වින­යක් නැති උග­ත්කම සමා­ජ­ය­ට ම දඬු­ව­මක් | සිළුමිණ

වින­යක් නැති උග­ත්කම සමා­ජ­ය­ට ම දඬු­ව­මක්

දරුවා කුසලතා වඩන්නකු වුවත් එය කරන්නේ කෙබඳු අන්දමට යන්න ගැටලුවකි. දරුවකු කුසලතා වර්ධනය කරන්නේ හුදෙක් ඔහු තෝරාගත් පරිදි නම් ඉන් ඔහුගේ නිර්මාණශීලීත්වය වර්ධනය වේ. එහෙත් එය වැඩිහිටි පෙරැත්තයකට අනුව සිදු වන්නේ නම් එයින් සිදුවන්නේ අනර්ථයකි. රූසෝ පවසන ආකාරයට දරුවා යම් කිසි බලපෑමකට නැතහොත් අධිකාරී බලයකට යටත් විය යුතුයි. එහෙත් එය දරුවාගේ යහපතට විය යුතුයි. කුඩා කාලයේ දරුවා මව් සෙවණේ අධ්‍යාපනය ලබයි. පාසලට යන්නේ ඔහු පරිපූර්ණත්වයට පත්වීමෙන් අනතුරුවය. එබැවින් මවගෙන් ලැබෙන අධ්‍යාපනය දරුවකු නිරන්තරයෙන් ශක්තිමත් කරයි.

වර්තමානයේ දෙමවුපියෝ දරුවන්ගේ කුසලතා හඳුනා නොගනිති. ඔවුහු තමන්ට අවශ්‍ය මාවතේ දරුවන් රැගෙන යෑමට උත්සාහ දරති. මින් සිදුවන්නේ දරුවා අසීරුතාවට පත්වීම පමණි. දරුවන්ගේ කුසලතා හඳුනා ගැනීමට හැකියාවක් දෙමවුපියන් තුළ තිබිය යුතුය. එහෙත් වර්තමාන සමාජයේ එසේ සිදු නොවේ. වැඩිහිටියාගේ ඉලක්ක ඉටු කිරීමට දරුවාට සිදුවේ. අකැමැත්තෙන් හෝ වැඩිහිටියා කී මාර්ගයට අවතීර්ණය වීමට දරුවාට සිදුවේ. ඊට අනුව සමාජ සාධාරණත්වය ඉටුවේද යන්න ප්‍රශ්නයකි. මානව නිදහස භුක්ති විඳිමින් නිදහස් තීරණවලට එළඹිය හැකි ද යන්න ප්‍රශ්නයකි. පිළිතුරු නැති මෙවැනි ප්‍රශ්න හමුවේ අවසානයේ සිදුවන්නේ දරුවා දැඩි පීඩනයකට ලක්වීම යි.

උදාහරණ ලෙස දක්වනවානම්, වේදිකාවල ආයාසයෙන් නර්තනය ඉදිරිපත් කරන දරුවන් ඔබ දැක ඇත. මේ දරුවන් කිසියම් බලකිරීමක් මත තම නර්තනය ඉදිරිපත් කරනවා හැරෙන්න සහජයෙන් ගෙනා දේ ඇත්තේ ඉතාම කලාතුරකිනි. එවැනි නර්තන සඳහා වැඩි දෙනකුට ආසාවක් ද නැති බව ඔබට වැටහී යනු ඇත. එහෙත් ඒ දරුවන්ගේ දේ නරඹන අපගේ සිත් පහන් කරන්නේ ඔවුන් දරුවන් වන බැවිනි. දරුවෙකු සැම විට සැහැල්ලුවෙන් තමන්ගේ ක්‍රියාකාරකමේ හෝ අධ්‍යාපනයේ යෙදීමට උත්සාහ දරයි.

දරුවා කුසලතා වැඩිය යුතු බව ප්‍රවීණ මානව විද්‍යාඥයෙකු වන එමිල් ඩර්ක්හයිම් පවසයි. එහෙත් මේ කුසලතා වර්ධනය කළ යුත්තේ නිදහසේ බව තවත් විශ්ලේෂණය කර දක්වයි. බොහෝ විට දරුවා කුසලතා වඩන්නකු වුවත් එය කරන්නේ කෙබඳු අන්දමට යන්න ගැටලුවකි. දරුවකු කුසලතා වර්ධනය කරන්නේ හුදෙක් ඔහු තෝරාගත් පරිදි නම් ඉන් ඔහුගේ නිර්මාණශීලීත්වය වර්ධනය වේ. එහෙත් එය වැඩිහිටි පෙරැත්තයකට අනුව සිදු වන්නේ නම් එයින් සිදුවන්නේ අනර්ථයකි. රූසෝ පවසන ආකාරයට දරුවා යම් කිසි බලපෑමකට නැතහොත් අධිකාරී බලයකට යටත් විය යුතුයි. එහෙත් එය දරුවාගේ යහපතට විය යුතුයි. කුඩා කාලයේ දරුවා මව් සෙවණේ අධ්‍යාපනය ලබයි. පාසලට යන්නේ ඔහු පරිපූර්ණත්වයට පත්වීමෙන් අනතුරුවය. එබැවින් මවගෙන් ලැබෙන අධ්‍යපනය දරුවෙකු නිරන්තරයෙන් ශක්තිමත් කරයි.

