යුරෝපයට පහළ වූ ඉලන්දාරි නායකයා | Page 2 | සිළුමිණ

යුරෝපයට පහළ වූ ඉලන්දාරි නායකයා

ලෝක බලවතා ලෙස එදා-මෙදා තුර ටයි පටිය තද තර ගෙන සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එහෙත් ඒ බල පරාක්‍රමය ඉතා වේගයෙන් බිඳවැටෙන අයුරු වත්මන් ලෝකය දෙස විමසිලිමත් ඇසකට පැහැදිලි දසුනකි. එහි තවත් වෙඩි මුරයක් එල්ල වන්නේ එමානුවෙල් මැක්‍රොන්ගෙනි. දෙසැම්බර් 12 වැනිදා දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටන සවි බල ගැන්වීම සඳහා, පැරීසියට පැමිණෙන ලෙස මැක්‍රොන්ගේ ආරාධනාව පිළිගත හොත් ඊට සහභාගි වන රාජ්‍ය නායකයන් සංඛ්‍යාව 100 කි.

පුදුමයට කරුණ වන්නේ ලෝක බලවතා ලෙස සළු-පිළි ඇඳ සිටින ඇමෙරිකා එක්සත් ජනපද නායකයාට ඒ සඳහා ආරාධනා නොකිරීමයි. ඒ සම්බන්ධයෙන් මැක්‍රොන් පවසන්නේ සිරියාව පවා දේශගුණික විපර්යාස සම්බන්ධ පැරිස් ගිවිසුමට එකඟව සිටියදී ට්‍රම්ප් පමණක් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි. තමන් සලකන්නේ මේ සමාජයට, මේ ග්‍රහලෝකයේ සියලු රටවල් අයත් බවයැයි පවසන මේ ප්‍රංස තරුණයා ට්‍රම්ප්ගේ ප්‍රතික්ෂේප කිරීම් මායිම් කළ වගක් නොපෙන්වයි.

න්‍යෂ්ටික තර්ජන, අන්ත දක්ෂිණාංශික ජාතිකවාදය, ජිහාඩ් ත්‍රස්තවාදය මෙන්ම තාක්ෂණීක බිඳවැටීම්ද සමඟ දේශගුණික විපර්යාසයන් ‍ගෝලීය ගැටලු අතර සිටින්නේ පෙරමුණේය. දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටනට නායකත්වය දෙන මේ තරුණයා නූතන ප්‍රංසයේ වඩාත් ම විස්මයජනක මැතිවරණයෙන් බලයට පත් වූවෙකි. සැබැවින්ම කියනවා නම් 'පළමුව ඇමෙරිකාව' ප්‍රතිපත්තිය තුට්ටුවකට මායිම් නොකර අභියෝගයට ලක් කරන මැක්‍රොන් තවමත් 39 වැනි වියේ පසු වෙයි.

'මට යුරෝපයේ නායකයා වීමට අවශ්‍ය නෑ. මට අවශ්‍ය නායකයන්ගෙන් කෙනකු වීමටයි. අපගේ අනාගතය වන්නේ යුරෝලීය අනාගතය බව මේ නව පරම්පරාවේ නායකයන් තහවුරු කළා' යැයි මැක්‍රොන් ප්‍රංසකාරයන්ට නුහුරු ඉංග්‍රීසි බස ව්‍යක්තව හසුරවමින් පිළිතුරු දෙන්නේ, ඔබේ ඉලක්කය යුරෝපා මහාද්වීපයේ නායකත්වයදැයි නැඟූ ප්‍රශ්නයටයි.

හිටපු බැංකු ආයෝජකයකු වූ මැක්‍රොන් නිරන්තරයෙන් තර්ක කළේ කම්කරු රාජ්‍ය නියාමනය හා ශ්‍රමය සඳහාත් ජල සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම ඇතුළු රටේ ආර්ථික පද්ධතිය සඳහාත් රැඩිකල් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. ජංගම අන්තර්ජාල පරම්පරාවෙන් ඉවත්ව, වමේ හා දකුණේ සාරධර්ම ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔහු නිදහස් මතවාදියෙක් විය.

'දේශපාලනික ලෝකයේ වත්මන් සංවිධානය වඩා වැදගත් නැතැයි කියා මම තීරණය කළා' පැවසූ මැක්‍රොන්ට මිලියන ගණනත් දෙනා පිළිතුරු දුන්හ.

