කළුත් නැති සුදුත් නැති ‘ගිමාරා’ | සිළුමිණ

කළුත් නැති සුදුත් නැති ‘ගිමාරා’

ගැහැනියක අතින් ලියැවුණු ගැහැනු චරිතයක හැඩ රුව පෙන්වන කැඩපතකියි, කොටුවක් ඇඳ ඒ තුළ රත්නා ලංකා අබේවික්‍රමගේ ‘ගිමාරා’ සිරකර තැබීම අනුචිතය. ‘ගිමාරා’ සටකපටකම් ද පසු නොබසින වීරිය ද ඇති ගැහැනියකි. ඒ සමාජය විසින් නිර්මාණය කර ඇය මත පැටවූ දේ ය. ගැහැනියක පමණක් නොව පිරිමියකු වුව ද මේ සමාජය තුළ දී සටකපටකම් ද වීරිය ද ඇති චරිත බවට පත්වෙයි‍. එසේ නොවන්නෝ උදාසීන කම්මැළියෝ ය.

ගිමාරා, ඇගේ අක්කා හාමිනා හා මව සෙලෙස්තිනා ද ජීවිතය සොයන්නෝ වෙති. ඒ තුන්වේල සරිකර ගන්නට ය. ඔවුහු මහියංගනය හා පදියතලාව යා කරන මාර්ගය සෑදූ ඒ අතීතයේ ද එම වැඩබිමේ කම්කරුවන්ට කෑම බීම සපයන කඩයක් පවත්වාගෙන යන්නෝ, තුන්වේල පිරිමසා ගන්නට මිස මහ ගෙවල් තනාගෙන සැරසිලි ජීවිතයක් ගත කරන්නට නොවෙති.

හාමිනා ද ගිමාරා ද තරුණ දැරියෝ ය. ඔවුන්ගේ ජීවිත අරමුණ ජීවත්වීම සඳහා ස්වාමි පුරුෂයකු ලබා ගැනීමයි. හාමිනා සුදු ඉංජිනේරුවාට පෙම් බඳින්නේ බස හරස්ව ප්‍රේමය අප්‍රකාශිත වන ඉසව්වේ සිට ය. සුදු ඉංජිනේරුවා සුදු බිරිඳ ද දරුවා ද රැගෙන මහියංගනයට සේන්දු වීමත් සමඟම හාමිනා ගේ ඒකපාර්ශ්වීය ප්‍රේමය බිඳ වැටිණි. මේ ඇත්තාත් නංගීත් ඒ පරාජයන් බාරගත්තේ කම්පාවකින් තොරවය. අක්කා බස් කොන්දොස්තරවරයකු හා දීග යාමත්, මව ගේ මරණයත්, මාර්ගය සෑදීමේ වැඩ නිමවී වැඩ බිම වසා දැමීමත් ගිමාරා ගේ තනිකමත්, ජීවත්වීමේ ගැටලුවත් උග්‍ර කළේ ය.

පොතපත නොව ජීවිතය ඇයට යමක් උගන්වා තිබිණි. දෙවැනි පන්තියෙන් පාසල් ගමන නතර කළ ඇය, ඒ ළමා වියේදීම ජීවිතය සඳහා හෙයින් ගෙයට ගොස් බැල මෙහෙවරකම් කරමින්, පවුලට සුළුවෙන් හෝ රැකවරණයක් දුන්නාය. තේ කහට විකුණන කඩ පිළේ කසිප්පු විකුණන්නට කසිප්පු බී සිතත් ගතත් රවටන්නට තරම් ඇය දුර ගියා ය. එහෙත් තමන්ගේ ආරක්ෂාවට සිටි අන්ධ සිඟන්නා ඩැනියෙල් රවටා ඔහුගේ ලොතරැයි දිනුමෙන් සැප විඳින්නට ගිය තැනේදී ඇය පැරදුණාය.

රත්නා ලංකා අබේවික්‍රම මුදල මිනිසා ගේ පැවැත්ම කෙරෙහි කොතරම් දුක්ඛිත ආකාරයෙන් මෙන් ම, සාහසික ආකාරයෙන් බලපාන්නේ දැ’යි පෙන්වන වර්ණවත් චිත්‍රයක් ‘ගිමාරා’ නවකතාව තුළ අඳියි‍. කතුවරිය තම වියමන සඳහා චරිත තෝරාගෙන ඇත්තේ ඉතා පරෙස්සමිනි. මියුරියල්ගේ හමුවීම, ඇයගේ අඟහිඟකම් පිරි ජීවිතය, ඇය ගිමාරාට කළ මුදල් වංචාව ද නවකතාවේ ප්‍රධාන අරමුණ සමඟ හොඳින් ගළපා ඇත.

මුදල් හිඟවීමත්, කාලය ගිමාරා කරා මහලු බව කැඳවාගෙන ඒමත් ඇය අවසාන වශයෙන් මුහුණ දෙන අභියෝගයන්ය. කඩයප්පන් හා බත් වෙළෙඳාම දැන සිටියත් ලක්ෂ පහක මුදල කෙසේ පරිහරණය කරන්නේ ද යන්න ඇය දැන නොසිටියාය. මිනිසා අධ්‍යාපනයෙන් සන්නද්ධ විය යුතු නොවේ දැයි පාඨකයාට සිතන්නට ඉඩහැර, කතුවරිය තවත් දිශාවකට හැරෙයි.

මේ හද්දා පිටිසර ගැහැනිය, දිග පළල ගැඹුර ගැන නොදැන නාගරීකරණය වීමේ විපාකයෙහි දරුණුකම ගැන සිතන්නට අපට කරන ඇරයුමයි ඒ....

අනිකා කෙරෙහි දයාවක් නැති ගිමාරාගේ අවසානය සිහි මුළාවකි. මේ සියලු විපත් සමාජය වෙළා පවතින්නාවූ දිළිඳුකමේ පලයන් ය. රත්නා ලංකා අබේවික්‍රම රසවත්ව බස හැසිරවීමේ හපන්කම ‘ගිමාරා’ තුළ දී නිදහස්ව විසුරුවා ඇත. ‘ගිමාරා එහාට දිව්වාය. මෙහාට දිව්වාය....’ කතුවරිය නවකතාව පටන් ගැනීමේදීම, ගිමාරා පාඨකයාගේ සිතේ දඟ කරන ක්‍රියාශීලී යුවතියක් බව සටහන් කරන්නේ ඒ ඇසුරෙනි. ගිමාරා කළු ද නැත. සුදු ද නැත. ඇය මේ සමාජය විසින් නිර්මිත එක්තරා ගැහැනියකි.

 

Comments