මතකයේ රැඳි ශක්තිමත් කටහඬ | Page 2 | සිළුමිණ

මතකයේ රැඳි ශක්තිමත් කටහඬ

ඉංග්‍රීසි නිවේදකයින් ඉංග්‍රීසි ශ්‍රාවකයන් අතර මෙන් ම සිංහල ශ්‍රාවකයන් අතර ද එකසේ ජනප්‍රිය වූයේ නම් ඒ අතැඟිලි සංඛ්‍යාවට අඩු පිරිසක් යැයි කිව්වොත් එය සාවද්‍ය නොවේ. ඒ අතරින් මේ ද්විභාෂාවෙන් ඔහුටම ආවේණික පෞරුෂත්වයකින් ඔහුගේ මුද්‍රාව මැනවින් තැබ‍ු විද්යුත් මාධ්‍යවේදියකුට අද ‘පැහැසර හමුව’ ට ආරාධනය කළෙමු. ඔවුහු නම් අරුන් ඩයස් බණ්ඩාරනායකයෝ ය.

• උපන් දිනය?

1951 කියලා ලියන්න කෝ.

* උපන් ගම?

කැලණිමුල්ල

• උප්පැන්නයේ නම?

අරුන් ඩයස් බණ්ඩාරනායක

• දෙමවුපියෝ්?

ඇලෙක් බණ්ඩාරනායක පියා. ඩිලා බණ්ඩාරනායක මව.

• සහෝදර සහෝදරියෝ?

පවුලේ මා පමණයි.

• මුලින් ම අකුරු කළේ?

කොල්ලුපිටියේ ශාන්ත පීටර්ස් විද්‍යාලය.

• පසුව?

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය.

• පාසල් අවධියේ ඔබ කෙබඳු චරිතයක් ද?

කුතුහලයෙන් පිරුණු දරුවෙක් කිව්වොත් නිවැරැදියි.

• කුතුහලයෙන් පිරුණු දරුවෙක් කිව්වේ?

එය මා තුළ ඇති කළේ මගේ පියායි.

• පැහැදිලි කළොත්?

මා නොදන්න දෙයක් පියාගෙන් දැනගෙන අහන්න ගියාම කිසිදිනක පියා ඒ දේවල් මට කියලා දුන්නේ නෑ.

• ඇයි ඒ?

ඔහු කිව්වේ ඔයාම හොයලා බලලා දැනගන්න කියලා. මේ නිසා මා කුතුහලයෙන් පිරුණු දරුවෙක් වුණා.

• පියා ඇති කළ මේ පුරුද්ද ඔබට කොයි විදිහට ද බලපෑවේ?

ඉතාමත් යහපත් ආකාරයට බලපෑවා! විශේෂයෙන් මේ නිසා මා නොයෙක් පත පොත කියවීමට හුරු වුණා. ඔබට මෙහිදී තවත් දෙයක් කිව යුතු යි.

• කියන්න?

ජිනසේන සමූහ ව්‍යාපාරයේ හිමිකරු ටී.එස්. ජිනසේන මහතා මගේ පියාගේ හොඳ හිතවතෙක්. ඔහු තමයි මගේ පියාට කියා දුන්නේ දරුවන්ට සොයා දැනගන්න උගන්වන්න කියලා. අනෙක අපට හොඳ ගුරුවරු හිටියා.

• කවුද ඒ?

බෝල්වින් ඩැනිසෙල්, ඩී.එන්. පෙරේරා, සී. කෝපරහේවා, අරිසෙන් අහුබුදු.

• පාසල් කාලයේ අධ්‍යාපන කටයුතුවලට අමතරව වෙනත් බාහිර කටයුතුත් කළා?

ඔව්! මා නාට්‍යවල රඟපෑවා. එමඟින් සෙනඟක් ඉදිරියේ අදහස් ප්‍රකාශ කිරීමේ අභ්‍යාසය මට ලැබුණා.

• ක්‍රීඩාවට යොමු වුණේ නෑ?

