පළමුවන මුගලන් රජුගේ අභාවයෙන් පසු ලංකාවේ රජු වශයෙන් අභිෂේක ලැබුවේ. ඔහුගේ පුත් කුමාරදාස නොහොත් කුමාරධාතුසේන යන ජන සම්මත රජුය. බු.ව. 1056 දී රජ පැමිණි ඔහු වසර නමයක් ලංකාව පාලනය කළබව ඉතිහාස කථා ප්‍රවෘත්තියේ සඳහන් ය. මේ රජතුමා කවියට ඉතාමත් ලැදි අයෙකි.
මහජන හිතකාමී ලෝවැඩ කැමති උගත් රජකෙනෙකු වු කුමාරදාස රජතුමා තම රාජසභාවේ කවියන්ද යොදවාගත්තේ භාෂාවට හා සාහිත්‍යයට ඇති ආදරය නිසාය. මෙම රජතුමා බොහෝ ධාර්මික අයෙක් බව රාජකීය වංශ කථාවේ සඳහන් වේ. මේ රජතුමා සංස්කෘත පාලි ආදී භාෂාවන් පිළිබඳ හොඳ නෛපුණ්‍යතාවක් තිබූ අයෙකි. ඒ නිසාම ඔහු අතින් ඉතා අගනා කාව්‍ය කෘතියක් වු “ ජානකීහරණය” ලියවුණ බව සාහිත්‍ය වංශ කථාවේ සඳහන්ව ඇත. මෙම රජුගේ අභාවය පිළිබඳව පැරණි පොත පතේ නොයෙක් අයුරින් සඳහන් වී ඇතත්. දැනට පිළිගත හැකි මුඛ පරම්පරාගත කථාවක් අපගේ කුතුහලය දැනවීමට සමත්ව ඇත. එය ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගත් සිදුවීමකි. “පැරකුම්බා සිරිත” පොතෙහි දැක්වෙන මේ කවිය ඒ සඳහා අපට යම් ඉඟියක් පවසයි.
වෙහෙර දසටක් පුරා කරවා දස අටක් මහ වැව් බැඳී
වසර එකදා බිසෙව්අබිසෙස් මහනුවම් තෙමඟුල් යෙදී
ඇජර කිවියර පිනින් ජනකීහරණ ඈ මහ කව් බැඳි
කුමරදස් රද කාලිදස් නම් කිවිඳුහට සියදිවි පිදී.
මේ කවියෙන් කියැවෙන ඉතිහාස කතා ප්‍රවෘත්තිය දිගහැරෙන්නේ මේ අයුරින්ය. කුමාරදාස රජතුමා එක්තරා රූමත් කතකට හොර රහසේ පෙම්කළ අතර ඇය දකින්නට ඉතා රහසින් ඇගේ නිවසට ගියේ කාටත් හොරාය මේ කියන ස්ත්‍රියද රජුගේ සමාගමයට බොහෝසේ ප්‍රිය කළ අතර දවසේ ඕනෑම වේලාවක රජු පිළිගැනීම සඳහා ඇය සූදානමින් සිටියාය.
දිනක් රජතුමා ඇගේ නිවසට විත් ඇය සමඟ සල්ලාපයේ යෙදෙමින් නිවස ඉදිරිපස වු අසුනක වාඩි ගෙන සිටියේ ය.
ඒ ඉර බැස යන මොහොතයි තව ටිකකින් අඳුර වැටීමට ආසන්නය. මේ සුරූපිනියගේ නිවස ඉදිරිපිට පස් පියුමෙන් සැදි අලංකාර පොකුණක් විය. රජතුමා එක එල්ලේ බලාසිටියේ මෙම පොකුණ දෙසයි. එහි පිපී තිබුන අලංකාර මානෙල් මලක බඹරෙක් වසා රොන් උරමින් සිටියදීම ඒ මානෙල් මල බඹරා වසාගෙන පෙති හැකිල යන අයුරු දුටුව රජුතුමාට අපුරු කවි සිතිවිල්ලක් සිතට නැගුනි. එතැන තිබූ අඟුරු කැබැල්ලක් අතට ගත් රජු අර කටුමැටි බිත්තියේ මෙසේ පද දෙකක් සටහන් කළා.
“වන බඹරා වන බඹරා රොනට වනී
මල නොතළා රොන් අරගෙන ගියසෙ වනී”
මේ පද දෙක ලියූ කුමාරදාස රජු ඊට පහළින් මෙසේ සටහනක් තැබීය.
