පිරිත් පින්කම නිවැරැදිව කරන්නේ මෙහෙමයි | Page 2 | සිළුමිණ

පිරිත් පින්කම නිවැරැදිව කරන්නේ මෙහෙමයි

දුර්භික්ෂයක්, විපතක්, රෝග බියක්, ත්‍රස්ත කාලයක්, නිදහස් දින, වසරක් ගෙවී නව වසර උදාව, සිංහල අවුරුද්දට දාගැබ්වල මුල්ගල් තබන දින, නිවෙසකට ගෙවදින දින,උපන් දින,අවුරුද්දෙන් දෙන දාන ආදියේ දී පිරිත් කියවන්න.අලුත් ව්‍යාපාර ආරම්භය, අකුරු කියවීම, බත් කැවීම පොදු ව්‍යාපෘතියක් ආරම්භය සහ විවෘත කිරීම, දිගාසිරි පැතීම, නිරෝගි බව, අමුනුෂ්‍ය දෝෂ දුරුවීමට කරණීය මෙත්තසූත්‍රය දිනපතා උදේ සවස හත්වර බැගින් කියන්න.

භික්ෂු සංඝයා කියන පිරිත ගිහියන් කියන පිරිත යයි පිරිත් දෙවර්ගයකි. බුදුරජුන් දවස පිරිත් සජ්ජායන කළේ භික්ෂුන් වහන්සේ පමණි. දැන් ගිහියන් ද පිරිත් කියයි.

එදා ගම්බද කරෝලිස්ගේ පිරිත් කල්ලිය, ජෝන්ගේ පිරිත් කල්ලිය, තෙපානිස්ගේ පිරිත්කල්ලිය, බබානිස්ගේ පිරිත් කල්ලිය යන නම් වලින් පිරිත් කණ්ඩායම් සිටියෝය. ඔවුන්ට අරක්කු පොඟවපු පොල් කෑලි අවශ්‍ය වූයේ නැත. ඉතා ධාර්මිකව රැයක් පහන් වනතුරු මිහිරි හඬින් පිරිත් කියන ලදී. පන්සිල් පද රකිමින් අටසිල් සමාදන් වෙමින් මස් මාළුවලින් වැලකී පිරිත් දේශනා කරන ලදී. කිසිදු කරදරයකින් තොරව

පිරිත් කියන ලදී. සිගරැට් පැකට් ගණන් ඔවුන්ට අවශ්‍ය නැත.

සිගරුට්, මත්පැන් භාවිතා කර පිරිත් කියන ඇත්තන් ද සිටී. දුශ්ශීලයන් විසින් කියන පිරිත වස්කවියක් වනු ඇත. පිරිත කියවා ගත් අයට දෙවියන්ගේ පිහිට පැතීමට සිදුවේ. වස්දොස් හරින්න‍ට තවත් පිහිටක් අවශ්‍ය වනු ඇත. තිස්පැය පිරිත, සති පිරිත, තුන්වස් පිරිත යනුවෙන් පිරිත් වර්ග කීපයකි. දැන් දැන් ගමක් ගානේ ගොසින් සීවලී පිරිත කැසට් යන්ත්‍රයකින් ජප කරන කණ්ඩායම් බෝවී ඇත. මුද්‍රණය කරන යන්ත්‍ර තොග පිටින් මණ්ඩපයෙහි තබා ජප කරයි.මුද්‍රණය කරන යන්ත්‍ර මණ්ඩපයෙහි තබා තුන්මාසයක් පිරිත් වාදනය ජයටම කරගෙන යයි. සීවලී යන්ත්‍රයක් වෙළෙඳපොළේ අලෙවිවන්නේ රුපියල් දහස් ගණන්වලටයි. ජනතාව මුලා කරගෙන බඩවඩා ගන්නවාට වැඩිය හොඳයි ගිනි කනවා යනුවෙන්ද කතාවක් ඇත. කෙසේ නමුත් මෙවැනි අයට මරණින් මතු අපායෙහි ගිනි කන්නට පමණක් නොව ගිනි වතුර බොන්නටද සිදුවනු ඇති බව සිහි තබා ගත යුතු යැයි මගේ හැඟීමයි.

