කෙන­ඩිගේ පුදුම සතා | Page 2 | සිළුමිණ

කෙන­ඩිගේ පුදුම සතා

අමෙරිකා එක්සත් ජනපදයේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි ආන්දෝලනාත්මක සිද්ධි මාලාවකට මැදිව රට පාලනය කරමින් සිටියදී අභිරහස් මරණයකට ගොදුරු විය. " .. Change is the law of life. And those who look only to the past or present are certain to miss the future.." අතිතයේ ජීවත්වන පුද්ගලයාට අනාගතය මගහැරී යන බව ඔහු කීවේය. කුමන්ත්‍රණයක ගොදුරක්ව මරුමුවට පත්වීමට ටික කලකට පෙර හෙතෙම මෙසේ ද කීවේය. " .. Forgive your enemies, but never forget their names.." ඔබේ සතුරාට සමාව දෙන්න. එහෙත් කිසිදා ඔවුන් කවුදැයි අමතක නොකරන්න.

ජෝන් එෆ්. කෙනඩි විසින් උපුටා දක්වන ලද මෙවැනි අගනා ආප්තයන්ට වඩා මගේ සිත් ගත් ඔහුගේ උපමා කතාවක් ගැන නැවත සිහි ගැන්වීම කාලෝචිත යැයි සිතේ. ඔහු දේශපාලන රැලිියක මහජනතාව අමතමින් මෙසේ කීවේය.

".... මිත්‍රවරුනි, හරි පුදුම සතෙක් හිටියා. පුදුමයි කියන්නේ ඌ හිතා ගන්න බැරි තරම් දිගයි. අන්න ඒ නිසා උගේ ශරීරයේ මුහුණට දැනෙන සංවේදනයක් ශරීරයේ පසුපස කොටසට දැනෙන්නේ සෑහෙන කාලයක් ගත වුණාට පසුවයි. ඔන්න එක දවසක් ඔළුවට ම වැදුණු මරු පහරක් නිසා මුහුණ රතුවෙලා ඇස්වලින් කඳුළු වැටෙත්දී දරා ගන්න බැරි වේදනාවෙන් උගේ ඉදිරිපස කොටස මැරෙන්න වැටිලා හිටිත්දී ඊට බොහෝ කාලයකට පෙර ලැබුණු රසවත් ආහාරයක් නිසා උගේ වලිගය සතුටින් වැනෙමින් තිබුණා ලු. ..."

මෙසේ කී කෙනඩි මොහොතකට දෙනෙත් වසා ගෙන සිනාසුණේ ය. ඊට ටික කලකට පසු ඔහු අභිරහස් මරණයකට ගොදුරු වූයේ ඔහුගේ උපමා කතාවට ඔහුම නිදසුනක් වෙමිනි.

කෙසේ නමුත් කෙනඩි උපමාවට ගත් පුදුම සතා දැන් නම් අප හැමට ම උවමනා නම් දැකිය හැකිය. අප ජීවත්වන මේ කාලය සහ මේ යුගය අර පුදුම සතාට හැමතින් ම සමාන ය. මේ යුගය ඊට අයත් සියල්ල ද සමඟින් මිය යමින් තිබේ. ඒ බව කල් තබා දකින ඇතැම්හු තැති ගනිති. ඇතැම්හු සතුටු වෙති. ඒ බෙදීම අනාගත යුගයේ හැඩ රුව කෙසේ වේද කියා ය. එහෙත් අති බහුතරයක් දෙනා මේ දෙකොටසට ම අයත් නොවෙති. ඔවුහු යුගයේ අවසානය නො දකිති. එහෙයින් ඔවුන්ගේ සතුට හෝ වේදනාව යන දෙකෙන් කුමක් වූවත් එය නිසැකයෙන් ම විහිළුකාරී වීම නො වැළැක්විය හැක්කේ මොළේ මිය ගිය ශරීරයක දෙපාවලට සපත්තු පැලඳීම සිනාවට නිමිත්තක් වන හෙයිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වන්නේ යුගයක අවසානය සටහන්ව තිබියදී ය. අති බහුතරයක් දේශපාලන පුරෝකථන - ජනමත සමීක්ෂණ සහ ජ්‍යොතිෂ අනාවැකි පමණක් නොව අමෙරිකා එක්සත් ජනපදයේ බහුතරයක් ඡන්දදායකයන්ගේ විශ්වාසය ද අනාථ කරමින් ඔහු ජය ගත්තේ යුගය මතු නොව ඊට අයත් අධිපතිවාදී දැනුම් හා මතවාද ලෝකය ද මිය ගොස් ඇති බව මොනවට ඔප්පු කරමිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය අහම්බයක් හෝ ඉතිහාසයේ වැරදීමක් හෝ නොවේ. නුදුරු අනාගතයේ ට්‍රම්ප් ලා ලෝකයේ සෑම තැනෙකින් ම හිස ඔසවන්නට ගන්නා අතර ඔවුන් එකිනෙකා සමඟ මිතුරුව හෝ පසමිතුරුව හෝ ඔවුනොවුන් ගැටී මේ යුගය විනාශ කරනු ඇත. අනතුරුව එන ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් විසින් නව යුගය නිර්මාණය කරනු ලැබේ. නාශක - ජනක යන චක්‍ර ද්විත්වය යොදා ගනිමින් ඉතිහාසය සෑම විට ම ක්‍රියා කැර ඇත්තේ එකම නියාමයක් අනුව ය. අපි එයට ඉතිහාසයේ දෛවය යැයි කියමු. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයේ දෛවය විසින් සිතාමතා ම තෝරා ගන්නා ලද්දෙකි.