මැක්‍රොන්ගේ ආගමනය ආරම්භයේ සිටම සුරාංගනා කතාවකි. එහි වැඩි දෙනාගේ අවධානයට යොමු වන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතයටයි. ඉලන්දාරි මැක්‍රොන් ඔහුට වඩා අවුරුදු 24ක් වැඩිමහල් නාට්‍ය පුහුණුකාරිනියක වූ බ්‍රිජිට් ට පෙම් බැන්දේය. ඇයගේ දරුවෝ දෙදෙනෙක් මැක්‍රෝන්ටත් වඩා වැඩිමහල් අය වූහ. එවකට විවාහක කාන්තාවක වූ ඇය එම විවාහයෙන් දික්කසාද වී 2007 වසරේදී මැක්‍රොන් හා විවාහ වූවාය. තම ' මුළුමනින්ම අසාමාන්‍ය' ප්‍රේම තරගයට සහයෝගය දැක්වීම පිළිබඳව මැක්‍රොන් මංගලෝත්සවයේදී සිය ස්තුතිය පුද කළේය. මේ වන විට මුනුපුරු-මිනිබිරියන් හත් දෙනකුගේ මිත්තණියක වන බ්‍රිජිට් මැක්‍රොන් 64 වැනි වියේ පසු වෙයි.

ඔහුගේ ප්‍රේම කතාව සහ විවාහය පිළිබඳ විමසන ඕනෑම අයකුට මැක්‍රොන් පිළිතුරු දෙන්නේ 'එය මගේ ජීවිතයයි. එපමණයි' යනුවෙනි. පවතින තත්ත්වය සුදුසු නොවේ නම් නියම වයසේදී තම ප්‍රතිපත්ති මත තීරණ ගැනීමට පසුබට නොවන බව ඔහු පවසයි. එය විවාහය සම්බන්ධයෙන්ද එසේ විය. සාධාරණයි කියා සිතූ මෙන්ම වඩාත් හොඳයැයි සිතූ දේ විවාහය සම්බන්ධයෙන් ද අදාළ කළ බව ඔහුගේ මතයයි. 'දේශපාලනයත් එහෙමයි. මම ඉදිරියටත් එසේ කරනවා' සිය තීන්දු-තීරණ ගැන පසුතැවිලි වීමට ඉඩක් ඔහුගේ ජීවිතයේ නැත.

අද මැක්‍රොන්ගේ මේසය මත තිබෙන්නේ බ්‍රිජිට්ගේ ඡායාරූපය සහ තවත් එක් ඡායාරූපයක් පමණි. අනෙක ප්‍රංසයේ යුද වීරයකු වන ජෙනරල් චාර්ල්ස් ඩි ගවුල්ගේ ඡායාරූපයකි.

මෑත මාස කිහිපය තුළ අනෙකුත් පිරිස පිළිබඳ විනිශ්චය කිරීමට මැක්‍රොන්ට හැකියාව ලැබිණි. ඒ ඔහු‍ගේ ඇමෙරිකානු සගයාට වෙනස් අයුරිනි. මැක්‍රොන් ටිවිටර් භාවිතා කරන්නේ නැත. ඔහු පවසන්නේ පාලනය කිරීමට දුර ප්‍රමාණය අදාළ නොවන බවයි. එහෙත් ඔහු වෙබ් අඩවියේ සිටියදී, ප්‍රංස කම්කරු නීති ප්‍රසාරණය කර නැවත ලිවීම වෙනුවෙන් කළ උද්ඝෝෂණයට විරෝධතාකරුවෝ කඩාවැදුණු හෙයින් කෝපාවිෂ්ට හැෂ්ටැග් මඟහැරීමට ඔහුට හැකි වූයේ නැත. බොහෝ ඡන්ද විමසීම්වලදී, මැක්‍රොන් අහංකාර ලෙස හා පොහොසතුන් සමඟ සුහදශීලී ලෙස හැසිරී ඇති බව මිනිසුන්ගේ අවධානයට යොමු වී තිබේ. කෙසේ වුවත් හැරිස් ඉන්ටරැක්ටිව් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ ඔහු ජනපති පුටුවට විත් මාස පහක් ගත වෙද්දී 48%ක් නව ජනාධිපතිවරයා පිළිබඳ තෘප්තිමත් බවයි.

මැක්‍රොන් පවසන්නේ "මම මගේ වරම ආරම්භයේදී ඉතා ජනප්‍රියයි. මගේ මැතිවරණයෙන් පසු පළමු සතියේ මම කිසිවක් කළේ නෑ'' යනුවෙනි.

