනස පිබිදෙන විට සිතට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි. ඒත් අද අපේ වරිගේ වුන්ට හෝ නවකයින්ට හෝ නෙළුම් පොකුණේ නාට්‍යය පෙන්විය හැකිද? අනුග්‍රාහකයින් සොයාගෙන කෙසේ හෝ පෙන්වුවද එය නැරඹිය හැක්කේ කීයෙන් කීදෙනාටද. එය වෙනමම පන්තියකට විවර කර අවශේෂ සමාජ කොටස්වලට අගුලු ළා ඇත්තේ හමුදාමය පාලනයක් සහිතවය.

ජෝන්ද සිල්වා රඟහල පසුකරත්ම නටබුන් වූ ජාතික කලා භවන නෙත ගැටේ. ඇත්තෙන්ම එය දැන් කෞතුක වූ ගොඩනැගිල්ලකි. සීලිම දිරාගොස්ය. වැසි සහිත කාලවල එහි සිතුවම් ප්‍රදර්ශනයක් පවා පැවැත් විය නොහැකිය. ඒ තුළ තබා ඇති මෙරට සිත්තරුන් ඇඳි ලෝක ප්‍රකට සිතුවම් විශාල ප්‍රමාණයක් විනාශ වී ගොසිනි. දිනක් සුගතපාලද සිල්වා නම් සොඳුරු ආඥාදායකයා පවසා සිටියේ, “ඔහු මිය ගිය දිනක ජාතික කලාභවනට සිය දේහය රැගෙන නොයන ලෙස”යි. මන්ද එය ඇත්තේ සිතුවම් දැක්වීමට මිස මියගිය කලාකරුවන්ගේ දේහයන් තැබීමට නොවන බව හේ උදක්ම විශ්වාස කළේය. එහෙත් අදත් එහි කලාකරුවන් මියගිය පසුව මළමිනී ප්‍රදර්ශනය කරන තැනක් බවට පත්ව ඇත. එය කලා කරුවන්ට දක්වන ගෞරවයක් නොව අවමානයකි. මෙවැනි දේ මතුවට නොවීම සඳහා ප්‍රතිපත්ති සකස් විය යුතු කාලය එළඹ තිබේ. මෙය සංස්කෘතික අමාත්‍යංශයේ අවදානයට ලක් විය යුතු කාරණයකි.

මෙරට කලාව සෞන්දර්ය පෝෂණය කළ රජවරුන් කොතෙකුත් සිටියද කෞතුකාගාරයේ පිටුපස නැති නම් ජාතික කලාභවන පසෙකින් දිස්වන්නේ සිත්ගන්නා අයුරින් නිමවා තිබෙන යටත් විජිත සංකේතය වූ රැජිනගේ පිළිරුවකි. එය කොතෙක් දුරට එතැනට ගැළපෙන්නේදැයි කල්පනා කර බැලිය යුතුය. එය පරණ පාර්ලිමේන්තුව නැති නම් වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපස සවිකිරීම වඩා යෝග්‍යවේ. මන්ද මෙම වීදිය පසු කර යන විට ඊළඟට අපට හමුවන්නේ මහවැලි කේන්ද්‍රය හා නව නගර ශාලාය. එනිසා රාජකීයකුට වඩාත්ම උචිත ස්ථානය පරණ පාර්ලිමේන්තු උද්‍යානය යි. මා එලෙස පවසන්නේ කකියන ජාතිකවාදී හැඟීමකින් ඔද්දල් වී නොවේ. ඒ පිළිරුව එතැන තැබීම කෙතරම් උචිතද යන්න මතුකිරීමට පමණය. ඇයට නිසි ගෞරවය හිමි වන්නේ එවිටය.

මම ජාතික කලාභවන පසු කර පදික වේදිකාව දිගේ ඉදිරියට ඇදුනෙමි. අජලීකරණීයව ගිය දෙනෙත් කිසියම් අපූරු වර්ණාලෝකයක් මැද අනිමිස විය. හිස් අවකාශයේ මඟ දෙපස කලාගාරයක් නිමවා ඇති සේය. මෙතෙක් කලක් පදික වේදිකාවේ හා ඒ අසල පිහිටි වැටවල්වල සිතුවම් ප්‍රදර්ශනය කළ පිරිස විධිමත්ව සැකසූ කුටි තුළ සිය නිර්මාණ ප්‍රදර්ශනය කරයි. සතුටෙහි නිමග්නව මම එදෙසට ඇදුනෙමි. මම වීදි සිත්තරුන්ගේ සංගමයේ වත්මන් නියමුවාලෙස කටයුතු කරන ඒ. සී. නුවන් සිත්තරා හා දොඩමලු වු‍ෙණමු.

