
හඬත් නිහඬ බවත් සංගීතය යැයි වටහාගෙන ජීවිතය විඳින්න පටන් ගන්නා නිමේෂයේ දී මිනිසා තුළින් සංගීතය උපදිනවා. තමා ජීවත්වන පරිසරයත් සමාජයත් දෙස වෙනස් මානයකින් බැලීමේත්, දැනීමෙත් ‘ඉවක්’ සහජයෙන් එවැනි මිනිස් ආත්මයකට පිහිටනවා. එම ඉව තුළින් සමාජය පීරලා මිනිස් ජිවිතයේ අහුමුළු හොයාගෙන යනවා. මිනිස් සිතේ අඳුරු කුටි තුළත්, ආලෝකමත් අවකාශයන් තුළත් විවිධ තලවලින් සැරිසරන්න, ඒ මිනිස් ඉවට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්. එවැනි කලාකරුවන්ට පමණක් පරස්පර විරෝධී දැක්මකින් එකම දෙයක් ගැන නැවත නැවතත් බැලීමට හැකියාවක් පවතිනවා. එම සත්‍ය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සිය සංගීතය භාවිතය තුළින් සිදු කළා. එය ඔහු විසින් නිර්මාණය කළ සංගීතමය නිර්මාණ තුළ පමණක් නොව චිත්‍රපට ගීත, ටෙලි නාට්‍ය ගීත, වේදිකා නාට්‍ය ගීත, සරල ගීත ආදී වු අනේක විද ධාරාවන්ට අයිති ගී නිර්මාණයෙන් ද නින්නාද දෙන්නකි.
1995 වසරේ දී වාර්ගික යුද්ධයේ උච්චතම වකවානුවේ දී රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් සමරවීර ජයතුංගයන්ගේ මූලිකත්වයෙන් නිපැයූ 'නිරවි සිහිනය' නම් කැසට් පටයට ඇතුළත් වූ වෙන්පුරාවේ ගීතයත්, කිලර් කැසට් පටයේ එන වරෙන් වරෙන් සුදු පරවියෝ ගීතයත් එකම වස්තු විෂයක් වෙනස් ජීවයන් දෙකකින් බිහිවීමේ අපූර්වත්වය ධ්වනිත කරන්නකි.
මේ පොළොවේ දෙමළ මිනිසාගේත් සිංහල මිනිසාගේත් ඉරණම් කතාවේ ඛේදවාචකය පිළිබඳ යථාර්ථය මේ ගීතයන් ඔස්සේ නිරූපණය වන්නේය. ඒ ඔස්සේ තමා ජීවත් වන සමාජයේ දී අත්විඳිනු ලබන භාවමය කම්පනය ද්විභාෂික ගීත මාධ්‍ය ඔස්සේ රසික සිතේ ප්‍රකම්පනයක් ඇති කිරීමට සමත් වී ඇත. මේ ගීතයන් සංගීතඥයාගේ ආත්ම ප්‍රකාශනයෙන් ගොඩනඟන සංගීත භාෂාවේ පවතින ජීවී ගුණයෙන් මිනිස් හදවත් ආමන්ත්‍රණය කර මිනිස් වර්ගයා සහජීවනය කරා මෙහෙයවීම සඳහා කාල යාත්‍රා කරනු ඇත.ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීත සංරචනා කළ එම්. එච්. එම් ෂම්ස් නම් දමිළ ගීත රචකයා විසින් පද රචනය කළ, නිරෝෂා විරාජනී විසින් ගැයූ වෙල්ලිච් චිරකඩික්කුම් වෙන්පුරාවේ දමිළ ගීතයත්, මාලනී බුලත් සිංහල සහා අමරසිරි පීරිස් ගායනා කරන වරෙන් වරෙවන් සුදු පරවියෝ ආයෙමත් ඉඟිල්ලී සිංහල ගීතයත් පිළිබඳ ගයත්‍රී කේමදාසයන් සිය කටහඬ මෙසේ අවදි කරයි.