මැක්‍රොන් දේශපාලන කෝඩුකාරයකු ලෙස හංවඩු ගසන්නේ ඔහුගේ වයස පමණක් සැලකිල්ලට ගනිමිනි. වයසින් මුහුකුරා ගිය කෙනකු නොවීම නිසාම හෙතෙම දේශපාලනයෙහිද ළාමකයකු බව ඔවුන්ගේ තර්කය වී තිබිණි. ඒ තර්කය කෙසේ වුවත් හරි දේ හරි වෙලාවට කිරීමට ඔහු කිසිවිටෙකත් මේ වන තුරු පැහැර හැර නැත. මැක්‍රෝන් නමැති මිනිසා දේශපාලන චරිතයක් ලෙස සාමාන්‍ය ජනයා දැන-හැඳිනගත්තේ මෙයට වසර තුනකට පමණ ඉහතදීයැයි කීම දොසින් තොර ප්‍රකාශයකි. එකී ජනප්‍රියභාවය ඔහු කරා පැමිණියේ ඔහු හොලන්ඩේ ජනාධිපතිවරයාගේ රජයේ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසින් කටයුතු කිරීම 2014 වසරේදී ආරම්භ කිරීමත් සමඟය.

දේශපාලන ප්‍රතිවාදීන් මැක්‍රෝන්ව හඳුන්වන්නේ 'ගුරුවරයා' ලෙසිනි. ප්‍රංසයට ගැළපෙන ප්‍රායෝගික දේශපාලන වාතාවරණයක් ස්ථාපනය කිරීමට තරම් සමත්කමක් තම නායකයා සතු බව ඔහුගේ දේශපාලන සගයෝ විශ්වාස කරති. ඔහුගේ හිතුවක්කාරකම් සහ දක්ෂකම් නොවන්නට නොවේ. මුල් කාලයේ මැක්‍රොන්ව මායිම් නොකළ රාජ්‍ය නායකයන් ඔහුගේ දුරකතන ඇමතුමක් බලාපොරොත්තුවෙන් බලා සිටින තත්ත්වයට පත් වූයේ ඉතා කෙටි කාලයක් තුළය. ඔහු තම කාර්යාලයේ සාම්ප්‍රදායික ක්‍රමවලට පයින් ගසමින් තම දුරකතනයෙන් රාජ්‍ය නායකයන්ගේ දුරතකන අංක එබුවේය. රාජ්‍ය තාන්ත්‍රික බවින් එහාට යමින් ඊයේ-පෙරේදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමතූ මැක්‍රොන් දේශගුණික විපර්යාස ගැන සාකච්ඡා කළේය. තවත් ඇමතුමක් වූයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟය. එවකට රුසියාවේ අරමුදලින් ක්‍රියාත්මක මාධ්‍ය මගින් බොරු ප්‍රචාර ගෙන යන බවට පැවසූ අතර, රුසියානු මැදිහත් වීම තවමත් එක්සත් රාජධානිය හා ප්‍රංසය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවලට බරපතළ උවදුරක් වන බව ඔහු පැවසීය.

මැක්‍රොන් සියල්ල කණපිට හරවමින් සිටී. පුටින් සමඟ කළ දුරකතන සංවාදයේදී මැක්‍රොන් සාකච්ඡා කළේ සිරියාවේ මානුෂීය ආධාර කොරිඩෝවක් විවෘත කිරීම ගැනය. එසේම ඉරාන න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳව දෙරටම කැප වීමට එකඟ වූයේ ඊට දෙන එක්සත් ජනපද සහයෝගය ඉවත් කරගන්නා ලෙස ‍ට්‍රම්ප් විසින් කොංග්‍රසයට දැනුම් දීමෙන් දින කිහිපයක් ගත වත්දීය. ඒ අතර මැක්‍රොන්ගේ ආධාරකරුවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වූ අතර ඔහු ගල්ෆ් කලාප නායකයන් මුණගැසී ලූවර් කෞතුකාගාරයේ අබුඩාබි ශාඛාව විවෘත කිරීම පිළිබඳ සාකාච්ඡා කළේය.

එහෙත් ට්‍රම්ප් - මැක්‍රොන් සබඳතා මීට වඩා සංකීර්ණය. දෙදෙනාම පැමිණෙන්නේ ව්‍යාපාර ලෝකයෙනි. බැලූ බැල්මට යම් සමානතාද සොයාගත හැකිය. එහෙත් ඔහු සමඟ 'විශ්වසනීය සබඳතාවක්' අවශ්‍ය බව මැක්‍රොන් සිතයි. තමන් ට්‍රම්ප් විරෝධියකු ලෙසට හැඳින්වීමටත් මැක්‍රොන් වැඩි කැමැත්තක් නැති බව පෙනේ. එසේ සිතීම තේරුමක් නැති බව පවසන මැක්‍රොන් 'අප දෙදෙනාම ඡන්ද දායකයන් විසින් පත් කළ අය' බව පවසයි.

