කතා­ක­රන ගොළු හද­වත | Page 2 | සිළුමිණ

කතා­ක­රන ගොළු හද­වත

කරුණාසේන ජයලත් නම් වූ සොඳුරු ලේඛකයාගේ ‘ගොළු හදවත’ නවකතාව මා කියවූයේ අවුරුදු දහයක දොළහක දැරියක ව සිටිය දී ය. එදා මා පොත කියවන්නට පටන් ගත්තේ එහි ගොළු චරිතයක් ඇත්තේ යැයි උපකල්පනය කොට ය. මුල් පරිච්ඡේදය කියවාගෙන යද්දී දැනුණ එක්තරා අමුත්තක්, ගොළු චරිතය පිළිබඳ මතකය යටපත් කර හැරියේ එතෙක් කියවා තිබූ නවකතාවලට වැඩි හා ලොකු වෙනසක් එහි වූ නිසා ය. කතාව ඇරඹී තිබුණේ තහනම් ප්‍රේමයක් පිළිබඳ ඉඟි සපයන දෙබස්වලිනි. කුහුල වඩවනසුලු වූ මේ ආකර්ෂණීය සංවාදමාලාව ගුවන්විදුලි නාට්‍යයක ස්වරූපය ගනිමින් ඒ පරිච්ඡේදය අවසාන වන තුරුම ගලා ගියේ ය. දෙවන තුන්වන පරිච්ඡේද අපහසුවකින් තොර ව කියවාගෙන යන්නට හැකිවූයේ සිත කුතූහලයෙන් පුරවාලීමට සමත් වූ ඒ සංවාදයේ-විවාදයේ ප්‍රබලතාව නිසා ය. සැබැවින් ම එය හදවතට කළ ආමන්ත්‍රණයක් ම වූවේ ය. ඉන් අනතුරුව ගොළු හදවතේ අනුකරණ රැල්ලක් බිහිවන්නට වූයේ තාරුණ්‍යයේ සුපුෂ්පිත වීමක් ද ඒ හරහා සිදුවූ නිසා විය හැකි ය. එහෙත් ඒ කිසිවක් ‘ගොළු හදවත’ මෙන් තරුණ සිත් දැහැන්ගත කළේ නැත.

‘ගොළු හදවත’ නවකතාවක් දැයි හරියට ම කිව හැකි නැත. ගොළු හදවත නවකතාවක් ද ආත්ම භාෂණයක් ද යන ප්‍රශ්නයට වැඩි අවකාශයක් ඉතිරි වන්නේ ඒ අනුව ය. අපගේ අදහසට අනුව ඒ පිළිබඳව දැක්විය හැකි ආසන්නතම නිර්වචනය වන්නේ ‘ගොළු හදවත යනු හද විදාරණයකි’ යන්න ය. එය චිත්‍රපටයක් වශයෙන් තිරයට ගෙන ආ සිනමාවේ දැවැන්තයා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ යට දැක්වෙන අවධාරණයෙන් තහවුරු වන්නේ ද ඒ ය.

‘චිත්‍රපට විචාරකයකු ද වූ මේ කෘතියේ රචකයා, කරුණාසේන ජයලත් අප සමඟ කීවේ, සමස්ත නවකතාවම පදනම් වූ ඔහුගේ පෞද්ගලික අත්දැකීම් මත බව. මේ නවකතාව වසරේ හොඳම නවකතාව ලෙස සාහිත්‍ය සම්මාන දිනාගත්තත්, එවකට සිටි සාහිත්‍යමය දැවැන්තයින් ඒ පිළිබඳව තරමක් අවඥාසහගත වුණත් එය හොඳින් අලෙවි වීම ගැන තමා පුදුම නොවන බව ඔහු කීවා.

අත්දැකීමට අවංක වුණා මිස හොඳ නවකතාවක් බිහිකරන්න තමා කවදාවත් හිතුවේ නැහැයි ඔහු කීවා.’

(ලෙස්ටර් පවත - 129 පිටුව -Lester by Lester as told to Kumar de Silva කෘතියේ

සිංහල පරිවර්තනය - අතුල සමරකෝන්)

මේ අවධාරණය බෙහෙවින් වැදගත් වන්නේ නවකතා ලියන්නන්ට ය. හොඳ නවකතාවක් බිහිවීමට ප්‍රබල උත්තේජනයක් සපයන්නේ ලේඛකයාගේ අවංකභාවය ම ය. අපගේ අදහසට අනුව මින් සනාථ වන්නේ ‘මම නවකතාවක් ලියමි’ යි සිතාගෙන, හිස් අතින් (හිත හිස්ව තබාගෙන) පෑන අතට ගන්නට කිසිවකුටත් බැරි බව ය. නවකතාවකි යි නොසිතා ජයලත් ලියූ, ‘හොළු හදවත’ වසරේ හොඳම නවකතාවට හිමි රාජ්‍ය සම්මානය දිනාගත්තේත්, මහා සිනමාකරුවා අතින් එය චිත්‍රපටයකට නැගුණේත් තවමත් එය හදවත් අමතන්නේත් ඒ නිසා ය.