මේ කාලයේ ලෝකයේ සිදුවන අරුම සිද්ධි ඇසුරු කරන ඔබ ඉතිහාසයේ දෛවය යනු කුමක්දැයි ආයාසයකින් තොරව අවබෝධ කැර ගනු ඇත. මෙහිලා අපට කිසිවක් ම අමුතුවෙන් ලියන්නට සිදු වන්නේ නැත. අවශ්‍ය සියල්ල ම විරාම ලකුණු පවා අත නො හැර කලින් ම ඉතිහාසයේ ලියැ වී තිබේ. එහෙත් ඒවා සොයා ගැනීම සහ නිවැරැදිව කියවා ගැනීම නම් දුෂ්කර වෑයමකි. එහෙත් කාලයේ ගණිත සූත්‍රය අනුව ඉතිහාසය පිරික්සන විට කිසිවක් නො වරදින ලෙස හා මග නො හැරෙන ලෙස සියල්ල පිළිවෙළකට සකස් වී තිබෙනු දකින අපි මවිතයට පත් වෙමු..

දෙවැනි ලෝක යුද සමයේදී ආසියාවෙන් ජපානයත් යුරෝපයෙන් ජර්මනියත් රණකාමයෙන් මත් වී ගියේය. ඊට අදාළ අවුරුදු 84 ක ඉතිහාසයේ එක් චක්‍රයක් අවසන් වන විට ම ආසියාවෙන් උතුරු කොරියාව දැන් රණකාමයෙන් මත් වී සිටී. යුරෝපයෙන් නැගී සිටින්නේ කවුද යනු තවම නිශ්චිත නැත. ඒ වෙනුවට ජෙරුසෙලමේ අගනගර මතභේදය කරළියට එන්නේ ය. එයින් මතු වූ ලොකුම කතාව නම් දෙවැනි ලෝක යුද්ධයට පසුව ගොඩනැගුණු අලුත් ලෝකයේ බලවත් ම සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් පෝෂණය කළ අමෙරිකා එක්සත් ජනපදය ම ඊට එරෙහිව විරෝධය පළ කිරීමයි.

ඉතිහාසය කිසි විටෙක ආපසු ගමන් කරන්නේ නැති බව සැබෑ නමුත් අතීතය අනාගතය දෙසට ප්‍රක්ෂේපනය කළ හැකි ය. එවිට එක ම සිදුවීම යළි යළි සිදුවන බව පිළිගන්නට සිදුවේ.

මේ සටහන ආරම්භ කෙළේ ජෝන් එෆ්. කෙනඩිගේ ප්‍රකාශයක් උපුටා දක්වමිනි. අපි එය ඇල්බට් අයින්ස්ටයින් මහ වියතුන්ගේ කියමනකින් අවසන් කරමු. පරමාණු බෝම්බය නිර්මාණය කෙළේ අයින්ස්ටයින්ගේ මූලිකත්වයෙනි. දිනක් පුවත්පත් කලාවෙදියෙක් ඔහුගෙන් මෙසේ ඇසුවේය.

' සර්...තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වුණොත් ඒ සඳහා මොන වගේ ආයුධ භාවිතා කරයි ද ?'

මේ පැණය ඇසූ අයින්ස්ටයින් නළල රැලි ගන්වා මොහොතක් නිහඬව සිට මෙසේ කීවේලු.

'තුන්වැනි ලෝක යුද්ධය මොන වගේ ආයුධවලින් සිදුවෙයිද කියා මට හිතා ගන්න අමාරුයි. නමුත් 4 වැනි ලෝක යුද්ධය සිදුවෙන්නේ අනිවාර්යයෙන් ම දුනු ඊතල වලින් බව නම් මට හොඳටම පැහැදිලියි...'

 

Comments