
වර්තමාන කටුගම්පළ, වෙන්නප්පුව, නාත්තන්ඩිය, බිංගිරිය ආසනවලට අයත් ප්‍රදේශය පුරා විහිදී පවත්නා කුඹුරු අක්කර විසිදහසක පමණ වෙල්යාය අනුරාධපුර රාජධානිය සමයේ සිටමැ ජාතියට පිහිට වුවකි.
වර්ෂ 1900 කට පෙර ලක්දිව පළමු මහවැව් කර වු වසභ රජතුමා විසින් කර වු ඒ මහවැව් දොළහින් පිටිගල් කෝරලයේ කාලිවාපිය ද එකක් වීමෙන් පෙනී යනුයේ එකල ද මෙහි වු වැදගත්කමයි. (මහාවංශය, පන්තිස් වැනි පර්ච්ජේදය, අනුරාධපුර යුගය, විද්‍යාලංකාර විශ්ව විද්‍යාල මුද්‍රණය දෙවැනි සංස්කරණය,1965,පිටු අංක 272)
කාලිවාපිය සඳහා හරස් කළ රත්මල් ඔයේ ජලය ප්‍රමාණවත් නොවු බැවින් වසභ රජුගේ මුනුපුරු වු පළමු වැනි ගජබාහු රජු විසින් මා ඔය (මහා - ඔය) ගිරිඋල්ලේ දී හරස් කර “යකාබැඳිඇල්ල” බඳවා තිබේ. එතැන් සිට සීතාවක යුගය දක්වා වර්ෂ 1400 ක කාලය තුළ මෙයින් රටට වැඩ සිදු විය.
වන්නියක් වීම:
සීතාවක යුගයේ දී රාජසිංහ රජු විසින් මහනුවර රාජධානිය සමඟ ඇති වු ගැටුම්වල දී මහනුවරට අයත් ආර්ථික ශක්තියෙන් හෙබි සත්කෝරලය දුබල කරන අදහසින් පිටිගල් කෝරලය පාළු කරනු පිණිස මෙම යකාබැඳි ඇල්ල කර වු බව වෙල්පල්ල පුරාණ විහාර පුස්තකාලයේ ඇති පරම්පරා පුස්තකයෙන් කියවේ.
එතැන් සිට සත් කෝරලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මැ වන්නියක් බවට පත් විය. එදා මෙදා තෙක් අවුරුදු 500 ක කාලය තුළ ජාතිය පරාධීන වීමට හේතු කරුණු අතර බතින් සරුව තිබු සත්කෝරලය ආර්ථික පරිහානියට පත් වීම ද සැලකිය යුතු හේතුවක් වු බව පෙනෙයි.
මෙයට පෙර ද යම් යම් වර්ෂ වල නියඟ ඇති වී තිබෙතත් පසුගිය වර්ෂ දහය පහළොව තුළ කාලගුණ රටාව වෙනස් වීමෙන් හෝ මේ රට තුළ ම ඇති වු යම් යම් පරිසර වෙනස්වීම් නිසා හෝ අහසින් ලද වැස්ස ද විශේෂයෙන් ම හීනවීමෙන් ගොඩ - මඩ වගාවන්ගෙන් ලැබෙන අස්වැන්න ඉතා පහත් මට්ටමට වැටී තිබේ.
පෙර මේ පෙදෙස්වල පැවති අල්ප ජනගහනයට සරිලන පරිදි ඉතා සරුබිම් ස්වල්පයක් පමණක් ලැබුණු අහස් දියෙන් වගා කිරීම ප්‍රමාණවත් වු අතර,දැන් වැඩි වු ජනගහනය අනුව සියලු ගොඩ මඩ බිම් අස්වැද්දී ඇති නමුදු ලැබුණු අහස් ජලය අඩුවීම නිසා ද, ලැබෙන දිය ස්වල්පය විශාල කුඹුරු ප්‍රමාණයක් සඳහා යෙදවීමට සිදු වීම නිසා ද වියළි සමයට ජල ප්‍රශ්නය ඉතා උග්‍ර වී තිබේ.
මේ තත්ත්වය නිසා පැරණි යකා බැඳිඇල්ල වාරි මාර්ගය පුනරුත්ථාපනය කළ යුතු ය. මේ පිළිබඳ ව සත්කෝරළ ජනතාව විසින් පවතින හා පැවැතුණු රජයන්ට වරින් වර කරුණු ඉදිරිපත් කළ නමුදු කවර අහේතුවක් නිසා හෝ යහපතක් සැලසී නොමැත.
යකාබැඳි ඇල්ලෙන් අතීතයේ ගෝනුල්ල වෙල්පල්ල ඔස්සේ කාලිවාපියටත් ඉන් රත්මල්ඔය ඔස්සේ නාත්තන්ඩියටත් එහි සිටැ පසුව ඕලන්ද ඇළ නමින් ප්‍රසිද්ධ වු පැරණි ඇළක් ඔස්සේ මාදම්පේ තිනිපිටි වැව ආදී පළ - නොපළ ප්‍රදේශ ගණනාවක කෙත්වතු සරු කළ බවත්, එකල සත්කෝරලය බත්කෝරලයක් ව තිබු බවත් අමතක කළ යුතු නොවේ.
බත් කෝරලය :
පොළොන්නරු මහපැරකුම්බා , දඹදෙණි මහ පැරකුම්බා , සවැනි පැරකුම්බා, මාදම්පා තනියවල්ලභ කුමරු ආදී බොහෝ රජ දරුවන් යකාබැඳිඇල්ල මහත් ආදරයෙන් වැඩි දියුණු කරමින් ආරක්ෂා කර ඇත.
එදා සත්කෝරළය බත්කෝරළයක් කරවීමට ප්‍රධාන වශයෙන් ම හේතු වුයේ යකා බැඳි ඇල්ල මගින් ලබා ගත් ජලය යොදා කෘෂිකර්ම කටයුතු වල නියැළීම පිණිස අවශ්‍ය කාය - චිත්ත ධෛර්යයෙන් යුත් සත්කෝරල වීරයින් බිහි වීමයි.
විවිධ අවස්ථාවල නොයෙක් වේශයෙන් ඡන්ද හිඟමනේ පැමිණි පුඟුලන් වෙත සත්කෝරලවාසීන් මේ ඛේදවාචකය පිළිබඳ ව කරුණු දක්වා ඇත.
එහෙත් යක්ෂ සංස්කෘතියේත් ආර්ය සංස්කෘතියේත් ගැටීම් තුළින් ප්‍රභවය වු පිටිගල් රට තුළ නව යුගයක උදාව, තවමත් සත්කෝරල වාසීන්ට සිහිනයකි, මායාවකි. නොහොත් යථාව සහ මායාව අතර ගලාගෙන යන්නා වු “ෆැන්ටසියකි.” එහෙත් කිව යුත්තේ බඩගින්නට ආහාර පිණිස හෝ පිපාසයට ජලය සඳහා හෝ නියඟයෙන් බැටකන මෙහි වැසියන්ට ‘ෆැන්ටසි’ ප්‍රයෝජනවත් නොවන වග ය.
තුසිත් සාගර චන්ද්‍රසිංහ