නව යොවුන් ප්‍රේමය දැන හඳුනා හෝ අත්විඳ නොසිටි, ළමාවියේ එළිපත්ත ළඟ දී ‘ගොළු හදවත’ කියවීමෙන් ප්‍රේමයේ වියෝගය, විරහ වේදනාව දැනී ගියේ කෙසේ දැයි මම තවමත් පුදුමයෙන් සිතමි. මිශ්‍ර පාසලක අධ්‍යාපනය ලැබීම කොතරම් අපූරු අත්දැකීමක් විය හැකි දැයි එවකට බාලිකා පාසලක ඉගෙනුම ලැබූ මට සිතුණේ ගොළු හදවතේ විමල්ලා, අනුලලා සමඟ සිතින් කළ ගනුදෙනුව නිසා ය. බාලිකා පාසලේ කොරිඩෝ ඔස්සේ ඇවිද යන විට, ක්‍රීඩා පිටියේ කෙළවරක දැවැන්ත ගසක් යට රැඳී සිටින විට, ටක්ෂොප් එකට යන විට මම ගොළු හදවතේ ඒ ඒ තැන් නැවත නැවතත් උපකල්පනය කළෙමි.

දශක ගණනාවකට පසු කාලයන්ත්‍රයකින් මෙන් මා ආපස්සට රැගෙන ගොස් යළිත් වරක් ඒ අසිරිය අත්විඳගන්නට ලැබුණේ පසුගිය දා පැවැති කේමදාස අනුස්මරණ සිනමා උළෙල අවස්ථාවේ දී ය. ප්‍රේමසිරි කේමදාසයන් (1937-2008) ගේ විශිෂ්ට සංගීත මෙහෙවර අගයනු වස් ගයත්‍රී කේමදාස පදනම සංවිධානය කළ මේ සිනමා උළෙල ආරම්භ කරමින් ඉකුත් 20 දා තරංගනී සිනමා හලේ ප්‍රදර්ශනය කෙරුණේ ‘ගොළු හදවත’ චිත්‍රපටයයි.

කලකට පෙර අප නැරඹූ, කලාත්මක චිත්‍රපට ලෙස පොදු පිළිගැනීමට ලක්ව ඇති ඇතැම් සම්මානිත සිනමාපට දැන් යළි නරඹන ඇතැම් අවස්ථාවල දී අපේක්ෂාභංගත්වයක් වැනි හැඟීමක් අපේ සිත් තුළින් හිස ඔසවයි. පෙර දිනයක ඒවා නැරඹීමෙන් අත්විඳි ආස්වාදය ඒ අයුරින් ම විඳ ගැනීමට ඒ බොහොමයක් නරඹද් දී බොහෝ විට අපි අපොහොසත් වන්නෙමු. එහෙත් ‘ගොළු හදවත’ නරඹද් දී අපේ සිත්සතන්වලට හැඟුණු-දැනුණු ස්වභාවය මීට ඉඳුරා වෙනස් ය. මේ රූපරාමු, නළු නිළියන්ගේ හැසිරීම්, සංගීතය, අයත් වන්නේ අතීතයට නොවේ දැයි සිතෙනු වෙනුවට අප යළි අතීතයට පොළාපැන්නාක් වැනි ආකස්මික හැඟීමක් සිතට දැනුණේ ය. ඒ විනාඩි 120 ඇතුළත වර්තමානය අප වෙතින් ගිලිහී ගියාක් මෙන් ය.

