පුර­වැ­සියා පතන මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන්ගේ සුදු­සු­කම් | Page 11 | සිළුමිණ

පුර­වැ­සියා පතන මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන්ගේ සුදු­සු­කම්

ශ්‍රී ලංකා සර්වජන ඡන්ද ඉතිහාසයේ ආණ්ඩු මාරු කිරීමේ හැකියාවක් ඡන්දදායකයා සතුව ඇත. එයට ඉතිහාසය සාක්ෂි දැරූ වාර අනන්තය. එහෙත් අවාසනාවකට මෙන් සුදුසු පුද්ගලයන් තේරීමේදී ඔවුන් අසමත් වී ඇත.

දිනපතා පාහේ අසන්ට දකින්ට ලැබෙන දේශපාලකයන්ගේ වෘත්තීය නොවන ක්‍රියා කලාපයන් ජනතාව ඉච්චාභංගත්වයට පත් කරයි. රටට ඵලදායි යෝජනා හෝ අදහස් ඔවුන්ගෙන් මතු කර ගැනීම කළු නික සොයනවා වැනිය. වැඩිදෙනා තම ව්‍යාපාර කටයුතු හා අනෙකුත් ගමන් නිසා ඔවුන්ගේ රාජකාරියට පැමිණීමද අසතුටුදායකය.වෙනත් වචනයෙන් කිවහොත් ඔවුන් පාර්ලිමේන්තු කටයුතු සඳහා පැමිණෙන්නේ ‘පාර්ට් ටයිම්’ රැකියාවක් ලෙසිනි. ඔවුන්ගේ පඩි නඩි, පස් අවුරුදු විශ්‍රාම වැටුප්, රැස්වීම් දීමනා, දුරකථන හා විදුලි බිල්, ඉන්ධන ගාස්තු, කාර්ය මණ්ඩල දීමනා, සහනදායි මිලට ආහාරපානවලට අමතරව බදු රහිත සුඛෝපභෝගී වාහන හා වායු සමනය කළ යටිතල පහසුකම් ද සඳහා බදු ගෙවන ජනතාව කරන ආයෝජනයට නිසැකයෙන්ම ලැබෙන්නේ සෘණ ප්‍රතිලාභයකි.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඔවුන් කිසිම වගවීමක් දරන්නේද නැත. මෙවැනි වාතාවරණයකදී, ‘මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් මුවාවෙන් තමන්ගේ ‘ගොඩ’ වැඩි කර ගැනීමට ගන්නා වර්තමාන උත්සාහයන් ජුගුප්සාජනකය.මෙවැනි ඛේදනීය තත්ත්වයකදී ජනතාව දැන් පතන්නේ,මන්ත්‍රී සංඛ්‍යාව තව වැඩි කිරීම නොව, ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් ඇති ගුණ ගරුක,අවංක , වෘත්තීය මට්ටමේ දේශපාලකයන් පාර්ලිමේන්තුවේ හා පළාත් සභාවල ඵලදායිතාවය ඉහළ දමමින් මේ අගතිය අවම කර ගැනීමය.‍

ජනතාවට සුදුසු පුද්ගලයන් තේරිය හැකිද?

ශ්‍රී ලංකා සර්වජන ඡන්ද ඉතිහාසයේ ආණ්ඩු මාරු කිරීමේ හැකියාවක් ඡන්දදායකයා සතුව ඇත. එයට ඉතිහාසය සාක්ෂි දැරූ වාර අනන්තය. එහෙත් අවාසනාවකට මෙන් සුදුසු පුද්ගලයන් තේරීමේදී ඔවුන් අසමත් වී ඇත. උදාහරණ වශයෙන් පරිනත දේශපාලකයන් වෙනුවට ජනප්‍රිය ටෙලිනාට්‍යය නිළියන් හා ක්‍රිකට් ක්‍රීඩකයන්ද, දක්ෂ දේශපාලකයන් වෙනුවට කෝඩුකාරයන් මෙන්ම රිමාන්ඩ් භාරයේ සිටින අපරාධ චෝදනාවලට ලක්වුවන්ද පත් කර යැවීම සඳහන් කළ හැකිය.

පිළිගත යුතු යථාර්ථය නම් කළු සල්ලි විසි කරමින් හා තාවකාලික ද්‍රව්‍යමය ඡන්ද අල්ලස් හා පෝස්ටර් යුද්ධයෙන් ඡන්ද ගරා ගන්නා කපටි, කයිරාටික දේශපාලකයන්ට ඡන්දදායකයා මුලාවී ‘මනාප’ කතිරය ගැසීමය.මැතිවරණ අපේක්ෂකයන් තේරීම සඳහා සරලම විකල්පය මෙවන් පරිසරයකදී අප යෝජනා කරන්නේ දැනට සිංහල ආකරාදියට අනුව පිළියෙල වන දිස්ත්‍රික් නාම යෝජනා ලැයිස්තු කුසලතා පිළිවෙලට ඉදිරිපත් කිරීම පක්ෂවලට පැවරීමය. එවිට තම මැතිවරණ ප්‍රතිපත්ති මෙන්ම රටෙහි උන්නතියට වැඩ කළ හැකි දක්ෂ වෘත්තිකයන් පිරිසක් දිස්ත්‍රික් මට්ටමින් පාර්ලිමේන්තුවට යැවීමට පක්‍ෂ උත්සුක වීම නොඅනුමානය. මෙහිදී, බොහෝ විට නැ‍ඟෙන චෝදනාවක් නම් පක්‍ෂ නායකයාගේ කැමැත්තට පමණක් නාම යෝජනා ලැබීම යන්නයි.