මොකද නැත්තේ. යගුලිය දැමීම කවපෙත්ත විසිකිරීම වගේ ම බොක්සිං හා ඔරු පැදීමත් කළා.

• පාසල් අධ්‍යාපනයෙන් පසුව?

යුනිලීවර් සමාගමේ ගණකාධිකාරි තනතුරක් සඳහා සේවයට බැදෙනවා.‍

• මේ ගණකාධිකාරිවරයා කොහොමද ශ්‍රී ලාංකේය මහජනතාවගේ ආදරයට පාත්‍ර වෙන මහ නිවේදකයෙකු බවට පත් වෙන්නේ?

මගේ පාසල් මිතුරෙක් එතකොට ගුවන් විදුලියේ සේවය කළා. ජයන්ත විජයරත්න කියලා.‍

• ඉතිං?

මා පාසලේ නාට්‍යවල එහේ ම රඟපානවා තවත් දේවලට සම්බන්ධවී කරපු වැඩ ගැන ඔහු දැනගෙන සිටියා.

• ඔහු ඔබට ගුවන් විදුලියට ආරාධනය කරනවා?

හරියට හරි. ඔහු කිව්වා ඔබේ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න ගුවන් විදුලියට එන්න කියල.

• ඔබ ආරාධනය පිළිගන්නවා?

ඔව්! මා හා කියා මුලින් ම කටහඬ පරීක්ෂණයට ගියා. එය සමත් වෙනවා... ඒත්!

• ඇයි ඒත් කිව්වෙ?

කටහඬ පාස් වුණා කියා අපට එක පාරටම මයික්‍රපෝනය දුන්නේ නෑ.

• එහෙනම්?

මාස ගණනාවක් පුහුණු සැසි පැවැත්වූවා. විශේෂයෙන් කටහඬ පුහුණුවීම් කළා. වෘත්තියේ තිබෙන වගකීම හා වැදගත්කම අප එහිදී ඉගෙන ගත්තා.

• ඔබ මේ වනවිටත් අර පෞද්ගලික ආයතනයේ ගණකාධිකාරිවරයෙක්?

ඔව්! දවල්ට ඒ සමාගමේ වැඩ කරන ගමන් සන්ධ්‍යාවට ගුවන් විදුලියට ඇවිත් වෙළෙඳ වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා.

• මේ කොයි කාලෙද?

1980 දශකයේ මුල් කාලයේ මගේ ජීවන වෘත්තිය ලෙස ගුවන් විදුලි නිවේදකයකු වීමට සිතුවේ නෑ!

• එහෙනම්?

අමතර දෙයක් හැටියට ගුවන් විදුලියේ වැඩ කරන විට බොහෝ දෙනාගේ ඉල්ලීම මත මා ගුවන් විදුලියට තෝරා ගත්තා.

• මොකක්ද වසර?

ඒ 1984 වසරයි. ඒ වස‍රේ ගුවන් විදුලියට එක්වී ඉංග්‍රීසි ප්‍රවෘත්තිත් ඉදිරිපත් කිරීමත් ඇරඹුවා.

• ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී අසීරු අවස්ථාවලට මුහුණදීපු දවසුත් ඇති?

ඔව්! ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ ඝාතනය ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් ඉදිරිපත් කිරීමට තිබුණේ මටයි.

• ඒ ගැන විස්තර දැනගන්න කැමැතියි?

මේක සංවේදී ප්‍රවෘත්තියක්. අගමැතිනිය ඝාතනය කැර තිබුණේ සික් ජාතිකයෙක්.

• ඔව්?

අපේ රටෙත් සික් ජාතිකයෝ සිටිනවා. මිනිසුන් කුපිත වී අපේ රටේ සික් ජාතිකයනට පහර දේවි යැයි ගුවන් විදුලි බලධාරීන්ට බියක් ඇති වුණා.

• වගකිව යුතු අවස්ථාවක්?

ඔව්! ප්‍රවෘත්ති ප්‍රචාරයට කලින් කීපවතාවක් පෙරහුරු කරල තමයි එදා ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ!