දරුවා රටට දැයට වැඩ ඇති හොඳ මනුෂ්‍යයකු විය යුතු බව අමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් පවසා ඇත. රටට දැයට වැඩ ඇති මනුෂ්‍යයකු බිහි කරන්නේ අධ්‍යාපනයෙන්ය. අධ්‍යාපනයෙන් මිනිසා සදාචාරාත්ම කරයි. වර්තමානයේ කෙතරම් පල්ලි පන්සල් තිබුණත් ඇයි වැරැදි සහ අධර්මිෂ්ඨකම් සිදුවෙන්නේ. ඊට සැබැවින් හේතුවක් තිබේ. මේ සියල්ල විචක්ෂණශීලීව නොබැලීම තමයි ප්‍රශ්නය. දරුවකු කුඩා කල සිට නිසි මාර්ගයට යොමු කිරීම අම්මා අතින් සිදුවේ නම්, ඒ පිළිබඳ වෙනත් අර්ථකථනයක් අවශ්‍ය නොවේ. මන්ද දරුවා මවු කුස සිට දරා බිහි කර කිරිපෙවූ ඇය දරුවාට සමීපව සිටිය යුතුය. බොහෝ අපරාධකාරයන් පිළිබඳ කළ සමීක්ෂණවලට අනුව හෙළිවන්නේ ඔවුන්ට කුඩා කල නිසි මවු සෙනෙහස නොලැබී ඇති බවයි. මව් සෙනෙහසින් කියා දෙන මාවත දරුවා නිවැරැදි සමාජ සත්ත්වයකු කරයි. සමාජානුයෝජනයට දරුවා පරිවර්තනය විය හැක්කේ අම්මාගෙන් ලැබෙන මඟ පෙන්වීම මතයි. එහෙත් මෙය ආයාසයෙන් පැහැදිලි කිරීමට නොහැකිය. අවශ්‍ය වන්නේ ආදරය පමණි. ආදරයට බොහෝ දේ කළ හැකිය. නපුර යහපතට හැරවිය හැක්කේ ආදරයෙනි. මවගේ කිරෙන් සහ හිරුගේ ශක්තියෙන් සමාජයකට ශක්තිය සැපැයේ. සෑම දෙයකටම පිළිවෙළක් සහ ක්‍රමවේදයක් අවශ්‍ය බව කෘත්‍යවාදය ඉදිරිපත් කළ ඩර්ක්හයිම් කියා සිටියේය. මේ අනුව අධ්‍යාපනයෙන් ලැබූ පිළිවෙත සමාජයට බද්ධ විය යුතු බව ද ඔහු කියයි. අධ්‍යාපනයෙන් සාදනුයේ සමාජයට අවශ්‍ය සත්ත්වයා මිස සොබාදහමට අවශ්‍ය සත්ත්වයා‍ නොවන බව ඩර්ක්හයිම් පවසයි. බොහෝවිට මිනිසුන් කණ්ඩායම් වශයෙන් ජීවත්වීමේ දී ඒ කණ්ඩායමට අවශ්‍ය දේ සමාජයට කිරීමට සිදුවේ. මේ නිසා බොහෝ විට දෙමව්පියන් වැඩිහිටියන් සමාජය විසින් පනවන දේ දරුවාට කිරීමට නියම කැනු ලබයි.

දරුවෙක් ජලය මෙන්ය. ඔහු හෝ ඇය පහසුවෙන් ගලා යෑමට තීරණය කරයි. එහෙත් සමාජය එය බැරි බව හඟවමින් සමාජයට අවශ්‍ය දේ කිරීමට අණ කරයි. සාමාජය දරුවාට කියන දේ මිස දරුවාගේ සිතැඟි අනුව යමක් කිරීමට උත්සාහ නොකරයි. හුදෙක් දරුවාගේ කෙළිලොල් බව දරුවා කැමැති ආකාරයට භුක්ති විඳීමට නොහැකි වේ. අධ්‍යාපනයේ සිදු කෙරෙනුයේ හුදෙක් සමාජය උදෙසා දරුවෙකු සූදානම් කිරීම බව ඩර්ක්හයිම් තම න්‍යාය පැහැදිලි කරමින් කළත්, එය සමාජ සදාචාරය රැකෙන පරිදි කළ යුතු බව ඒ මඟින් ව්‍යතිරේකයක් යොදමින් ඔහු පවසයි. මෙහිදී ගුරුවරයාට විශේෂ කාර්යභාර්යක් පැනවී ඇති බව පවසන ඔහු දරුවාට දඬුවම් කිරීම අනුමත නොකරයි. දඬුවම් කිරීමෙන් දරුවා හරි දේ කරනවාට වඩා වෛරී සිතක් ආරෝපණය වන බව පවසයි. මේ නිසා සමාදානයෙන් වැරැද්ද වටහා දීමත්, දරුවාගේ කුසලතාව හඳුනාගෙන ක්‍රියා කිරීමත් ගුරුවරයා සතු කාර්යයක් බව එමිල් ඩර්ක්හයිම් පවසයි.