කෙසේ වෙතත් ' මම කිසිවෙක් විනිශ්චය නොකරමි' ඒ මැක්‍රොන් ප්‍රතිපත්තියයි.

දේශගුණ ගිවිසුමට එකඟ නොවන ඇමෙරිකාවේ විකල්ප යෝජනාව කුමක්දැයි ට්‍රම්ප්ගෙන් ඍජුවම විමසීම ට්‍රම්ප් විරෝධියකු ලෙස හංවඩු ගැසීමට තරම් ප්‍රමාණවත් නැතැයි මැක්‍රොන් කල්පනා කරයි. එසේම න්‍යෂ්ටික ක්‍රියාකාරකම් හේතුවෙන් ඉරානය සමඟ සබඳතා බිඳ-දමන්නේ නම් ට්‍රම්ප් නව උතුරු කොරියාවක් නිර්මාණය කරන බව ඔහු පවසයි. 'ඉරානයට පහර දීමට යුද්ධයක් පටන් ගැනීම පිස්සුවක් නොවන්නේද' යි මැක්‍රොන් ප්‍රශ්න කරන්නේ ට්‍රම්ප් විරෝධියකු ‍ලෙස නොවන බවයි ඔහු පවසන්නේ.

ට්‍රම්ප්ට මෙන්ම මැක්‍රොන්ටද සිය මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය හවුල්කරුවකු නොලැබිණි. ප්‍රංස මැතිවරණයේ අවසාන භාගයේදී ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමා ඔහුට පක්ෂව වීඩියෝ පටයක් මුදා-හළේය. මේ අතර ට්‍රම්ප් මැක්‍රොන් ප්‍රතිවාදියා වූ ලී පෙං වෙනුවෙන් සිය පක්ෂපාතිත්වය පෙන්වීය. මැක්‍රොන් වෛයිරසයක් මෙන් ලෝකය පුරා පැතිර යද්දී ඇමෙරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් කරන බව ට්‍රම්ප් නිවේදනය කළේය. එවිට මැක්‍රොන් එක්සත් ජනපදයේ දේශගුණික විද්‍යාඥයන්ට ප්‍රංසයට පැමිණ ඔවුන්ගේ වැඩකටයුතු සඳහා සහාය දෙන ලෙස ආරාධනා කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රූපවාහිනී නිවේදනයක් නිකුත් කළේය. ඔහු එය අවසන් කළේ ට්‍රම්ප්ගේම 'අපගේ ග්‍රහලෝකය නැවත විශිෂ්ටත්වය කරා ගෙන යමු ' පාඨයෙනි.

මේ අතර මැක්‍රොන් අවධාරණය කරන්නේ, ඔහු සහ ට්‍රම්ප් අතර ආරක්ෂාව හා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් "ශක්තිමත් සම්බන්ධතාවක්" ඇති බවයි. එක්සත් ජනපද නායකත්වයෙන් යුත් මිලිටරි සභාගයේ කොටසක් ලෙස ප්‍රංස ගුවන් යානා මාස ගණනක් පුරා අයිඑස්අයිඑස් ඉලක්ක වෙත ස්ථාන ගත කර තිබේ. එසේම අයිඑස්අයිඑස් සහ අල්-ඛයිඩා යටත්ව ඇති නයිජර් සහ මාලි ප්‍රදේශවල ප්‍රංස හමුදා රඳවා තිබේ.

'එය දෙරටේ වත්මන් ජනාධිපතිවරුන්ට වඩා ශක්තිමත් හා වඩාත් වැදගත්' ලෙස සටහන් කරන මැක්‍රොන් මෙය එක්සත් ජනපදය හා ප්‍රංසය අතර ඓතිහාසික බැඳීම තහවුරු කරන බව පවසයි.

යුරෝපය යළි නඟාසිටුවීම සඳහා මැක්‍රොන් හට නව ලෝක නායකයකු ලෙස නැඟී සිටීමට සිදු වනු ඇත. ගෝලීය ගැටලු පිළිබඳ සිය හඬ සොයාගත් ඔහු ප්‍රංසයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කර තිබේ. 'ප්‍රංසයට ඇත්තේ හඬක් සහ භූමිකාවක්' බව ඔහු පවසයි. 'එහෙත් ඔබේ නිවෙසේදීවත් ඔබ ක්‍රියාත්මක නොවුණ හොත් ඔබගේ කටහඬට පවා සවන් නොදෙනු ඇතැ' යි මැක්‍රොන් සිය ජනතාවට පවසයි.

(ටයිම් සඟරාව ඇසුරෙනි) 

 

Comments