‘සාමය’ට ආමන්ත්‍රණය කරන ස්වරූපයන් දෙකක්. එක් ගීයක එක් කටහඬකින් බොහෙම සියුම් මානව ප්‍රේමයකින් ගැයෙනවා. ‘වරෙන් වරෙන් සුදු පරවියෝ ආයේමත් ඉඟිල්ලී’ ලෙසින් සුදු පරවියාගේ පැමිණීමත්‚ ස්වභාවධර්මයේ සිදුවන ආශ්චර්යමත් සුබවාදී විපර්යාසයත්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, වෙනුවෙන් යදින බලාපොරොත්තුවේ ආයාචනාත්මක කටහඬත් මේ ගීතයෙන් ඇසෙනවා. අනෙක් ගීතය බොහොම වේදනාවෙන් ‘වෙල්ලිච් චිරකඩික්කුම් වෙන්පුරාවේ’ යනුවෙන් ගැයෙනවා. එය භීෂණයක් අත් විඳින පරිසරයක් කෑගැසීමක් සමඟ මුසුවුණු කට හඬක්. ඒ කට හඬ ආමන්ත්‍රණය කරන්නේ ද, සුදු පරවියෙකුට. ඔහුගේ නොපැමිණීමේ පාළුවත්, පරවියාගේ හැසිරීමත් සමඟ ස්වභාවධර්මයේ පැවැති හෘද්‍යාංගම අන්තර් සම්බන්ධයේ බිදවැටීමත් පිළිබඳ වේදනාව මතුපිට වචනාර්ථයෙන් කියවෙනවා.
මෙහි පවතින සුවිශේෂිත්වය තමයි මේ විදි දෙකෙන්ම කියන්න හදන්නේ සාමයේ පැමිණීම ගැන වීම. ගීතයන් දෙකෙහිම යටිපෙළ අර්ථයෙන් යුද්ධයෙන් පීඩා විඳින දෙමළ සහා සිංහල මිනිසාගේ ජන ජීවිතයේ පවතින භීෂණයත්, පීඩනයත් වේදනාවත්, සාංකාවත්, ඉච්ඡාභංගත්වයත්, අපේක්ෂා භංගත්වයත් පිළිබඳ ඛේදවාචකයේ යථාර්ථය සංවේදීව ගැයෙනවා. ගීතයන් දෙකෙහිම ව්‍යාංගයෙන් ගොඩනගන ‘සුදු පරවියා’ මිනිසා තුළ සැරිසරන නිදහස, සහෝදරත්වය සහා සහජීවනය පිළිබඳ සංකේතවත් කරනා රූපකයකි. එය සමස්ත ගීතයේත්, සංගීතයේත් ආත්මය ලෙස සැරිසරනවා. එකම තේමාවක් යටතේ සංගීතමය අර්ථකථන දෙකක් ප්‍රකාශ කිරීම සංගීතඥයාගේ විශේෂත්වයක් වනවා. සමහර විටෙක අපිට දැනෙනවා භීෂණයට පත්වන දෙමළ ජනතාවගේ කටහඬ වෙන් පුරාවේ ගීතයෙන් ඝෘජුවම එළියට එනවා කියලා.
ඕ..
ම්ම්ම් ම්ම්ම් ම්ම්ම් ..
වෙල්ලිච් චිරකඩික්කුම් වෙන්පුරාවේ
උන්ගල් වරවෛ කානවිල්ලෛ
වෙන්පුරාවේ
නෙල්ලු මනිපේරුක්කුම් වෙන්පුරාවේ
ඉන්නුම් නේරම් වරවිල්ලෛයෝ
වෙන්පුරාවේ
වෙන්පුරාවේ
ම්ම්ම් ම්ම්ම් ම්ම්ම් ..
ඕ.. කෝඩෛයිල් ඉප්පෝ
නීර් වලිහින්ර භූමි කේට්පතිල්ලෛ
වඩෛයිල් පුක්කුම් පූක්කලින් වාසම්
පාතෛයිල් විළුවතිල්ලෛ
කෝඩෛ කාට්ට්‍රහළාල්
කොතික්කුම් උල්ලමේල්ලාම්
ඕරම් ආනදිල්ලෛ
කෝඩුමෛ තීරවිල්ලෛ
ම්ම්ම් ම්ම්ම් ම්ම්ම් ..
වෙල්ලිච් චිරකඩික්කුම් වෙන්පුරාවේ
උන්ගල් වරවෛ කානවිල්ලෛ
වෙන්පුරාවේ
නෙල්ලු මනිපේරුක්කුම් වෙන්පුරාවේ
ඉන්නුම් නේරම් වරවිල්ලෛයෝ
වෙන්පුරාවේ
වෙන්පුරාවේ
ම්ම්ම් ම්ම්ම් ම්ම්ම් ..