ඔයාල මෙතෙන්ට මේ විදියට එකතු වුණේ කොහොමද? “අපි 2000 දි විතර සිතුවම් ශිල්පීන් විදියට මෙතෙන්ට එකතු වුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ ඒ වෙනකොට ඩිජිටල් මුද්‍රණ තාක්ෂණය වේගයෙන් පැතිරීමත් එක්ක සිත්තරුන්ට සිය ආර්ථිකය අහිමි වීම. මේ පිරිස චිත්‍රයක්, ප්‍රදර්ශන පුවරුවක් ඇඳල කීයක් හරි හොයාගත්ත උදවිය. ඒ අය තමන් ඇඳපු චිත්‍රත් අරන් පාරට ආවා. ඔය අතරේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින් පොකට් මනී හොයාගන්න මෙතෙන්ට එකතු වුණා. ඒ විදියට ඇවිත් එකතු වුණු පිරිසක් තමයි මේ ඉන්නේ. මෙතන ඉන්න බහුතරයක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ අය. නමුත් ඒ වෙද්දි විශේෂ අදහසක් තිබු‍ණෙ නැහැ. මෙතන මේ විදියෙ පරිසරයක් නිර්මාණය වේවි කියල. එහෙම නිර්මාණය කරන්න ඕන කියල හිතලවත් තිබුණෙ නැහැ. මේක ඇත්තට අහඹුවක්. මෙහෙම එකතු වෙලා වැඩකරගෙන යද්දි අපිට විවිධ ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ ඒ ගැටළුවලට මුහුණ දෙන්න අපි 2006 කණ්ඩායමක් ලෙස එකතු වුණා. කොළඹ වීදි සිත්තරුන්ගේ සමාජය (Colombo Street Art Society) හැදුණෙ ඒ විදියටයි. අපේ සාමාජිකයින් ඔක්කොම හතළිහක් පමණ සිටිනවා.

මේ විදියට කයුතු කරමින් ඉන්නකොට පසුගිය ආණ්ඩුව කාළේ කොළඹ අලංකරණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වුණා. ඒ අනුව විහාර මහා දේවී උද්‍යානයේ වැටවල් ඉවත් කළා. අපේ චිත්‍ර ගොඩක් එල්ලලා තිබුණේ මේ වැටවල්වල. නමුත් වැට ඉවත් කළාට පස්සෙ ඒව එල්ලන්න තැනක් අපිට තිබුණෙ නැහැ. අපි පාරෙ අනික් පැත්තට ගියා.2008 දී ආයතන කිහිපයක් එකතු කරගෙන මේ සඳහා ක්‍රමවත් භාවයක් ලබාදෙන්න එවක සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ෆයිසර් මුෂ්තාෆා මහතා කටයුතු කළා. නමුත් ඒ අතරතුර එතුමාගේ තනතුර මාරුවී වෙනත් කෙනකු සංචාරක අමාත්‍යංශයට එනවා. එකෙන් මේ ප්‍රශ්නයට විසඳුම් නොලැබී යනවා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මහවැලි කේන්ද්‍රය අසල දිගටම රැඳී ඉන්න. ඒත් අපිට තිබුණ ලොකුම ප්‍රශ්නය වුණේ වැස්සකට යන්න තැනක් නැති වීම. ඔහොම කාලයක් යද්දි ආණ්ඩුව මාරු වුණා. නව ආණ්ඩුව බලයට ආවා. වත්මන් අග්‍රාමාත්‍යතුමා දිනක් මෙම ස්ථානයට පැමිණ තොරතුරු විමසා පැමිණ හමුවන ලෙස දන්වා තිබුණා. ඒ අනුව අපේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් ලිඛිතව භාර දුන්නා. පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා මේ කරුණ පිළිබඳව සැලකළා, ෆයිසර් මුෂ්තාෆා අමාත්‍යවරයා ඊට මැදිහත් වී නැවත මේ කටයුත්ත සඳහා කිසියම් ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා.

ඒ අනුව අප සමඟ සාකච්ඡා කර ආරම්භයක් ලෙස 2016 අපට නගර සභාව හරහා හැඳුනුම් පතක් ලබාදුන්නා. දෙවන අදියරේදී අපේ සිතුවම් ආවරණය නොවන ආකාරයට ඉදි කළ වෙළෙඳ කුටි 25ක් ඉදිකර පසුගිය 20 වෙනිදා අපේ අයිතියට පත් කළා.කොටු කරල අපේ නිදහස අහිමි කරල නෙමෙයි නිදහස් අවකාශයේ චිත්‍ර රසවිඳින්න පුළුවන් ආකාරයට මේ කුටි ඉදි කර දීලා. මෙය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතින් අපේ අයිතියට පත්කෙරුණා. මේ සඳහා ෆයිසර් මුස්තාෆා අමාත්‍යතුමා, සංචාරක අමාත්‍යවරයා හා විදේශීය තානාපතිවරුන්...ආදී නොයෙක් දෙනා සහභාගි වුණා. රජයක් විදියට ඒ කරපු උපකාරය ගොඩක් වටිනවා. මොකද මේ හරහා අපි ගැන මෙරටට පැමිණෙන විදේශීකයින්ට සංචාරක අමාත්‍යංශය හරහා තොරතුරු ලබාදෙනවා. එය පෞද්ගලිකව චිත්‍ර ශිල්පීන්ට වගේම රටේ ආර්ථිකයටත් වාසියක් අත් කර දෙනවා”.