එයට මූලික ප්‍රතිචාරයක් වශයෙන්, පසුගිය මහා මැතිවරණයෙහිදී, ‘පැෆරල්’සංවිධානය මෙහයවීමෙන් ඡන්ද අපේක්ෂකයන්ට නොතිබිය යුතු අංගයන් ‘සර්ව පාක්ෂික මාර්තු 12 ප්‍රකාශනය’ මඟින් ජනගත කිරීම සඳහන් කළ යුතුය. එය හුදෙක් ආයාචනයක් වූ බැවින් අඩු මට්ටමේ එහෙත් ධනාත්මක ප්‍රතිචාරයක් පක්ෂවලින් ලැබිණි. එය තීව්‍රර කිරීම සඳහා පහත සඳහන් ක්‍රමවේදය අපි යෝජනා කරමු.

1) ‘පැෆරල්’ අංගයන්ට පහත සඳහන් අවශ්‍යතාද එකතුකර ඡන්ද අපේක්ෂකයන් සඳහා මැතිවරණ කොමිසම විසින් අනිවාර්ය සුදුසුකම් උපමානයන් පැනවීම.

අ) අවම වශයෙන් අ.පො .ස උසස් පෙළ විභාගයෙන් වාර 3ක් ඇතුළත, විෂයයන් 02 ක් හෝ සමත් විය යුතුය. ( වර්තමානයේ මෙය අසීරු උපමානයක් නොවේ)

ආ) අවම වශයෙන් පිළිගත් ආයතනයකින් මාස 6ක් ඉක්මවන වෘත්තීය මට්ටමේ ඩිප්ලෝමාවක් හෝ ලබා තිබිය යුතුය.

ඇ) අවසන් නාම යෝජනා දිනට මසක් ඇතුළත ලියා පදිංචි වෛද්‍යවරයකුගෙන් ලබාගත් යහපත් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.

ඈ) අවසන් නාම යෝජනා දිනට වයස 75 නොඉක්මවිය යුතුය.

2) ජනතා අපේක්ෂාවන් ඉටුකිරීම සඳහා ඉහත සඳහන් මූලික සුදුසුකම් උපමානයන්ට තව අංග එකතු කළ හැකි අතර මැතිවරණ කොමිසම විසින් කල්තියා ඒවා ගැසට් කිරීමෙන් නිත්‍යානුකූල තත්ත්වයට පත් කළ යුතුය.

3) මේ මූලික සුදුසුකම් සපුරන ඡන්ද අපේක්ෂකයන් සඳහා පමණක් පක්‍ෂ විසින් ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ (Structured Interview) පවත්වා, දිස්ත්‍රික් මට්ටමේ කුසලතා ලැයිස්තු පිළියෙල කළ යුතුය. මේ සම්මුඛ පරීක්ෂණය, තෝරාගත් ගුණාංගවලට ගණිතමය බරක් යෙදීමෙන් විධිමත් කළ හැකිය. උදාහරණ වශයෙන්, විවාදාත්මක හැකියාව, ත්‍රෛභාෂා කතා කිරීමේ හා ලිවීමේ හැකියාව, සමාජීය නැඹුරුව, දේශපාලන, නීතිමය හා සාමාන්‍ය දැනුම මෙන්ම සමස්ත සුදුසුකම දැක්විය හැක. කාන්තා ප්‍රතිශතය පවත්වා ගැනීම සඳහා විශේෂ බරක් ප්‍රථමයෙන්ම එකතු කිරීම අනිවාර්ය කළ යුතුය.

4) මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශිත දිනයකට පෙර මේ මූලික දිස්ත්‍රික් කුසලතා නාම ලැයිස්තු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි ජාතික පුවත් පතක ජනතා ප්‍රතිචාරය සඳහා පළ කළ යුතුය.

5) ලැබෙන ජනතා විරෝධ හා ප්‍රතිචාර මැතිවරණ කොමිසම විසින් සලකා බලා දැන්වීමෙන් අනතුරුව, පක්‍ෂ විසින් අවශ්‍ය වුවහොත් තම මූලික ලැයිස්තු සංශෝධනය කර ඒවායේ නිරවද්‍යභාවයද සහතික කරමින් අවසන් නාම යෝජනා දිනයට පෙර බාර දිය යුතුය.

ඉහත සඳහන් විනිවිද පෙනෙන ක්‍රමවේදය අනිවාර්ය කිරීමෙන්, පක්ෂ නායකයා විසින් තමන් කැමැති අය පමණක් පත් කරනු ගන්නයැයි ජනමතය නිසැකයෙන්ම දුරු කළ හැකිය. ඒ අනුව පක්ෂයේ හොඳම ක්‍රීඩක කණ්ඩායම ඡන්ද පිටියට යැවීම පක්ෂයටම බාර දීමෙන් ජනතා නියෝජනය වඩාත් අර්ථවත්, සරල හා ඵලදායි කළ හැකිය.

විමධ්‍යගත දේශපාලන ව්‍යුහයක්, උසස් තොරතුරු දැනගැනීමේ හා සන්නිවේදන ජාලයක්, ප්‍රවාහන පද්ධතියක් මෙන්ම නිදහස් මාධ්‍ය ජාලයක්ද දැනටමත් අප සතුව පවතින හෙයින් පුරවැසියන් වශයෙන් අපට දැනෙන කාරණය නම් අප කුඩා රටට වඩාත් අවශ්‍ය වන්නේ දේශපාලකයන්ගේ සඛ්‍යාව වැඩි කිරීමට වඩා යහපත් ක්‍රමවේදයන් හා පුහුණු නිලධාරීන් යොදවා දැනට ජනතාව පෙළන රාජ්‍ය සේවය, පොලිස් සේවය හා අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීමය.

 

Comments

පිටු