ඕ.. මලෛයිල් නේරායි
ආතියි වීළුම්
පාඩල් කේට්පතිල්ලෛ
කෝඩෛයිල් පේසුම්
පිල්‍ලෛහල් ඉන්රු
ඔන්රෛ කානවිල්ලෛ
මේහම් ඉරුන්ඩතනාල්
මිතක්කුම් කාරණත්තාල්
තාහම් නීරවිල්ලෛ
තනිමෛ මාරවිල්ලෛ
ම්ම්ම් ම්ම්ම් ම්ම්ම් ..
වෙල්ලිච් චිරකඩික්කුම් වෙන්පුරාවේ
උන්ගල් වරවෛ කානවිල්ලෛ
වෙන්පුරාවේ
නෙල්ලු මනිපේරුක්කුම් වෙන්පුරාවේ
ඉන්නුම් නේරම් වරවිල්ලෛයෝ
වෙන්පුරාවේ
වෙන්පුරාවේ
නිරෝෂා විරාජිනීගේ කටහඬ ගීතයෙන් ඇහෙන්නේ තනිකරම විලාපයක් වගේ. ඒ තුළින් මේ ගීතය ගායනා කරන්නේ සිංහල ගායිකාවක් මේ ගීතයේ සංගීතය කළේ සිංහල සංගීත අධ්‍යක්ෂවරයෙක් යන සීමා මායිම් දියවෙලා මිනිස්සු විදිහට යුද්ධයේ ඛේදවාචකයෙන් අත්මිදිය යුත්තේ කෙසේ ද? යන ප්‍රශ්නය පිළිබඳව කිසිදු ජාතියකට ‚ ආගමකට, සංස්කෘතියකට, කුලයකට, ජන වර්ගයකට අයිති නොවී සිතිමේ හැකියාව සම්පාදනය කරනවා. ඒ උදෙසා සංගීතඥායාගේ සංවේදී දෘෂ්ථිය ඉතා සුක්ෂ්ම ලෙසින් ප්‍රකාශ වෙනවා.
සිංහල භාෂාවෙන් ගැයෙන වරෙන් වරෙන් සුදු පරවියෝ ගීතය යුග ගීයක ආකෘතියට යන්නේ. ගැහැණු පිරිමි සහා පිරිමි කට හඬ මාරුවෙන් මාරුවට ගැයෙනවා. ඒ තුළින් දෙදෙනාගේ ආයාචනාත්මක යැදීමක් සංවේදීව කියවෙන කට හඬක් ඇහෙනවා.
වරෙන් වරෙන් සුදු පරවියෝ
ආයෙමත් ඉගිල්ලී
මල් වරුසා වැටේ වී තුරුලතා දළු දමා
මලින් මලට පැණි ඉතිරේ වී
කළු දුමාරේ අන්ධකාරේ
මරුවිකල් හඬ මැකේ වී
කැඳලී යළි සෙනෙහසින් ඉතිරී
ප්‍රේමයෙන් සිත් පිරේ වී
මල් වරුසා වැටේ වී තුරුලතා දළු දමා
මලින් මලට පැණි ඉතිරේ වී
අඳුර දුරලා පායාවී හිරු කඳු හිසින්
හෙට උදාවී
අරුණළු සිඹිනට පෙර ලක් දෙරණට
පායාපන් ගී නවෝ දේ...
වරෙන් වරෙන් සුදු පරවියෝ
ආයෙමත් ඉගිල්ලී
මල් වරුසා වැටේ වී තුරුලතා දළු දමා
මලින් මලට පැණි ඉතිරේ වී
වරෙන් වරෙන් ගීතයේ පවතින සුවිශේෂිත්වය තමයි, සාමයට නැවත පැමිණන්න යැයි ආයාචනා කිරීම. ගිටාර් සහා වයලීනයෙන් එන සංගීතය පසුබිමෙන් පමණක් ඇහෙනවා. ගීතය ආරම්භයේදී ඉතාමත් සියුම් ලෙස ‘වරෙන් වරෙන් සුදු පරවියෝ’ යනුවෙන් ආයාචනාත්මකව ගායනා කරනවා. එහි පවතින සියුම් බව අපිට තවත් වැඩිවෙන්නේ වෙන්පුරාවේ එක්ක සන්සන්දනය කළ විටයි. වෙන්පුරාවේ ගීතයේ Musical Track එක සම්පුර්ණයෙන්ම භීෂණයත් එක්ක යන්නේ. සංගීතය විතරක් නෙමෙයි එතන වෙඩි සද්ද,බෝම්බ පිපිරෙන සද්ද, හෙළිකොප්ටර් සද්ද, ඇහෙනවා. ඒ සද්ද මැද්දෙන් ගැයෙන ගැහැණු කටහඬහි වසර තිහක යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනයාගේ ජීවිතයේ ආත්මයේ සැඟවුණු වේදනාවේ හඬ එළියට ගෙනත් අපිට අහන්න සලස්සන රිද්මයක් පවතිනවා.
