මේ කතාව නිව්රෝ ගැන නොවේ; නීරෝලා ගැනයි | Page 2 | සිළුමිණ

මේ කතාව නිව්රෝ ගැන නොවේ; නීරෝලා ගැනයි

රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කළේය. එහෙත් එහි වරද නීරෝගේ නොවේ යැයි සිතමි. වරද ඇත්තේ ඔහු වීණා වාදකයෙකු වීමේ යැයි සිතමි. වටේ මොනදේ සිදු වුණත් වීණා වාදකයන්ට වීණාවට ඇති ඇබ්බැහියෙන් මිදීමට නොහැක. එපමණක් නොව ඔහුට සිතෙන්නේ රෝමය ගිනිගන්නාවිට වුවත් මිනිසුන් වීණා වාදනය අසමින් සිටින්නේනම් හොඳ යැයි කියාය.

ගිනිදළුවලට බියකරුබව නීරෝ තමන්ගෙන් ම වසංකරගන්නේ වීණා වාදනයෙන් ද? නීරෝ වීණාවාදනය කරන්නේ ඔහුඋ ත්සාහ කළත් ගින්න නිවීමට තමන්ට දායකත්වයක් ලබාදීමට නොහැකි නිසාද? නොඑසේනම් ගින්න මොකක් වුවත් ඔහුට වීණාවෙන් තොර ලෝකයක් නැති නිසාද?

කෙසේවුවත් මෙහි ඛේදවාචකය ඇත්තේ නීරෝගේ යැයි සිතීම වැරදිය. මෙහි ඛේදවාචකය ඇත්තේ වීණාවේ හෝ වීණා වාදනයේ යැයි සිතීම ද වරදකි. වීණාවක් අත තිබුණත් නැතත් වීණා වාදනය දනිතත් නොදනිතත් අපි සියලූ දෙනාම අඩු-වැඩි වශයෙන් වීණා වාදකයෝ වෙමු.

රෝමය ගිනි ගනිද්දීත් නීරෝ උත්සාහ කළේ තමන්ගේ වීණාව හා වීණා වාදනය රැකගැනීමට යැයි කිව හැකිය. එහෙත් ඛේදවාචකය එයට සීමානොවේ. එනම් අප සිතුවාට හෝ කිව්වාට නීරෝ ඉක්මවා ගිය මොළයක් හෝ අවබෝධයක් හෝ හැකියාවක් අපටත් නැත.

රටේ මොන ප්‍රශ්න තිබුණත් දොස්තර මහත්තුරු හදන්නේ දොස්තරකම රැකගැනීමටය. ඔවුන් කල්පනා කරන්නේ වෛද්‍ය වෘත්තිය ගැනය. ඉන් එහාට කල්පනා කිරීම ඔවුන්ගේ බුද්ධිය තුළ නොපවතින දෙයකි. දුම්රිය රියැදුරන්ට එකම ප්‍රශ්නය ලෙස පෙනෙන්නේ තමන්ගේ වැටුප්ය. එතනින් එහා ජීවිතයක් ඔවුන්ට ඇත්තේ කලාතුරකිනි. රටේ බොහෝ ප්‍රශ්න තිබුණත් නාට්‍යකරුවන්ට දැනෙන ලොකුම ප්‍රශ්නය තමන්ගේ නාට්‍යයක් පෙන්වාගන්නේ කෙසේද යන්නයි. එසේම මොනතරම් ප්‍රශ්න තිබුණත් පොත් ලියන අයට ද ඇති ලොකුම ප්‍රශ්නය තමන්ගේ පොතක් විකුණාගන්නේ ජනප්‍රිය කරගන්නේ කෙසේද යන්නයි. නීරෝ කොතරම් යහපත් දැයි ඔබට සිතෙනු ඇත. අනිත් අතට රෝමය දිගටම ගිනි ගන්නේ ඇයිද යන්නත් ඔබට පැහැත්දිලිවනු ඇත.

ඇත්තටම එදා නීරෝ වීණා වාදනය කළේ මොන පරමාර්ථයකින් ද යන්න අපට හරියටම කිව නොහැක. එදා සිදුවූයේ කුමක්දැයි අපට හරියටම කීමට අපහසුය. එසේ වූවත් අද නීරෝලා ගැන සිතා ගැනීම අපට එතරම් අපහසු නොවේ. අපට එදා නීරෝට වඩා අද අප ගැන සිතා ගැනීම පහසුය. එවිට අපට හිතෙන්නේ නීරෝ මොන නීරෝ දැයි කියා විය හැකිය. ගින්න අපට නොපෙනේ. එදා නීරෝටත් වූයේ එය ම විය හැක. කෙසේවුවත් එදා නීරෝ කළේ කුමක් දැයි හරියටම කීමට තවමත් කල් වැඩි යැයි සිතේ.