• ඔබේ නිවේදන දිවියේ තවත් එවැනි සිදුවීම් ඇති?

ඔව්! රජීව් ගාන්ධිට නාවික සෙබළා ප්‍රහාර දෙන විට මා සජීවී විස්තර විකාශය කරමින් සිටියේ එතන ඒ සිද්ධිය මා සියැසින් දුටුවා.

• එයත් වගකිව යුතු අවස්ථාවක්?

අතිශයින් ම බරපතළ අවස්ථාවක්.

• ඔබ ඒ වෙලාවේ සජීවි විස්තර විකාශයෙහි මොනවද කිව්වේ?

මෙතන කුමක් හෝ සුළු සිදුවීමක් වුණා. නාවික සෙබළෙක් බිම වැටී සිටිනවා පෙනෙනවා. ආරාධිත අමුත්තන් නැවත ගමන් කරමින් සිටිනවා කියා පාලක මැදි‍රියට මයික්‍රපෝනය බාරදුන්නා.

• ඊට පසුව එහි සිදුවූ දෙය?

මා විස්තර විචාරක අට්ටාලයෙන් සිද්ධිය වූ තැනට ගියා.

• එහිදී?

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති එතන පිරිසට කතා කරමින් සිටියා.

• ජනාධිපතිතුමා මොනවද කිව්වේ?

කලබල වෙන්න දෙයක් නෑ. මානසික ආතතියෙන් පෙළෙන ළමයෙක් තුවක්කුවක් එහාට මෙහාට කැරකෙව්වා. වෙන කිසිම දෙයක් මෙතැන සිදුවුණේ නෑ කියා ජනාධිපතිතුමා කියමින් සිටියා.

• එදා කවුද සිංහල භාෂාවෙන් විස්තර විචාරය කළේ?

තිස්ස ජයවර්ධන!

• මා කැමැතියි ඔබගේ සිංහල නිවේදන කලාවේ ප්‍රවේශය දැනගන්න.

ආ ඒ පිළිබඳව නම් සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ මාධ්‍යවේදී පී.එම්. සේනාරත්නයන්ටයි.

• ඒ කොහොමද?

එතකොට රූපවාහිනියේ ශනිදා ආයුබෝවන් වැඩසටහනට ඉංග්‍රීසි නිවේදකයෙක් විදිහට මාත් සම්බන්ධව සිටියා.

• ඇයි මාත් කිව්වේ?

අජිතා කදිරගාමර්, නොයෙලින් හොන්ටර්, රවි ‍ජෝන් වැනි අයත් හිටියා.

• පී.එම්. කොහොමද ඔබව සිංහල නිවේදන ක්ෂේත්‍රයට රැගෙන එන්නේ?

මා ශනිදා ආයුබෝවන් එකේ දැකලා පී.එම්. කිව්වා මම අලුත් වැඩසටහනක් පටන් ගන්නවා. හැබැයි සිංහල! ඒකට ඔබව ගන්න මා කැමැතියි කියලා.‍

• ඔබ කැමැති වුණා?

නෑ! මගේ කැමැත්තක් තිබුණේ නෑ!

• ඇයි ඒ?

තනියම සිංහල වැඩසටහනක් කරන්න සිංහල උච්චාරණය උසස් මට්ටමක තිබිය යුතුයි නේද කියා මා පී.එම්. ගෙන් විමසුවා. ඔහු කිවුවා ඒකට බය වෙන්න එපා අපි කරමු කියලා.

• මොකක්ද වැඩසටහන.

ඔබට මතක ඇති ‘කදමල්ල’

• එය අතිශයින් ජනප්‍රිය වැඩසටහනක් බවට පත්වුණා?

ඔව්! එහි ගෞරවය පී.එම්.ට හිමිවිය යුතුයි මගේ වචන හැසිරවීම පවා සකස් කළේ ඔහුයි.

• ‘කදමල්ල’ කොයි තරම් කාලයක් කළා ද?

1994 පටන් අරගෙන 2001 වෙනකල් අවුරුදු හතක් පමණ.

• 2001 නතර වෙන්නේ?