තිස්පැයේ පිරිත

තිස්පැය පිරිතට තෙල් මල් රැගෙන ගොස් තෙරුවන් නැමැඳ දෙවියන්ට පින්දී විහාරාධිපති හිමියන් හමුවී බුලත් හුරුල්ලක් පිළිගන්වා පිරිතට ආරාධනා කරයි. කළගුණ දත් සැදැහැතියා දැහැත්,ටොනික් බෝතල් කීපයක් සීනි,තේ කොළ ද පූජා කරයි. සංඝයා වහන්සේ නිවෙසට වැඩම කළයුතු දිනය වේලාව නියම කරගනී. දායක මහතාට කැමති භික්ෂුන් ගණනක් වැඩම කිරීමට කතිකා කරගනී. සධාතුක කරඬුව පිරුවානා පොත් වහන්සේ සමඟ මහා සංඝයා වහන්සේලා හේවිසි ගසමින් නලා පිඹිමින් නිවෙසට වැඩමවීම කරයි. දායක මහතා මුතු කුඩය යට මහත් භක්තියෙන් මහත්

ආඩම්බරයෙන් කරඬුව හිස තබා එන්නේ නුවර පෙරහැරේ ධාතු කරඬුව වඩමවන හසිති රාජයා මෙනි.

වැඩමවූ සංඝයා සෙරෙප්පු ගලවා කුඩේ පැත්තකින් තබා පා දෝවනය කර පිරිත් මණ්ඩපයට වඩිති. එක්කෙනකු වතුර වත්කර පා දෝවනය කරන අතර අනෙකා පිරිසිදු සුදු හෝ සහ සාළුවකින් පා පිස දමයි. ඉන්පසුව ගෘහ මූලිකයා ගිලන්පස දැහැත් වට්ටිය පිළිගන්වයි. සමහර ප්‍රදේශවල නියමිත නැකැත් ‍වේලාවට සංඝයා වහන්සේ පිරිත් මණ්ඩපයට වඩමවා ගනී. පහන් දැල්වීම නිවෙස හතර කොන තැනූ පහන් පැල්වලට පොල් තෙල් දමා පහන් දැල්වීම නිවෙසේ බුදු පහන දැල්වීම සුවඳ මල් පූජාව පන්සිල් සමාදන් කරවීම.නායක හිමියන්ට දැහැත් වට්ටියක් පූජා කර එතැන් සිට හිරු උදාවන තෙක් පිරිත් දේශනය කරන මෙන් ආරාධනා කිරීම නිවෙසේ ප්‍රධානියා විසින් කරයි.

පිරිත් මණ්ඩපය ඉතා අලංකාරව සෑදිය යුතුයි. එහි මල්කම් ලියකම් දැක්විය යුතුයි. නූතනයේ සුදු කඩදාසි යොදා කැටයම් කපා මණ්ඩපය සරසයි. ගොක්කොළ මණ්ඩපය මීට වඩා මනරම්ය. ඉතා අලංකාරයි. අමුතු සෞම්‍ය බවක් පෙන්වයි. ධාතු කරඬුව වඩා හිඳුවාලීමට එහි ආසනයකි. මල් පූජාවට එක් අතිරේක කටයුතු සඳහා ද වෙන් වේ. උඩුවියන් බැඳ මල් බඳුන් පුන්කලස් ආදිය පිරිත් පැන් සඳහා නැවුම් මැටි කළය හෝ බඳනක් තැබිය යුතුයි. නා, බුලත් කිනිති, පුවක් මල්,ලද පස් මල්, කපුරු ,සඳුන්, පුවක් ගොබ,තැඹිලි මල් ආදියත් පිරිත් පැන් පිරිත් නූල් ආදියත් දේෂකයන් වහන්සේලා උදෙසා ඉඟුරු දෝසි, ඉඟුරු පියළි, මිදි,වැල්මී ආදිය තබන්න. ගිහියන්ට ද පිරිත් මණ්ඩපයට ඇතුල්වීම තහනම්ය. මෙසේ පිරිත් පිංකම නිවැරැදිව කර ඔබත් පිහිට ලබන්න.

Comments