මේ හාස්කමේ නිර්මාතෘන් කවුරුන් දැයි සිතාබලන විට පැහැදිලිව ම සිතට ආවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සංගීතඥ ප්‍රේමසිරි කේමදාස හා අනුලා කරුණාතිලක යන නාමයන් ය. සෙසු සියල්ලන් ම මෙහි දී තම-තමන්ගේ කාර්යය මැනවින් ඉටුකර තිබුණ මුත් පෙරමුණේ ම සිටියේ මේ තිදෙනා ය. 1968 වසරේ මුල්වරට ‘ගොළු හදවත’ නරඹද් දී, මේ රහස අපට අනාවරණය කර ගත හැකි නොවුණත් ජයවිලාල් විලේගොඩ නම් වූ ප්‍රවීණ විචාරකයා එදා ද එය අතැඹුලක් කරගත් බව මතක් වන්නේ එකල පුවත්පතක පළ ව තිබූ ඔහුගේ චිත්‍රපට විචාරයක් යළි සිහියට නැගුණු නිසා ය. අපගේ මතකය නිවැරදි නම් මේ චිත්‍රපට විචාරය ආරම්භ වී තිබුණේ මෙසේ ය.

‘කියන්නත් සංතෝසයි. සිංහල සිනමාව දීර්ඝ පියවරක් ඉදිරියට තබා ඇත. අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස්, සංගීතඥ ප්‍රේමසිරි කේමදාස හා අනුලා කරුණාතිලක නිළිය ද සමඟ’

මේ කතාවේ පරම වූ සැබෑව අපට පසක් වූයේ මෙවර ‘ගොළු හදවත’ නරඹද් දී ය. ‘ගොළු හදවත’ නවකතාවේ ඉතාම සියුම් ඉසවු, සියුම් ව පිරිමදිමින් කේමදාසයන් පා ඇති පෙළහර විස්මයජනක ය. සැබැවින් ම අප ඇසුවේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ‘ගොළු හදවත’ කෘතිය තුළට පමණක් නොව කරුණාසේන ජයලත් නම් වූ සංවේ දී මනුෂ්‍යයාගේ හදවතට ද කිඳා බසිමින් වීණාවක තත් පිරිමැද්දාක් වැනි වූ ගුත්තිල සංගීතයකි.

‘ගොළු හදවත’ චිත්‍රපටයේ තිර රචනය ලියා ඇත්තේ රෙජී සිරිවර්ධන වන මුත් ඒ දෙබස් කරුණාසේන ජයලත්ගේ ය. එහි සංස්කරණය සිදු කර ඇත්තේ සුමිත්‍රා ගුණවර්ධන සහ එඞ්වින් ලීටින් යන දෙදෙනා ය. කැමරාකරණය එම්. එස්. ආනන්දන්ගේ ය. සෙසු නළු නිළියන් වන විජේරත්න වරකාගොඩ හා ශ්‍රියාණි අමරසේනගේ රඟපෑම් ද ප්‍රශස්ත ය. නවයොවුන් නළුවන් තරමක් විරළ වූ එකල වික්‍රම බෝගොඩ සුගත්ගේ චරිතයට ඉටු කර ඇත්තේ ද උපරිම සාධාරණයකි. සැබැවින් ම නම් විස්මයජනක රංගනයක යෙදෙන්නේ අනුලා කරුණාතිලක ය. ඇගේ ඉංගිත ඊර්යාපථ සියල්ල පාසල් දැරියකගේ ය. ඒ අත් ලේන්සුව හසුරුවන්නේ ද පාසල් දැරියකම මිස අනුලා කරුණාතිලක නම් නොවේ. මේ චිත්‍රපටය සඳහා තමා අනුලා කරුණාතිලක තෝරාගැනීමේ හේතුව හා එහි ප්‍රතිලාභ ගැන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, කුමාර් ද සිල්වාට පැහැදිලි කර ඇත්තේ මෙසේ ය.

මා සිතන්නේ පොත කියවා තිබූ අය බලාපොරොත්තු වූ හැමදෙයක්ම ඇගේ අනර්ඝ රංගනයෙන් ඉෂ්ට වුණා කියා.

(ලෙස්ටර් පවත - 126 පිටුව)

මෙතැන දී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ අනුලා කරුණාතිලකගේ රංගනය පොත කියවා තිබූ අපගේ බලාපොරොත්තු අතික්‍රමණය කෙරූවක් වූ බව ය. පොතේ දමයන්ති හීන්දෑරි ය. පොත කියවූ පසු අපේ සිතේ ඇඳී ගිය යුවතියට තිබුණේ මාංස කල්‍යාණයෙන් තොර වූ බොහෝ සිහින් රූපකායකි. එහෙත් චිත්‍රපටය නැරඹූ සැණින් ඒ දම්මි අතුරුදහන් වී ගියේ ය. දැන් ගොළු හදවතේ දම්මි ලෙස අපේ හදවතේ ලැගුම් ගෙන සිටින්නේ අනුලා කරුණාතිලක ය. චිත්‍රපටයකට නැගූ නවකතා පොතකින් මේ හාස්කම කළ හැකි වූයේ ‘ගොළු හදවතට’ පමණකි යි අපි සිතමු. පසුකලෙක අප නැරැඹූ ‘බඹා කෙටූ හැටි’ (ගොළු හදවත දෙවන කොටස) චිත්‍රපටයේ දම්මිට මේ හාස්කම කළ හැකි වූයේ නැත. විරාගය චිත්‍රපටයේ බතීට වත්, කරුමක්කාරයෝ චිත්‍රපටයේ සෝමක්කාටවත් කළ නොහැකිවූ මේ විස්කම පෑ එක ම රංගන ශිල්පිනිය ‘ගොළු හදවත’ චිත්‍රපටයේ අනුලා කරුණාතිලකම ය.