පී.එම්. විශ්‍රාම ගත්තට පසුව‍.

• ඊට පසුව ඔබ සිංහල ප්‍රේක්ෂකයන් අතරට එන්නේ වසර ගණනාවකට පසුව?

ඔව්! වයිල්ඩ් ඒෂියා වැඩසටහනෙන්.

• එයත් අතිශයින් ජනප්‍රිය වුණා?

ඔව්! එක සතියකට අපට පෝස්ට් කාඩ් තුන් දහක් පමණ ලැබුණා.

• ‘වයිල්ඩ් ඒෂියා’ වැඩසටහන කොයිතරම් කාලයක් විකාශය වුණා ද?

2009 ආරම්භ කැර 2015 අවසන් වුණා.

• ඇයි ඒ අවසන් වුණේ?

එය නිෂ්පාදනය කළේ පද්මලතා අබේසිංහ සහ අනුර තන්තිලගේ යුවළ. අපට අනුග්‍රාහකයින් සොයා ගැනීමට නොහැකි වුණා.

• ඒ තරම් ජනප්‍රිය වැඩසටහනකට?

ඒ ඉතිං මෙහේ හැටි තමයි.

• ඔබ සිංහල ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. මෙහි රහස?

විශාල අදහස් ප්‍රමාණයක් වාක්‍ය දෙකකින් අර්ථවත් ලෙස කීමට හුරුව ඇති කරගත් නිසා වෙන්න ඇති.

• මේ සඳහා ඔබ කාව හරි අනුකරණය කළා ද?

මා කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ කතා අසන්න හරි කැමැතියි. ඒ දවස්වල මා එතුමාගේ කතා නිතර ඇසීමට පෙලඹී සිටියා.

• එතුමාගේ දේශපාලනය කළා?

නෑ! එතුමාගේ දේශපාලනය කළේ නෑ. එතුමාගේ වාග් විලාසය හරිම සුන්දරයි. එය මා අධ්‍යයනය කළා.

• අද ඉන්න ඇතැම් දේශපාලනඥයන්ගේ කතා?

මිනිසුන් කුපිත කරන කටට එන හැම වචනයක්ම හිරිකිතයකින් තොරව පිට කරන අය අද දේශපාලනයේ යෙදෙනවා.

• කතා කලාව හැඩ ගසා ගත යුතු දෙයක්?

අනිවාර්යයෙන් ම! ඒකත් ශිල්පයක් එය ඉගෙන ගත යුතුයි. මයික්‍රපෝනයක් කට ළඟට ලැබුණාම කියවන එක නිවේදක කම නොවෙයි.

• ඔබ නිවාඩු පාඩු වෙලාවට සිංහල ටෙලිනාට්‍යය එහේම බලනවද?

නෑ! ධම්ම ජාගොඩලගේ ටෙලි නාට්‍ය නම් බැලුවා. සෝමවීර සේනානායක ජයලත් ‍මනෝරත්න යන අයගේ නාට්‍යයක් තිබුණොත් බලනවා.

• සිංහල ගීතවලට සවන් දෙනවද?

රූකාන්ත ගුණතිලක. කසුන් කල්හාර යන අයගේ ගීත රසවිඳිනවා.

• නිවාඩු පාඩු වෙලාවට ඔබ වැඩියෙන් ම කරන්න කැමැති දේ?

මා පොත් කියවීම කරනවා. අන්තර් ජාලය ඔස්සේ දැනුම එකතු කරගැනීම කරනවා.

• ඔබට ටයිටස් තොටවත්තයන් ළඟින් ඇසුරු කිරීමට ලැබෙනවා?

ඔව්! ඔහු විශාල දැනුමක් තිබූ කෙනෙක් අප ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා.

• අවසන් වශයෙන් නව පරපුර කියන්න තියෙන්නේ කුමක්ද?

ඇවිදින්න පුළුවන් වූ වහාම දුවන්න හදන්න එපා. යමක් කරන විට එය ක්‍රමානුකූල හදාරා දැනගෙන සිටිය යුතුයි. 

Comments