මේ විදියට අවුරුදු 15ක් තිස්සේ වීදි සිත්තරුන් විදියට ඒකරාශී වෙලා ඔවුන් කළ මැදිහත් වීමට අද ලොකු අගයක් ලැබී තිබෙනවා. එදා පේමන්ට් ආර්ටිස්ලා කියලා ඔවුන්ව කොන් කරපු, ක්ෂෙත්‍රයේ ඇතැම් පිරිස් මේ වෙළෙඳ කුටි ලබාගන්න උනන්දුවන බවට ආරංචියක් තියෙනවා. කෙසේ වෙතත් රජයකට බරක් නොවී, හොඳ ආදායමක් උපයාගෙන රටට විදේශ විනිමය අනුපාතය ඉහළ නංවන්න සුළු හෝ දායකත්වයක් ලබාදීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.

මේ ආකාරයට රාජ්‍ය අනුග්‍රහය ලැබී ඔවුන්ගේ ආදායම් මාර්ගය ස්ථාවර වෙද්දී කිසියම් ආකාරයක ගුණාත්මක පරිවර්ථනයකට ඔවුන් ලක්වෙමින් තිබෙනවා. ඒ මෙතෙක් අළෙවිය සඳහා නිර්මාණය කරපු චිත්‍ර වෙනුවට කිසියම් ආකාරයක ආත්ම ප්‍රකාශනයන් හරහා සිතුවම්කරණයේ නියැලීමට ඔවුන් කටයුතු කරමින් තිබීමයි. එය පරිපූර්ණවශයෙන් ආත්ම ප්‍රකාශනය මූලික කරගත් පදමකට ගමන් කරාවියැයි සිතිය නොහැකි වුවත් ඒ තුළ පැවති තත්ත්වයට වඩා කිසියම් ගුණාත්මක විභවයක් නිර්මාණය කරාවි යැයි සිතිය හැකියි. නමුත් ඔවුන්ගේ මූලික පදනම ආර්ථිකයයි. ඒ අතර තුර කලා සමාජයක් විදියට කිසියම් අපූර්වත්වයකින් සිතුවම් ශිල්පය සමාජ ගත කරන්න ඔවුන් උත්සාහ ගනිමින් සිටිනවා.

ලංකාවේ බොහෝදෙනා හිතාගෙන හිටියේ සිතුවම් ශිල්පියා කියන්නෙ අනාගතයක් නැති අයෙක් කියලා. ඒ නිසා දරුවන් එවැනි දේ සඳහා මොනතරම් දක්ෂ වුවත් ඔවුන් ඉන් මුදවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතීඥයෙක්, අවම වශයෙන් කළමණාකාරවරයෙක් කිරීම මව්පියන්ගේ අරමුණ වී තිබුණා. අද මොවුන්ගේ සිතුවම් නැරඹීමට පැමිණෙන පාසල් දරුවන් ගුරුවරුන් දෙමාපියන් ඒ මතය කිසියම් මට්ටමකට වෙනස් කරගෙන. ඒ කියන්නේ තමන්ගෙ දරුවකුට සිතුවම් ශිල්පියකු වී කුඩා ව්‍යවසායකයකු ලෙස කටයුතු කළ හැකියි කියන බලාපොරොත්තුව මේ අය දැකීමෙන් ඇති වී තිබෙනවා. එය ආකල්පමය වශයෙන් ඉතා හොඳ ධණාත්මක ප්‍රවනතාවයක්.

දැන් මේ ස්ථානයට එන ඕනම කෙනකුට වැස්සකදී වුවත් ගැටළුවකින් තොරව සිතුවමක් ලබාගන්න ඉඩ මේ නව වෙළෙඳ කුටි නිසා නිර්මාණය වී තිබෙනවා. කුඩා ව්‍යවසායකයින් දිරිගැන්වීමේ රාජ්‍ය ආර්ථික ප්‍රථිපත්තිය ක්‍රියාවට නැංවෙමින් තිබෙන මොහොතක මෙවැනි කාර්යකට උරදීම අගේ කළ යුතුයි.

ඔබත් ඔබේ සමීපතමයකු හට මතක හිතෙන යමක් දෙන්න අවැසි නම් ආනන්ද කේ කුමාර්ස්වාමි මාවතේ සිත්තර පාරාදීසයට ගොඩවන්න. අනිවාර්යයෙන්ම ඔවුන් ඔබේ මනදොළ පූර්ණය කරනවා නොඅනුමානය.

Comments