‘ගොළු හදවත’ නවකතාව ආදරය, විරහව හැරුණු විට වරින් වර උත්ප්‍රාසය ද දැනවූවක් වන බව අපට සිහි කැඳවූයේ මෙවර ය. චිත්‍රපටය අතරතුර ප්‍රේක්ෂකයන් හඬ නගා සිනාසුණේ ඒ අනුව ය. ඒ සිනාව මතු වූයේ නවකතාවේ ස්වාභාවික සංවාද තුළින් ම ය.

සුගත් වීරසේකර පාසලේ සාහිත්‍ය සංගමයේ සභාපති ධුරයට පත්වන්නේ ඒ සඳහා සුදුසුකම් සපිරූවකු ලෙස ය. ඔහුට ඔමාර් ඛයියාම්ගේ රුබයියාත් කාව්‍යය කටපාඩමින් කිව හැකි ය. ඒ කුසලතාව දම්මිගේ සිත වසඟ කළත් ඒ අංශයෙන් ඇය දුප්පත් ය. එහෙත් ඇය සාහිත්‍ය සංගමයේ ලේකම් පදවියට පත් කරනු ලබන්නේ දම්මි-සුගත් ෙප්‍ර්මයට අනුබල දෙන මිතුරු සිසු-සිසුවියන් විසින් ය. වාර්තාව සකස් කළ යුතුවන්නේ සභාපති ලේකම් දෙදෙනා එක් ව යයි කියමින් ප්‍රයෝගකාරී ව සුගත් තමාගේ ගෙදරට කැඳවාගන යන්නේ දම්මි ය. මෙහි දී දම්මිගේ මව සුගත්ගෙන් අසන ප්‍රශ්නය මෙවැනි ය.

‘ඔය ඉස්කෝලෙ ඉන්න හැමෝම මෝඩයො ද ළමයො මේ වගේ කෙනෙක් ලේකම් කමට පත්කරගන්න?’

මේ අයුරින් ඉතා ස්වාභාවික ලෙස උත්ප්‍රාසය දනවන අවස්ථා ගණනාවක් චිත්‍රපටය නරඹද් දී වරින්වර ප්‍රේක්ෂකයාට හමුවේ. සුගත්ගේ අය්යා (සරත්) ‘දමයන්ති ලස්සන ද?’ අසන අවස්ථාව ද එවැනි ය.

‘ගොළු හදවත’ නවකතාව තරමට ම හදවත පිරිමදිනසුලු ‘ගොළු හදවත’ චිත්‍රපටය පිළිබඳව කියවෙන කවර හේතුපාඨයකට වුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ආචාර්ය ෙප්‍ර්මසිරි කේමදාස හා අනුලා කරුණාතිලක යන නම් ත්‍රිත්වය ඇතුළු විය යුතු ම ය. සැබැවින් ම පොත කියවීමෙන් මෙන් ම චිත්‍රපටය නැරඹීමෙන් ද අප ලැබූ වින්දනය අතිශයින් හෘදයංගම ය. ආසන්න වශයෙන් එය නම් කළ හැකි වන්නේ ‘චමත්කාරය’ ලෙස ය. ‘චමත්කාර’ යන සංස්කෘත පදයේ විස්මය, අද්භූතය වැනි අරුතක් ගැබ් ව ඇතත් චමත්කාරය පිළිබඳ ඍජු හා එක ම නිර්වචනය එය නොවේ. වචනවලට ලඝු කළ නොහැකි තවත් හැගීම් රාශියකට උපත දෙන්නට අපේ සිත්, අපේ හදවත් සමත් ය. ‘ගොළු හදවත’ ගැන කියන්නට වඩා සිතන්නට පුළුවන් වන්නේ ඒ නිසා ය.

Comments