වරෙන් වරෙන් සුදු පරවියෝ යන වචන ඉතා සියුම් ලෙස ගැයෙනවා. ඒ අතරින් ගිටාර් පාට් එකක් ඇවිත්, වයලීන් පාට් එකක් ඇවිත් කතාව පිළිබඳ වැයෙනවා. විශේෂයෙන්ම ගීතයන් දෙකේම තියෙන්නේ සංගීතමය අර්ථකථන. සංගීත භාණ්ඩ භාවිත කරලා තියෙන විදිහ. බොහෝම සියුම් ලෙස සංගීත භාණ්ඩ කිහිපයක් පමණක් භාවිත කරලා මෙම එකම කතාව දෙවිදිහකට කියනවා.
එහි පවතින සුවිශේෂිත්වය තමයි සංගීතයෙන් කොහොම ද භීෂණයක් ගැන කතා කරන්නේ? සංගීතයෙන් සහා ශබ්ද පටයෙන් හරිම කැළඹිල්ලක් ඇතුළේ පුදුම වේදනාවක් ගැන කියන කතාවක් වෙන්පුරාවේ ගීතය තුළින් ඇහෙනවා. පටන් ගත්ත තැන ඉඳන්ම අනෙක් සංගීත භාණ්ඩයන්ගේ නාදයෙන් ගොඩනැගෙන අර්ථකථනයන් චෙලෝ එකෙන් එන හඬ ඔස්සේ ඒකරාශී වෙලා මේ කතාව කියවෙනවා. ඒ ඔස්සේ ගීතයන් හි භාෂාව නොදන්නා වචනවල තේරුම නොවැටහෙන කෙනෙකු වුන ද සංගීතය පමණක් අසා රසවිඳ එයින් ගොඩනැගෙන මනෝභාවයන් සමග ඒකාත්මික වීමේ ශක්‍යතාවය ගොඩනගනවා. එහි දී අසන්නා තුළ වරෙන් වරෙන් සුදු පරවියෝ ගීතයයෙන් ප්‍රේමයක් පිළිබඳවත්, වෙන්පුරාවේ ගීතය තුළින් භීෂණයක් පිළිබඳවත් සන්නිවේදනය වන බව හැඟවෙනවා. වචනවල අර්ථය බැහැර කර සංගීතමය තනුවේ පමණක් පවතින රිද්මය තුළින් එම යථාර්ථය ප්‍රකාශ වනවා.
මේ ගීතයන් දෙකම සුවිශේෂී. ඉතාමත් කාලීනයි. ලංකාවට විතරක් නෙමෙයි මේක ලෝකයටම කාලීනයි. මොක ද අපිට දැන් යුද්ධයක් තිබුණේ නැති වුණාට කොච්චර අපි අපි ඇතුළේ හිර වෙලා ද ඉන්නේ. අපි හිතනනේ අපේ ක්‍රමය තමයි හරිම ක්‍රමය. අනෙකාගේ ක්‍රමය ක්‍රමයක් නෙවෙයි. අපිට හුරුපුරුදු ක්‍රමය හැරෙන්න වෙනත් දෙයක් නැත යන මිත්‍යාවක ගිලිලා ජීවත් වන මිනිසාට මෙවැනි ගීත තුළින් ඉතිහාසයත් තමාගේ ජීවිතයන් පිළිබඳ නැවත නවත සිතා බැලීමට හැකිවෙනවා. මිනිස්සු තුළ විවෘත භාවයක් ඇති කරනවා. ඒ නිසාම මේ ගීතයන් දෙකම සර්වකාලීන වටිනාකමක් තියෙනවා.
ගයත්‍රී කේමදාසයන් ගීතයන් පිළිබඳ සිය කටහඬ එසේ අවසන් කළ ද, මේ ගෙවෙන මොහොතේ දීත් ‘සුදු පරවියාගේ’ පැමිණීම අපේක්ෂාවෙන් අපි තවමත් සමාජක් වශයෙන් බලා සිටින්නෝ වෙමු.