වර්තමානයේ කිසිම දරුවෙකුට නිදහසක් නොමැත. දරුවෝ සෑම අවස්ථාවන්හිදීම අධ්‍යාපනය තුළ සිරගත වෙති. ඇතැම් අවස්ථාවල අධ්‍යාපනය විසින් දරුවා සිරකරුවකු කරයි. මේ නිසා බොහෝ දරුවන්ට ළමා කාලය අහිමිවේ. නාගරික වීමත් සමඟ ඇතිවන කලබලකාරීත්වය සහ විභාග තරගය මත දරුවෝ අතරමං වෙති. පාසල් නිවාඩු කාලවලදී ද දරුවෝ අතිරේක පන්ති සටනට වැද තම නිදහස අහිමිකර ගනිති. දෙමවුපියන් පනවන ද නීති මාලා සහ විභාග දඬුවම මත බොහෝ දරුවෝ තම ජීවිතයෙන් වන්දි ගෙවති. අවසානයේ සිදුවන්නේ අනර්ථයකි.

ඩර්ක්හයිම් පෙන්වා දෙන ආකාරයට අධ්‍යාපනය කොටස් දෙකකි. මින් එකක් වාණිජ අධ්‍යාපනය ලෙස ඔවුන් හඳුන්වන අතර අනෙක සදාචාරත්මක අධ්‍යාපනය ලෙස හඳුන්වයි. අධ්‍යාපයෙන් දරුවා සදාචාරය ඉගැන්විය යුතු බව ඩර්කහයිම් පවසයි. මෙසේ නොවන්නේ නම් දරුවා ලබන අධ්‍යාපනයේ පලක් නැති බව ද ඔහු පවසයි. උගතකු බිහි වුවත්, ඉන් හොඳ මනුෂ්‍යයකු බිහි නොවන්නේ නම් ප්‍රශ්නයක් ඇත.

මේ සත්‍යය වර්තමානයෙන් ද අපට වටහා ගැනීමට බොහෝ උදාහරණ ඇත. උගත් මිනිසුන් සිටිය ද ඒ අය ගේ මානවවාදීත්වය පිළිබඳ ගැටලු තිබේ. මානවවාදීත්වයෙන් බැලීමට නොහැකි නම් ඉන් පලක් නැත. අධ්‍යාපනයේ අනෙක් පලය අනෙකා දිහා මානවවාදීත්වයෙන් බැලීමය. බොහෝ දෙනා අන් අයට හිරිහැර කරමින් කරදර කරමින් ජීවත් වෙති. එහෙත් බොහෝ දෙනා අධ්‍යාපනය ලැබූවෝය. මේවා කඩදාසි කොළවලට පමණක් සීමා වේ. අධ්‍යාපනය ලැබූවත් සදාචාරය නොමැති නම් ඔවුහු වෛරයෙන් පිරෙති. මේ නිසා අධ්‍යාපනයත් සමඟ දරුවාගේ සදාචාරය ද සංවර්ධනය කළ යුතුය. කෙතරම් උගතුන් සිටියත් ඔවුන් තූළ විනයක් නොමැති නම් එහි අවසානයේ ප්‍රශ්නයක් ඇත. පෙළපත සමාජ පරිසරය කෙතරම් යහපත් වුවත්, විනය රැකගත යුත්තේ තමාමය. මේ නිසා විනයානුකූල දරුවකු බිහි කිරීමට අධ්‍යාපනයට යුතුකමක් ඇත. යුතුකම් පැහැරහරින්නන් ගෙන් සමාජය බහුල වුවත් යුතුකම් රකින්නෝ අල්පය වෙති. මේ නිසා ඩර්ක්හයිම් පවස ආකාරයට ගුරුවරයාට යුතුකමක් ඇත. මුල් හඳුනාගැනීම මගින් බොහෝ ප්‍රශ්න විසඳිය හැකිය.

(රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ කේ.ජී. ජයසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.)

Comments