“මෙහි ඉතිරි පද සම්පුර්ණ කරන කවරෙකුට වුවද ඉදිරිපත් වුවහොත් විශාල ත්‍යාගයක් හිමිවේ”
රජතුමා ඉහතකී සුන්දරිය සමඟ තම ඇයි හොඳැයි පවත්වා ආපසු රාජමාළිගාවට යන්ට ගියේය. කවුරුනම් ඉතිරි පද සම්පුර්ණ කරාවිද ? යන සිතිවිල්ල රජුගේ සිතෙහි විය.
මේ යුගයේදී කාලිදාස කවියාද කුමාරදාස රජු සමඟ හිතවත්කමක් තදින් ඇතිකරගෙන තිබූ නිසා රජු සමඟ නිතර ඇයි හොඳැයි පැවැත්වීමක් හා රජුගේ කාව්‍ය කටයුතු ආදියට සහයෝගය ලබා දීමක් සිදුවුනි. නිතර රජු සමඟ සමීපව සිටි කාලිදාසයන්ද ඉහතකී සුරූපිනියගේ පහස ලැබීමට හොර රහසේ ගියේ රජුට හොරාය. සුරූපිනිය බැලීමට යන කාලිදාසයෝ බොහෝ වේලාවක් ඇය සමඟ කථාබහෙන් සමාගමයෙන් කල යවන අතර ඉදිරි පස ඇති අසුනේද බොහෝ වේලාවක් හිඳ අවට සිරි නරඹයි.
මේ අයුරින් සිටින කාලිදාස කවියාට රජුගේ කවි පද දැක ගැනීමට හැකිවිය. නමුත් මෙය ලීවේ කවුරුන්දැයි කාලිදාස නොදත් අතර එතැනම තිබූ අඟුරු කැබැල්ලක් ගෙන හිස් පද දෙක සම්පුර්ණ කර ලිවේය.
“සිය තඹරා සිය තඹරා සිය සෙවැ නී
සියස පුරා නිදිනොලබා උන්සෙවැ නී”
දැන් රජතුමා ලීව කවිය සම්පුර්ණ වී ඇත. මෙය දුටු සුරූපිනියට තෑග්ග පිළිබඳ කෑදර හැඟීමක් අතිවුණි. ඇය කළේ කුලී කරුවන්ට අල්ලසක් දී කාලිදාසව මරා සැඟවීමයි. පසුව ඇය රජු හමුවී ඇගේ කාව්‍ය ප්‍රතිභාව පවසා තෑග්ග ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. මේ තැනැත්තිය කාමිනියක වු නමුත් ඈට කවිකම පිහිටා නොමැති බව පසක් කරගත් රජතුමා මෙය සොයා බැලීම සඳහා චරපුරුෂයන් යෙදවීය. මේ චරපුරුෂයෝ සතරදිග් භාගයේ සෝදිසි කළහ.
පසුව මෙම සුරූපිනියගේ බොරු බස පිළිබඳත් ඇය කර ඇති අපරාධය පිළිබඳවත් කරුණු හෙළිවුණි. කාලිදාස කවිපද සම්පුර්ණ කළ පසු ඇය කාලිදාසව මරා සඟවා දමා තෑග්ග ලැබීමේ අදහසින් කළ ෙබාරුව හෙළිවුණි. රජතුමා වහාම ඇය වධ දී හිස ගසා දමා දඬුවම් පැමිණ වු අතර කාලිදාසගේ මෘතදේහය ගෙනවුත් මංජුසාවක බහා අලංකාර සොහොනක් අනුරපුර නුවර හත්බෝධිවත්තේ ඉදිකර කාලිදාස සිරුර එහි දවා ගෞරව පවත්වා ඇත. රජතුමාද දරාගත නොහැකි ශෝකයෙන් එම ගිනි මැලයටම පැන ජීවිතය හානිකර ගත් අතර තම මිත්‍රත්ත්වය ඒ අයුරින් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළේය. කුමාරදාස රජුගේ අභාවයෙන් පසු ඒ හිඩැස පිරිවීම සඳහා රජකම භාරගන්නා ලද්දේ ! කුමාරදාස රජුගේ පුත් කීර්තිසේන කුමාරයාය. තම පියාවෙනුවෙන් කීර්තිසේන රජු සිහිවටනයක් ඉදිකළ බවද පරම්පරා කතාවලට අනුව හෙළිවේ.