ගින්නේ ගිනිදැල්වලට වඩා නීරෝට වීණා වාදනය ලස්සනට ඇසුණා විය හැකිය. මා කියන්නේ ගිනිදැල්වල බියකරුබවට වඩා වීණා වාදනයේ මියුරු බව නීරෝට දැනුණු බවයි. ගිනිදැල්වලට වඩා තමා වීණාවාදනය පිළිබඳ විශේෂඥයෙකැයි නීරෝට හැඟුණා විය හැක. අනිත් අතට රෝමය ම විනාශ වූවත් වීණා වාදනය අසන්නට මිනිසුන් ඉතිරි වෙතැයි නීරෝට සිතෙන්නටත් ඇත. කෙසේ හෝ අද අප බොහෝ දෙනා සිතන හා සිතා සිටින බොහෝ දේ එදා නීරෝ සිතන්නටත් සිතමින් සිටින්නටත් ඇත. රෝමය පුරා ගිනිදැල් බුර බුරා නැගෙද් දී නීරෝ වටා තරංග නැගි නැ‍ඟී වීණා හඬ අහසට නැඟුණේ ඒ නිසා විය හැකිය. ගිනිදැල්වලට නීරෝ තරගයක් දුන්නේ වීණා වාදනයෙනි. ඒ නිසා ගිනිදැල් සමඟ ම වීණා නාදය ද එක ගානටම පැතිරිණි.

දොස්තර මහත්තුරු හා නීරෝලා අතර වෙනසක් නැති බවක් මම කීවෙමි. එන්ජිංඩ‍්‍රැයිවර්ලා හා නීරෝ අතර වෙනසක් නැතැයි මම කීවෙමි. පොත් ලියන්නන් නාට්‍යකරුවන් හා නිරෝ අතර වෙනසක් නැතැයි මම කීවෙමි. මෙයට දේශපාලනඥයන් ද එකතු කළ යුතුමය. නීරෝ තම වීණා වාදනයෙන් වශී වී සිටියා සේ ම අද දේශපාලනඥයෝ ද තමන්ගේ ම කථිකත්වයෙන් මුඛරිකමෙන් වශී වී සිටිති. ප්‍රමෝදයට ප්‍රබෝධයට පත් වී සිටිති. ඔවුන්ගේ ද දේශපාලන ගුරුවරයා ඒබ‍්‍රහම් ලින්කන්, කස්ත්‍රෝ හෝ කෙනඩි හෝ නේරු හෝ මා ඕසේතුං හෝ නොව නීරෝ ම වී ඇති බව කිව හැකිය. නාට්‍යකරුවන් ද ෂේක්ස්පියර්ට හෝ බ්‍රෙෂ්ට්ට වඩා නීරෝගේ ම ගෝළයන් වී ඇතැයි කිව හැකිය.

කෙසේවුවත් මෙය මෙසේ නොවන්නේ යැයි කීමට අපට ප්‍රබල සාක්ෂියක් ඇත. ලංකාවේ අපි නීරෝලා නොවන්නේ යැයි කීමට අපට ප්‍රබල හේතුවක් හා සාක්ෂියක් ඇත. එනම් රෝමය ගිනි ගත් නරගයක්වූවත් ලංකාව ගිනිගත් රටක් නොවීමයි.

ඒ අනුව මා මෙහි කියා ඇති සියල්ල ශූන්‍ය බවට පත්වේ. අපේ රටේ සිටින නාට්‍යකරුවෝ නීරෝගේ ගෝළයෝ නොව භරතමුනිගේ ම ගෝළයෝ වෙති. අපේ රටේ දේශපාලනඥයෝ නීරෝගේ නොව ඇරිස්ටෝටල්ගේ ම ගෝළයෝ වෙති. අපේ රටේ සිටින දොස්තර මහත්තුරු නීරෝගේ නොව හිපොක්‍රටීස්ගේ ම ගෝලයෝ වෙති. අපේ රටේ දුම්රිය රියදුරන් නීරෝගේ නොව මාතලීගේ ම ගෝලයෝ වෙති.

නීරෝත් දිගටම වාදනය නොකරන්නට ඇත. ඒ නිසා මට ද නවත්වන්නට සිදුවේ.

Comments